[පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරන්න! නැතිනම් පැහැදිළි තීරණය ප‍්‍රකාශ කරන්න!අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති…]


”දෙඹිඩි පිළිවෙත් එපා. අපිත් එක්ක හිටපු මිත‍්‍රයා ජෙනීවන්ගේ නිදහස ගැන බොහෝ සතුටුයි. ජෙනීවන් වගේමයි අපි හැමදෙනාමත්. නීතිය ඉදිරියේ අපි හැමදෙනාම එකසමාන විය යුතුයි. ඒ නිසා සමානකොට සැළකීමට ගරුකර, අපිව එක්කෝ නිදහස් කරන්න, නැතිනම් නිසි පියවර ගෙන අපිට දඩුවම් කරන්න. ස්ථාවරය ප‍්‍රකාශයට පත්කරන්න. අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති.”

යන්නයි දේශපාලන සිරකරුවන්ගේ සංවාද වල ඉතිරිය. අපේක්‍ෂාව සහ ඉටුවිය යුත්තත්. මෙසේ මා හට දැණුනේ දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීම වෙනුවෙන් අත්නොහැර පෙනීසිටින මෙරට බහු ජාතින්ගෙන් (සිංහල, දෙමළ හා මුස්ලිම්) ඒකරාශි වුණු එකම පුද්ගල කණ්ඩායම වන දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ හඬට කන්දීමේදීය.

”පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට රජය ඔවුන්ව රැවටු බව ඔවුන් කියනවා. දෙමළ දේශපාලනඥයෝවත් මේ රජයවත් තමන් ගැන සංවේදි නොවන බව පිළිඅරගෙන හමාර යැයි ඔවුන් කියනවා. රටේ සියලූම පුරවැසියන්ට මෙන්ම සෑම සිරකරුවෙකුට ම සමානකොට සළකමින් චෝදනා රහිතව වසර ගණනාවක් සිරකූඩුවලට සීමාකර තැබූ ඔවුනට මේ නිදහස් දින සැමරීමේදීවත් නිදහසක් ලබා දෙන්න කියා ඔවුන් ඉල්ලා සිටිනවා. එසේ නැතිනම් ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ස්ථිර වචනයක් ප‍්‍රසිද්ධ කරන ලෙසට ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.”

යැයි වැලිකඩ බන්ධනාගාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ඉල්ලා සිටින බව දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ එක් කැඳවුම්කරුවකු වන ගරු මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ප‍්‍රකාශ කළේය.

පෙබරවාරි පළමුවෙනිදා, පෙරවරුවේදී බන්ධනාගාරගතව සිටින දමිළ දේශපාලන සිරකරුවන් බැහැදැකීමෙන් අනතුරුව ඔවුන්ගේ එම පණිවුඩය රැගත් සංදේශය, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දීම සිදුකළේ යැයි පැවසු සත්‍යවේල් පියතුමා, දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජීකයින් විසින් ඉතා දිගු පාගමනකින් ගොස් එම සංදේශයන් ජනාධිපති සහ අගමැති කාර්යාලවලට භාරදුන් බවයි ප‍්‍රකාශ කළේ.

”අපි කණ්ඩායම, අපේ බැනර් එකත් අරගෙන අපේ සිරකරුවන්ලේ ඉල්ලීම සටහන් කරපු ප්ලැකාඞ්ස් කිහිපයකුත් අරගෙන සීනුවක් නාදකරමින් තමයි මේ වීථි සංචාරය සිදුකළේ.” යැයි පියතුමා ප‍්‍රකාශ කළ විට ”ඇයි ඒ සීනුවක් ?” යැයි මා විමසු වෙමි. එවිට ”මිනිස්සුන්ගෙ අවධානය දිනා ගන්න.” යැයි පියතුමා පැවසුවේය.

එවැනි පියවරක් අනුගමනය කළේ මන්ද යන්න විමසීමෙදි සත්‍යවේල් පියතුමා වැඩිදුරටත් මෙහෙම පැහැදිළි කළා.

Tamil Political Prisoners iv

”ප‍්‍රධාන වශයෙන් ම අපට ඕනෙ උනේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න මේ රටේ දේශපාලන සිරකරුවන් සිටිනවා, ඔවුන්ගේ ප‍්‍රශ්නය තවමත් මේ රජය විසඳුවේ නැහැ කියන එක. මොකද, දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් රජය දෙඹිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. ජාත්‍යන්තරයට ගිහිං කියනවා ශ‍්‍රි ලංකාවේ කිසිම දේශපාලන සිරකරුවෙක් නැහැ කියලා. ඒ අතරේ ශ‍්‍රි ලංකාවෙදි පිළිගන්නවා දේශපාලන සිරකරුවන් කියලා කොටසක් ඉන්නවා කියලා. ඒ නිසා තමයි, මේ වසරේ ජනවාරි මාසේදි තිබුණු අධිකරණ දෙකට අමතරව, විශේෂ අධිකරණයක් පිහිටෙව්වේ. නමුත් කොළඹ පිහිටවු මේ අධිකරණයෙන් අද වන තුරු කිසිම පියවරක් ගත්තෙ නැහැ.”

”තවත් රජය කියු දෙයක් තමයි මේ මිනිස්සුන්ව එහෙම නිදහස් කරන්න බැහැ, ජාතීවාදින් ඉන්නවා ඔවුන් කලබල ඇතිකරයි කියලා. නමුත් අද අපි සිරකරුවන් නිදහස්කර ගැනීමේ අපේ ව්‍යාපාරයේ බැනර් එකත් එක්ක තමයි සම්පුර්ණ විථී සංචාරයේ යෙදුණේ. නමුත් බන්ධනාගාරයෙන් ආරම්භ කරලා අගමැති කාර්යාලයට සහ ජනාධිපති කාර්යාලයට පැමිණෙන තෙක් මහා මාර්ගවල ගමන්කරපු කිසිම පුද්ගලයෙකුගෙන් හෝ කණ්ඩායමකින් කිසිම ආකාරයක අනිසි බලපෑමක්, තර්ජනයක් හෝ විරෝධතාවක් සිදුවුණේ නැහැ, මොවුන් නිදහස් කරන්න එපා කියලා. ඒ නිසා ඒ ජාතිවාදින් විරුද්ධ වෙයි කියලා කියපු කථාත් බොරු. එහෙම බලපෑමක් වන්නේ නැහැ.”

”ගිය වසරේ ඔක්තෝබර් මාසේ ආරම්භකළ මොවුන්ගේ මාරාන්තික උපවාසයේදි සිට විවිධ ආකාරයේ පොරොන්දු දෙමින් ජනාධිපතිතුමා ඇතුලූ මේ රජය මේ සිරකරුවන්ව මුලා කළා. ඔවුන් ජනාධිපතිතුමාව විශ්වාස කළා. නමුත් වෙච්ච පොරොන්දු කිසිවක් ඒ ආකාරයෙන් ඉටුකළේ නැහැ. අධිකරණයෙන්ද මොවුන්ට සිදුවන්නේ අසාධාරණකම්. මේ සිරකරුවන් අතර විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අය සිටිනවා. ඔවුන්ට නිසි ආකාරයෙන් ඒ අසනීපවලට ප‍්‍රථිකාර කරගන්න ක‍්‍රමයක් නැහැ. ඔවුන් කෙරෙහි අවධානයක් නැහැ. තමන්ට නිදහස්වෙලා එළියට ගිහිං ජිවිත ආරම්භකරන්නට තිබෙන අවශ්‍යතාවය නිසාම ගැහැණු පිරිමි දේශපාලන සිරකරුවන් කිහිපදෙනෙක් ඔවුන් වරදකරුවන් ලෙසට පිළිගත්තා. නමුත් කියන්න හරිම කණගාටුයි, දැනට වසර තුනක් වෙනවා ඒ තීන්දුව ක‍්‍රියාත්මක කරවාගන්න අධිකරණයක් නැහැ. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව නිදි. අපිට තේරුම් ගන්න හරිම අපහසුයි මේ දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය විසඳන්නට මේ රජය මෙතරම් මැළිකමක් දක්වන්නේ ඇයි කියලා ?”

යැයි සත්‍යවේල් පියතුමා සිය ව්‍යාපාරයේ දැඩි පිළිකුලත් අප‍්‍රසාදයත් සිරකරුවන් කෙරෙහි සිය කණගාටුවත් ප‍්‍රකාශ කළේය.

”ශිවරාසා ජෙනීවන්ගේ නිදහස් වීම ගැන ඇතුලේ ඉන්න පිරිස බොහෝම සතුටු වෙනවා. ඒ අතරම ඔවුන් කියන්නේ ජෙනීවන් ලබපු නිදහසම ඒ සියළුම දෙනාට, නඩු කටයුතු පවත්වාගෙන යන අයට, දඬුවම් විඳින අයට කියන මේ දේශපාලන සිරකරුවන් සියලූම දෙනාට හිමි වෙන්න ඕනෙ කියලා. ඔවුන් සියලූම දෙනාත් මේ රටේ පුරවැසියන්. එතකොට නීතිය ඉදිරියේ මේ සියළුම පුරවැසියන් සමාන සැලකිල්ලට භාජනය විය යුතුයි. රටේ සෑම පුරවැසියෙකුටම සමානව සැලකිය යුතුය යන්න ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකමක් කියලයි අපි ඉගෙනගෙන තියෙන්නේ.”
කියා පැවසු සත්‍යවේල් පියතුමා තවදුරටත් පෙන්වා දුන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත කාලෝචිත නොවන බව රජය පිළිගෙන තිබෙන බවත් එසේනම් ඒ කාලෝචිත නොවන එවන් පනතක් යටතේ නඩු කටයුතු පවත්වාගෙන යෑම නීති විරෝධි බවයිි. එසේම, ඒ පනත යටතේ දඬුවම් ලබාදී ඇති අයට ද නිදහස ලැබිය යුතු බවයි. මන්ද ඔවුන් එසේ දඬුවම් ලැබීම ද කාලෝචිත නොවන නිසායැයි පියතුමා පැහැදිළි කළේය.

සත්‍යවේල් පියතුමාගේ පැහැදිළි කිරීම් තුළ ගැබ්වුණු තවත් කරුණක් වුයේ ගෙවී ගිය සතියේදී සිය ව්‍යාපාරය විසින් මානව හිමිකම් කොමිසම වෙත ද දේශපාලන සිරකරුවන් වන සෑම පුරවැසියෙකුටම එකසේ සැලකීම ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඉල්ලීමක් භාරදුන් බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් කථාබහා කරන්නට මානව හිමිකම් කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටී බවත් ය.

Political Prisnoers ii

ජනාවරි මස 27 වෙනිදා මානව හිමිකම් කොමිසමට රැගෙන ගිය මෙම ලිපිය, එම අවස්ථාවේදි කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය නොසිටි බැවින් ඉල්ලීම භාරගෙන සාකච්ඡාවක් ද ලබාදුන්නේ දමිළ කොමසාරිස්වරියක වු අම්බිගා සත්කුණනාදන් මහත්මියයි. එහිදි ඇය ප‍්‍රකාශ කළ එක් කාරණාවක් තුළ, ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව කුමක්ද? නීතිපති දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරඇත්තේ රටේ, ජනතාවගේ අසවල් කාරණාවන් විසඳන්නට දැයි රටේ ජනතාව විසින් ප‍්‍රශ්න නැඟිය යුතුය. (මෙම ලියුම්කරුද මෙම අවස්ථාවට සහභාගි විය)

”පසුගිය වසරේ මේ ඉෂු එක ආවාම අපි නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යැව්වා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලලා. සියලූම සිරකරුවන් වර්ගීකරණය කරලා ඒ සම්බන්ධයෙන් අපේ නිර්දේශ (නිදහස් කරන්න කියා) ඉදිරිපත් කරලා තමයි ඒ ලිපිය නීතිපති දෙපාර්තමේන්තුවට අපි යොමුකළේ. නමුත් කියන්න කණගාටුයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිට කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ.”
යැයි ප‍්‍රකාශ කළ ඇය දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ව්‍යාපාරයේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කරන්නට ඇය සමඟ ක‍්‍රියාකරන තවත් කොමසාරිස්වරියක හා සාකච්ඡාකර ඉදිරියේ දිනයක් ලබාදීමට එකඟ විය.

”වර්තමාන තත්ත්වය ගැන අපව දැනුවත් කරන්න, මේ ගැන යළි ක‍්‍රියාත්මක වෙන්නම්.” යැයි ඇය කීව ද මානව හිමිකම් කොමිසමට කළ හැක්කේ සිය නිර්දෙශයන් ඉදිරිපත් කිරීම පමණි. ඒවා ක‍්‍රියාත්මක කිරීමට කොමිසමට බලයක් නැත. එබැවින් එම නිර්දේශයන් ක‍්‍රියාත්මක කරවිය යුතු අදාළ අංශ නිදි පැදුරෙන් නැඟිටුවීම සිවිල් ජනතාවටත් සිවිල් සංවිධානවලටත් පැවරෙන වගකීමක්ව ඉතිරිවෙයිි.

දේශපාලන සිරකරුවන්ගේ සංදේශය භාරගනිමින් ජනාධිපති අතිරේක ලේකම් එස්. ටී. කොඩිකාර මහතා ප‍්‍රකාශකර ඇත්තේ ජනාධිපතිතුමා තීන්දුවක් අරගෙන තිබෙනවා අධිකරණ ක‍්‍රියාවලියක් මගින් මේ ප‍්‍රශ්නය විසඳන්න. ඉතිං ඒකට අපිට එකඟ වෙන්න සිදුවෙනවා කියාය.

ඒ වගත් එසේනම්, රටේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සිය බලය පාවිච්චි කර, දේශපාලන තීන්දුවක් ගනිමින් ජනාවරි 08 වෙනිදා ශිවරාසා ජෙනීවන් නිදහස් කරමින් රටේ සෑම පුරවැසියෙකුට සමාන ලෙස සැළකිය යුතුය යන ව්‍යවස්ථාපිත මුලික මානව අයිතිවාසිකම උල්ලංඝණය කර ඇතැයි පවසන දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ව්‍යාපාරය , දැඩිව ඉල්ලා සිටින්නේ ඉතිරිව සිටින දේශපාලන සිරකරුවන් වෙත ද එම බලය ම පාවිච්චි කරමින් එළඹෙන 68 වන නිදහස් දිනයේදී හෝ හැකි විගස ඔවුන් සියළුදෙනා නිදහස් කරන ලෙසටය.

මෙලනි මානෙල් පෙරේරා
ඡායාරූප – ලාල් ලක්‍ෂමන්