වත්මන් රජය පසුගියදා කබරගොයා තලගොයා කර ගත් අප්‍රසන්න පුවතක් ජායාරූපයක් ද ඇතිව මාධ්‍යයෙහි පළවී තිබුණී. එහි දැක්වූයේ විජයානී එදිරිසිංහ නම් දිනමිණ කුලියට ලියන්නියට 2015 වසරේ හොදම ජනමාධ්‍යවේදිනිය ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ත්‍යාගයක් පිරි නමන අන්දමයි.

රනිල් වික්‍රමසිංහ විසින් ජනමාධ්‍ය ඇමැති ලෙස පත් කරන ලද කරුණාතිලකට රාජපක්ෂ පාලනයේ කුලී ලියන්නන් සහ ඔවුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට එරෙහිව කරන ලද සමාව දිය නොහැකි මාධ්‍ය ප්‍රචාරයන් ගැන අබමල් රේණුවක හෝ අවබෝධයක් තිබුණේ නම් ඩී.එස්. සේනානායක විදුහල විසින් කවර පදනමක් මත ලබාදුන්නේදැයි දැන ගන්නට නැති මෙම දුර්-ත්‍යාගය ලබා දීමට ඉදිරිපත් වන්නේ නැත. ඇත්ත වශයෙන්ම නම් එම ත්‍යාග මෙරට ජනමාධ්‍ය කලාවට පමණක් නොව ජනවාරී විප්ලවයට ද එම විදුහල විසින් කොකා පෙන්වීමකි.

විජයානි එදිරිසිංහ
විජයානි එදිරිසිංහ

විජයානී එදිරිසිංහ යනු රාජපක්ෂ පාලනයෙහි ගන්ධන්ස්කාරම කුලී ලියන්නකු වූ දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දරගේ අන්තේවාසිකාවක විය. එකී කාලය පුරා ඇයට පැවැරී තිබුණේ විපක්ෂයට සහ රාජපක්ෂ භිෂණය සමඟ සටන් කළ ජනමාධ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරීන්ට එරෙහිව අසූචි ප්‍රහාර දියත් කිරීමට ය. ජනවාරි විප්ලවයෙන් පසු කරණමක් ගැසූ ඇය මෙම ආණ්ඩුවට ද කඩේ යන්නට පටන් ගත්තේ ය.

රාජපක්ෂ පාලන කාලය පුරා දිනමිණ පුවත්පතෙහි පළ වූ අපහාසාත්මක සහ පාර්ශවීය ශිර්ෂපාඨ ලියන ලද ජනමාධ්‍යවේදිනයක (රනිල් වික්‍රමසිංහ විසින් ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක ලෙස පත් කරන ලද පුද්ගලයා විසින්) එම පුවත් පතෙහි කර්තෘවරිය ලෙස පත් කරන ලදී. එකළ ඇය විසින් කරන ලද ජඩ මාධ්‍යවේදය වෙනුවෙන් යහපාලන ආණ්ඩුව ඇයට මෙම කර්තෘ ධූරය පිරිනමන ලද්දේ යළිත් එවැනිම සේවයක් අපේක්ෂාවෙන් විය හැක.

යහපාලන ඇමැතිවරයාගෙන් ත්‍යාග ලද විජයානී ලියූ මේ උදාහරණ දෙස බලන්න:

“රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන මාධ්‍ය නඩයක් මෙරට අපකීර්තියට පත්කිරීමේ අරමුණින් හෙට (2012 ජනවාරි 25) කළු ජනවාරි දිනයක් සැමරීමට කටයුතු යොදා තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ද්‍රවිඩ සහ මුස්ලිම් මාධ්‍ය කණ්ඩායමක් එම උද්ඝෝෂණ ව්‍යාපරය සංවිධාන කර ඇත. කොටි පරාජයත් සමඟ මෙරටින් පලා ගිය මාධ්‍ය කණ්ඩායම විදේශයන්හි සිට එම උද්ඝෝෂණය සංවිධානය කිරීමට අරමුදල් ලබා දී තිබේ. උද්ඝෝෂණ අවස්ථාවේ කෙසේ හෝ ආරක්‍ෂක අංශ ප්‍රහාරයක් සඳහා පොළඹවා ගැනීම ද මොවුන්ගේ සැලසුමේ එක් කොටසකි. කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන මෙම උද්ඝෝෂණයේ සියලු විය හියදම් දරන අතර මෙහෙයවන්නන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා ඇත.”

මෙම දුරාචාර ලිපිය 2012 ජනවාරි 24 දින පළ කරන ලද්දේ ඊට පසුදින පැවැති රාජපක්ෂ සමයෙහි ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදීන් සැමරුමට විරුද්ධව ය.

“එහෙත් ( මංගල සමරවීර) මන්ත්‍රීවරයා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකර නැති බව එම නිවසට මේ ආකාරයේ මත්කුඩු පාවිච්චි කරන බීච් බෝයි වැනි පුද්ගලයන් ගෙන්වා ගැනීමෙන් සහ ඔහුගේ නිවසේ කැඩුන දිරාපත්වී ඇති ජනෙල් දොරවල් පවා අලුත්වැඩියා නොකර ඕනෑම පුද්ගලයෙකුට ඊට ඇතුළුවීම සඳහා අවස්ථාව සලසා තිබීමෙන් හෙළිවන බව එම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් පැවසීය.”

සමරවීර මහතා සම්බන්ධ මීටත් වඩා අපහාසාත්මක බේගල් ඇතුලු මෙම ලිපිය 2014 ජනවාරි 06 දින විජයානි නමින් පළවිය.

“බස්නාහිර ජනතා පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්‍ධ වී ඇති බවට තහවුරු වුවහොත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිනමිණට පැවසීය. කාලයක් තිස්සේ කොළඹ සිදුවූ මහා පරිමාණ ත‍්‍රස්තවාදී අපරාධ කි‍්‍රයාවලට මනෝ ගනේෂන් මහතාගෙන් සහයෝගය ලැබී ඇති බවට එම සිද්ධීන් සම්බන්‍ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිදරව් වී ඇත. ’’

මෙම අවලාදය 2008 අගොස්තු 29 දින විජයානි විසින් පළ කරන ලදී.

“විෂක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට බෙන්ස් රථයක් ලබාදුන් කෝටිපති ව්‍යාපාරික හේමන්ත නිශාන්ත දිල්රුක් මිනී මැරුම් ගණනාවකට මෙන්ම, පාතාල අපරාධ සහ මාෆියා කල්ලියකට ද සම්බන්ධ අයකු බව රහස් පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය කරගෙන තිබේ. ’’

අර්ධ සත්‍යන් මත ලියන ලද මෙම පුවත විජයානි විසින් ප‍ල කරන ලද්දේ 2012 වසරේදීය.

එකී කාලය පුරාම ඇය විසින් පළ කරන ලද්දේ එවැනි වෛරය අවුළුවන අපහාසාත්මක අසත්‍ය පුවත්ය. දැන් ජනමාධ්‍ය ඇමැති කරුණාතිලක ත්‍යාග පිරිනමන්නේ එවැනි දුරාචාර ජනමාධ්‍ය භාවිතාවකටය.

දැන් ආණ්ඩුවේ විද්‍යුත් මාධ්‍යන් ලේක්හවුසියටත් වඩා ආණ්ඩුවේ පුවත් වලින්ම පිරී තිබේ. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිදුවූ බවට චෝදනා කැරෙන මහ බැංකු වංචාව, ඇවන්ගාඩ් රැකගැනීමේ දූෂණය සහ ටෙලිකොම් ආයතනයෙහි සිදුවන සහ සිදුවන්නට යන බවට කියැවෙන මහා වංචා ගැන කිසිදු ගවේශනාත්මක පුවත් විවරණයන් රාජ්‍ය විද්යුත් මාධ්‍ය විසින් කරනු ලබන්නේ නැත. රජයට සියයට 10ක් පමණක් ලැබෙන දුම් සහතික බද්ධ රු.1000 සිට 5000 දක්වා ඉහළ දමන ලද්දේ දේශපාලනඥයිනට කොමිස් ගැනීමට ය යන චෝදනාව ද එවැනි තවත් එකකි.

