ඊනියා සමාජ සංවර්ධනය

මෑතකදී අපේ රටේ සමාජ විද්‍යාඥයෙක් ලංකාවේ සිදු වුන “සමාජ සංවර්ධනයක්” ගැන මේ ව්දියට කියනවා:

“ඉතාමත් අඩු එක පුද්ගල දල ජාතික නිෂ්පාදනයක් අපිට සතු වුවත් අපි සමාජ දර්ශක රාශියකින් අපේ දකුණු ආසියාතික අසල්වැසියන් අභිබවමින් උසස් මට්ටමේ සමාජ සංවර්ධනයක් ලඟා කර ගෙන තියෙනවා.”

අපේ මධ්‍යම පාන්තිකයින් ජප කරන මේ සුපුරුදු මන්තරේ අසා ඇති අතර එය අභියෝගයට ලක් කිරීම ට කාලය දැන් එළබී තිබේ. අද අපි ලැගුම් ගෙන සිටින මේ සමාජය අපේ නිදහස් නිර්මාණයක් නොවේ. එය 1833 දී මෙරටට උඩින් ගෙනවිත් දැමූ ආයතනික රාමුවක් තුල සකස් වූ කෘතීම සංවිධානයකි. සාමාන්‍ය සමාජයක් තුල මුලින්ම සමාජය වර්ධනය වී එහි පරිනත විකාශයක් ලෙස රජයක් බිහි වෙයි. යටත් විජිතකරණයට ලක් වූ ලංකාව තුල මෙයට හාත්පසින් ම වෙනස් ලෙස අධිරාජ්‍යයක් මගින් එහි පරාමිතීන් තුල කෘතීම වූත් අවජාතක වූත් සමාජයක් ජනිත කරයි. එම සමාජය තුල නිදහස් ගුණය ගැබ් වී නැත. නිදහස් හා සෞක්‍ය සම්පන්න මානව බැඳීම් ද එම සමාජය තුල දක්නට නැත. කොටින්ම කිවහොත් සහෝදරත්වය තුරන් වී අසල්වැසියා ආගන්තුකයෙක් බවට පෙරලී තිබේ. අපේ සමාජය තුල හටගත් කැරලි සහ යුධ කෝලාහල තුලින් මේ සත්‍ය අපි හොඳට ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිමු. මේවා කතෘ ගේ අදහස් නොවේ. අපි හැමෝම දන්නා කරුණු.

අපේ සමාජ අර්බුදය පැන නගින්නේ මෙතනින්. එකිනෙකාට උදවු කරගන්න සංස්කෘතියක් දැන් අපිට නෑ. ඉගෙන ගන්න සංස්කෘතියකුත් නැහැ. එහෙවු සංස්කෘතියක් තියෙන සංවිධානාත්මක සමාජ තුල සමාජයේ සහ රජයේ මූලිකත්වයෙන් වෘත්තිමය සමාජ වැඩ පද්ධතියක් ඇති වෙනවා. මෙතෙක් “සමාජ සේවය” පමණක් දැන සිටි අපේ පුරවසියන් හට “සමාජ වැඩ” යන්නේ කුමක්දැයි පැහැදිලි කිරීම වටී.

අධිරාජ්‍යවාදීන් බලෙන් ආයතනගත කල සමාජය

ලෝකය පුරා විවිධ සමාජ 19 වෙනි ශතවර්ෂයේ සිට සිය ආර්ථික ක්‍රම ධනවාදයට අනුගත කිරීමේදී සෑම ජන කොට්ඨාශයක්ම දැනුම, හැකියාව, අවස්ථා සහ බලය අතින් එකම ආරම්භක ස්ථානයක සිටියේ නෑ. රදල, උගත් සහ නාගරික පැලැන්ති ඉදිරියෙන් සිටි අතර වැවිලි කර්මාන්තයට සහ ඉඩම් කොල්ලයට ලක් වූ නූගත් ගැමි ජනයා තොග පිටින්ම වේතන ලබන ශ්‍රමිකයින් බවට පත් විය. අනික් අතට දකුණු ඉන්දියානු කම්කරුවන් නූතන වහලුන් බවට පත් වුනා. අද මැද පෙරදිග ට යන අපේ කාන්තාවන්ටත් මෙවන් අවතැන් වීමක් අද සිදු වෙනවා.

