ගිය සතියේ ඬේලි මිරර් පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් සහ සිවිල් සංවිධානත්, පොදුවේ ගත් විට, මෙවැනි සංකීර්ණ ප‍්‍රශ්න අරභයා වන ගූඪ සදාචාරාත්මක අධිපතිවාදී ආස්ථානය ඉක්මවා යමින් ප‍්‍රායෝගික මාර්ග කෙරෙහි යොමු වීම, සමාජයක් මුහුකුරා යාමේ ලක්ෂණයකි.

එය, මෑත අතීතයට ප‍්‍රතිපක්ෂව ගත් විට, සතුට දනවන වෙනසකි. මීට දශක එක හමාරකට පමණ පෙර එක්තරා ඉංග‍්‍රීසි පුවත් පතක ලිපියක් පළ විය. එම ලියුම්කරු කියා තිබුණේ, ලෙස්බියනීය කාන්තාවන් (සමලිංගික සේවනයේ යෙදෙන කාන්තාවන්) පෙළෙන එම සමලිංගික ‘රෝගයෙන්’ ඔවුන්ව ගලවා ගැනීම සඳහා, එවකට ස්ත‍්‍රී දූෂණයට වැරදිකරුවන්ව හිරගෙදර සිටි සිරකරුවන් ලවා එම කාන්තාවන්ව දූෂණය කැරැවිය යුතු බවයි. මෙවැනි ලිපියක් පළ කිරීම අප තුළ අද දනවන්නේ මහත් කම්පාවක් වුවද (එදා ද එසේම විය) අදාළ පුවත්පත එය පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කිරීම ප‍්‍රතික්ෂේප කෙළේය. එතැනින් ඒ කාරණය නැවතුණේ නැත. ඊට එරෙහිව පුවත්පත් මණ්ඩලය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කෙරුණු අවස්ථාවේ පුවත්පත් මණ්ඩලය ගත්තේත් පුවත්පතේ පැත්තයි. එනම්, කාන්තා සමලිංගිකත්වය අශීලාචාර සහ සමාජ-විරෝධී බවත්, එය සුව කළ යුතු රෝගයක් බවත් ය.

මෙවැනි සංවේදී, එහෙත් සංකීර්ණ කාරණා පිළිබඳ මහජන කතිකාව ඉස්මත්තේ දශක ගණනාවක් සිටියේ, සුචරිතවාදීන්, ආධානග‍්‍රාහීන් සහ ආගමික නායකයන් ය. සංකීර්ණ සමාජ ගැටළු දෙස ආගමික සහ සුචරිතවාදී ද්වි-විධ දෘෂ්ටි කෝණයෙන් බැලීමෙන් සිදුවන්නේ සුගතියට වඩා අගතියකි. ඒ ප‍්‍රශ්නය තවත් ව්‍යාකූල කිරීමට මෙන්, අපේ කලාපයේ අළුතෙන් නිදහස දිනා ගත් රටවල්වලට යල්පීනූ වික්ටෝරියානු නීතිරීති පද්ධතියකුත් ලැබුණේය. අපේ නිදහස දිනා ගත් දේශපාලනික නායකත්වයට ඒ අවදියේ ඒ කඨෝර නීතිවලින් නිදහස් වීමට තරම් දේශපාලනික අධිෂ්ඨානයක් සහ ධෛර්යක් තිබුණේ නැත. උදාහරණයක් වශයෙන්, නන්නත්තාර භාවය සහ වෛශ්‍යා මඩම් පනත යටතේ ගණිකා වෘත්තිය අපරාධයක් සේ සැළකීම ගත හැකිය. සමලිංගිකත්වය අපරාධයක් සේ සැළකීම තවත් උදාහරණයකි.

ඒ ගූඪ නීතිවලින් සිදුව ඇත්තේ යහපතකට වඩා අයහපතකි. උදාහරණයක් වශයෙන් ගණිකා වෘත්තිය අපරාධයක් සේ සැළකීම නිසා පාරේ ඇඟ විකුණන කාන්තාවන්, කප්පම් ගන්නා සහ ලිංගික අල්ලස් ගන්නා දූෂිත පොලිස් නිලධාරීන්ගේ ගොදුරු බවට පත්කොට තිබේ. ඒ අතර පිම්පියන්ගේ ගොදුරක් බවටද ඔවුහු පත්වෙති. ඇයට ආරක්ෂාව සැපයීමට හෝ යම් පළාතක සිය වෘත්තිය කරගෙන යෑමට මේ පිම්පියන්ට ගෙවීම් කළ යුතුව තිබේ. මේ ආකාරයෙන් ගැහැනුන්ගේ ආරක්ෂාව සඳහා පැනවූ නීතියක් නිසා ගැහැනුන්ගේ අනාරක්ෂාවක් බිහි කොට ඇත.

ඊළඟට, පාතාල කල්ලි මෙවැනි අනීතික ක‍්‍රියාවන්හි නියැලෙන ගැහැනුන්ව සිය ගොදුරු බවට පත්කර ගනී. කොළඹ බොහෝ ගණිකා මඩම් පවත්වාගෙන යන්නේ සංවිධානගත කල්ලි සහ මදාවියන් විසිනි. බොහෝ විට මේ ගණිකා මඩම් හිමියන් සහ පොලීසිය අතර සම්බන්ධතා ගොඩනැගේ. ඒ අනුව, කඩා පැනීම් නොකර සිටීම සඳහා මාස් පතා ඔවුන්ගෙන් කප්පම් ගන්නා පොලීසි තිබේ.

මේ ආකාරයෙන් පාතාල කල්ලි සහ මදාවියන් විසින් බලය හොබවන විට ගණිකා වෘත්තියේ යෙදෙන ගැහැනුන්ගේ ආරක්ෂාව සහතික වන්නේ නැත. එම තත්වය තුළ අපහරණය සහ ලිංගික ජාවාරම් රජ වෙයි. තමන් කරන රාජකාරිය නීති විරෝධී වීමත්, එම වෘත්තිය සමග ඈඳී ඇති අපකීර්තියත් නිසා නීතියේ පිළිසරණක් සෙවීමට පුලූවන් කමක් මේ ගැහැනුන්ට ලැබෙන්නේ නැත.

තෙවැනුව, මෙවැනි අඳුරු වටපිටාවක් තුළ එම වෘත්තියට යම් ප‍්‍රමිතියක් ඇති කර දීමට හෝ ලිංගික සේවිකාවන් සහ ඔවුන්ගේ සේවාලාභීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමටත් ඉඩක් ලැබෙන්නේ නැත. ලිංගික ආශ‍්‍රයෙන් ඇති වන රෝග මර්දනය කිරීම මේ තත්වය තුළ දුෂ්කර වෙයි. ලිංගික වෘත්තිය නීත්‍යානුකුල රටවල්වල ලිංගික සේවයේ යෙදෙන කාන්තාවන් මාසිකව සෞඛ්‍ය පරීක්ෂණවලට සහභාගී වීම අනිවාර්ය කෙරේ. ඒ අනුව, ඒඞ්ස් වැනි රෝග බොහෝ දුරට පාලනය කිරීමේ හැකියාව එම රටවලට ලැබේ.

සිව්වැනුව, මේ වෘත්තිය සමග ඈඳුණු නෛතික බාධකයන් සහ ඊට අදාළ සමාජ අපවාදය නිසා මෙවැනි කාන්තාවන්ට තමන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සඳහා සංවිධානය වීමේ හැකියාවක් ලැබෙන්නේද නැත. ඒ තත්වය තුළ ආණ්ඩුවේ සුභසාධන සේවාවන්ට සහ රාජ්‍ය නොවන සංවිධානවලට පවා මේ කාන්තාවන් වෙත සිය සේවා සැපයීමේ අවකාශයක් නොලැබේ. ලිංගික අධ්‍යාපනය, පවුල් ආධාර සහ එම වෘත්තිය අතහැරීමට කැමති කාන්තාවන්ට විකල්ප රැකියා ලබා දීමෙන් සහ මූල්‍යමය ආධාර සැපයීම වැනි සේවාවන් රාශියක් ආණ්ඩුවටත්, රාජ්‍ය නොවන සංවිධානවලටත් කළ හැකිව තිබේ.

අවසාන වශයෙන්. මෙතරම් නෛතික බාධක මැද්දේ පවා ලිංගික කර්මාන්තයේ යෙදීමෙන් ඔවුන් වළකින්නේ නැත. ඒ වෙනුවට එම නීතිවලින් කෙරෙන්නේ ඔවුන්ගේ තත්වය තවත් ප‍්‍රපාතයට ඇද දැමීමයි. නීතියෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම වෙනුවට නීතියේ බිල්ලක් බවට ඔවුන්ව පත්කර ගැනේ. අවම ගණනය කිරීම් අනුව පවා දැනට ලංකාවේ 50,000 ක් පමණ ගණිකාවෝ සිටිති. ඔවුන් කටයුතු කරන්නේ රහසින් නිසා නියම සංඛ්‍යාව සොයා ගැනීම පහසු නැත.

ගණිකා වෘත්තිය සාපරාධී වරදක් සේ ගැනෙන නීතිය වෙනුවෙන් පෙනී සිටින සුචරිතවාදීන් සමග, වෙනස් තර්කණයක් මත වුවත්, ස්ත‍්‍රීවාදීන්ද පෙළගැසීම අරුමයකි. ස්ත‍්‍රීවාදීන්ගේ තර්කය වන්නේ ගණිකා වෘත්තිය මාර්ගයෙන් ගැහැනුන්ව ‘සූරාකැවෙන’ බවයි. එහෙත් එම තර්කයේ කොස්සක් තිබේ. මන්ද යත්, බොහෝ ගණිකාවන් එම වෘත්තිය කරන්නේ ස්වේච්ඡාවෙන් වන බැවිනි. ඒ වෘත්තිය සමග ගැටගැසී ඇති ලාබ අලාබ කිරා බලා ඔවුන් විසින් එම වෘත්තිය තෝරාගෙන ඇති බව බොහෝ විට පෙනෙන්ට තිබේ. තම කැමැත්තට පටහැනිව එම වෘත්තියට තල්ලූ කරනු ලැබ සිටින අනිත් ගැහැනු සම්බන්ධයෙන් ගත් විට, වෛශ්‍යා වෘත්තිය නීතියෙන් තහනම් කොට ඇති තත්වය තුළ, එවැනි වින්දිත ගැහැනුන් සහ අපරාධකරුවන් වෙන්කොට හඳුනා ගැනීම දුෂ්කර කෙරේ. එහෙත් එම වෘත්තිය නීත්‍යානුකුල වන සමාජයක එවැනි ගැහැනුන් හඳුනා ගැනීම වඩාත් පහසු ය.

ගැහැනියගේ සිරුරේ අයිතිය ස්ත‍්‍රීවාදීන්ට ස්වකීය ඒකාධිකාරියක් වශයෙන් ගත හැකි නොවේ. ඒ ඒ ගැහැනියට ස්වකීය සිරුර තමන්ට අවශ්‍ය ආකාරයෙන් පාවිච්චියට ගත හැකිය. නීතියෙන් වැඩිහිටියෙකු සේ සැළකෙන ඕනෑම ගැහැනියකට හෝ පිරිමියෙකුට ස්වකීය කායික සුභසිද්ධිය ගැන වගකීම දැරිය හැකිය. එය, ආණ්ඩුවේ (හෝ ස්ත‍්‍රීවාදීන්ගේ) අයිතියක් නොවේ.

සුචරිතවාදීන්ට වෙනම තර්කයක් තිබේ. ඔවුන්ට අනුව, වෛශ්‍යා වෘත්තිය අශිලාචාර ය. එය සමාජ නපුරකි. පාපයකි. ඒ මගින් ගැහැනුන්ට සිදුවන හානිය ගැන ඔවුන් එකඟ වෙතත්, ඔවුන්ගේ කෝපය වැඩියත්ම යොමුවන්නේ, ඊට අදාළ සංස්කෘතික සහ සදාචාර පරිහානිය ගැනයි. කෙසේ වෙතත් මේ ගෝත‍්‍රය වේගයෙන් වියැකෙමින් තිබේ. වික්ටෝරියානු සුචරිතවාදී යුගයෙන් බොහෝ දුරක් ලෝකය ගමන් කොට ඇති බව පිළිගැනීමට ඔවුන්ගෙන් ඇතැමුන්ට තවමත් හැකි වී නැත.

වෛශ්‍යා වෘත්තිය ගැන විවිධ රටවල් විවිධ ආකාරයෙන් ප‍්‍රතික‍්‍රියා දක්වයි. ස්වීඩනය වැනි රටවල් දඩ ගසන්නේ ගණිකා සේවය ලබාගන්නා සේවාලාභීන්ට මිස ගණිකාවන්ට නොවේ. එසේ වෙතත්, ස්ටොක්හෝම් අගනුවර ගල් ගැහෙන සීතලේ පාරේ සිටගෙන සිටින ගැහැනුන් එයින් අධෛර්යට පත්කෙරෙන්නේ නැත. සිංගප්පූරුවේ ගණිකා වෘත්තිය නීති විරෝධී නැත. එහෙත් ගණිකා සේවය ලැබීම වරදකි. වසර කිහිපයකට පෙර, ලංකාවේ සංවිධානගත කල්ලියක් ගැහැනුන්ව සිංගප්පූරුවට ගෙන යන ජාවාරමක් ගැන පොලීසිය පරීක්ෂණ කෙළේය. තායිලන්තයේත් ගණිකා වෘත්තිය නීති විරෝධී නැතත්, ගණිකා සේවය ලබා ගැනීම නීති විරෝධී ය. ගණිකාවන් බහුලව ගැවසෙන ස්ථානවලට ගොස් ඔවුන්ව සෞඛ්‍ය පරීක්ෂණවලට සහභාගී කර ගැනීමට බලධාරීහූ කටයුතු කරති. 90 දශකය ආරම්භයේදී ඒඞ්ස් රෝගය බහුලව පැවති තායිලන්තය එවැනි පරීක්ෂණ හරහා ඒඞ්ස් රෝගී අනුපාතය අඩු කර ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකාවට මේ ජාත්‍යන්තර අත්දැකීම්වලින් පාඩමක් ගෙන අපේ වෛශ්‍යා වෘත්තිය නියාමනය කළ හැක. වර්තමාන නීති, අපේ ප‍්‍රශ්නයට පිළිතුරක් වෙනවා වෙනුවට තවත් ප‍්‍රශ්න ඇති කොට තිබේ. ගණිකා වෘත්තිය නීත්‍යානුකූල කිරීමත් සමග, ජාවාරම්කරුවන් සහ පිම්පියන්ට එරෙහි නීතිරීති ද ශක්තිමත් කළ යුතුව තිබේ. නිතිපතා කෙරෙන සෞඛ්‍ය පරීක්ෂණ සහ ගණිකාවන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කෙරෙන නීතිරීතිද ගෙනා යුතුය. එසේම, එම වෘත්තියෙන් නිදහස් වීමට කැමැති අයවළුන්ට ඒ සඳහා පහසුකම් සැළසිය යුතුව තිබේ.

අවසාන වශයෙන්, මේ වෘත්තිය නීතිගත කිරීමේ ආර්ථික තර්කණයක්ද තිබේ. මෙය දේශපාලනික නිරවද්‍යතාවට පටහැනි සේ පෙනී යා හැකි වෙතත්, නීත්‍යානුකූල වෛශ්‍යා වෘත්තිය හරහා ආදායම් බෙදී යාම වඩාත් සාධාරණ ආකාරයකින් සිදුවීමේ ඉඩක්ද තිබේ. බොහෝ ලිංගික සේවිකාවන් එම වෘත්තියේ යෙදෙන්නේ ආර්ථික අගහිඟකම් නිසා ය. එම අගහිඟකම් මගහැරුණු පසු ඔවුන්ට එම වෘත්තියට ආයුබෝවන් කීමට පුලූවන. එම වෘත්තිය නීතිගත කළොත් ඔවුන්ට යම් මුදලක් ඉතිරි කර ගැනීමටත්. වැඩි ආර්ථික නිදහසක් භුක්ති විඳිමටත් හැකි වනු ඇත.

රංග ජයසූරිය

*2015 නොවැම්බර් 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Many Good Reasons for Legalizing Prostitution in Sri Lanka නැමැති ලිපිෙයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

*