මනුෂ්‍ය සමාජයේ පුද්ගලයින්, කණ්ඩායම්, පක්ෂ සංවිධාන ආදී හැම කෙනෙකුටම තමා හා තමා නියෝජනය කරන ව්‍යුහය හරි හැටි තේරුම් ගැනීම වැදගත් කාරණයකි. ඒ අප බලාපොරොත්තු වන ජීවිතය අරමුණු හා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම පිණිස ය. අපි නිතරම තමන්ව තේරුම් ගනු ලබන්නේ අනෙකා සහ එකිනෙකා මාර්ගයෙනි. තමා පිළිබඳව කරන ඇගයුම හෝ විවේචනය විසින් අපගේ ජීවිතයේ හැසිරීම හා පෞර්ෂය පුළුල් වීම සිදු වේ. පුද්ගලයාගේ සිට පවුල පාසල මිත්‍ර සමාගම ආයතන සංවිධාන යන සෑම මනුෂ්‍ය ව්‍යුහයන් මෙයට අදාල වන අතර මෙම අදාලත්වය අප ජීවත්වන සමාජ දේශපාලන සංස්කෘතික වටපිටාවට මෙන්ම පුළුල් අරුතින් ධනවාදී පාරිභෝජන සමාජයට බෙහෙවින් වැදගත් වේ. මෙම නියාමය ලෝක මිනිස් සත්වයාටම පොදු කාරණයක් වන බැවින් ඒ පිළිබඳව ඇති න්‍යායික කැඩපතක් හැඳින්වාදීම මෙම ලිපියේ අරමුණ වන්නේය.

මෙම හැඳින්වීම සිංහල බසින් ලියන බැවින් ලාංකීය අප දෙසට හැරීමේ දී, මේ මොහොත තරම් ලංකා සමාජය කුරුවල් වුණ කාලයක් පශ්චාත් යටත් විජිත කාල අවකාශයේ දැක නැති තරම්ය. මෙම කුරුවල් වී ඇති කොටස යනු ලංකා සමාජයේ අන්ධ කොටස ය (Blind Spot). පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා වූ සෑම ආකෘතිගත ආයතනයකටම එම සංකීර්ණත්වය උරාගෙන ඇති මොහොතක, තමා දෙසට හා තමා නියෝජිත ව්‍යුහයන් දෙසට හැරීමට සිදු වීම පවත්නා තත්ත්වයන් විසින්ම බල කරමින් සිටී. එනිසාවෙන්ම ඉන් ගොඩවීම පිණිස අනෙකුත් විද්‍යාවන්, දර්ශනයන් මෙන්ම හෝ ඊටත් වඩා වැඩියෙන් සමාජ මනෝවිද්‍යාව වෙත බරපතල ලෙස හැරී බැලීමට සිදුවීම යනු ද සාමාජ දේශපාලනයේ අත්‍යාවශ්‍ය කොටසක් වී ඇත. මෙම හඳුනා ගැනීම සඳහා සාම්පලයක් ලෙස සමාජ දේහයේ මතුපිට ප්‍රකාශිත ජන මාධ්‍ය හා සාමාජ මාධ්‍ය වෙතට හැරී සංයමයකින් හා ශික්ෂණයකින් යුතුව ඊට ඇතුල් වූ විට අවබෝධගර ගත හැකිය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ එම අවබෝධය ලබා ගැනීම පිණිස අවබෝධයක් ඇති ව්‍යුහයන් සහිත සමාජයක් අප සතුව ඇත් ද ඇත්තේ නම් කොපමණ ප්‍රමාණයට ද යන කාරණාව විසින් සමාජයක් ලෙස ඊට ඇතුලු වීමේ කවුළු සොයාගත හැක්කේ කෙසේද යන කාරණය පමණි.

මෙහිදී යොහාරී ජනේලය (Johari Window) නම් මොඩලය මගින් සාකච්ඡා කිරීමට අපේක්ෂිත විෂය ක්ෂෙත්‍රය වන්නේ පුද්ගලයා සහ අනෙකා එසේ නොමැති නම් කණ්ඩායමක, සංවිධානයක, පක්ෂයක ඇති සවිංඥාණික හා අවිඥාණික පෞර්ෂය හා හැසිරීම් රටාවන් තේරුම් ගැනීම පිණිස සමාජ මනෝවිද්‍යාත්මක අවබෝධයකට අතුලු වීමය. මෙම මොඩලය සංයුක්ත ලෙස ප්‍රසාරණය කරමින් 1955 දී පමණ වර්ධනය කරනු ලැබුවේ අමෙරිකානු සමාජ මනෝවිද්‍යඥයින් දෙදෙනෙකු වන ජෝසප් ලූෆ්ට් Joseph Luft සහ හැරී ඉන්හම් Harry Ingham විසිනි. මෙම නිර්මාපකයන්ට ගෞරවයක් වශයෙන් ඔවුන්ගේ නම් දෙකෙහි සංකලනයක් ලෙස යෝ (Jo)යන්න ජෝසප් යන නමිනුත්, හාරී(hari) යන්න හැරී යන නමිනුත් ලබා ගනිමින් මෙම මොඩලය යොහාරී (Johari) නමින් හඳුවන්වනු ලැබේ. මෙම මොඩලය සම්බන්ධයෙන් සවිස්තරාත්මක අවබෝධයක් ඇවැසි අයෙක් වෙත් නම් අන්තර් ජාලය තුලින් විවිධ මානයන්ගෙන් ලියැවුණු ලිපි වලට පිවිසිය හැකි අතර, මෙහි දී මගේ අපේක්ෂාව වන්නේ මෙම මොඩලයෙන් අපි අපිම විග්‍රහ කර ගත හැකි වන්නේ කුමන ප්‍රමාණයකට ද යන්න පිළිබඳ යම් ආකාරයකට කරුණු විමසීමය.

යොහාරී ජනේලය නැමැති සූත්‍රගත මොඩලය පුද්ගලයෙකුට, කණ්ඩායමකට, සංවිධානයකට නැතිනම් පක්ෂයකට ආදී වශයෙන් කුමන ව්‍යුහයකට වුවද ආදේශ කළ හොත්, මෙකී ජනේලය අදාල විෂයයට කැඩපතක් වන්නේය. මෙම ජනේලය කොටස් හතරකට බෙදමින් පුදුගලයාගේ හෝ අදාල ව්‍යුහයේ සවිඥ්ඥානික හා අවිඥ්ඥාණික පෞර්ෂය වටහා ගැනීමට පහසුකම් සලසන්නේය. ඒ අනුව මෙකී ජනේලයේ කොටස් හතර වන්නේ

image

1. විවෘත කොටස (Open Area)

2. අන්ධ වූ කොටස (Blind Area)

3. සැඟවුණ කොටස (Hidden Area)

4. නොදන්නා කොටස ( Unknown Area)


විවෘත කොටස- Open Area

මෙම කලාපය විවෘත ප්‍රදේශය, විවෘත කොටස, නිදහස් කලාපය, නිදහස් කොටස නැතිනම් එරීනාව ලෙස හඳුන්වනු ලබන අතර සමස්ථයක් ලෙස මෙය බෙදන ලද, නිර්ණය කරන ලද ආකෘතියකි. තමා පිළිබඳව තමා දන්නේ කුමක් ද යන්න මෙන්ම අනිත් අය ද (අනෙකා)දන්නේ කුමක් ද යන්න ද පෙන්නුම් කරන ක්ෂේත්‍රය වේ.

පුද්ගල, කණ්ඩායම් හෝ සමාජ ව්‍යුහයක විවෘතව ඇති කොටස තමාට සහ අනෙකාට අවබෝධ වී ඇති වපසරිය පෙන්නුම් කරන අතර බොහෝ ක්‍රියාකාරිත්වයන් පදනම්ව ඇත්තේ මෙම රාමුව තුලය. එබැවින් අපගේ පෞර්ෂත්වයේ දෘශ්‍යමාන කොටස ලෙස යොහාරී ජනේලයේ ඇති විවෘත කොටස හඳුනාග. හැකිය.

මෙය පුද්ගලයාට ආදේශ කළ ද කිසියම් ව්‍යුහයකට අදේශ කළ ද සංවිඥාණික හා අවිඥාණික පෞර්ෂයේ හැසිරීම් තේරුම් ගනු ලබන්නේත්, එයට අනුව ප්‍රතික්‍රියා දක්වන්නේත් විවෘත කොටසට අනුවය.


අඳ කොටස- Blind Area

අන්ද වූ ප්‍රදේශය, අන්ධ වූ කොටස, නැතිනම් අන්ධ ස්ථානය ලෙස නම් කෙරේ. යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තමා ගැන නොදන්නා නමුත් අනිත් අය ඒ පිළිබඳව දන්නා කලාපය මේ මගින් පෙන්නුම් කරයි. තමන්ගේ අඳ බව වැටහීමේ ප්‍රමාණයට අනුව හා එය වෙනස් කර ගැනීමේ පරිමාවට අනුව විවෘත කොටස(open area) පුළුල් වීම සිදු වේ. එම අඳ කොටස පිළිබඳව ඇති කර ගන්නා දැනුවත්කම විසින් එම කලාපය කුඩා වීමත් සෙසු කොටස් පුළුල් වීමත් සිදු වනු ඇත.


සැඟවුණු කොටස- Hidden Area

සැඟ වී ඇති කොටස, අත්හැර ඇති ප්‍රදේශය හෝ අත්හැර ඇති කොටස ලෙස හඳුන්වනු ලබන අතර ඔහු හෝ ඇය තමා පිළිබඳ යම් අවබෝධයක් හෝ දැනීමක් තිබෙන නමුත් අන් අය ඒ ගැන නොදන්නේ කුමක් ද යන්න ස්ථානගත වන කලාපය මේ මඟින් පෙන්නුම් කරයි. බොහෝ විට මිනිස් ඇසුර විසින් හෙලිදරවි වීම හෝ හෙලි දරව් කිරීම සිදු වීමෙන් අදාල පෞර්ෂය පුළුල් වීමක් සිදු වන්නට පුළුවන. එය හොඳට හෝ නරකට සිදු වුවත් දෙපාර්ශයට ම ඇති වන අවබෝධය තුලින් විවෘත කොටස විශාල වන්නේය. නිදර්ශනයක් ලෙස ප්‍රේම සම්බන්ධයක් ඇති වන්නේ බොහෝවිට විවෘත කොටස තුල දීය. එම සම්බන්ධය විවාහයක් බවට පත් වීමෙන් පසුව ඇති වන පවුල් සංස්ථාව තුල පුද්ගලයන්ගෙ සැඟවුණු කොටස එළියට පැමිණ විවෘත කොටස බවට පත් වන අතර පවුලක් ඉදිරියට ගමන් කිරීම හෝ දෙදරා යෑම හෝ ගැටුම් ඇති වීම සිදු වේ. මෙම තත්තවය දේශපාලන කණ්ඩායම්, පක්ෂ ආදියට ගැලපූ විට වඩාත් හොඳින් පැහැදිලි වන අතර සමාජිකත්වය රඳා පැවැතීම තීරණය වන්නේ ද සංවිධාන ශක්තිය වැඩි දියුණු වන්නේ ද සැඟවුණු කොටස විවෘත වීම තුලදීය. දේශපාලනයේ දී, විශේෂයෙන්ම රහසිගත දේශපාලනයේ දී පුද්ගලයවන් හා එම ව්‍යුහයන් තුල මෙම කලාපය වැඩි වශයෙන් භාවිතයට ගන්නා අතර එය විවෘත කොටස හා සම්බන්ධ වී පුළුල් වීමට ඇති හැකියාව නිර්ණය වන්නේ විවෘත කොටස තුල සිටින්නන්ගේ හා සැඟවුණු කොටස තුල සිටින්නන්ගේ විශ්වාසය මතය. මෙම කොටස් දෙක අතර පවතින ප්‍රතිවිරෝධතාව විසින් වැඩි වශයෙන් ඉඩ කඩ සලන්නේ ව්‍යුහය විනාශ වීම පිණිසය. නිදර්ශන ලෙස ගත හොත් විප්ලවකාරී සංවිධානයක ඇති සන්නද්ධ අංශය හා දේශපාලන අංශය මෙම කොටස් දෙකය. දේශපාලන කොටස විවෘත තලයේ ක්‍රියා කරන විට සන්නද්ධ අංශය සැඟවුණු කොටස ලෙස ක්‍රියා කරයි. එය පිටත සමාජයට වඩා ස්වකීය අභ්‍යන්තර ව්‍යුහයට වැදගත් වන්නේ මෙම කොටස් දෙකම එකකට සම්බන්ධ නිසාය. මේ නිසා මෙම කොටස් පිළිබඳව ඇති විඥ්ඥාත වබ අතිශය වැදගත් ලක්ෂණයක් වන්නේය. විවෘත කලාපය හා සැඟැවුණු කලාපයන් හරි හැටි සහ සම්බන්ධ නොවීමෙන් විනාශ වී ගිය සංවිධාන හා පුද්ගලයන් පෙන්වා දීමට ඇති තරම් නිදසුන් අප සමාජය තුල දැකිය හැකිය.