යටත් විජිතකරණය තුල තම “තත්වය” සහ “නම්බුව” රැකගත් අපේ ප්‍රභූ පාලක පැලැන්තිය ගොඩ නගාගත් පොලිස් ස්ථාන, උසාවි, රෝහල්, කච්චේරි, පාසල්, පන්සල් සහ පල්ලි වලින් සමන්විත “ඔවුන්ගේ ලෝකය” තුල මේ අසරණයන් ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නත්, විසදුම් නොලැබෙයි. ආයතන ගත වූ ප්‍රභූ ලෝකය සහ අසරණයන්ගේ ලෝකය දෙකකි. අද ඊනියා සමාජ සංවර්ධනයක් ගැන පුරසාරම් දොඩන්නේ ආයතන ගත වූ ප්‍රභූ ලෝකයේ ජයග්‍රහණයක් ගැන මිසක් එය තවමත් අවතැන් වූ මන්ද පෝෂණයෙන් පෙලෙන, ප්‍රචණ්ඩත්වයට ලක්වෙන මිනිසුන් ගේ කතාවක් නොවේ.

සමාජ වැඩ අවශ්‍ය වෙන්නේ ඇයි?

මෙලෙස ධනවාදය සහ ගෝලීයකරණය නිසා ප්‍රධාන ආර්ථික ධාරාවෙන් ඉවතට වැටී, ඇතැම් විට කුණු මල්ලක් වගේ සමාජයෙන් ඉවතට වීසි කරන මිනිස්සු රැක බලා ගන්න අද ශිෂ්ට සම්පන්න සමාජ ගොඩ නගා ගත් වෘත්තියක් තමයි සමාජ වැඩ ලෙස හඳුන්වන්නේ. අපුද්ගලික හා නිර්මානුශීකරණ ක්‍රියාවලියකට භාජනය වූ ශ්‍රමිකයා වෙත පුද්ගලික සහ විශ්වසනීය පදනමකින් ප්‍රවේශ වී උදව් කිරීම අපි සාමාන්‍ය මුදලට ප්‍රදානය කරන ශ්‍රමයෙන් ඔබ්බට යන මානුෂික සහ පුද්ගලික – එමෙන්ම වෘත්තිමය “වැඩක්” ලෙස හඳුන්වනවා. අද මතු වෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ අවුරුදු 2500ක සංස්කෘතියකට උරුම කියන සමාජයක සමාජ වැඩ හරයෙන් සහ භාවිතයෙන් යන දෙකෙන්ම අපට ආගන්තුක දෙයක් වීම.

අද අපේ සමාජ වැඩ අධ්‍යාපනය, පර්යේෂණ සහ පුහුණු කිරීම් ලෝකයේ දියුණු වෙමින් පවතින බොහෝ රටවල් වලට පිටුපසින් තිබීම නොරහසක්. ඒක තමයි අපේ ඊනියා සමාජ සංවර්ධනයේ යෝධ සෙවනැල්ල. ජාතික සමාජ සංවර්ධන ආයතනයෙන් මුල්ම සමාජ වැඩ උපාධිධාරීන් පිට වූයේ සුනාමියටත් පස්සේ 2006 වර්ෂයේදී. සමාජ විද්‍යා උපාධිධාරීන් සිය ගණන් බිහි කරන අපේ කිසිම විශ්ව විද්‍යාලයක් එහි ප්‍රායෝගික තලයට බැස සමාජ වැඩ පාඨමාලාවක් ඇති කිරීමට උත්සාහ කර නෑ.

ලංකාවේ සංවිධානාත්මක සමාජ වැඩ පද්ධතියක් නොමැති වීම පිටුපස මූලික සාධක දෙකක් හඳුනාගත හැක.

