හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ.

හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නිමින් හැදින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු කිසිවක් නිරෝගී ළකුණු පෙන්වා නැත. ඇත්තටම නම සමහරක් දලු කේඩැරී වී ගොසිනි. සමහරක් දලු මැස්සන් විසින් උරා බී විනාශ කර තිබේ. එහි මුල් කා දමන බඩ තඩි ඌරු මීයන්ගෙන් ද අඩුවක් නැත.

පසුගිය සති කිහිපය තුළ අසන්නට ලැබෙන සත්‍යග අර්ධ සත්‍ය සහ සම්පූර්ණ අසත්‍ය යන ප්‍රවෘත්ති මගින් පෙන්නුම් කරන එක් සත්‍යයක් ඇත.
ජනාධිපති සිරිසේන පාර්ශවය සහ අගමැති වික්‍රමසිංහ පාර්ශවය අතර උග්‍රවන සීතල යුද්ධයක් දියත්ව තිබේ. කසකරුවන් වන පාර්ශවීය ජනමාධ්‍ය මෙන්ම සෙන්පතියන් වන මැති ඇමැති පිරිස් ද යුද පිටිය අරක්ගෙන තිබේ. මේ අතර රජතුමාගේ ශ්‍රී දේහයෙහි වසන මැස්සන් එලවීමට දිලිසෙන කඩුපහර එල්ල කරන ජනප්‍රවාද ගත වදුරෝ ද සිටිති.

අනෙත් අතට ලෙහෙසියෙන් විසදිය හැකි දේශපාලන ප්‍රශ්ණ පොරවෙන් හෝ කපා බිම හෙළිය නොහැකි වන තෙක් අනා ගන්නා ලකුණුද තිබේ.
යුද සමයේවත් නොවීවිරූ පරිදි ආණ්ඩුවට විරුද්ධව උතුරු නැගෙනහිර දෙමළ පෙදෙස් සහමුලින් ම ආවරණය වූ හර්තාලයක් දියත් වීම කරා වර්ධනය වූ දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය ඉන් එකකි. ඊට හේතුව වූයේ දෙමළ ප්‍රජාවට ඉතා සංවේදී ප්‍රශ්ණයක් වන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම දිගින් දිගටම පමා කිරීමයි. මෛත්‍රී – රනිල් ආණ්ඩුවට එල්ල වූ විශාලතම ජනතා විරෝධය එය විය.

දෙමළ ජනයාගේ දැවෙන ප්‍රශ්ණ විසදීමට ආණ්ඩුව දක්වන මැලිකම නිසා දැන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ගෙන ඒමට තීරණාත්මකව දායක වූ දෙමළ සන්ධානය ද දැන් මහජන අප්‍රසාදයේ එළිපත්ත කරා ඇදී යමින් තිබේ. චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් පිහිටුවන ලදැයි කියන ප්‍රතිසංධාන ලේකම් කාර්යාලය මර නින්දේ ය. දෙමළ ජනයාගෙන් බලයෙන් අල්ලා ගන්නා ලද ඉඩම් ආපසු ලබා දීම ඉක්මන් කිරීමට හෝ උතුරු නැගෙනහිර සිවිල් පාලනය සම්පුර්ණ කිරීමට හෝ ආණ්ඩුව අසමත් වී තිබේ.

එවැනි අසමත්බාවයන් මැද පසුගිය 25 දින වාර්තා වූවේ ජනාධිපති සිරිසේන විසින් ඌව, මධ්‍යම, හා වයඹ යන පළාත් සදහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් සහ පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති නිලධාරියෙකු පත්කර ඇති බවකි.

රටේ සංවර්ධනය බාර මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙන්ම පළාත් සභා ඇමැතිවරුද සිටිති. එසේ තිබියදීත් ජනාධිපති සිරිසේනගේ අධ්‍යක්ෂකවරුන් සහ පොළොන්නරුවට විශේෂ නිලධාරියකු පත් කිරිමට හේතු මොනවාදැයි දැන ගැනීමට මෙරට මහා ජනයාට අයිතියක් තිබේ. මෙම පත්කිරීම් කරන ලද්දේ කුමන වාර්තාවක කුමන නිර්දේශයක් මත කුමන නිශ්චිත කාර්යන් සදහා දැයි ජනාධිපති සිරිසේන යහ පාලනයේ නාමයෙන් මෙරට මහා ජනයාට පැහැදිළි කළ යුතු නැත් ද?

මෙසේ ජනාධිපතිගේ අධ්‍යක්ෂකවරුන් පත්කර ඇති පළාත් තුනම එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ඒවා වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය දිනා ගන්නා ලද්දේ ද එජාපය විසිනි. මෙළෙස පත් කර ඇති සියල්ලන්ම දේශපාලනඥයින් ය.

ආණ්ඩුවේ මංගල අයවැය වාර්තාව හිල් කූඩයකින් වතුර ඇදීමක් වැනි යැයි පෙනෙන්නට තිබේ. ඇමැති කරුණානායකගේ අය වැය කතාව අගමැති ඇතුලු මැති ඇමැතිවරුනට කෙටි නින්දකට වාසනාව පෑදූ හැටි පෙන්වන ජායාරූප සමාජ ජාලයන්හි වැසි වැස තිබේ. අයවැය වාර්තාවේ බස අජූත යැයි ලිවේ ජේෂ්ඨ මාධ්‍යවේදිනියකි.

දේශපාලන සුලිසුලං බවට පත් විය හැකි මෙවැනි වර්ධනයන් දැන් දෛනික සිදුවීම් බවට පත්ව තිබේ.

මෙම තත්වය තුළ ජාතිවාදී දේශපාලනයක් තුලින් බලය ගොඩ නඟා ගැනීමට තැත් කරන රාජපක්ෂ කල්ලිය අලුගසා දමා නැගිටිමින් සිටී. නාගදීප – නයිනතිව් නම පිළිබද ඇතිව තිබෙන විවාදයේ දී උතුරු නැගෙනහිරින් බැහැර සියලු දෙමළ ග්‍රාම නාම මකා දමන බවට විරවංශගේ සිවුරු බලකාය තර්ජනය කළේ ය. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි යැයි ජී.එල්. පිරිස් කියා සිටියේ ය. 27 දිනට යෙදෙන දෙමළ මහවිරු දිනයේ දී එල්ටීටීඊ කොඩිය එසවීමට ඉඩ නොතබන්නැයි රාජපක්ෂ පොලීසියට අවවාදාත්මක ලෙස කියා සිටියේ ය.

බලයෙන් පහවීමෙන් පසු රාජපක්ෂ විසින් මේතාක් කරනලද සියලු දේශපාලන මැදිහත්වීමෙන් පදනම් වි ඇත්තේ යුදවාදය සහ ජාතිවාදය මත ය. තමනට බලය ගොඩ නඟා ගැත හැකි එකම ක්‍රමය එය බව රාජපක්ෂ දනී. ශ්‍රී ලංකාවේ අනාගතය සුන්නත් දූවිලි වුවත් ඔහුට ප්‍රශ්ණයක් නොවේ. නමුත් අපට එය ප්‍රශ්ණයකි.

ත්‍රීරෝද රථ පක්ෂ ගණනාවක සහ රාජපක්ෂවාදී ශ්‍රීලනිප පිරිස්හි හවුල දැන් ‘ ඒකාබද්ධ විපක්ෂය’ යන රාජපක්ෂ විරෝධී පුලුල් සන්ධානයේ නාමය පවා කොල්ලකාගෙන සිටිති. මේ තත්වයට මඟපාදන්නේ මෛත්‍රී – රනිල් ආණ්ඩුව කුනාටු සයුරක යෙදී සිටින රැවලක් නැති නෞකා ගමන නිසා ය.

මෙම කලුවළාවෙහි පෑයූ රිදී රේඛාව වූයේ අපවත් වු මාදුළුවාවේ හිමියනගේ ආදාහනෝත්සවය යි. දෛවෝපගත පරිදි ජීවත් වූ මාදුළුවාවේ හිමිට වඩා අපවත් වූ මාදුළුවාවේ හිමි බලවත් විය. රාජපක්ෂ රිජිමය පරදා වත්මන් අණ්ඩුව බලයට පත්වීමට ශ්‍රී ලංකාවේ මාදුළුවාවේ හිමි ප්‍රමුඛ සිවිල් සමාජය විසින් කරන ලද කාර්ය භාරය අනුපමේය වූ බව ජනපති අගමැති දෙපොලම පිළිගත්තේ ය.

එම ආදාහනෝත්සවයේදී බොහෝ සිවිල් සමාජ සංවිධාන කියා සිටියේ මාදුළුවාවේ හිමි ප්‍රමුඛ ශ්‍රී ලාංකික සිවිල් සමාජ සංවිධාන විසින් ජනවාරි විප්ලවයට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගීම අත්‍යවශ්‍ය බවයි.

ආදාහනෝත්සවයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මාදුළුවාවේ හිමි දෙණ අභියස සපථ කිරීමෙන්ද නොපමාව ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් ද ජනාධිපති සිරිසේන මුලික සිවිල් සමාජ ඉල්ලීමක් පිළිගත්තේ ය.

ජනාධිපති සිරිසේනගේ ප්‍රථම ධුරකාලය වන වසර හය අවසානයේ දී මෙරට විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි විය යුතු බවට දැන් අමාත්‍ය මණ්ඩල පිළිගැනීමක් තිබේ. එය ජනවාරි විප්ලවයේ නියත ජයකි.

එනමුත් එය නීතිමය වටිනාකමක් ලබා ගනු ඇත්තේ නිශ්චිත ව්‍යවස්ථා සංසෝධනයකින් පසු පමණය.ඒ සඳහා එජාපය සහ ශ්‍රීලනිපය අතර සම්මුති බද්ධ ප්‍රවිශ්ඨයක් අවශ්‍ය ය. එම සම්මුති බද්ධ ප්‍රවිශ්ඨය අඩුම වශයෙන් පහත සඳහන් කරුණු මත පදනම විය යුතු ය‍.

යහ පාලනය සහ සමාජ සාධාරණත්වය, වාර්ගික ගැටළුවට නිසි දේශපාලන විසදුමක් ලබා දීම, දූෂණ වංචා විමර්ශන දේශපාලන අත පෙවීමකකින් තොරව නීතියේ පාලනය යටතේ සිදු කිරීම සහ තරා තිරම නොබලා වරදකරුවන්ට දඩුවම් දීම, යුද සමයේ සිදු වූ බවට චෝදනා කැරෙන දරුණු ගණයේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් නිසි වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම.

ශ්‍රී ලාංකික සිවිල් සමාජය එවැනි නව සමාජ සම්මුතියක් ගොඩ නඟා ගැනීම කරා ගමන් කරමින් එකී මූලික දේශපාලන ප්‍රතිසංස්කරන කරා මෛත්‍රී- රනිල් ආණ්ඩුව මෙහෙයවා ගැනීම එහි අභියෝගය ලෙස ගත යුතු ය. කෙටියන් අප වාද විවාදකළ යුත්තේ මෛත්‍රී- රනිල් ආන්ඩුවවෙහි රුවල බවට පත්විය හැක්කේ කෙසේද යන්න ය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya