Image Credit: skynews

2015 ජනාධිපතිවරණය නිමාවට පත්වීමත් සමගම අප ලත් විශාලතම ජයග‍්‍රහණයක් වුණේ, අන්තවාදී ක‍්‍රියාකාරකම් හිටිහැටියේම යට යාමත්, බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන අකර්මණ්‍ය වීමත් ය. එහෙත් යහපාලනයේ වසරක් ගත වීමත් සමගම, වරක් යටපත් කෙරුණු එකී භේදකාරී මතවාද නැවත වරක් හිස එසවීමට පටන්ගෙන තිබේ.

ආන්දෝලනාත්මක බොදුබල සේනාව සමග ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සාකච්ඡාවක් පැවැත්වීම, ඒ ප‍්‍රශ්නකාරී සංවිධානයට සුජාත භාවයක් සහ හයියක් සැපයීමට හේතුභූත වෙතැයි යන්න මධ්‍යස්ථ මතධාරීන්ගේ කල්පනාවයි. එය ඔවුන්ගේ ඉමහත් විමතියට හේතු වී තිබේ. ඔවුන්ව හමු වීම සඳහා ජනාධිපතිවරයා එකඟ වන්නට ඇත්තේ සද්භාවයෙන් විය හැකි වෙතත්, සුළු ජාතීන් කෙරෙහි, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි එම සංවිධානය දක්වන විවෘත පසමිතුරු භාවය දිනෙන් දින වැඩි වෙමින් පවතින වටපිටාවක මෙවැනි සාකච්ඡාවකට ජනාධිපතිවරයා සහභාගී වීම කාලෝචිත නැත. ඒ මගින් ඔවුන් තවත් චන්ඩි විය හැක.

මීට සති කිහිපයකට පෙර මුස්ලිම් දේපලවලට අයත් තාප්ප සහ බිත්ති ආදියේ ‘සිංහ ලේ’ නමින් තීන්ත පින්තාරු කර තිබීමේ සිදුවීම් කිහිපයක් ගැන මූහුණුපොතේ බෙහෙවින් සාකච්ඡාවට ලක්විය. එපමණක් නොව, සමාජ ජාලයේ මෙන්ම, වාහනවල ද මේ ලාංඡනය විවිධාකාරයෙන් ප‍්‍රදර්ශනය කෙරේ. එසේම, එක්තරා කුලී රථ සමාගමක්ද ඒ නමින් ක‍්‍රියාත්මක වෙයි. ඉහත කී සිදුවීම් සාමාන්‍ය ජනතාව පොදුවේ පිළිකෙව් කිරීම අගේ කටයුතුය. ඇතැමුන්, ‘සිංහ ලේ’ නමින් තීන්ත ගෑ ඉහත කී බිත්ති සහ ගේට්ටු ආදිය නැවත පිරිසුදු කර දීමටත් ඉදිරිපත්ව ඇත. එහෙත් අනිත් අතට, මේ සංකේතය පාවිච්චි නොකර සිටීමට උත්සාහ ගන්නා ඇතැම් සමාගම්වලට එරෙහිව බරපතල කෙනිහිලිකම් කිරීමක් ගැනද අනිත් පැත්තෙන් වාර්තා වෙයි. මෙයින් පෙනී යන්නේ, එම ව්‍යාපාරය වූ කලී, හුදෙක් තැන තැන අලවා ගන්නා අහිංසක ස්ටිකර් ව්‍යාපාරයක් නොව, බරපතල දේශපාලනික ප‍්‍රකාශනයක් වන බවයි.

