වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කෙරුනු උපවාසය තවමත් නිමාවී නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කරන ලෙසය. රැදවියන්ගේ එම ඉල්ලීමට සහයෝගය දක්වමින් පසුගිය දා උතුරු නැගෙණහිර හර්තාල් ව්‍යාපාරයක් ද පැවැත් විය. නමුත් ආණ්ඩුව තවමත් ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍ර‍කාශ කර නැති තත්ත්වයක් තුළ උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී. විග්නේශ්වරන් මහතා ප්‍ර‍කාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ‘උපවාසයේ යෙදී සිටිනන එක දේශපාලන රැදවියෙක්වත් මියගියොත් එහි වගකීම රජය භාර ගත යුතුයි‘ යනුවෙනි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව තුළින් රජය කෙරෙහි දැඩි අපකීර්තියක් ඇතිවිය හැකි බව ද, පසුගියදා පැවැති සාකච්ඡාවේදී දෙමළ දේශපාලන රැදවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කවුද ඇත්ත කියන්නේ

මේ අතර දැනට උපවාසයේ නියුතු රැදවියන 20 දෙනෙක් පමණ රෝහල් ගත කර ඇති බවට මනෝ ගණේෂන්. ජාතික සංවාද අමාත්‍යවරයා පවසන අතර, ඉන් 10දෙනෙක්ගේ තත්ත්වය බරපතල බව ඔහු පවසයි.

නමුත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා උපුටා දක්වමින් අදදෙරණ වෙබ් අඩවිය සඳහන් කළේ උපවාසයේ නිරත කිසිදු රැඳවියෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවන බවයි.

කෙසේ නමුත් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මුල සිටම අපහැදිලි සහ ව්‍යාජ තත්ත්වයක තිබූ බව රහසක් නොවේ. නමුත් උපවාසයේ යෙදී සිටින රැදවියන්ට කිසියම් අනතුරක් වුවහොත් එය ලංකාවේ සිදුකරන්නට නියමිත යැයි පැවසෙන ‘සංහිදියා‘ ක්‍රියාවලියට සේම ලංකාවේ දේශපාලන තත්ත්වයට අසුභ ලකුණක් වනු ඇත. එය යහපාලනයට තවමත් නොදැනීම එහි ඛේදජනක බාවය තවත් ඉහළ දමමින් ඇත.