දේශපාලඥයන් සහ ඔවුන්ගේ සහචරයන් හොර මැරකම් කරන විට ඊට කලින් බලයේ සිටියවුන් අතින් සිදු වූ වැරදි, අපරාධ හා සොරකම් උලුප්පා දක්වමින් තමන් වඩාත්ම කැමති අය රහසින් වත් පවු නොකරන සුදනන් බව පුන පුනා කියා පෑමට ඉදිරිපත් වන “යටත් වැසියන්” සහ තමන් ජීවත් වන රටේ ජනතාවගේ පරමාධිපත්‍යය අනිසි ලෙස යොදවමින් රට අගාධය වෙත ඇද දමන දූෂිතයන් පුද්ගලබද්ධ නොවී විවේචනය කිරීමට ඉදිරිපත් වන “පුරවැසියන්” අතර ඇති වෙනස පිළිබඳ ගැටළුව ඉක්මනින්ම ලිහාගත යුත්තකි.

නිදහසින් පසුව මේ දක්වාම බලයට පත් එජාප, ශ්‍රීලනිප ආණ්ඩු සියල්ලම තම වාසියට යොදාගත් වැදගත්ම සාධකය මේ යටත්-වැසි මානසිකත්වයයි. කිසියම් දේශපාලන පක්ෂයකට ඡන්දය දුන් පසුව ඉදිරියටත් එම පක්ෂයට සම්බන්ධ දේශපාලඥයන්ගේ ඕනෑම ක්‍රියාවක් සාධාරණීකරණය කරන්නට පෙළඹීම අප අතරින් ඇති බොහෝ දෙනෙකු අදටත් සිදු කරන්නක් බවට ඕනෑ තරම් හේතුසාධක තිබේ. යහපාලනයට ඡන්දය දුන් අය යහපාලනය වෙනුවෙන් දිවා රෑ පෙනී සිටිමින් මෛත්‍රී-රනිල් ප්‍රමුඛ ආණ්ඩුවේ සාමාජිකයන්ගේ “හොඳ කම” ඉස්මතු කළ යුතු අතර මහින්ද රාජපක්ෂට කැමති අය රනිල්ටත් මෛත්‍රීටත් වෛර කරමින් ඔවුන්ගේ සියලුම ක්‍රියා විවේචනය කරන අතර මහින්දගේ ඕනෑම ක්‍රියාවක් සාධාරණීකරණය කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු බව අදටත් මේ දෙපාර්ශ්වයේම බොහෝ අය අදහමින් සිටීම ඛේදයකි.

පසුගිය වසරේ ජනවාරි 08 දින යහපාලන තන්ත්‍රයක් බිහි කිරීමේ පොරොන්දුව පිට බහුතර ජනතා ඡන්දයෙන් බලයට පත් මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව යටතේ එදා සිට මේ දක්වාම ජනමතය පාවා දීමට ලක් වූ සෑම අවස්ථාවකදීම අපි ඊට විවේචනාත්මකව එරෙහි වූයෙමු. මෛත්‍රී බලයට පත් වූයේ රටේ ජනාධිපති වීමට ඔහුට තිබූ සුවිශේෂී සුදුසුකමක් නිසා නොව ඒ වන විට මහින්ද රාජපක්ෂ නම් දුෂ්ට ඒකාධිපතියා මෙරට ජනතාව අතරින් වැඩි දෙනෙකුට තදටම අප්‍රසන්න වී තිබුණු නිසා බව ලිවීම මා ඇරඹුවේ යහපාලන ආණ්ඩුව බිහි වූ මුල් දිනවල සිටමය. ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේපිත මහින්ද ප්‍රමුඛ හොර නඩය මෛත්‍රීගේ පක්ෂය රැක ගැනීමේ ආත්මාර්ථකාමී මෙහෙයුම වෙනුවෙන් පස්සා දොරෙන් රාජ්‍ය පාලන යාන්ත්‍රණය තුළට යළි රිංගවා ගැනීම වැරදි බව මෙන්ම බදුර්දීන්ගේ විල්පත්තු සංහාරය හමුවේ වත්මන් ආණ්ඩුව මුනිවත රැකීමත්, හිරුනිකා අත්අඩංගුවට ගැනීම හරි අපූරු ලොජික් එකකට අනුව ඇප මත මුදා හැරීමත් ඇතුළු තවත් බොහෝ දෑ යහපාලන මූලධර්මවලට අනුකූල නොවන බව කියන්නට අපි පසුබට නොවූයෙමු. අද යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් කෑ මොර දෙන යටත් වැසියන් වෙත අප හෙළන නිර්දය උපහාසය දේශපාලනික පළිගැනීමක් ලෙස නොගත යුත්තේ එවැනි පසුබිමක බව ඇතැමුන්ට සිහිපත් කිරීමත්, මෙහි මුලින්ම සටහන් කිරීමත් වැදගත් වනු ඇත.

