Image :Vikalpa

පසුගිය කාලයපුරාම අතුරුදහන් කළ සිය සමීපතමයින් සිහිකිරීම සදහා වැඩසටහනක් අද(27) රද්දොලුව අතුරුදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය ඉදිරියේ සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර‍ ශාලාවේ දී පැවැත්විනි. එම සිහිකිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනේ ‘අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව‘ විසින් වන අතර එයට උතුරු සහ නැගෙණහිර මෙන්ම දකුණේ දී අතුරුදහන් කළ වුවන්ගේ සමීපතමයින් විශාල පිරිසක් සහභාගී වී සිටියේ ය.

නමුත් එයට සහභාගී වීම සදහා ත්‍රිකුණාමල ප්‍රදේශයේ සිට අතුරුදහන් වූවන්ගේ සම්පතමයින් පැමිණි බස්රථයේ රියදුරුට ත්‍රිකුණාමලය පොලීසියෙන් යැයි පවසමින් ‘තමුසේ මොකටද දෙමළු එක්කගෙන කොළඹ යන්නේ, ආපුවහම බලමු‘ යැයි තර්ජනාත්මක ස්වරෑපයෙන් පවසා ඇත.

එසේම එම පිරිස සමග පැමිණි මවක්ට, පොලිසීයෙන් යැයි පවසමින් දුරකතනයෙන් කතා කොට, ‘නැවත ත්‍රිකුණාමයට ආ විගස පොලීසියට පැමිණෙන්නැයි‘ පවසා තිබේ.

IMAG2065

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය පුරාම අතුරුදහන් කළා පමණක් නොව ඔවුන් සොයා යන සියලු දෙනාට තර්ජනය කලේ, බිය ගැන්වූයේ එලිපටමය. මෙවැනි සැමරුම් සදහා යාපනයෙන්, මන්නාරමෙන්, මඩකලපුවෙන් වැනි උතුරු, නැගෙණහිර එම කණ්ඩායම්වල මිනිසුන් කොළඹට පැමිණේන බොහෝ අවස්ථාවල, ඔවුන් පැමිණෙන බස්රථ හිමිකරුට, රියදුරුට තර්ජනය කරමින් එය වලක්වනු ලැබූවේය. එපමණක් ද නොව එසේ පැමිණි බස් රථ මගදී ආපසු හරවා යවන ලද්දේ නිළ ඇදුම් ඇදගත් පොලිස් නිළධාරීන් විසිනි. තවද අතුරුදහන් වූවන්ගේ නිවෙස් වලට බුද්ධි අංශ යැයි පවසමින් ගොස් තර්ජනය කල අවස්ථාද, ඔවුන් පසු පස ලුහුබැදීම්ද අනේකවාරයක් සිදුවුනි.

නමුත් ඒ රාජපක්ෂගේ මුග්ධ පාලනය මිනිසුන් විසින් වෙනස් කරන ලද්දේ දහසක් බලාපොරොත්තු තබාගෙනය. නමුත් අද දවසේත් විශේෂයෙන් ‘යහපාලනය‘ ආණ්ඩු සමයේත් තත්ත්වය එසේම සිදුවෙනවා නම් අසන්නට ඇත්තේ ‘යහපාලනය තුළත් දෙමළ මිනිසාට කොළඹ තහණම්ද?‘ යනුවෙනි.

එපමණක් ද නොව මෙම අද පවත්වන ලද සමරු වැඩසටහනේ රද්දොලුගම පැවති වැඩසටහනට ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සහභාගී වූ අතර කොළඹ පැවති වැඩසටහනට විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා සහභාගී වීමට නියමිත ව තිබුණත් ‘අසනීප‘ තත්ත්වයක් හේතුවෙන් ඇමතිවරයා එයට සහභාගී නොවුනු අතර, ඒ වෙනුවට එයට සහභාගී වි සිටියේ ඇමතිවරයාගේ ‘පෞද්ගලික‘ ලේඛම්වරියයි.

IMAG2058

මෙසේ ආණ්ඩුවේ ඇමතිවරුන් සහභාගි වන වැඩසටහනකට පවා දෙමළ මිනිසුන් සහභාගී වීම ලංකාවේ පොලීසියට තවමත් ප්‍ර‍ශ්ණයක් වන්නේ කෙසේද? එක්කෝ පොලීසිය තවමත් රාජපක්ෂලාගේ ය. එසේත් නැතිනම් ජනවාරි 8දායින් පසු තත්ත්වය ‘වෙනස්‘ උනත් දැන් ‘ආපසු‘ හැරෙන බවට සංඥාවක්ද යැයි අතුරුදහන් කළ වූවන් සොයා යන ඒ අම්මාවරුන්ට, පියවරුන්ට සහ සහෝදර සහෝදරියන්ට සිතෙනු ඇති. නමුත් ‘යහපාලන‘ ආණ්ඩුව පත් කිරීම සදහා ඔවුන් සෘජුවම දායක වූයේ මෙවැනි අත්දැකීම් නැවත නැවත අත්විදින්නට නොවන බව නව පාලනය සිහිතබාගත යුතුය. එසේ නොවුන හොත් අතීතය අාපසු මුණගැසීමට වැඩිකල් ගතවන්නේ ද නැත.

මේ පිළිබදව අදහස් දැක්වූ අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති, බ්‍රිටෝ ප්‍ර‍නාන්දු මහතා පවසා සිටියේ ‘යම් යහපත් වෙනස්කම් තිබුණත් මෙවැනි ක්‍රියා සිදුවීම ඉතා බරපතල තත්ත්වයක් බවත්, තවමත් කොළඹට පැමිණිම දෙමුලුන්ට තහනම් වන්නේ කොහොමද‘ යනුවෙන් ඔහු ප්‍ර‍ශ්ණ කර සිටියේ ය.