නොදන්නා කොටස- Unknown Area

නොදන්නා කලාපය වන මෙම කොටස තමා පිළිබඳව තමන් නොදන්නා අතරම අන් අය ද නොදන්නා කලාපය මෙම කොටසට අයත් වේ.

මෙම කොටස් හතරෙන් පුද්ගලයෙකුගේ හෝ කිසියම් ව්‍යුහයක පෞර්ෂය සැකසී ඇත්නම් වඩා වැදගත් කොටස කුමක් ද යන්න නිර්ණය වන්නේ සමාජ සත්වයෙකු ලෙස අනෙකා හා කරන ගනුදෙනුවේ දී ය. එහිදී විවෘත කොටස විසින් බොහෝ සම්බන්ධතා ඇති කිරීම හෝ වෙනස් කිරීම හෝ නැති කිරීම හෝ සිදු වීම වැදගත් වුවත් පුද්ගයයෙකුගේ හෝ අදාල ව්‍යුහයක පෞර්ෂය මෙම කොටස් හතරෙන්ම අඩුවැඩි වශයෙන් සමන්විත වේ. එහෙත් මනුෂ්‍ය සම්බන්ධතාවලදී විවෘත කොටස ප්‍රසාරණය කර ගත හැකිනම් ලබා ගන්නා අවබෝධයත් එම අවබෝධය තුලින් සිදුවන මනුෂ්‍ය සම්බන්ධාත් ගැටලු අවම කර ගැනීමට පහසු වනු ඇත. විවෘත කොටස ප්‍රසාරණය වීමේදී තමන් සතු අඳ කොටස හා සැඟවුණු කොටස හැකිලෙන අතර නොදන්නා කොටස සාමුහිකත්වය විසින් සොයා යෑමේ හැකියාවක් ඇත. මෙම සමස්ථය සව්‍යංක්‍රීයව සිදු නොවන අතර, ඊට අනෙකාගේ සහසම්බන්ධයත් ඒ හරහා ඇතිවන ඇගයීම් විවේචන හා ඉගෙන ගැනීම් වැනි කාරණා වැදගත් වන්නේය.

යොහාරී ජනේලය දේශපාලනයට ආදේශ කිරීම

ලංකා දේශපාලනයේ දී ඕනෑම දේශපාලනික සත්වයෙකුට හෝ පක්ෂයකට ආදේශ කළ හැකි වන අතර ජනේලයේ කොටස් හතර එක එක ප්‍රමාණයට ඊට සම්බන්ධ පුද්ගලයාව අවබෝධකර ගත හැකි වනු ඇත. නිදසුනක් ලෙස මහින්ද රාජපක්ෂට ගැලපූ විට මෙම ජනේලයට අනුව ඔහුගේ පෞර්ෂය රඳා පැවැතියේ අඳ කොටස සහ සැඟවුණු කොටස වැඩි වශයෙන් දේශපාලන ජීවිතය තුලට අඩංගු කර ගනිමිනි. විවෘත කොටස හා නොදන්නා කොටස පුළුල් කර ගැනීමට හා සොයා ගැනීමට ඔහුට හැකියාවක් තිබුණි නම් ඔහුට තව දුරටත් බලයේ රුඳී ඉන්නට හැකි වනු ඇතැයි ගණන් බැලීම් කරන අයට ද යොහාරිගෙන් ඉගෙන ගත හැකිය.

මෙහිදී වඩාත් වැදගත් යැයි සිතමින් විශේෂ අවධානය වාමාංශික පුද්ගල හා සංවිධාන ව්‍යුහයන්ට මෙම අවබෝධය ආදේශ කළ විට ලැබෙන නිගමන කුමක් විය හැකි ද. පුද්ගලයන් ලෙසත් සංවිධාන ලෙසත් වෙන වෙනම සලකා බැලුවහොත් ඉතා ප්‍රබල කොටස නියෝජනය කරනු ලබන්නේ කෙසේ දැයි යන්න වැදගත් වන්නේ තම තමන් විසින් මෙම මොඩලය ආදේශ කර ගැනීමෙන්ය. එසේ නොමැතිව පිටතින් ගෙනන ඇගයීම් හා විවේචන විසින් පමණක් සෑහීමකට පත් විය හැකි නම්, ඊට අදාල දැනුම ඕනවටත් වඩා අප සමාජය සතුව ඇත. ඒවායින් ඇති කරන ප්‍රතිථල වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත්තේ තමා විසින් තමා සඳහා තමාගේම ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙනි. මේ හා සමානකමක් ඇති “ස්වයංවිවේචනය“ යන්න අප සතුව ඇති සාම්ප්‍රධායික කැඩපතක් වුවත්, එය නිවැරදිව සිදු වීමට යොහාරී ජනේලය උදව් වනු ඇතැයි සිතිය හැකිය.

මීට අඩසිය වසකට පමණ පෙර ඇති වූ සංකල්පයක් වුවත් එය නිර්මාණය කිරීමේ අරමුණු සෘජුව දේශපාලනයට සම්බන්ධක කමක් පෙන්වනවාට ඩවා ප්‍රධාන වශයෙන් අරමුණු කර ගෙන ඇතිතේ සමාන්‍ය ආයතන වඩා හොඳින් සක්‍රිය කර ගැනීමටය. එහිදී සමාජ මනෝ විද්‍යාව දෙසට යොමු වන්නේ අනෙකුත් විද්‍යාවන් තුලින් පමණක් ගැටලුවකට පිළිතුරක් නොලැබෙන නිසාය. ලංකාව සම්බන්ධයෙන් ද විශේෂයෙන් වාමාංශික පුද්ගලයන් හා සංවිධාන විෂයෙහි දී මෙම ජනේලයෙන් බැලීම වැදගත් වන්නේ ඇයි ද යන ප්‍රශ්නය ඇත්තේ එකී පුද්ගලයන් හා ව්‍යුහයන්ගේ ඇති හිරගත වීම නිසාය. මෙම කාරණයට ඇති ගැටලුව ලෙස ධනවාදය හෝ රටේ ජනතාව හෝ ලිබරල්වාදය කියා හෝ අධිරාජ්‍යවාදය කියා හෝ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙනු ඇත. එසේම මෙහිදී වැදගත් කාරණයක් ලෙස සටහන් කළ යුතු වන්නේ ලාංකීය වාමාශික ව්‍යාපාරයට සාම්ප්‍රධායික දැනුමෙන් ඔබ්බට නව දැනුම් සම්ප්‍රධායක් නිර්මාණය කිරීමට සුළු පිරිසක් විසින් කරන ලද දායකක්වය මෑත කාලය කැපී පෙනෙනට වීම පිළි ගත යුතු යථාර්ථයක් ද වන්නේය. නිදසුනක් ලෙස මනෝ විශ්ලේෂණය, සම්භාව්‍ය මාක්ස්වාදයේ සීමා පුළුල් කිරීම සඳහා එකතු කළ දැනුම, හා වන දාර්ශනික කතිකාවන් පෙන්වා දිය හැකිය. එය කුමන තරා තිරමේ පැවැතිය ද එම දැනුම උකහා ගැනීම හා භාවිතාවට නැගීම වැදගත් වන්නේ අප ගෙවන ජීවිතය හා සමාජය එතරම් සුවදායක නොමැති බැවිනි. යොහාරී ජනේලය ද ඉහත දැනුමේ මුල් කොටසට අයත් කුඩා සංකල්පයකි. එය වර්ධනය කරමින් ද විවේචනය හසු වෙමින් සමාජ මනෝවිද්‍යාව බොහෝ දුරක් ගෙවා ඇතැත් ලාංකීය අපට අද දවසේ මෙම ජනේලයෙන් ගෙදර හදා ගැනීමට වැදගත් වනු ඇතැයි සිතමි.

udayaඋදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon