ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස වෛරී ප්‍ර‍කාශ සිදුකරන්නන්ට වසර දෙකක බරපතල වැඩසහිතව හෝ රහිතව සිරදඩුවම් නීතිගත කිරීමේ පණත් දෙකක්, ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමතිවරයා විසින් පසුගිය 12වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍ර‍හය සහ අපරාධ නඩු විදිවිධාන සංග්‍ර‍හය සංශෝධනය කරමින් ඉදිරියේදී මෙම පනත් විවාදයට ගැනීමට නියමිතය.

කෙසේ නමුත් මෙම යෝජිත පණත සම්බන්ධයෙන් දෙස් විදෙස් මානව හිමිකම් ක්‍රියාකාරීන් දැඩි විමසිල්ලෙන් පසුවන බවක් පෙනේනනට තිබේ. විශේෂයෙන් ඔවුන් පවසන්නේ ආගම්වාදී, ජාතිවාදී වෛරී ප්‍ර‍කාශ සිදු කරන්නන්ට එරෙහිව දැනටමත් ලංකාවේ පවතින නීතිය යටතේ ප්‍ර‍තිපාදන ඇති බවය. මේ පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවිය, මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍ර‍නාන්දු මහතාගෙන් විමසීමක් කිරීමේ දී ඔහු පවසා සිටියේ,

1374876_10151605485857397_1684752676_n

ජාතීන් අතර අසමගිය, ප්‍ර‍චණ්ඩත්වය ඇති කරන ප්‍ර‍කාශ කිරීමට එරෙහිව ලංකාවේ පවතින නීති පද්ධතිය යටතේ දැනටත් නීතිමය පියවර ගන්න පුලුවන්. නමුත් ප්‍ර‍ශ්නය වෙලා තිබෙන්නේ මෙම නීති පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපිට අනන්ත අප්‍ර‍මාණ සිදුවීම් තිබෙනවා, පැහැදිලි සාක්ෂි තිබෙනවා, පොලීසිය බලං ඉදලා තිබෙනවා, ඒ වගේ සිදුවීම් වෙද්දි, ඒ වගේ ප්‍ර‍කාශ කරද්දි, අවශ්‍ය කෙනෙකුට ඒවායේ වීඩියෝ උනත් බලා ගන්න පුලුවන්. ඒ සම්බන්ධයෙන් නිළ වශයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා. එපමණ දේවල් තිබෙද්දි ඇයි මේවාට විරුද්ධව ක්‍රියාකරලා නැත්තේ? නීති පද්ධතියක් තිබෙද්දි.?

ඒ නිසා එතකොට අලුත් නීති ගෙන ඒමට අවශ්‍යතාවයක් නෑ.

දැන් අවශ්‍ය වන්නේ තිබෙන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමටයි. රුකී ප්‍ර‍නාන්දු ප්‍ර‍කාශ කරයි.


විරුද්ධ බව ආණ්ඩුවට පෙන්නන්න ඕන නම්….!

”ආණ්ඩුවට පෙන්නුම් කරන්න ඕන නම් ජාතිවාදී, ආගම්වාදී හැගීම් අවුස්සන වෛරී ප්‍රකාශයන් හෝ සිදුවීම් වැ‍ළැක්වීමට, එය පෙන්නන්න පුලුවන් හොදම ක්‍ර‍මය තමයි මෙච්චරකල් වෙච්ච සිදුවීම්වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක.” රුකී ප්‍ර‍නාන්දු වැඩිදුරටත් පවසයි.

‘‘විශේෂයෙන්ම ත්‍ර‍ස්ථවාදය වැළැක්වීමේ පනතේ ඔයවගේම නීති තිබෙනවා. ඒ නීති අනුව තමයි අසාද් සාලිව අත්අඩංගුවට ගත්තේ. මාධ්‍යවේදී තිස්සනායගම්ව අත්අඩංගුවට අරගෙන වසර 20ක දඩුවම් නියම කරේ. ඔය වගන්තිම අනුව. ගිය අවුරුද්දේ මට විරුද්ධව තිබෙනවා අධිකරණ නියෝගයක් අදහස් ප්‍ර‍කාශ කිරීම සීමා කරලා. එතකොට ඒකෙත් පාවිච්චි කරලා තිබෙන්නෙ ආගම් අතර, ජාතීන් අතර අසමගිය ඇතිවන විදිහේ ප්‍ර‍කාශ කිරීමෙන් වැලකිය යුතුයි කියන වගේ දේවල් තමයි තිබෙන්නේ.

ඒ නිසා පහුගිය අවුරුදු කිහිපයේ අපේ අත්දැකීම තමයි මේ වගේ වගන්ති පාවිච්චි කරලා තිබෙන්නේ ඇත්තටම ජාතිවාදී හැගීම් අවුස්සන, ඇත්තටම ආගම්වාදී හැගීම් අවුස්සන අයට විරුද්ධව නෙවෙයි, විශේෂයෙන් රජය විවේචනය කරන අයට විරුද්ධව. මාධ්‍යවේදීන්ට විරුද්ධව, මානවහිමිකම් ක්‍රියාකාරීන්ට විරුද්ධව, විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට විරුද්ධව තමයි පාවිච්චි කරලා තිබෙන්නේ.
ඒ නිසා තමයි අපි මේවා ගැන හුගක් ප්‍රවේසම් විය යුත්තේ, ඔහු පවසයි.‘‘

වැදගත් වන්නේ ‘ක්‍රියාත්මක කිරීමයි‘

නිතී තිබූ පමණින් ඒවා ක්‍රියාත්මක නැති නම් ඵලදායක නොවන බව පෙන්වා දෙන රුකී ප්‍ර‍නාන්දු වැදගත් වන්නේ එම නීති ක්‍රියාත්මක කිරීම බවත් පවසයි.

දැන් ජාත්‍යන්තර ව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් (ICCPR) යටතේ පැහැදිලිව ‘වෛරී ප්‍ර‍කාශ‘ සිදුකිරීමට විරුද්ධව පැහැදිලි වගන්තියක් තිබෙනවා. එතකොට ඒකට අනුව නඩු පවරලා ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්. ලංකාව එයට අත්සන් කරලා තිබෙනවා සහ ලංකාවෙත් ඒක නීතියක් විදිහට බලගන්වලා තිබෙනවා.

ඒ නිසා ඒවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඔන.

අනිත් පැත්තෙන් තිබෙන නීති ක්‍රියාත්මක නොකර ඒ හා සමාන නව නීති ගෙනල්ලා තිබෙන ප්‍රයෝජනය කුමක්ද? නීති තිබෙන්නේ ක්‍රියාත්මක කරන්න නේ.

ක්‍රියාත්මක කිරීමයි වැදගත්.