අන්තවාදයට එරෙහිව කතා කිරීමේ හැකියාවක් ඉස්සරට වඩා අද ඇති නිසාත්, එවැනි අන්තවාදයන් ආණ්ඩුව විසින් විවෘතව ආරක්ෂා නොකරන නිසාත්, වර්තමානය අතීතයට වඩා යහපත් බව ඇත්ත. එහෙත් අද පවා මෙවැනි සිදුවීම් ගැන අසන්නට ලැබීමමත් කණගාටුවට කරුණකි. එසේම, එවැනි ක‍්‍රියාකාරකම්, පවතින නීතියට පටහැනි බවත්, රාජ්‍ය ප‍්‍රතිපත්තියට නොගැළපෙන බවත් අදාළ පාර්ශ්වයන්ට සෘජුව පෙන්වා දීමට ප‍්‍රමාණවත් පරිද්දෙන් ආණ්ඩුව මැදිහත් නොවීමත් ප‍්‍රශ්නයකි. එම පණිවිඩය පැහැදිළිව රටට සන්නිවේදනය විය යුත්තේ රටේ ඉහළම ස්ථානයෙනි. එනම්. රටේ ජනාධිපතිවරයාගෙනි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ භූමිකාව වඩාත් වැදගත් වන්නේ, ඉහත කී මුස්ලිම් ජනතාවගේ පෞද්ගලික දේපලවල තීන්ත පින්තාරු කිරීමේ සිදුවීම් වාර්තා වන්නේ, එන්රිකේ ඉග්ලේසියාස්ගේ සංගීත ප‍්‍රසංගයට අදාළව ජනාධිපතිවරයා විසින් කරන ලද, මේ වන විට බොහෝ දෙනාගේ බලවත් විවේචනයට ලක්ව ඇති ප‍්‍රකාශයන්ගෙන් පසුව වීමයි. ශ‍්‍රී ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා එකී සංගීත ප‍්‍රසංගයේ සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවට ඔහු විසින් කරන ලද ප‍්‍රකාශය බලවත් ආන්දෝලනයට තුඩුදුන් අතර, එය ජාත්‍යන්තර තලයේද කතාබහට ලක්විය. මේ නිසා, අවිහිංසාවත්, වෙනස් අදහස් ඉවසීමත් මත පදනම්ව ඇති බුදුදහමටත් පටහැනි ඉහත කී නීති විරෝධී සිදුවීම් වීමේ ඇති වීමේ තත්වය තුළ, ඒ ගැන ආණ්ඩුවේ ඉහළම තැන්වලින් යම් ස්ථාවරයක් ප‍්‍රකාශයට පත්කිරීම ඉතා අත්‍යාවශ්‍ය වන්නේය.

ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අප දුන් ප‍්‍රතිඥා පැත්තකින් තිබියේවා. අඩු වශයෙන්, ජනාධිපතිවරයා බලයට පත්වුණේ මේ රටේ සියලූ ජනතාවගේ සහ ජන කොටස්වල නායකයා වශයෙන් බව ජනාධිපතිවරයා සිහියේ තබාගත යුතුය. නිවැරදි දේ ආරක්ෂා කිරීමටත්, ප‍්‍රවර්ධනය කිරීමටත් ඔහු බැඳී සිටින බව ඔහු අමතක නොකළ යුතුය. ශ‍්‍රී ලංකාව යනු, සියල්ලන් ඇතුළත් කරගන්නා සහ සියල්ලන්ගේ මතවාද ඉවසන මෙන්ම අවබෝධ කරගන්නා පදනම මත ගොඩනැගෙන ජාතියක් බව තරයේ මතක තබා ගැනීමේ වගකීමක් ජනාධිපතිවරයාට සේම ආණ්ඩුවටත් ඇත්තේය. මේ රටේ නායකයන් රටට ආදර්ශයෙන් පාඩමක් නොදෙන්නේ නම්, ඔවුන් කරන්නේ මේ රටේ යුක්තියේ සහ සාමයේ මුල්ගල් සොලවාලීමට සෙස්සන්ට අවසර සැපයීමයි.

කලින් තිබුණු ආණ්ඩුව, ජනතාව බෙදා වෙන් කොට පාලනය කරන දේශපාලනයක් අනුගමනය කෙළේය. ඒ සඳහා වන වන්දියත් අවසානයේදී ඔවුන්ට ගෙවීමට සිදු විය. මේ නිසා, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම සහ ජාත්‍යන්තර නීති ප‍්‍රතිඥා අපරානුමත කිරීම ඉතා වැදගත් කාරණා වන අතරේම, අනෙකා නොඉවසීම සහ අගතිගාමී සහ අදානග‍්‍රාහී ආකාරයෙන් සිදුවන ඕනෑම ක‍්‍රියාවකට එරෙහිව දැඩි තීරණයක පිහිටා කටයුතු කිරීමත් අතිශයින් වැදගත් වන බව කල්පනාවට ගත යුතුය.

*2016 ජනවාරි 20 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Defending Unity නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි