Image by: Nation

විසි වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ නිබන්ධකයෙකු සහ දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් සන්තායන කියූ පරිදි, ‘‘අතීතය අමතක කරන්නා නැවතත් එම අතීතයම අත්දැකීමට නියමිත වන්නේය’’ යන්න, ශ‍්‍රී ලංකාව වැනි රටකටම ගැලපෙන විශේෂ කියමනකි. හරක් මුග්ධත්වයෙන් සාමාන්‍යයෙන් අගතැන් පත් දේශපාලඥයන් සම්බන්ධයෙන් පමණක් නොව, ඛේදනීය ආකාරයෙන් දේශපාලනික න්‍යාය පත‍්‍රවලට කොටු වන තවත් බොහෝ දෙනාටත් එය අර්ථවත් වන්නේය.

යොමුවක් යුක්තිය සාක්ෂාත් කර ගැනීමේ පොදු යොමුවක්

ගිය වසරේ රාජපක්ෂලාව පලවා හැරීමෙන් පසු, යුද්ධයට අදාල කුරිරු ක‍්‍රියාවන්ට එරෙහිව යුක්තිය සාක්ෂාත් කර ගැනීම අරභයා සම්මත කර ගැනුණු එක්සත් ජාතීන්ගේ යෝජනාවන් කිහිපයකට ශ‍්‍රී ලංකාව බැඳ තබා ගැනීම ප‍්‍රබලම අභියෝගයක් විය. වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන ශක්තිමත් නීතිමය විනිශ්චයක් ඊට ගැටගැසී තිබුණේ නම් එය පරිපූර්ණ වනු ඇත. ඇති විය යුතු වෙනසේ කේන්ද්‍රයට ජනතාව යොමු කරවන ඒ කාරණා දෙකම, එකම ක‍්‍රියාවලියක කොටසක් විය හැකිව තිබූ අතර ඒ වෙනුවෙන් අති විශාල ජනතා සහායක් රටේ සිව් දෙසින් ලැබෙන්ට තිබුණි. ඒ මගින් රාජපක්ෂ කඳවුර හීලෑ වන්නටද තිබුණි.

මේ ක‍්‍රියාවලීන් දෙකටම අදාළ වන වැදගත් පොදු යොමුවක් තිබේ. එනම්, ශ‍්‍ර‍්‍රී ලංකාවේ පොලීසියේ සහ අභිචෝදක ආයතන පද්ධතියේ දූෂිත ඉස්තාල පිරිසුදු කැරැලීමයි. මෙහිදී මා ‘දූෂිත’ යන්න පාවිච්චි කරන්නේ, ආවාටගියාට නොවේ. මේ ආයතන තුළ වැදගත් පුද්ගලයන් සේවය නොකරන බවක් මින් නොකියැවේ. එහෙත් මෙකී ආයතනික ක‍්‍රම ක‍්‍රියාත්මක වන්නේ, ගෞරවයට සහ අභිමානයට වැඩි තැනක් ඉතිරි නොකරන ආකාරයෙනි. දැනට ශ‍්‍රී ලංකාවේ නීතිපතිවරයා පත් කිරීම ගැන ජනතාව සිටින්නේ ඇස ගසාගෙනයි. අධිකරණ ක‍්‍රියාවලියේ අභිචෝදක භූමිකාව පීලි පැනීම අලූත් දෙයක්වත්, විටින් විට පමණක් සිදුවන දෙයක්වත් නොවේ. මේ පිළිබඳ ලිඛිත කරුණු අධිකරණය ඉදිරියේ මෙන්ම වෙනත් කොමිෂන් සභා ඉදිරියේද ඉතා පැහැදිළිව ගොනු කොට තිබේ. 2006 උදලාගම කොමිසමේ කටයුතුවලට බාධා පැමිණවීමට, එක්තරා ජ්‍යෙෂ්ඨ රජයේ නීති නිලධාරියෙකු සෘජුවම ක‍්‍රියා කළ ආකාරය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් මෑතකදී පෙන්වා දෙන ලදි.

රජයේ නීති නිලධාරියෙකු අසාර්ථක පොලිස් පරීක්ෂණ අරභයා ‘උපදෙස්’ සැපයීම සහ එම පරීක්ෂණ ගැන සොයා බැලෙන ආයතනයේ ප‍්‍රධාන නීති උපදේශකයා වශයෙන් එම නීතිඥයාම කටයුතු කිරීම, පැහැදිළිවම, බැඳියාවන් අතර ගැටුමක් කියාපායි. එකල නීති අදහසක් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විශ‍්‍රාමික විනිසුරුවරුන් දෙන්නෙකු ඒ බව අවධාරණයෙන් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, අවාසනාවට කරුණ වන්නේ, මේ දේවල් ගැන නිර්භයව කතා කිරීමට එකී කොමිසමේ කිසි කොමසාරිස්වරයෙකුට එදාවත්, ඉන් පසුවවත් හයියක් නොතිබීමයි. මේ රටේ කට පියාගෙන සිටීමේ සංස්කෘතිය යනුවෙන් හඳුනාගත හැක්කේ එයයි.

