Image by: www.bbc.com

‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට වෙනුවෙන් අපෙ හාමුදුරවනේ’ යැයි ගෝරිල්ලෙකු මෙන් පපුවට ගසා ගනිමින් බෙරිහන් දුන් වැඩවසම් පාලකයෙකු රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තමන්ගේත් තම පවුලේ සාමාජිකයින්ගේත් සුඛවිහරණය සඳහා බලයෙන් වියරු වැටී කළ කී කිසිවක් මැරී ඉපදීමෙන්වත් අමතක කරන්නට හැකි නොවනු ඇත. මන්ද, පරම්පරා ගානකට හරියන්නට ඔහු දැනටමත් මේ රට කා දමා ඇති හෙයිනි. නීතීඥ පට්ටමක්ද එල්ලාගෙන සිටින මහින්ද රාජපක්ෂ නමැති මේ ප්‍රතික්ෂේපිතයා තමන්ගේ දූෂ්‍ය ක්‍රියා සාධාරණීකරණය කිරීමේ අරමුණින් කට අරින සෑම මොහොතකම එළියට පනින්නේ ඔහුගේ නූගත්කමත්, අතාර්කික සිතුවිලිත් පමණි. කෙසේවෙතත්, මේ ඕනෑම හරුපයක් ‘අවුලක් නෑ යුද්දෙ දින්නෙ’ අවලංගු සාධාරණීකරණය තුළ පිළිගැනීමට සැදී පැහැදී සිටින වහලුන් පැළැන්තියක්ද නිර්මාණය කිරීමට ඔහු සිය පාලන කාලය තුළදී ඉතාම සූක්ෂ්ම අයුරින් කටයුතු කර තිබිණ.

ජනවාරි 08 වැනි දින මේ අතිශය ගෝත්‍රික පාලකයා පරාජය වී ගෙදර යන විට ඔහු වෙනුවෙන් හොටු පෙරාගෙන වැළපුණු, ‘මරල හරි ගත්තෙ නැත්තෙ ඇයි සර්’ යනුවෙන් ප්‍රශ්න කළ, දේශපාලනික වහලුන් පිරිසක්ද අප අතර සිටියහ. මහින්දගේ පරාජයෙන් පසුව දැකිය හැකි වූ ඉතාම විහිළුකාරීම දෙය මේ ‘එහෙයියන්’ කැවිලි පෙවිලි කද බැඳගෙන, බස් රථ කුලියට ගෙන මැදමුලනට සවාරි යෑමට පටන් ගැනීමය. ඒ සියල්ලම මහින්දගේ අප්‍රමාණ ‘චූන් එකටද’ හේතු වූවා පමණක් නොව සිය මුග්ධකම තිබුණාටත් වඩා වැඩිකර පෙන්වීමට තරම් ඔහු පෙළඹවූයේද මේ උන්මාදයයි.

පසුගිය කාලයේදී යුද්ධය විකුණා කමින් මහින්දගේ පවුල් රෙජීමය විසින් සිදුකරන ලද දහසකුත් එකක් හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, මිනීමැරීම් ඇතුළු මෙකී නොකී අපරාධ රැසක්ම අහුමුළුවලින් එළිබහින්නට පටන් ගෙන තිබේ. බලය නමැති දෙයට මිනිසෙකු දූෂණය කළ හැක්කේ යම් දුරකටද, ඒ තාක්ම දූෂණයට පත්ව වියරු වැටී හැසිරුණු මහින්දගේ අලුතින්ම ජනප්‍රිය වුණු මගඩිය නම් භූගත මන්දිර/බංකර කතාවයි. ඇතැම් අය මීට මන්දිරයකැයි කීවද මහින්ද විසින් මාධ්‍ය අමතමින් කළ අමනෝඥ, එහෙත් සිනහ උපදවනසුළු හේතු දැක්වීමේදී එය ‘ආරක්ෂිත බංකරයක්’ බව සඳහන් විය. ඔහුගේ එකම සාධාරණීකරණය නම්, කොටින්ගෙන් එල්ල විය හැකි කිසියම් ගුවන් ප්‍රහාරයකින් ‘ආරක්ෂක කණ්ඩායමට’ ආරක්ෂා වීම සඳහා එය ඉදිකළ බවයි. එහෙත්, එවැනි අරමුණක් සඳහා බංකරයක් අති සුඛෝපභෝගී අයුරින් ඉදිකළේ මොන ඉලවුවකටද යන්න ඔහු පැහැදිලි නොකළේය. අනික් අතින්, මෙයද ඔහුගේ පවුල්වාදයේම දිගුවක් බව හොඳටම පෙනී යන්නේ, ඔහු අදහස් කරන මේ ‘ආරක්ෂක කණ්ඩායම’ යනුම පවුලේ හෙංචයියන්ගේ එකමුතුවක් වූ බව අප දන්නා හෙයිනි.