1. 1940 ගණන් සිට 1977 දක්වා සමාජ සුභසාධන රාජ්‍යයේ ජයග්‍රහණ ගැන ඉදිරිපත් කරන අවිචාරාත්මක කතිකාව එක හේතුවකි. යම් ජන කොට්ටාශයක් භෞතික වශයෙන් මධ්‍යම පන්තියට සේන්දු වීම නිසා සමාජ චලනයක් ඇති වීම අපි දන්නා කරුණක්. නමුත් එය සමාජ “සංවර්ධනයක්” ද මේ සුභ සාධන පිළිවෙතින් වැඩිම ප්‍රතිලාභ හිමි කර ගත්තේ නාගරික මධ්‍යම පන්තිකයින් බවත් පිලි ගත යුතු වේ. මේ විදිහට සකස් වූ සමාජ විභේදනය 1977 ට පසු ආයතන ගත වූ ද්විත්ව ආර්ථිකය මගින් තවත් තහවුරු වී දුප්පතුන් දිගින් දිගට ම ප්‍රධාන ආර්ථික ප්‍රවාහයෙන් පිටමන් වුනා.

2. සැබෑ සමාජ දැක්මක් හෝ සමාජ එකාග්‍රතාවක් නොමැති අපේ නායකත්වය දැනට අනුගමනය කරන්නේ අසරණයින් යල්පැන ගිය යටත් විජිත නීති සහ දෙපාර්තමේන්තු මාර්ගයෙන් අවම වියදමකින් නඩත්තු කිරීමේ ප්‍රතිපත්තියයි. මේ ප්‍රතිපත්තිය තුලට අසරණයින් පිලිබඳ මූලික දැනුමක් ඇතුලත් වී නැත. එවන් දැනුමක් ලබා ගත හැක්කේ සංවිධානාත්මක සමාජ වැඩ ප්‍රවේශයක් තුලින් අසරණයින් සමග අඛණ්ඩ වූත් සමීප වූත් සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමෙන් පමණි. මේ ආයෝජනය ක්‍රමානුකූලව සිදු කිරීමට අවශ්‍ය දේශපාලනික තීරණ වලට එළඹීමට රටේ උගතුන් සහ දුප්පතුන් අත්වැල් බැඳ ගැනීම අත්‍යාවශ්‍ය වේ.

සමාජ දුරස්ථභාවය

මතු පිටින් බැලූ බැල්මට අපි නෛතික සහ පරිපාලනමය වශයෙන් සමානාත්මතාව පිළිගෙන තිබෙන සමාජයක්. නමුත් බලය සමාජය තුල ක්‍රියාත්මක වීමේදී මහජන චිත්තය තුල කා වැදී තිබෙන උස් පහත් බේදයත් ඉන් මතුවන සමාජ දුරස්ථභාවයත් අද චිරස්ථායී වෙලා. එමගින් නෛතික බලය ප්‍රසාරණය වී තිබෙනවා.

මේ ගතිකය හේතුවෙන් බල සම්පන්න පුද්ගලයන් සහ බල රහිත පුද්ගලයන් අතර සිදු වෙන කතා බහ වක්‍ර සහගත සහ සංකීර්ණ ස්වරූපයක් දරනවා. එමගින් සත්‍ය තත්වයන් පැහැදිලිව ඉදිරිපත් වෙන්නේ නෑ. අද බලය හොබවන, තීරණ ගන්න, ප්‍රතිපත්ති ලියන පුද්ගලයින් සමාජ යථාර්තයන් පැහැදිලිව දකින්නේ නෑ. සමාජ දුරස්ථභාවය නිසා මොවුන් සහ අසරණ ජනය අතර හිඩැස රික්තකයක් ලෙස පවතිනවා. සන්නිවේදනය සිදු වෙන්නේ මේ රික්තකය ඔස්සේ. බල සහිත පුද්ගලයාට බල රහිත පුද්ගලයා සමග බැඳීමක් නැති වීමෙන් මේ දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය අවබෝධයක් නැහැ.

සත්‍ය ප්‍රජාවන් නොදැකීම

අධිරාජ්‍යවාදීන් ලෝකය ජාතික රාජ්‍යයන් වශයෙන් කැබලි කොට වෙන් කළා මෙන් අපේ පරිපාලන සේවය මේ සමාජය ග්‍රාම නිලධාරී වසම් හැටියට වෙන් කොට පාලනය කරනවා. මේවා තුල ජීවත් වෙන පවුල් සහ ප්‍රජාවන්ගේ විවිධත්වය ට ගරු කිරීමක් හෝ පිළිගැනීමක් මේ විභේදනය තුල දකින්නට නෑ. උග්‍ර ප්‍රශ්න මතු වූ විට මොවුන් පාලනය කිරීමට යොදා ගන්නේ ධනවාදය සමග යුරෝපයේ සකස් කර ගත දුප්පතුන් ගේ නීතියයි. මෙයට අපරාධ (පොලිසිය සහ අපරාධ උසාවි), පරිපාලන සහන (පරිවාස සහ සමාජ සේවා) සහ නේවාසික සේවා (ළමා, අබාධිත සහ වැඩිහිටි නිවාස) ත්‍රිත්වය අයත් වේ. මේ ඇත්ත වශයෙන් ම දුප්පතුන් පාලනය කිරීමට පෝසතුන් නිර්මාණය කල ක්‍රම වේදයකි. එමගින් දුප්පතුන් දිගින් දිගටම දුප්පතුන් ලෙස පැවතීම සහතික වේ.

අද මීට අමතරව විශේෂ සහනාධාර ක්‍රම විදේශ රැකියා නියුක්තිකයන්ට, ගොවීන්ට සහ ධීවරයන්ට, වතු කම්කරුවන් හට සහ සහ අපනයන ආර්ථික කලාප වල සේවකයින් හට හුදෙක් ආර්ථික සහ දේශපාලන අවශ්‍යතා සැපිරීමට පමණක් සකස් කර ගෙන තිබේ. මෙතනින් ඔබ්බට අල්ලස්, කප්පන්, කොමිස් සහ යටි මඩි ගැසීම් වලින් පෝෂිත අපේ සශ්‍රීක කළු ආර්ථිකය මතින් විවිධ බලවතුන් සපයන අනුග්‍රහය මත තවත් ජන කොට්ටාශ යැපේ.

1977 ට පසු මේ සන්ධර්භයට කඩා වැදුණු විවිධ ජාත්‍යාන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන මේ අනුග්‍රාහක පද්ධතිය අභියෝගයට ලක් නොකර එය තුලම පැලපදියම් වුනා. එක පුද්ගල අනන්‍යතා පාදක “මානව හිමිකම්” අලෙවි කරමින් තම තමන්ගේ ජන කොට්ටාශ (උදා: ළමයි, කාන්තාවන්, ආදී කාණ්ඩ) වලට සේවා සැපයීමක මේ සංවිධාන නිරත වුනා. 2015 දී අපට කිව හැක්කේ මේ අලෙවි කල කිසිම මානව හිමිකමක් අද වෙන තුරු අපේ සමාජයේ ස්තාපිථ වී නැති බවයි. මූලික වශයෙන් අපේ සමාජ සන්ධර්භය යථාර්ථවාදී ව කියවා මානව හිමිකම් පිලිබඳ අදහස් සාර්ථකව ගලපා ගැනීමට අපි හැමෝම අපොහොසත් වූ බව අද පිළිගැනීමට සිදු වෙනවා.

මෙයට මූලික හේතුවක් වශයෙන් ඉදිරිපත් කල හැක්කේ බල සහිත සහ බල රහිත කොටස් යා කිරීමට අවශ්‍ය පාලමක් බඳු වූ සාර්ථක සමාජ වැඩ ප්‍රවේශයක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වීමයි.

එක් එක් මානව කාණ්ඩ (ළමුන්, කාන්තාවන්) මුහුණ දුන් ප්‍රචණ්ඩත්වයන්ට රජය සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති මගින් ප්‍රතිචාර ගොනු කල නමුත් මේවා තුල අදාළ ප්‍රජාව පැහැදිලිව දැකීම, අවබෝධ කර ගැනීම හෝ ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියක් දක්නට නොලැබිණ. සංවිධානාත්මක සමාජ වැඩ ක්‍රම වේදයක් නොමැති ප්‍රජා තුල අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා පමණක් රජයේ නිලධාරීන් සහ විශේෂයෙන් බඳවා ගත සමාජ වැඩ කරුවන් සහ ස්වේච්චා නායකයින් යොදා ගත් අතර ව්‍යාපෘතියේ අවසන එම ප්‍රජාව පෙර තිබූ ස්ථානයටම වැටුනා. මේ චක්‍රය නැවත නැවත මේ ආකාරයටම සිද්ධ වුනා.

අපරාධකරණයේ උගුල

ළමා අපයෝජනය සහ කාන්තා හිංසනය වැනි උද්වේගකර සිද්ධීන් තුල උණුසුම් වාතාවරණයක් ඇති වුනත් එමගින් ප්‍රශ්න පැහැදිලිව ග්‍රහණය කර ගැනීමට උපකාරී ආලෝකයක් සාමාන්‍යයෙන් මතු වෙන්නේ නෑ. මේ යතාර්ථය ලංකාවේ පමණක් නොව දියුණු සහ වෘත්තිමය සමාජ වැඩ පද්ධති ක්‍රියාත්මක වන එංගලන්තයේ පවා හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපරාධකරණයේ ආධිපත්‍ය තුල දරුවන්, පවුල් සහ ප්‍රජාවන්ගේ ක්ෂුද්‍ර මට්ටමේ අභිලාශ සහ සිහිනයන් බොඳ වී මැකී යනවා.

බොහෝ රජයන් විසින් සමාජ ප්‍රශ්න අපරාධ බවට හරවා එමගින් රාජ්‍ය සහ පොලිසිය ශක්තිමත් කර ගන්නවා මිසක් ප්‍රශ්නයේ අරටුව දක්වා ගමන් කරන්නේ නෑ. මිනිසුන්ගේ ජීවිත සමග සම්බන්ධ වෙන්නේ නෑ. යම් සිද්ධියක් වුනාට පසුව ගහන අපරාධ ලේබලයෙන් අපිට එය පිටුපස ක්‍රියාත්මක වූ හේතු මාලාව පැහැදිලි වෙන්නේ නෑ. කොටින්ම කිවහොත් “අපරාධයක්” යන වචනයෙන් අපිට සිද්ධියක් ගැන කිසිම අවබෝධයක් ලැබෙන්නේ නෑ. එය අපේ නොදැනුවත්කමට වස්ත්‍රයක් විතරයි.

නමුත් මේ “අපරාධය” කියන ඊනියා විසදුම සීමාන්තිකව පාවිච්චි කිරීමේ ආදීනව අද හැමෝටම පැහැදිලි වී තිබෙනවා . අපරාධ යුක්ති පද්ධතිය අක්‍රිය වෙන මට්ටමට අද ළමා අපයෝජන නඩු වලින් පිරිලා. මේවා විසදීමට හෝ වරදකරුවන්ට දඩුවම් දීමට මේ පද්ධතියේ සේවය කරන නිලධාරීන් හට ධාරිතාවක් නෑ. මේ ප්‍රශ්නයට අපි මුල සිටම සැලැස්මකින් තොරව එළඹීම නිසා අපේ සම්පත් වැඩියෙන් ම රජය පැත්තට යොමු කරලා අපයෝජනය වලක්වා ගැනීමට පවුල් ඒකකය සහ ප්‍රජාව ශක්තිමත් කිරීමේ වැදගත් කම අමතක කර තිබෙනවා.

ප්‍රශ්නය සහ විසදුම යන දෙකම තියෙන්නේ සමාජය තුලයි. නමුත් රජය සහ වෙනත් ආයතන අනවශ්‍ය බරක් කර පිට ට අර ගෙන අද දුක් විඳිනවා. මේ විදිහට අද රජයත් ප්‍රශ්නයේ කොටසක් වෙලා.

මේ ප්‍රශ්නය විසදීමට අලුත් සමාජ දැක්මක්, සමාජ වගකීමක් සහ අලුත් ආකල්ප අවශ්‍ය වී තිබෙනවා. යටත් විජිත අදහස් සහ දුප්පතුන්ගේ නීති වලින් මෙයට විසදුම් ගේන්න බැහැ.

සමාජ වැඩ පැවරූ ක්ෂේත්‍ර නිලධාරීන්

අද දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සමාජ වැඩ කාර්යයන් පැවරූ තරුණ උපාධිධාරීන් කණ්ඩායමක් සිටී. අද අපේ සමාජයේ නොවිසදුනු දැවෙන ප්‍රශ්න වන මන්දපෝෂණය, කාන්තා හිංසනය, මවු වරුන් මැද පෙරදිගට පැටවීම සහ ළමා අපයෝජනය සදහා සාර්ථක ඒකාබද්ධ ප්‍රවේශයක් ගොඩ නැගීමේ දී මේ මානව සම්පත ඉතාමත් කල්පනාකාරීව සහ සැලසුම්සහගත ව යොදා ගත යුතු වේ.

මේ නිලධාරීන්ගේ සේවා තත්වය ඇගයීමේදී පර්යාලෝකන තුනක් වැදගත් වේ. පලමුවෙනුව මොවුන් ළමුන්, කාන්තාවන්, ආබාධිත, තරුණ, මහලු ආදී කාණ්ඩ සදහා සේවය සපයන්නන් වුවත් මානව සංවර්ධනයට අයත් සියලුම විෂයන් පාහේ අද පළාත් සභා වලට පවරා තිබේ. මේ නෛතික යතාර්ථය මධ්‍යම ආණ්ඩුව පිළිගත යුතු වේ. දෙවනුව මේ නිලධාරීන්ගේ සහ ඔවුන් අයත් ආයතන වල අර්ධ වෘත්තික ස්වභාවය නිසා ඔවුන් පරිපාලන සේවයේ නිලධාරීන් ගේ අණසකට යටත් කර තිබේ. එබැවින් ස්වාධීන දෙපාර්තමේන්තුවක නිලධාරියෙකුට හිමි ස්ථානය මොවුන්ට නැත. තෙවනුව මොවුන් හට ප්‍රජාව සමග සාර්ථකව ගනුදෙනු කිරීමට අවශ්‍ය සමාජ වැඩ රාමුවක් සකස් කර නොමැත.

එවන් රාමුවක් සුනාමියට ලක් වූ ප්‍රදේශ තුල සමාජ සත්කාරක කේන්ද්‍ර ඉදි කර සැපයීමට කටයුතු කල නමුත් පසුව ළමා හා කාන්තා අමාත්‍යාංශයෙන් ගත් තීරණ නිසා මේ ආකෘතිය මුළු දිවයිනටම හඳුන්වා දීමට අපොහොසත් වී තිබේ. සමහර රාජ්‍ය නොවන සංවිධාන මගින්ද ප්‍රජාව බල ගැන්වීමේ සාර්ථක ප්‍රවේශ තුලින් සැබෑ ප්‍රජා නායකත්වයක් ඇති කිරීමට හැකි වී තිබේ. අද අවශ්‍ය වී තිබෙන්නේ පැහැදිලි සහ තිරසාර වූ දේශපාලන කැපවීමක් සහ නායකත්වයකි. එය ආරම්භ විය යුත්තේ රජයෙන් නොව සමාජයෙනි.

පසුගිය අර්ධ ශතකය තුල අපි ලංකාවේ දුටු – අදත් සමරන, සමාජ බලගැන්වීමේ සාර්ථක උදාහරණ අතර සර්වෝදය ව්‍යාපාරය, නිවාස දස ලක්ෂයේ වැඩ සටහන සහ ජනසවිය හැඳින්විය හැක. මේවා නිර්මාණය කිරීමේදී බාහිර සම්පත් සහ දැනුම සහ ප්‍රජා අයිතිය අතර තුලනය මැනවින් ආරක්ෂා කර ගෙන දුප්පතුන් ඔවුන් ගේ යැපුම් මානසිකත්වයෙන් ගැලවීමට සමත් විය. මේ ආකාරයට සමාජ ප්‍රශ්න විසදීම සදහා සමාජීය ක්‍රියාවලියක් යොදා ගෙන එමගින් සහභාගිත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හැකි විය.

අද සමාජ ප්‍රශ්න විසදීමට උත්සාහ කරන බොහෝ ප්‍රයත්න තුල එවන් පතුලට බැස ගත් සුහද සමාජීය ප්‍රවේශ දක්නට නොලැබේ. මේ පරස්පර විරෝධතාව ග්‍රහණය කිරීම වැදගත් වෙනවා. අපේ බොහෝ දේශපාලකයින් සහ රජයේ නිලධාරීන් ගේ ව්‍යාජ ප්‍රතිරූප සහ දුරස්ථභාවය නිසා ප්‍රශ්න අදාළ සියලුම පාර්ශව සමග විවෘතව සාකච්චා කිරීමට වත් මොවුන් සමත් වෙන්නේ නැහැ. මේක තමයි අපිට නැති වූ සමාජ පදනම.

අත්‍යාවශ්‍ය සංස්කෘති දෙක

අද ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව අතින් ඉහල නමුත් මන්ද බුද්ධික සහ බොළඳ සමාජයක් බිහි වී තිබෙනවා. අපේ සෞක්‍ය සහ අධ්‍යාපන ක්ෂේස්ත්‍ර දෙස බලන විට මෙය පුදුමයට කාරණයක් නොවේ. මක් නිසාද අපේ සෞක්‍ය සහ ගුරු වෘත්තීන් දෙකම දැඩි අරගල මානසිකත්වයකින් පීඩන කාරී සහ තරඟ කාරී ජීවන රටාවක් තුල කොටු වෙලා. මේක ශිෂ්ටාචාරමය බිඳ වැටීමක්. සුද්දන් ගේ උදව්වෙන් අපේ ප්‍රභූ පාලක පන්තිය ඉදි කල අව ජාතක සමාජයත් අද විනාශ වී හමාරයි.

අද අපිට අලුත් සංස්කෘතියක් ගැන සිතීමට කාලය එළබී තිබේ. අපේ සියලු විභව ශක්තීන් ඒකරාශී කර ගනිමින් බාල මහලු සියල්ලෝම ඉගෙන ගැනීමේ සංස්කෘතියක් සහ එකිනෙකාට උදව් කිරීමේ සංස්කෘතියක් ගොඩ නගා ගත යුතු වේ. සමාජ වැඩ ප්‍රවේශය මේ දෙකම එකමුතු කරයි. මේ විදිහට අපේ වෛද්‍ය සහ ගුරු වෘත්තීන් විසින් මැවූ තරඟකාරී “රණ භූමිය” සතුට, සාමය සහ සෞභාග්‍ය ලඟා කර දෙන “රංග භූමියක්” බවට පරිවර්තනය කල හැකි වේ. මෙය ප්‍රායෝගිකව ඉටු කරන සැටි ආමීර් ඛාන් ගේ විශිෂ්ට අධ්‍යාපනික චිත්‍රපටියක් වන “තාරේ සමීන් පාර්” විසින් ගෙන හැර දක්වයි. එය සෑම ලාංකිකයෙක්ම නැරඹිය යුතුයි. එමෙන්ම දෙවෙනි ලෝක යුද්ධය අවසානයේ සම්පූර්ණයෙන් විනාශයට ලක් වූ ජර්මනිය සහ ජපානය සතු වූ විනාශ නොවූ අධ්‍යාත්මික, සංස්කෘතික සහ සමාජීය ප්‍රාග් ධනය ගැන ඉගෙන ගැනීම වටී. අද අපේ මුල් පෙලේ රාජ්‍ය නිලධාරීන් පවා (මීට දශක දෙකකට උඩදී තිබූ තත්වය වෙනස් කරමින්) ඉංග්‍රීසි භාෂාව පරිහරණය නොකරන්නන් බවට පත් වීම තුල උගත හැකි එක පාඩමක් වන්නේ උදව් කිරීමේ සංස්කෘතියක් නොමැති තරඟකාරී ඉගෙන ගැනීමේ සංස්කෘතියකින් අපිට සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවයි.

සජීව සමරනායක | Sajeeva Samaranayake