ගෞරවනීය රාජ්‍ය සහ අධිකරණ නිලධාරීන් තනි වීම

කරුණු එසේ තිබියදී, (නීතිපති තරම් වුව) යම් තනි පත්වීමක් නිවැරදිව කළ පමණින්, ශ‍්‍රී ලංකාවේ බලපැවැත්වෙන දණ්ඩමුක්ති සංස්කෘතිය අඩාල වෙතැයි සිතීමට තරම් අප මෝඩ විය යුතු නැත. නීතියට අනුව කටයුතු කළ රාජ්‍ය නිලධාරීහූ ගිය වසරේ යහපාලන ආණ්ඩුව යටතේ පස්ස ගැසූහ. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ගේ මිනිස් අයිතීන් අපහරණයට ලක්කිරීම ගැන (උදාහරණයක් වශයෙන්, එක්නැලිගොඩ, තාජුඞීන් සහ තවත් දෙමළ සිවිල් වැසියන් අතුරුදහස් වීම් සම්බන්ධයෙන්) රජයේ නීතිඥවරයා විසින් හමුදාවෙන් වගඋත්තර ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුට එරෙහිව ඇති කරන ලද පීඩනය අති විශාල ය.

සන්සන්දනාත්මකව ගත් විට, නිර්භීත මහේස්ත‍්‍රාත්වරුන් කිහිප දෙනෙකු එවැනි පීඩනයන්ට හිස නැමීම ප‍්‍රතික්ෂේප කොට තිබේ. හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා එක් උදාහරණයකි. අතුරුදහන් වූ එක්නැලිගොඩගේ බිරිඳටත්, අධිකරණයේ නීතිඥයන්ට සහ මහේස්ත‍්‍රාත්වරයාටත් තර්ජනය කළ බොදුබල සේනා නායකයා කෙරෙහි තදින් සිටීමට ඔහුට හයියක් තිබුණි. එහිදීත් තමන්ට ඇති වූ පීඩනය ගැන ඔහු ප‍්‍රසිද්ධියේම කීවේය.

දේශපාලනික අධිකාරියේ විශ්වසනීයත්වය

සියල්ලටමත් වඩා, මේ අංශ කෙරෙහි ඉතා සමීප පාලනයක් හොබවන අධිකරණ අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ, සීසර්ගේ බිරිඳ මෙන් විය යුතුය. එනම්, සැකයට තුඩුනොදෙන ආකාරයෙන් හැසිරීම පමණක් නොව, එසේ හැසිරෙන බව පිටට පෙනෙන ආකාරයකින්ද කටයුතු කළ යුතු බවයි. එහෙත් ශ‍්‍රී ලංකාවේ අතීතය මොන විදිහකින්වත් යහපත් නැතත් වික‍්‍රමසිංහ-සිරිසේන සභාග ආණ්ඩුව ඒ අංශයෙන් එතරම් සාර්ථක වී ඇත්තේද නැත. ‘ඇවන් ගාඞ්’ සිද්ධිය ඉදිරියේ හිටපු නීතිය හා සාමය ඇමතිවරයාත්, වර්තමාන අධිකරණ ඇමතිවරයාත් සම්බන්ධයෙන් බරපතල අපවාද පැනනැගුණි. ඒවා තවම විසඳී නැත.

එහෙත් පද්ධතිමය දණ්ඩමුක්තියක් ඇති බවට නැගෙන චෝදනා ආණ්ඩුවේ ඉහළම තැන්වලින් ප‍්‍රතික්ෂේප කෙරෙනු දැකිය හැකිය. ඇතැම් සිදුවීම්වලට අදාළ පරීක්ෂණවලට හමුදාවේ ලොක්කන් ඇඟිලි ගැසීමේ චෝදනාව, මෑතකදී බී.බී.සී. ප‍්‍රවෘත්ති සේවයට ප‍්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කොට සිටීම ඊට නිදසුනකි. ප‍්‍රශ්නකාරී සිදුවීම් අරභයා අගතියට පත් පවුල්වල සාමාජිකයන් විසින් සහ අධිකරණය විසින්මත් මතුකොට ඇති අදහස්, ‘වැරදි’ අදහස් වශයෙන් ඔහු බැහැර කෙළේ අවඥාවෙනි. එය පටු දේශපාලනික අවශ්‍යතාවන්ට යට වීමක් වන අතර, ඔහුව බලයට තෝරා පත්කර ගැනුණු ජන වරමට පයින් ගැසීමක්ද විය.

දැනට වඩා තීරණාත්මක දේශපාලනික නායකත්වයක් රටට ලැබුණි නම්, වගවීම සඳහා අවශ්‍ය කරන තරමේ දේශීය යාන්ත‍්‍රණයන් අප සතුව ඇතැයි ලෝකයාට කීමට ජනාධිපතිවරයාට පුලූවන් කම තිබුණි. එහෙත් ගත වූ වසරක පාලන කාලය තුළ එවැනි ආදර්ශමත් තත්වයක් පෙනෙන්ට තිබුණේ නැත. විය යුතු පරිද්දෙන්ම, එම පාලන කාලය ගැන ජනතාව තුළ සැකසාංකා මතුවීම ජනතාවගේ වරදක්ම නොවේ.

අප ඉදිරියේ ඇති ප‍්‍රධාන අභියෝග

අපට මොන තරම් උවමනාව තිබුණත්, රටක ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පමණක් ප‍්‍රමාණවත් නොවේ. කෙතරම් ශක්තිමත් ආකාරයෙන් පනවා ගත් නීතිරීති වුවත්, ඒවා ක‍්‍රියාත්මක කිරීමේදී යුක්තිය මගහැර යාමේ පුරුද්දක් අපට තිබේ. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ, ව්‍යුහාත්මක දණ්ඩමුක්තියට අභිමුඛ වන විට, අනාථ වෙයි.

2015 දී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සඳහා පදනම් වූ මහ ලේකම්වරයාගේ වාර්තාව, කියන තරම් මෘදු නොවන බව අප පිළිගත යුතුය. පවතින ව්‍යුහාත්මක ස්වභාවය නිසා ඇති වන කුරිරු අපරාධ යුද්ධ කාලයේදී මෙන්ම ඉන් පසුවත් සිදුව ඇති බව එම වාර්තාව පෙන්වා දී තිබුණි. ‘අධිකරණයක් ඉදිරියේ සනාථ වුවහොත්, ඒවා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වශයෙන් ගැනෙන බවත්, ඒ අනුව සාපරාධී වගකීමට පුද්ගලයන් යටත් විය හැකි බවත්’ එහිදී පෙන්වා දී තිබුණි.

මේ නිගමන, ජනාධිපතිවරයෙකුගේ සැහැල්ලූ වචනයකින් දෙකකින් සමහන් කළ හැකි නොවේ. නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම වැනි සංකේතාත්මක ක‍්‍රියා යහපත් වෙතත්, ඒවා අප ඉදිරියේ ඇති ‘කර්කශ’ ප‍්‍රශ්න නොවේ. ඒ ගැන වාදයක් ඇති වීමම, රාජපක්ෂලාගේ මුග්ධ ජාතිවාදයේ පලයකි. එබැවින් ඒ ගැන පමණට වඩා කාලය සහ ශක්තිය මිඩංගු කළ යුතු නැත. අප ඉදිරියේ ඇති ඊට වඩා බරපතල ප‍්‍රශ්න, රාජපක්ෂ කෙනෙකු හෝ දෙන්නෙකු අත්අඩංගුවට ගැනීමකින් මකා හැරිය හැකි වන්නේද නැත.

නිසැකවම අද මේ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් ඉදිරියේ ඇති බරපතලම අභියෝගය වන්නේ, උතුරෙන් මෙන්ම දකුණෙන්ද ගොඩනැගෙන මහජන විශ්වසනීයත්වයේ ඛාදනය වළක්වා, මහජන අපේක්ෂා සපුරාලන්නේ කෙසේද යන්නයි. එසේ නොවුණහොත්, දිනෙන් දින පිරිහෙන ආර්ථිකයක් සහිත ශ‍්‍රී ලංකාව අභ්‍යන්තර අර්බුදවලින් මෙන්ම, ජාත්‍යන්තර පීඩනයන්ගෙන්ද නැවත වරක් සෝදාපාළුවට ගොස්, නිසැකවම මහත් ව්‍යවසනයකට මුහුණදෙනු ඇත.

කිෂාලි පින්තු ජයවර්ධන

*2016 පෙබරවාරි 07 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Meeting A Deepening Challenge of Credibility නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි