පැරිසියෙහි සමාන්‍ය ජනයා මතට එල්ල කරන ලද ඉස්ලාමීය අන්තවාදි ප්‍රහාරය ගැන ලොවපුරා ශෝඛවන අතරවාරයෙහි ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ඇමැතිවරයකු උඩ පනිමින් ඒ ගැන සතුට වන බව ජනමාධ්‍ය වාර්තා අනුව පෙනි යයි.

බදුල්ල ඇල්ල ප්‍රදේශයේ පැවැති රුස්වීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයා වන ඇමැති සිරිපාල කර ඇති කතාවක දළ අදහස මෙසේ ය:

‘‘ප්‍රංශය අපට යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උගන්වන්න ආව. ඔවුන් අපට කිව්වා ලංකාවේ ත්‍රස්තවාදය තියෙන්නේ සහජීවයනයක් නැති නිසාත් සුලුතර ජනයාගේ ප්‍රශ්ණ නොවිසදන නිසාත්ය කියා. මං දැන් ප්‍රංශයෙන් අහන්න කැමැතියි පැරිසියේ මිනිස්සු 150 මරාදාපු ප්‍රහාරයත් සිදු වුනේ යහ පාලනයක් නැති නිසා ද කියළා? ”

‘‘ප්‍රංශයට, එංගලන්තයට සහ ඇමෙරිකාවට ත්‍රස්තවාදය පරද්දන්න බැහැ. ඔවුන් මල් තියා ලංකාවට වදින්න ඕනෑ. අපෙන් ඉගෙන ගන්න කියන්න”

මෙරට ඇති වු ත්‍රස්තවාදය සහ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය අතර වෙනස තේරුම් ගැනීමට බැරි මේ මෝඩ ඇමැතියා සමස්ත ශ්‍රී ලංකාවටම අපහාසයකි.
දේශපාලනයේ දී සිංහල – බෞද්ධකම විකුණාගෙන කන සිරිපාල වැනි රාජපක්ෂවාදී දේශපාලනඥයින්ගේ කුඩු හමට යටින් ඇත්තේ ග්‍රෝත්‍රික පළිගැනීමේ ආසාව බව මෙම ප්‍රකාශයෙන් පෙනේ. ඔහුගේ ප්‍රකාශය පැරිස්හිදී මිය ගිය ජනයාට කරන ලද අවමානයකි. ඔහු මෙම ප්‍රකාශය කරන්නට ඇත්තේ වේදිකාව උඩ උඩ පනිමින් හරිම සතුටකින් විය යුතු ය.

ශ්‍රි ලංකාවේ දෙමළ අරගලය ගොඩ නැගුනේ 1956, 1965, 1977 සහ 1987 දී පොරෙන්දු වූ පරිදි දෙමළ ජනයාගේ ප්‍රශ්ණ වලට දේශපාලන විසදුමක් දීමට අසමත් වූ නිසා බව සිරිපාලගේ වත්මන් නායකයා වන ජනාධිපති සිරිසේන පවා පිළිගන්නා කරුණකි. එය පිළිනොගත්තේ සිරිපාලගේ හිටපු නායකයා වූ රාජපක්ෂ පමණ ය. සිරිපාලගේ මේ ප්‍රකාශයෙන් පෙනේන්නේ ඔහු තවමත් යන්නේ රාජපක්ෂ පිටුපස බවයි.

දෙමළ අරගලයේ ඉල්ලීම වූයේ තමන් තමන් විසින්ම පාලනය කර ගන්නා දේශපාලන ක්‍රමයකි.

අද ඉස්ලාමීය අන්තවාදීන් ලොව පුරා තිරශ්චීන ප්‍රහාරයන් එල්ල කරන්නේ ලෝකයේ පැවැතිය යුතු එකම ආගම සහ ඇදහිල්ල අන්තවාදී ඉස්ලාමය විය යුතුය යන මතවාදය උඩ ය. පැරිසියේ සාමාන්‍ය ජනයා මත එල්ල වූ ප්‍රහාරය එවැනි ප්‍රහාර මාලාවක එකක් පමණි.

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය පැන නැග ඇත්තේ මැද පෙරදිග නොවිසදුණූ දේශපාලන ප්‍රශ්ණ ගණනාවක් ද පාදක කර ගෙන ය. මෙකී ඉස්ලාමීය අන්තවාදයට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නයාට අඳුකොළ වැනි ය. මන්ද යත් ඉස්ලාමීය අන්තවාදයේ පාලන ක්‍රමය සහමුලින්ම ත්‍රස්තවාදී අඥාදායක එකක් වන නිසා ය.

එසේ තිබියදීත් බටහිර රටවල ඉපදී හැදී වැඩුනු මුස්ලිම් තරුණයින් ඉස්ලාමීය ත්‍රස්තවාදය කරා ඇදී යන්නේ මෙම රටවල පවත්නා විශම සැළකීම නිසා බවට පුලුල් සාකච්ජාවක් අද ගොඩ නැගී තිබේ.

මෙයට වසරකට පෙර මෙම ත්‍රස්තවාදී කල්ලියම විසින් පැරිස් නුවර චාලි හබ්දෝ පුවත් පතට ප්‍රහාරයක් එල්ල කර ජනමාධ්‍යවේදීන් ඇතුලු 18 දෙනෙකු මරා දැමීමෙන් පසු එරට ඇති වූ සාකච්ජාවෙහි එවැනි හරයක් තිබුණි.

ශ්‍රි ලංකාවේ දෙමළ අරගලය සාකච්ජා මාර්ගයෙන් විසදීම පිණිස සාකච්ජා කිරීමට මහින්ද රාජපක්ෂගේ නියෝජිතියා ලෙස ස්විස්ටර්ලන්තයට පැමිණයේත් මේ නිමල් සිරිපාලම නේද? ශ්‍රී ලංකාවේ දෙමළ අරගලයට දේශපාලන හේතුවක් නොවී නම් නිමල් සිරිපාල සකච්ජා කිරීම සඳහා ස්විස්ටලන්තයට ආවේ චොකලට් කන්න ද?

ඊටත් වඩා ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල පර්ච්ජේදයෙහි විශාල වශයෙන් අතුරුදහන්වීම් ද යුද අපරාධ ද සිදුව ඇති බවට සිරිපාලගේ නායකයා වන රාජපක්ෂ විසින් ම පත් කරන ලද කොමිසන් සභා දෙකකින් ම පිළිගෙන තිබිය දී ලෝකය යුද්ධ කරන හැටි ශ්‍රී ලංකාවෙන් ඉගෙන යත යුතු යැයි මේ ඇමැතියා කියන්නේ ඔල්මාදයෙන් ද?

ශ්‍රී ලංකාව යුද්ධ කරන හැටි 1988 – 1990 දකුනේ සිංහල ජනයා ද 2006 – 2009 කාලයේ උතුරෙහි දෙමළ ජනයා ද දනිති. ශ්‍රී ලංකාවෙන් යුද්ධ කරන හැටි නොව යුද්ධ නොකළ යුතු සැටි ඉගෙන ගත යුතු බව දැන් ලෝකයා දනී. පිට පිටම හතර වතාවක් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ද යෝජනා වලින් කියැවුනේ එයයි.

පැරස් නගරයේ ජනයා ජීවිතය විදින සුන්දර සිකුරාදා සැන්දෑවකදී ම්ලේච්ජ ප්‍රහායකින් මිනිසුන් 150 දෙනෙකු ඝාතනය කොට තවත් 350ක් තුවාල කොට තිබිය දී මෙවැනි ඔලොගු කතාවක් කියන ඇමැතියකුගේ මනස කොතරම් විකෘති වී තිබිය යුතු ද?

පැරිස් නගරයේ සිදුවූ මිනිස් ජනඝාතන සම්බන්ධයෙන් මෙළෙස සිරිපාල සතුටු වන අන්දමින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය විසින් විනාශ කරන ලද මිනිස් වටිනාකම් සමාජයේ ඉහළම යැයි කියා ගන්නා ඇමැතියන් අතර ද තිබෙන හැටි ය‍.

මෙවැනි ඇමැතියන් සමඟ යා හැක්කේ යහ පාලනයට නොව යම පාලනයට යන කියමන මෙවැනි ප්‍රකාශ මගින් සනාථ කරයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya