Image Credit: www.ibtimes.co.uk

නොපෙනෙන බලවේගවල එල්බ ගෙන ඒවායින් පිළිසරණ පැතීම මානව පරිණාමය පිළිබඳ ප්‍රශ්නයකි. ඈත අතීතයේ ගල්ගුහාවල දිවි ගෙවූ ආදි මානවයා වැස්ස, නියඟ, අකුණු, ගංවතුර, ලෙඩ රෝග ආදී සියලු ස්වභාවික සංසිද්ධීන් අදෘශ්‍යමාන බලවේගවලට භාර කළද කෙමෙන් කෙමෙන් පරිණාමය වත්ම මිනිසාගේ බුද්ධිය මුහුකුරා යාමත් සමග ඒ සියල්ලම එක්කෝ ස්වභාවික නැතහොත් සෞඛ්‍යමය උප්‍රදව බව වටහා ගැනීමට මිනිසාට හැකි වූයෙන් ඇහැට නොපෙනෙන බලවේග මත පදනම්ව ජීවිත ඉරණම තීරණය වන්නට ඉඩ හැරීමේ අවශ්‍යතාව පහව ගියේය. තම පෞද්ගලික ජීවිතවල වැදගත් කටයුතුවලදී අද පවා ඇතැම් අය මෙවැනි බලවේග මත යැපුණද පොදුවේ ජ්‍යොතිශය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍ර ආදී සියලු ගුප්ත භාවිතයන් සහමුලින්ම පදනම් විරහිත මිථ්‍යාදෘෂ්ටීන් බව පිළිගන්නා තැනට මිනිස් මොළය දියුණු වී ඇත. අපි ඒ ගැන සතුටු වෙමු. තමන්ගේ හොර මගෝඩිකම් ටිකෙන් ටික හෙළි වීමට පටන් ගැනීම නිසා කලබලයට පත් වූ මහින්දවාදී හොර නඩය අද දින (06) සීනිගම දේවාලයට ගොස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වසා දමන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් පොල් ගෙඩි ලක්ෂයක් බිම ගසා විනාශ කිරීමේ වනචාරී උත්සාහය පුන පුනා ගම්‍ය කරන්නේ ඔවුන්ගේ අපරිණාමිත ම්ලේච්ඡ ස්වභාවයම බව ප්‍රත්‍යක්ෂ වන්නේ එම පසුබිම තුළය.

මේ මොහොතේ මහින්ද රාපක්ෂ තරම් හොරුන්ගේ අවශ්‍යතා උදෙසා අපයෝජනයට ලක් වන දේශපාලඥයෙකු තවත් නැත. කිනිතුල්ලන් මෙන් මහින්දගේ ඇඟේ එල්ලී තම පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා හැකි සෑම පහත් වැඩක්ම කරමින් සිටින මේ දූෂිතයන් මහින්දගේ ඇඟේ ලේ ටික අහවර වූ පසුව දේශපාලනික මළකුණක් මෙන් ඔහුව බැහැර ලනු නොඅනුමානය. මන්ද, එවිට ඔවුන්ට තවදුරටත් මහින්දගෙන් වැඩක් ගත නොහැකි නිසාය. කණගාටුවට කාරණය වන්නේ මේ සරල සත්‍යය අත්දැකීමෙන්ම වටහා ගත නොහැකි තරම් බල උන්මත්තකභාවයෙන් මහින්ද අන්ධ වී සිටීමයි. ඔහු එන්න එන්නම හැසිරෙන්නේත්, මාධ්‍ය ඉදිරියේ කටයුතු කරන්නේත් මනෝ විකාරයෙන් පෙළෙන්නෙකු මෙන් බව අද වන විට මේ රටේ බොහෝ දෙනා තේරුම් ගෙන ඇති ඇත්තකි. ජනාධිපතිවරණයෙන් පරාජය වූ සැණින් ‘අප්පච්චි මළා’ යැයි කියමින් සෝපාසාත්මකව මහින්දට පස්ස හැරවූ අය පෙරළා මහින්ද වෙත හැරෙන්නට පටන් ගත්තේ අහුමුළුවලින් ‘මහින්ද සුවඳ’ නැවත වරක් ටිකෙන් ටික හමන්නට පටන් ගැනීම නිසාය. ගම්මන්පිල, වීරවංශ වැනි දූෂිතයන් මේ මොහොතේ කරමින් සිටින්නේද තමන්ගේ දේශපාලනික ගමන වෙනුවෙන් මහින්ද මාර්කට් කිරීම බව තේරුම් ගැනීමට මේ ‘දැනුම් තේරුම් ඇති අප්පොච්චාට’ නොහැකි වීම යනුම ඉතාම ඛේදනීය ලෙස ඔහුගේ දේශපාලනය අවසන් වීමේ පෙර ලකුණු පහළ කරන්නක් බව කිව යුතුය. වැදගත් ලෙස තම දේශපාලන දිවි සැරිය නිමා කරන ගමන පටන් ගැනීමට මහින්ද දැනටමත් ප්‍රමාද වැඩිය!

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නමෙන්ම ගම්‍ය වන පරිදි එය පිහිටුවා ඇත්තේ ‘මූල්‍ය අපරාධ’ විමර්ශනය කිරීම සඳහාය. මේ දක්වා එහි කැඳවා ප්‍රශ්න කිරීම්වලට ලක් කරන ලද සෑම දෙනාම පාහේ මහින්ද රෙජීමය යටතේ යහමින් ජනතා මුදල් කොල්ලකෑම්වලට ඍජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ බවට ජන සමාජය තුළින්ම චෝදනා එල්ල වූ අය බව අපි හොඳාකාරවම දනිමු. එසේම, එහි කාර්යභාරය වන්නේ එවැනි චෝදනා ඇති අය පිළිබඳ විමර්ෂන සිදු කොට ඉතිරි හරිය අධිකරණයට භාර කිරීමය. එතැනින් එහාට රටේ පිළිගෙන ඇති නීති පද්ධතියට යටත්ව කටයුතු කිරීම අධිකරණයේ කාර්යභාරයකි. මේ නිසා, තමන් කිසිදු වරදක් හෝ අපරාධයක් සිදු කර නොමැති සුදනන් යැයි සිතා සිටින මහත්වරුන් කිසිසේත්ම කලබල විය යුතු නැත. පදනමකින් තොරව චෝදනා එල්ල කිරීම තුළින් තම කීර්ති නාමයට හානියක් වී ඇති බව හැඟේ නම් අදාළ අධිකරණ තීන්දුවලින් පසුව ඊට එරෙහිව ක්‍රියාත්මක වීමටද ප්‍රතිපාදන නීතියෙන් සලසා ඇති අතර යම් හෙයකින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් හෝ තමන් සෑහීමකට පත් නොවන්නේ නම් එයද අභියෝගයට ලක් කිරීමට අභියාචනාධිකරණයක් ස්ථාපිත කොට ඇත. මේ නිසා, පටන් ගන්නා තැනදීම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වසා දමන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටිය හැක්කේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොරුන්ට හා අපරාධකාරයන්ට පමණි. මොවුන් මේ ක්‍රමයම අනුගමනය කළහොත් ඉදිරියේදී අධිකරණයද වසා දමන ලෙස ඉල්ලමින් දෙවියන් යදිනු ඇති බවට අපට සාධාරණව සැක කළ හැක. මේ බිම ගසන්නට රැගෙන එන්නේද එසේ මෙසේ පොල් නොවේ. හොර පොල්ය. ඊයේ දිනයේදී උඩුගම ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකින් පොල් ගෙඩි 700 ක් හොරන් කැඩූ බවට පොලීසියට පිමිණිලි ලැබී ඇති බවටද පුවත් වාර්තා වෙයි.

12669630_10208672525035758_6836527216220951057_n

අනෙක් අතට, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කිරීම සම්බන්ධයෙන් ‘සාධාරණ’ කිසිවෙකු දෙවියන් ඉදිරියේ හඬා වැටීමට අවශ්‍ය නැත. හෘද සාක්ෂිය කියා නාමයක්වත් ඇත්නම්, චෝදනා එල්ල වන අය පවා ඒ ගැන සතුටු විය යුතුය. මන්ද, විමර්ශන අවසන ‘නිර්දෝෂීභාවය’ ඔප්පු කර තම චරිතයට සිදු වූ යම් හානියක් වේ නම් එය ඉක්මනින්ම නිවැරදි කරගෙන පෙරළා තම ‘සුජාත දේශපාලනික’ ගමනේ නියැළීමට හැකි නිසාය. එහෙත්, මහින්දවාදීන්ට හෘද සාක්ෂියක් නැති බව ඔවුන් ඕනෑ තරම් සනාථ කොට තිබේ.

පුරවැසියා අවිචාරවත් ලෙස නැවත නැවතත් දේශපාලඥයාට ඇන්දෙන සමාජයක මෙවැනි දෑ සිදු වීම අරුමයක් නොවේ. “කෝ ඉන්නවා යැයි කී හොරු? ඇල්ලුවාද?” යි අසමින් සමාජ මාධ්‍යවල මහින්ද රෙජීමය යටතේ හොරකම් සිදු නොවූ බවට තර්ක නගන බොහෝ දෙනා ‘සිදු වූ බව ගම්‍ය වන වැරදි’ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට කියන්නේ පරස්පර කතාවකි. ඔවුනට අනුව, පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා ගැන ප්‍රශ්න කිරීම යනුම මහින්දගේ දේශපාලනික ගමන නිමා කිරීමේ කූඨෝපක්‍රමයන්ය. මෙය කණගාටුවට කරුණකි. සෑම කල්හිම දූෂිත දේශපාලනික හොරුන් විසින් කොල්ලකනු ලැබෙන්නේ තෝරාගත් සීමිත පිරිසකගේ ධනය නොවේ. එය සමස්ථ ජනතාවගේම ධනයයි. මේ නිසා, අපරාධ විමර්ශන දෙස වපර ඇහින් බැලිය හැක්කේ ‘පුරවැසියන්ට’ නොව විවිධ දේශපාලඥයන්ගේ ‘යටත් වැසියන්’ බවට පත් වූ අයට පමණි. පසුගිය දා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීම මහින්දෝන්මාදයෙන් පෙළෙන බොහෝ යටත් වැසියන් අර්ථකථනය කරගත්තේ ‘යුද්ධයෙන් රට බේරා ගැනීමට ඉදිරිපත් වූ විරුවෙකු’ සිරගත කිරීමේ වෑයමක් ලෙස වුවද යුද්ධය සිදු වූ කාලයේ යෝෂිත සිටියේ කොහිද යන වග අපි දනිමු. 48 න් පසුව මේ දක්වාම බිහි වූ සෑම ආණ්ඩුවකම දේශපාලඥයන්ට සිතැඟි පරිදි පිස්සු නැටීමට අවශ්‍ය ඉඩ හසර පාදා දෙනු ලැබුවේම පුරවැසි දෘෂ්ටිවාදයේ මෙවැනි ‘හිල්’ විසිනි.

සීනිගම දේවාලයේ දෙවියන් කියා පුළුටක් හෝ සිටී නම් ඔහු මේ මොහොතේ වඩා සවිඥානිකව කල් හැරීම හොඳය. මේ එන්නේ හොරුන්ටත් හොරකම උගන්වනු සමත් හොර කප්පිත්තන් රැළකි. ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේද දේශපාලනයට මුවා වී හොරකමේ යෙදෙනවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද ඇතුළු සහචරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආයතනයක් අකර්මණ්‍ය කර දමන ලෙසය. ළඟින් ගියත් ඇහැක් නැති එවන් හොර මුළකින් අඩුම තරමින් තම අබරණ ආයිත්තම් ටිකවත් පරිස්සම් කර ගැනීම දෙවියන්ගේ කාර්යයකි. ජාතික දේශපාලනය මිථ්‍යාදෘශ්ටික විහිළුවක තත්ත්වයට ඇද දැමීමට වළි කන මෙවැනි තක්කඩියන් ප්‍රතික්ෂේප කිරීම පුරවැසියන්ගේ වගකීමකි. සමාජ මාධ්‍ය ආශ්‍රිතව හොර පොල් පූජාවට ප්‍රචාරණය ලබා දෙන යටත් වැසියන්ට මට කීමට ඇත්තේ එක දෙයකි. ඔබට ඔවුන් ගැන අනුකම්පා සිතේ නම් ඔබ විසින් පෞද්ගලිකව මහන්සි වී හම්බ කරගන්නා ලද ධනයෙන් කොටසක් පරිත්‍යාග කරන්න. එහෙත්, රටේ ධනය කොල්ල කෑමටත්, කොල්ල කන ලද ධනය ආරක්ෂා කිරීමටත්, ජාතික දේශපාලනය තව තවත් පරිහානිකර අඩියකට ඇද දැමීමටත් උල්පන්දම් දීම ද්‍රෝහිකමකි. එසේ කිරීම ඔබ විසින් වියරුවෙන් මෙන් පෙන්නුම් කරමින් සිටින මහින්දවාදී දේශප්‍රේමයට න්‍යායික වශයෙන් පරස්පරය. “දේශ+ප්‍රේමය” යන වචනයේ සාමාන්‍ය අර්ථය ‘දේශයට ඇති ප්‍රේමය’ මිස ‘දේශය කන තක්කඩින්ට ඇති ප්‍රේමය’ නොවන බව ඔබ වටහා ගත යුතුය.

අශාන් වීරසිංහ | Ashan Weerasinghe