FB_IMG_1454382776613 (1)

මේ වන විටත් සමාජ මාධ්‍යවල පළ වී ඇති එක් මහින්දවාදී ඡායාරූපයක ආබාධිත සොල්දාදුවෙකු පෝස්ටරයක් ඔසවා ගෙන සිටින අතර එහි මෙසේ ලියා ඇත: “රට බේරාගත් යෝෂිතට පුදන සම්මානය හිර කූඩුවද?”. ඊට පසුපසින් ඇති විශාල ප්‍රමාණයේ බැනරයක “කෲර පළිගැනීම්, රණවිරු යෝෂිත” වැනි වදන් ලියැවී ඇත. මා මේ තෝරාගත් උදාහරණ වැකි මහින්ද ව්‍යාධියෙන් දැඩි ලෙස පීඩා විඳින යටත් වැසියන් බොහෝ දෙනෙකුට අදාළය. මේ මොහොතේ යෝෂිත රිමාන්ඩ් කරනු ලැබීම ගැන ඔවුන් පොදුවේ නගන මැසිවිලි එකම ස්වරූපයක් ගනියි. මහින්දත්, මහින්දගේ හෙංචයියනුත් එසේ කීවාට කම් නැත. එහෙත් රටේ ජනතාව ඒ තත්ත්වයට ඇද වැටීම ජනතාවගේ පැත්තෙන්ම දැඩි ඛේදවාචකයක් බව පිළිගැනීමට මැළි විය යුතුද නැත.

යෝෂිත රාජපක්ෂ “රණවිරුවෙකු” වීමේ ඇත්ත නැත්ත නොදන්නා කෙනෙකු මේ රටේ නැත. මහින්දවාදීන් පවා පෞද්ගලිකව ඒ කටුක ඇත්ත පිළිගන්නා බවද අපි දනිමු (එළිපිට නොපෙන්නුවාට). තාත්තා ජනාධිපති වීමේ එකම සුදුසුකමින් නාවික හමුදාවට පැන ගන්නා යෝෂිත සහභාගී වූ එකම යුධ මෙහෙයුමක් ගැන මේ දක්වා වාර්තා වී නොමැත. එසේම, රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන දේශපාලඥයින් රෝහල්ගත වන පරිදිම ඔහුද ‘වැඩි හොඳට’ යුද්ධයෙන් වැඩි කාලයක් ගත කළේ ලංකාවේ නොව වෙන වෙන දීපංකරවල බවද අපට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත. කිසිදු සමාන්තර නිලයකට හිමි නොවන අස්වාභාවික වරප්‍රසාද සමුදායක් මැද තම ඉහළ නිලයන්ට පවා දත විළිස්සමින් නාවික හමුදා විනය හා පරිපාලනයට අදාළ නීති, රෙගුලාසි ආදිය පයිසෙකට නොතකමින් ඔහු ගෙවූ ජීවිතය අමතක වන්නට නම් මැරී ඉපදිය යුතුය. ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීමට මැළි නොවන්නෙකුට නම් යෝෂිත වඩා ලං වන්නේ ‘රණවිරුවෙකුට’ නොව ‘නූගත් රස්තියාදුකාරයෙකුට‘ බව කීම දේශපාලනික පළිගැනීමක්ද මහත්වරුනි?! (භාෂාමය රීති බිඳිමින් හෝ මේ විරාම ලක්ෂණ දෙකම එක ළඟ යෙදීම වැදගත්ය). එසේම, ‘රණවිරු’ යෝෂිතට නාවික හමුදාවෙන් පඩි ගෙවුවාට ඔහු ‘රස්සාව‘ කළේ වෙන වෙන තැන්වල බව දැනටමත් ඔප්පු වී හමාරය.

