කාන්තා දේ්ශපාලන සිරකාරිනියක් ද උපවාසයේ යෙදෙයි !
දීර්ඝ කාලීනව රඳවා තබාගැනීම මානව අයිතින් උල්ලංඝණය කිරීමක් !
නඩු සහ චෝදනා පත‍්‍ර ඉදිරිපත් නොකිරීම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් !
අධිකරණය පිළිබඳ තැබූ විශ්වාසය කඩ වී තිබෙනවා !
(දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරය)

”ඔවුන්ව අත්අඩංගුවට ගත්ත ක‍්‍රමය වැරදියි. අත්අඩංගුවට ගැනීම සඳහා භාවිතා කළ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැරදියි. මේ පනත් අඩුපාඩුකම් රාශියක් සමඟ තිබෙන පනතක්. ඒ අඩුපාඩු සහිත පනත් තුළින් අත්අඩංගුවට අරගෙන වධ හිංසා තුළින් තමයි ඔවුන්ගේ පාපෝච්චාරණය ලබාගන්නේ. මෙසේ වධ හිංසාව තුළින් ලබාගත්ත පාපෝච්චාරණය පිළිගන්න බැහැ. එසේ එවැනි පාපෝච්චාරණ පිළිනොගනිමින් උතුරේ අධිකරණය විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කර තිබෙනවා. නමුත් දකුණේ අධිකරණය ඔවුන්ට නඩු ගොණුකරනවා.”

මැගසින් බන්ධනාගාරයේ පිරිමි වාට්ටුවේ දේශපාලන සිරකරුවන් 13 දෙනෙක් ද, කාන්තා වාට්ටුවේ එක් දේශපාලන සිරකාරිනියක් ද අනුරාධපුරයේ් දෙදෙනෙක් අද දවසේ දීත් සමස්ත දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් උපවාසයේ යෙදී සිටිති.

දේශපාලන සිරකරුවන් නැවත වතාවක් උපවාසය ආරම්භ කරමින් දැනට(පෙබ 26) දවස් 4ක් ගතවන අතර මේ මොහෙත්දී පවා මේ ප‍්‍රශ්නය පිළිබඳව රජය අවධානය යොමු කර නැතිබව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික පෙරමුණ යහපාලන රජයට චෝදනා කරති.

දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු වන මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුළු කණ්ඩායම අනුරාධපුරයේ් සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ එම උපවාසයේ් යෙදෙන දේශපාලන සිරකරුවන් මුණගැසීමෙන් පසුව, මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටදී ඊයේ (පෙබ 26) මෙසේ මාධ්‍යට අදහස් දැක්වීය.

Father Sathi - Political Prisnoers i

”අදට දින හතරක් වෙනවා නැවතත් වරක් දේශපාලන සිරකරුවන් උපවාසය පටන් අරගෙන නමුත් මේ මොහොතේදීවත් මේ ප‍්‍රශ්නය පිළිබඳව රජය සිය අවධානයට යොමුකර නැහැ. අනුරාධපුරය සිරකරුවන් මේ වන විට වතුරවත් පානය නොකරන තත්ත්වයකට පැමිණ සිටිනවා. විශේෂයෙන් අනුරාධපුරයේ සිරකරුවන් පිළිබඳව කිව්වොත් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා ඉන්පසුව 2013 සී අයි ඞී ය විසින් නඩු ගොණු කරනවා නමුත් මාස 03කින් එම චෝදනා පත‍්‍රය නැවත ඉල්ලා අස්කර ගන්නවා සංශෝධනය කරන්න. 2013 සිට මේ දක්වා කිසිඳු චෝදනාවක් ගොණු නොකර, නඩු නොමැතිව ඔවුන් බන්ධනාගාරගතව සිටිනවා. එසේනම් අවුරුදු දෙකහා මාරක් තිස්සේ ඔවුන් රඳවාගෙන සිටීම මානව අයිතින් උල්ලංඝණය කිරීමක්. ඒ වගේම ඔවුන්ගේ ජීවිතය විනාශ කිරීමට හෝ මේ තත්ත්වයට පත්කිරීමේ වගකීම භාරගත යුුත්තේ රජය. ඒ වගේම අපි කියන්න ඕනේ, මේ දේශපාලන සිරකරුවන් අධිකරණය පිළිබඳ තිබුණාවු විශ්වාසය කඩ වී තිබෙනවා, මොකද අධිකරණය මේ දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්න විසඳීම සඳහා නොවෙයි ක‍්‍රියාකරන්නේ.

කවුරුත් දන්නාවු කාරණයක් තමයි විශේෂ අධිකරණයක් පිහිටුවා තිබෙනවා. නමුත් මේ විශේෂ අධිකරණය පවා ක‍්‍රියාකරන්නේ ප‍්‍රශ්නය විසඳන්න නෙවෙයි කුමන හෝ ආකාරයකින් ඔවුන්ට දඬුවම් කිරීමට සහ දීර්ඝ කාලීනව රඳවා තබාගැනීමටයි උත්සාහා දරන්නේ. එසේ දීර්ඝ කාලීනව රඳවා තබාගැනීම මානව අයිතින් උල්ලංඝණය කිරීමක්. ඔව්න් පිළිබඳව නඩු සහ චෝදනා පත‍්‍ර ඉදිරිපත් නොකිරීම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක්. එපමණක් නොවෙයි අද දිනයේදි අපි දුටුවා සිරකරුවන් හතරදෙනෙක්ව පුනරුත්ථාපනයට යවලා. අධිකරණය විසින් පුනරුත්ථාපයට යවලා, පුනරුත්ථාපනයෙන් නිවෙසට යැව්වට පස්සේ නැවත අත්අඩංගුවට අරගෙන චෝදනා කිසිවක් නැතිව රඳවාගෙන තිබෙනවා. ඒ නිසා අපිට මේ පුනරුත්ථාපනය පිළිබඳවත් අපිට ප‍්‍රශ්නයක් තිබෙනවා, අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳව අපිට ප‍්‍රශ්නයක් තිබෙනවා , රජයේ තීන්දු තීරණ පිළිබඳව අපිට ප‍්‍රශ්නයක් තිබෙනවා.

දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යපාරය ලෙසට අපි කියා සිටින්නේ මේ ප‍්‍රශ්නය පිළිබව ජනාධිපතිතුමා දේශපාලන තීන්දුවක් ගතයුතුයි. එවැනි දේශපාලන තීන්දුවකින් පමණයි ඔවුන්ට නිදහස ලැබෙන්නේ. ඔවුන්ව සමාජගත කිරීම තුළින් සංහිදියාව ඇතිකිරීමට සහ ජාතීන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීමට හැකියාවක් තිබෙනවා. එමනිසා ජනාධිපතිතුමා දැන් තීරණය කළ යුතුයි ජාතින් අතර සංහිදියාව ඇතිකරනවා ද , ජාතික ප‍්‍රශ්නය විසඳන්නට තමන් සුදානමින් සිටිනවා ද, එසේ සුදානමින් සිටිනවානම් පළමුවෙන්ම කළ යුත්තේ දැන්වත් අධිකරණ ක‍්‍රියාවලිය අතහැර දේශපාලන සිරකරුවන් සියළු දෙනා, දේශපාලන තීන්දුවක් ගෙන නිදහස් කිරිමයි. එසේ කරන ලෙසට අපි නැවත නැවතත් ඉල්ලා සිටිනවා.

මෙසේ් රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් සියලූ දෙනාගෙන් මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු නොමැතිව සිටින අය පමණයි උපවාසයේ යෙදිසිටින්නේ , මේ අවස්ථාවෙදි මේ ප‍්‍රශ්නය විසඳුවේ නැත්නම් අපිට හිතාගන්න පුළුවන් අනෙකුත් දේශපාලන සිරකරුවන් ද මේ උපවාසයට සම්බන්ධ වන බව. එසේ නම් අපිට අහන්න සිදුවෙනවා , තමන්ගේ නිදහස සඳහා සමස්ත දේශපාලන සිරකරුවන් උපවාසය සඳහා යායුතු යි ද ? එසේ නැතිනම් මේ මොහොතේදීම ජනාධිපතිතුමා දේශපාලනික තීන්්දුවක් අරගෙන ඔවුන් ව නිදහස් කරනවාද කියා ?

MMPමෙලනි මානෙල් පෙරේරා | Melani Manel Perera