කොටි ත්‍රස්තවාදීන් යුධ අවි තාක්ෂණය අතින් දියුණු වෙමින් සිටි අවධියක ඔවුන්ගෙන් එල්ලවිය හැකි ‘කුරුම්බැට්ටි ප්‍රහාර’ පිළිබඳ බියකින් තමා මේ භූගත බංකරය ඉදිකිරීමට උපදෙස් දුන් බව කියන මහින්දත්, ඔහුගේ වහලුන් ටිකත් තේරුම් ගත යුතුම කාරණය නම් මේ ප්‍රකාශයම ඔහුගේ නිරුවත හෙළි කරන්නක් බවයි. මන්ද, ලොව හොඳම සන්නද්ධ හමුදාව සිටින්නේ අපට යැයි ඔහු විසින්ම කියන ලද පසුබිමක, “අති නවීන යුධ අවි තාක්ෂණයෙන් අනූන හා අති දක්ෂයින්ගෙන් සමන්විත අපේ සන්නද්ධ හමුදාවලට” කොටියාගේ කුරුම්බැට්ටිය කල්තබා හඳුනා ගැනීමටවත් හැකියාවක් නොතිබුණාවත්ද යන කුකුස ඔහු තුළ වූ බවද ඉන්ම ගම්‍ය වන හෙයිනි. හොඳ නායකයෙකුගේ පළමු ගතිලක්ෂණය තම සේනාව ගැන විශ්වාසය තබා කටයුතු කිරීමයි. තමා ගැන පමණක් හිතන හා මවාගත් ජාතිප්‍රේමයකින් කටයුතු කරන හිට්ලර් වැන්නවුන්ට එසේ කළ නොහැකි බවට ඕනෑතරම් උදාහරණවලින් ඉතිහාසය පිරී තිබේ.

”බලය මිනිසා දූෂණය කරයි, අසීමිත බලය අසීමිතව දූෂණය කරයි” යන ප්‍රකාශය මහින්ද රාජපක්ෂව හිතේ මවාගෙනම කී එකක් බඳුය. ලොව සෑම ඒකාධිපතියෙකුම සිය දේශපාලන ජීවිතයේ අවසන් අදියරේදී ප්‍රකට කළ වියරු සිහිවිකල් හැසිරීම අපි අද මහින්ද රාජපක්ෂ ආශ්‍රිතවද දකින්නෙමු. තමන්ගේ ප්‍රකාශය අතරතුරදී ඔහු අපූරු දෙයක් කීවේය. එනම්, ‘ප්‍රභාකරන්ටද මෙවැනි බංකරයක් තිබූ බැවින් තමන්ට හා තම කණ්ඩායමට එවැන්නක් තිබීම අරුමයක් නොවන්නේය’ යන අදහස ඔහු මතු කළේය. පසුගිය කාලය පුරාවටම මහින්ද සහ ප්‍රභාකරන් යන දෙදෙනාගේ කිසිම වෙනසක් මට නම් නොපෙනුණි. මේ දෙදෙනාම කළේ තමන්ගේ ‘ජාතියේ විමුක්තිය’ යන සටන් පාඨය ඉදිරියට දමාගෙන පෞද්ගලික සුඛවිහරණය තකා බලය ගොඩගැසීමයි. අනෙක, ප්‍රභාකරන් යනු සන්නද්ධ ගරිල්ලා නායකයෙකි. නිල මට්ටමින් ජීවත් වීමට ස්ථාන නොමැති නිසා බොහෝ විට එවැනි අය මෙලෙස බංකර ඉදිකර ගැනීම සාමාන්‍ය තත්ත්වයක් නමුත් නිල වශයෙන් රාජ්‍ය නායකයෙකු ලෙස පිළිගැනෙන අයට එලෙස පොළොව හාරා හැංගෙන්නට හේතුවක් නැත.