වඩාත්ම ඛේදනීය තත්ත්වය නම් එම පෝස්ටරය ඔසවාගෙන සිටින්නේද සත්‍ය වශයෙන්ම යුධ පිටියේදී පහර කා තුවාල ලබා ආබාධිත තත්ත්වයට ඇද වැටුණු ‘රණවිරුවෙකු’ වීමයි.

දේශපාලඥයාගේ ආවේණික ගතිය බලයට හා මුදලට ඇති කෑදරකම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැප වීමයි. ජනමාධ්‍ය ඉදිරියේ බොරුවට ඇඬීම, ජාතික කැක්කුම මතක් කර දීම, රට, ජාතිය හා ආගම බිලි ගැනීමට එතෙරින් එන බිල්ලන් ගැන කතාන්දර කියා දීම, තමන්ට එරෙහි පලිගැනීම් හා අකටයුතුකම් ගැන කේලාම් කීම ආදී මෙකී නොකී උපක්‍රම රැසක් ඔවුහු ඒ සඳහා පාවිච්චි කරති. එහෙත් පුරවැසියා ඒ තරම් පහත් තත්ත්වයට වැටිය යුතු නැත. අද තම පුත්‍ර රත්නය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන මහින්ද එදා තවත් මාපියන් රැසකට දරුවන්ද, දරුවන් රැසකට මාපියන්ද ම්ලේච්ඡ ලෙස අහිමි කරන විට ඔවුන්ගේ ඇස්වල කඳුළු ගැන වගේ වගක් නැති දුෂ්ටයෙකු (මා මහින්දට ‘දුෂ්ටයා’ කියන්නේ ටයිපින් මිස්ටේක් එකකින් නොවන බව සලකන්න) තම දරුවා වෙනුවෙන් හොටු පෙරාගෙන ඇඬුවා කියා රටේ ජනතාව එය ජාතික මට්ටමේ ශෝක කාරණාවක් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක්ද නැත. මහින්දවාදීනි, ඔබ පෙනී සිටින්න ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් සහ ආදරණීයයන් වෙනුවෙන්. එහෙත්, හොරුන් වෙනුවෙන් පුරවැසියන් එකිනෙකා මරා ගැනීමෙන් හොරාට වාසිය අත්කර දීමට තරම් නීච නොවන්න!

MR Yoshitha

යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ හරි අපූරු සටහනක් මහින්දලා නීතිය ගැන දරන ආකල්ප මොනවට පැහැදිලි කරයි. යහපාලන කාරයින් සිංහයාගේ නැට්ට පාගා ඇති බවත්, දැන් ඉතින් සිංහයා අතින් කීතු කීතු වන්නට ඉරා දැමෙන්නට සූදානම් විය යුතු බවට අනතුරු හැඟවීමකුත් එහි දැක්වෙයි. මහින්ද රෙජීමය යටතේ රටේ නීති ප්‍රකාරව කටයුතු කරන විට තමන්ට අවාසිදායක සිදුවීම් වෙත ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකල්පය මෙයයි. තාත්තෙකු වශයෙන් මහින්ද තම දරුවන්ට කළ ලොකුම හානිය වන්නේද මේ නූගත්, තක්කඩි මානසිකත්වය ඔවුන් තුළ ලියලා වැඩෙන්නට ඉඩ හැරීම බවද නොකියම බැරිය. අඩුම තරමින් රටේ පුරවැසියන්වත් මේ මොහොතේ ‘තමන්ගේ’ පැත්ත ගැනීම වැදගත් එහෙයිනි.

පුරවැසියා දේශපාලඥයාගේ නොව පුරවැසියාගේ පැත්ත ගන්නා තුරුම හිරුනිකාලාට, බදූර්දීන්ලාට, ඥානසාරලාට, රජගෙදර බේබිලාට (වත්මන් බේබිලාද ඇතුළත්ව) යහමින් පිස්සු නැටිය හැකි බව වටහා ගැනීම පමණක් ප්‍රමාණවත්ය.

Ashanඅශාන් වීරසිංහ | Ashan Weerasinghe