Image by: www.thefinancialexpress-bd.com

ලෝක දූෂණ විරෝධී දිනය අදට(09) යෙදී තිබේ. ඒ සම්බන්ධයෙන් ලෝකය පුරාත් ලංකාවේත් දූෂණය සහ වංචා අවම කිරීම පිළිබද විවිද වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘දූෂණ විරෝධී හඩ’ සංවිධාධනයේ වසන්ත සමරසිංහ මහතා පවසා සිටින්නේ දූෂණ වංචා අවම කිරීම සදහා ‘සාධාරණ‘ මැදිහත්වීමක් වත්මන් පාලනය විසින් සිදු නොකරන බවයි.

වසන්ත සමරසිංහ මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ ‘‘රාජ්‍ය සම්පත් අවභාවිතය, දූෂණ වංචා පිළිබදව ලෝකයේ රටවල් අතර ඉහළින්ම නම කියැවෙන රටක් බවට ලංකාව මේ වන විට පත්ව තිබේ.

මේ තත්ත්වය සදහා පසුගිය වකවානුව පුරා රටේ පාලන වගකීම ඉටුකළ පාලකයින් ඊට වගකිව යුතු වේ. ඊට හේතුව බොහෝ වංචා දූෂණ පිටුපස වක්‍ර‍ව හෝ සෘජුව රාජ්‍ය අනුග්‍ර‍හය ලැබීමයි.

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව, දූෂණ විරෝධී ලේකම් කාර්යාලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු අදාල ආයතනවලට මේ වන විට සාක්ෂි සහිත පැමිණිලි අතිවිශාල සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.

නමුත් වර්තමාන සහ මීට පෙර පැවති පාලන වකවානු තුළද වංචා දූෂණ අවම කිරීම කෙරෙහි සාධාරණ මැදිහත්වීමක් තවමත් පෙනෙන්නට නැත. ඒ අනුව ලෝක දූෂණ විරෝධී දිනයේ දී ඒ පිළිබද සංදර්ශන පවත්වනවා වෙනුවට වංචා දූෂණ අවම කිරිම වෙනුවෙන් සාධාරණ මැදිහක්වීමක් සිදු කළ යුතු බව අපි අවධාරණය කරමු. දූෂණ විරෝධී දිනයේ අරමුණ සාක්ෂාත් වන්නේ එවන් ක්‍රියාමාර්ගයන්ගෙන් පමණක් බව වැඩිදුරටත් අවධාරණය කරමු. ‘‘