මහින්ද රාජපක්ෂ යනු වචනවලින් හා බොරුවෙන් පමණක් වීරයෙකු සේ පෙනී සිටින්නට උත්සාහ ගත්තද සැබෑ ස්වරූපය අතින් නිවටයෙකු බව කියන්නට මේ බංකර කතාවම හොඳටම ඇතිය. රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කිරීම තුළින් නැති පෞරුෂයක් මවාපාන්නට උත්සාහ ගත්තද, දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ පසුබිමක පවා ‘වැඩි හොඳට’ බිම්ගත වන්නට විකල්ප සැලැස්මක් ඔහුට තිබුණේ එහෙයිනි. දැන් ඔහු එය ජාතික අවශ්‍යතාවක් ලෙස මවාපාන්නට උත්සාහ කරයි. එහෙත් ඔහු නොකියා කියන්නේ තමන් ඒ දිනවල සටන් කළේ නිර්භීතව හා එඩිතරව නොව තමන්ගේ ජීවිතය නැති වීමට ඇති පරාණ බයට බව නොවේද? ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බොරුකාරයෙකි. ඔහු සමස්ථ ජාතියම ආරක්ෂා කිරීම උදෙසා දිවි හිමියෙන් කැප වූ බවක් තමන්ගේම මාධ්‍ය හරහා මවා පාන්නට හැදුවද, ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය වූයේ රටේ ඒකීයභාවය වෙනුවෙන් අභීතව නැගී සිටීමට නොව, වැඩේ ගැස්සෙන ලකුණු පෙනෙන්නට තිබුණොත් බිංකුඬු න්‍යායය අනුගමනය කර හෝ ‘රටේ උන්ට හෙණ ගැහුවත් කමක් නෑ’ යැයි සිතා සැඟවීමටය.

මහින්ද අනුමාන කරන ආකාරයේ ‘කුරුම්බැට්ටි ප්‍රහාරයක්’ එල්ල වුවද, මුළු රටම මේ භූගත බංකරයේ සඟවා ආරක්ෂා කරන්නට බැරිය. එවැනි අවස්ථාවක කළ හැකි එකම දෙය වන්නේත්, මහින්දට කරන්නට අවශ්‍ය එකම දෙය වන්නේත් අන් කවරක් නොව තම පවුල සහ පවුලට හිතැති හෙංචයියන්ගේ දිවි රැකගැනීමයි.

ලෝක ඉතිහාසයේ අප දන්නා බොහෝ ශ්‍රේෂ්ඨ නායකයන් මුලින්ම හිතුවේ මොන උප්පරවැට්ටියක් දමා හෝ තමා ගොඩයාම ගැන නොව, තම ජනතාව වෙනුවෙන් පෙනී සිට ඔවුන් ආරක්ෂා කිරීම ගැනයි. අසීමිත බලතල එක්රැස් වී තිබෙන ලංකාවේ විධායක ජනපතිවරයෙකුට හිමි වන රාජ්‍ය ආරක්ෂාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. එවැනි ආරක්ෂාවක් ලැබී තිබියදීත් මහින්ද ‘කුරුම්බැට්ටියකට’ බයෙන් පොළොව හාරා රිංගා ගැනීමට තරම් බියගුල්ලෙක්ද? ඇතැම් අය තවමත් කොන්දේසිවිරහිතව වන්දනා කරන්නේ මෙවැනි බියගුලු විහිළුකාරයෙක්ද?

මහින්දගේ ”බංකර් ප්‍රකාශය”, ආත්මාර්ථකාමී බිංකුණ්ඩෙකුගේ ව්‍යාජ දේශප්‍රේමය පිළිබඳ කදිම ආත්ම ප්‍රකාශනයකි!

අශාන් වීරසිංහ | Ashan Weerasinghe