සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුල පිහිටා ඇති අතර කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ වැසිවනාන්තරය බැකො යන්ත්‍ර යොදා එලිපෙහෙලි කිරීම නිසා මෙම සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතී. ඊට අමතරව මෙම ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය සඳහා කුඩව සහ කොස්ගුලන අතර සිංහරාජ ප්‍රේරක කලාපයට අයත් කුඩා ගුරුපාරක් භාවිතා කර තිබේ. මේ නිසා ගුරුපාරට යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසිවනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගනනාවකට බරපතල හානි සිදුවී ඇති අතර සිංහරාජයට යාබද එහි ප්‍රෙරක කලාපයේ පිහිටි මෙම වැසිවනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතී.

යුනෙස්කෝ ලෝක උරුම වැසිවනාන්තරයක් වන සිංහරාජයේ ප්‍රධාන පිවිසුම් ස්ථානයට සමීපව කෙරෙන මෙම වන විනාශය පිලිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගැනීම ඉමහත් ගැටලුවකි. මධ්‍යම පරිසර අධිකාරිය මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් හා මහජන අදහස් විමසීමක් කර නැත. ලෝක උරුම වැසිවනාන්තරයක් තුල පරිසර නීති අමු අමුවේ උල්ලංගනය කර මෙවැනි විනාශකාරී ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ දීම අදාල බලධාරීන්ගේ අසමත්කම මනාව පැහැදිලි කරයි. මෙම විනාශකාරී ක්‍රියාවලියට ඉඩ දීම නිසා සිංහරාජය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමටද බොහෝ සෙයින් ඉඩ තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලෝක උරුම වැසිවනාන්තරයක් තුල වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හා ජාතික පරිසර පනත උල්ලංගනය කරමින් කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමට අනුබල දී ඇති දෙවැනි වතාව මෙය වේ. මීට ප්‍රතම ශ්‍රීපාද අඩවිය තුල “ඇලි හත” කුඩා ජලවිදුලි බලාගාරයක් මහජනතාව හා පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා ඉදිකිරීමට අනුබලදී එම ලෝක උරුම වැසිවනාන්තරයටද බරපතල හානියක් සිදු කරන ලදි. මෙම කුඩා ජලවිදුලි බලාගාර වලින් ලැබෙන ඉතා සුළු මෙගාවොට් දෙකට අඩු විදුලිය වෙනුවෙන් ශ්‍රීලංකාවේ රැකගතයුතු ජල පෝශක ප්‍රදේශවල පිහිටි දිය ඇලි හා ගංගා විනාශ කිරීම ජාතික අපරාධයකි.

මෙම ව්‍යාපාරය පරිසර ප්‍රේරක කලාප තුල ඉදිකිරීම් පිලිබඳ නීති උල්ලංගනය කිරීමට අමතරව ගංගා ප්‍රේරක කලාප තුල ඉදිකිරීම් හා සම්බන්ධ නීති රීති කඩ කිරීමක්ද ඊට අමතරව ලෝක උරුම වනාන්තරයක් විනාශ කිරීමක් ද වන බැවින් මධ්‍යම පරිසර අධිකාරිය, යුනෙස්කෝ සංවිධානය, වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, පරිසර ඇමති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු සියලු බලධාරීන්ගෙන් අප මේ සිදුවන විනාශය සියලු බලය යොදා වහාම නවත්වන යැයි වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ඉල්ලා සිටියි.

රාජපක්ෂ පාලනයේ වනාන්තර විනාශයේ දිගුවද?

ලෝකයේම විශේෂ පරිසර පද්ධතියක් වූ සිංහරාජය විනාශ කරමින් එහි ජෛව පද්ධතීන් අනතුරට ලක්කරමින් රාජපක්ෂ පාලන කාලය තුළ ද සිංහරාජය මැදින් මාර්ගයක් ඉදි කරමින් ඊනියා සංචාරක සේවයන් ව්‍යාප්ත කිරීම සදහා වනාන්තර ය කුට්ටි බවට පත්කරමින් සිදුකල සංවර්ධන කටයුතු යම් පමණකට හෝ නවතා දමන්නට රාජපක්ෂ පාලනයට සිදු වූයේ පරිසරවේදීන් සහ පුරවැසියන්ගේ මැදිහත් වීම තුළිනි. එසේම සිංහරාජය පමණක් නොව ලංකාවේ බොහෝමයක් වනාන්තරවලට රාජපක්ෂ පාලනය කාලය තුල තරම් විනාශයක් අත් කරන ලද පාලන කාලයක් මෑත ඉතිහාසයේ නැත. නමුත් ඒ පාලනය පෙරළා දමා ‘යහපාලනය‘ යැයි කියනු ලබන නවපාලනය පුරවැසියන් විසින් පත්කරගන්නා ලද්දේ රාජපක්ෂ පාලනයේ සිදුකල විනාශයන් නැවත වරක් සිදුවනු දැකීමට නොවේ. එපමණක් ද නොවේ, වත්මන් ජනාධිපතිවරයා නොයෙක්වර ප්‍ර‍කාශ කරන ලද්දේ ‘දිවි දෙවනිකොට පරිසරය ආරක්ෂා කරන බවය‘. නමුත් මේ වන විට සිදුවෙමින් පවත්නා විනාශය දිවි දෙවෙනි කොට පරිසරය සුරකිනවා යැයි කියන ජනාධිපතිවරයාට නොපෙනෙන්නේ රාජපක්ෂ පාලන කාලය තුළ ද විනාශය සිදුවන විට ‘නොදැක්කා සේ සිටි‘ පළපුරුද්ද නිසා දැයි අසන්නට සිදුවන්නේ ය.

මහත්වරැනි විනාශයේ ඡායාරෑප මෙන්න

01

02

03

04