ඇත්ත වශයෙන්ම නම් ස්වාධීන මාධ්‍ය කලාවක් යනු කුමක්දැයි රාජ්‍ය මාධ්‍ය ආයතන දන්නේ ම නැත. දශක ගණනාවක් පුරා ඒවායෙහි භාවිතය වන්නේ පාලක දේශපාලනඥයිනට ස්තෝත්‍ර ගායනය නිසා ය‍. ඒවායේ සංස්කෘතිය ගැති බාවයයි.

යහපාලනයට අනුකූලව රාජ්‍ය සතු එවැනි මාධ්‍යන් පැවැතිය යුත්තේ මහජන සේවා ජනමාධ්‍ය ලෙසය. ඒ සඳහා ආර්ථික, දේශපාලන සහ මතවාදී අංශ තුනෙහිම ස්වාධීනව කටයුතු කිරීමට ඒවාට ඉඩ සැළසිය යුතුය. ඒ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් වෙළද දැන්වීම්කරුවන්ගේ ආධිපත්‍යයෙන් ඒවා මුදා ගැනීම රජයේ යුතුකම වේ. දේශපාලන සහ මතවාදී ක්ෂේත්‍රයන්හි ස්වාධීනත්වය තහවුරු කළ හැක්කේ ආණ්ඩුවේ ග්‍රහණයෙන් ඒවා නිදහස් කිරීම මගිනි.

පසුගිය දා ජාතික රූපවාහිනය අමරදේවයන් ගැන අපූරු සංගීතමය වැඩ සටහනක් ඉදිරිපත් කළේ ය. එනමුත් එම වැඩසටහන මැදට කමකට නැති වෙළද දැන්වීම් රිංගවීම මගින් එහි වටිනාකම වෙළද ප්‍රචාරයක් බවට පහත හෙළුවේ ය. මේ එක් සරළ මෑත නිදසුනකි.

රාජ්‍ය මාධ්‍ය පාලක දේශපාලන පංතිය එකිනෙකා අතර හුවමාරු කර ගන්නා තවත් එක් ආයතනයක් බවට පත්ව තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිසංස්කරණ ඇති කිරීමට මේ තාක් කිසිදු ආණ්ඩුවක් උනන්දු වී නැත.

එසේ නමුත් ජනවාරි විප්ලවය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ඇතිවූ පෙර නොවී විරූ මහඟු අවස්ථාවක් බව දෙස් විදෙස්හි පිළිගැනිමට ලක් වූ සත්‍යකි. සිය ධුරකාලයෙන් පසු විධායක ජනාධිපතිධුරය සහමුලින්ම අහෝසි කිරීමට පියවර ගත් ජනාධිපතිවරයකු මෙයට පෙර සිට නැත. යහපාලනය, මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම එහි මුද්‍රාවය.

එම මුද්‍රාව සැපිරෙන දිගු ගමනක මුල් පියවරක් වනු ඇත්තේ රාජ්‍ය ජනමාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට ප්‍රතිසංස්කරණය කිරිමයි. නව ලිබරල්වාදී දේශපාලනයෙන් එපිටට ගොස් මෙම ඉදිරිගාමී පියවර ගැනීම ජනාධිපති සිරිසේන සතු ඉතිහාසීය මෙහෙවරකි. සෙමින් නමුත් මේ අරභයා පියවර මැනීමට පටන් ගැනීමට දැන් කාලය පැමිණ තිබේ.

(මතු සම්බන්ධයි)

Sunandaසුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya