පියාට ඒඩ්ස් ඇතැයි ඇති රාවයක් නිසා තම සමාජයේම ජීවත්වූ ‘ඒඩ්ස් නැති‘ දරුවකු හා ඇගේ මව කොන්කර විනාශවී යාමට ඇරීමට තරම් අදම මෙලේච්ච ලක්ෂණ පෙන්වූ මේ ජනතාවගේ සියළුම දෙනා නොවේ නම් අති බහුතරය සිංහල බෞද්ධයින් බව ඉතාමත් කණගාටුවෙන් උවද ප්‍රකාශ කිරීමට සිදුවී ඇත!

දැන් කෙනෙක් අහන්න පුළුවන් අනිත් ජනකොටස් තුලත් මෙවැන්නන් නැත්දැයි යන අර සාම්ප්‍රදායික ප්‍රශ්ණයම., ඔවු සිටිය හැකියි. මෙහිදී ඔවුන්ගේ පසුබිම වූ සිංහල බෞද්ධ බව මතක් කිරීමට සිදුවන්නේ සිංහල බෞද්ධ යනු ඉහල ශිෂ්ඨත්වයක් ලෙස ඊට එය බිහිකරන ජනතාවට වර්තමාන සංකීර්ණ සමාජයට අවශ්‍ය සම්පූර්ණ ශිෂ්ඨත්වය ලබාදිය හැකි යැයි බහුතර සිංහල බෞද්ධයින්ගේ ඇති විශ්වාසය නිසාත් සමහර කොටස් ඒ මතය බලයක් ලෙසට භාවිතා කරන නිසාත් ඒ ගැන මේ වනවිට විවාදයක් පවතින නිසාත් ඔවුන් මේ රටේ බහුතරය ලෙසට වැඩි බලපෑමක් කරන නිසාත්ය.

ඊට අමතරව මේ ළමයාට කාරුණික වීම සම්බන්ධයෙන් පළාතේ සියළුම සිංහල බෞද්ධ පාසල් අසමත්වී ඇත. එබැවින් මේ සාධක එම ජනතාව තමන් ගැන සිතා සිටින ඔවුන්ගේ ‘ශිෂ්ඨත්වය‘ දෙසට හැරීමට හොඳටම ප්‍රමාණවත්ය.

මේ කුලියාපිටියේ ඒඩ්ස් සිදුවීම මේ ආකාරයට පංති සංස්කෘතික සමාජ පසුබිම ඇති මිනිසුන් සිටිනා ලංකාවේ මොන ප්‍රෙද්ශයේ සිදුවුද මීට වඩා වෙනස් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැත. වෙනත් විදියකට කියන්නේ නම්, මේ තමයි මේ රටේ සාමාන්‍ය සිංහල බෞද්ධ ජනතාව මෙවැනි සිදුවීමකදී ප්‍රතිචාර දක්වන සාමාන්‍ය ආකාරය. පසුගිය දා පොප් සංගීත ප්‍රසංගයකදී කෙල්ලක් බ්‍රසියරයක් විසිකිරීමට කලබල වූයෙත් මේ පිරිසම වූ අතර එය ‘අපේ කමට’ ගැලපෙන් නෑ කියමින් මඩුවල්ගයෙන් ගහන්නට යොජනා කල මිනිසාගේ සම්භවය ද මේ සමාජ පරිසරයම වේ.

ඒඩ්ස් යනු මේ වනවිට සුප්පා කෙල්ල හා සිංහයා අතර සිදුවූ රමණය තරම් අභිරහස් කතාවක් නෙවේ. ප්‍රශ්ණය ඒඩ්ස් නම් එය තව කෙනෙකුට බෝවෙන හැටි දැන ගැනීමට ලඟම ඉන්න වෛද්‍ය වරයාගේ සිට ඕනෑතරම් පහසු මාර්ග ඇත. අවශ්‍ය වන්නේ ඒඩ්ස් යනු ඇත්තටම කුමක්ද යන්න ප්‍රථමයෙන් තමන්ගෙන්ම විමසීම පමණි. වෛද්‍ය සහතිකයකින් ළමයාට ඒඩස් නැති බව පෙන්වා ඇති බැවින් විද්‍යාත්මක සාධක මත විශ්වාස කරන්නෙකුට ඊටත් වඩා ලබා දිය හැකි දෙයක් නැත. එහෙත් ඒ කිසිවක් ඔවුන් විශ්වාස කරන්නේ නැත. එබැවින් දත්ත සාධක, තර්ක, විද්‍යාව කිසිවකින් ඵලක් නැත. වෛද්‍ය වාර්තා බැහැර කිරීම තුල පෙන්වන්නේ හිපක්‍රොටිස්ගේ සිට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් හඳුනා ගැනීම දක්වා නූතන මිනිසාගේ සියළු තර්ක විද්‍යාත්මක සොයා ගැනීම් සියල්ල ඔව්න් බැහැර කර ඇති බවයි. විෂය හැදෑරූ වගකිවයුතු නිලධාරීන්ද බැහැර කර ඇත. හරියට අර ‘තල් කොලයට වැටුන බෙලි ගෙඩියට අහස කඩා වැටෙනවා‘ යැයි බියවී දුවන සතුන් රැලමෙන්, තර්කයකින් තොරව එන විශ්වාසය ඊට වඩා බලවත්ය. නැති ලෙඩකට බිය වී ඔවුන් මේ සිදුවීමට කලබලවෙන අකාරයත් මෙය ඉතා සරල කරුණක් ලෙස ඔවුන්ට පහදාදීමට නොහැකි විමත්, අන්න ඒ කිසිඳු තර්කයක් විද්‍යාවක් විශ්වාස නොකර හැසිරෙන අති භයානක චරිත ලක්ෂණයත් මේ ජනකොටසට ආවේණික යම් ලක්ෂණයක් ලෙස අපගේ වැඩි අවධානයට ලක්විය යුතුය. තම විමර්ශණාත්මක ඥාණය පාවිච්චි නොකරනා මේ චරිත ලක්ෂණ විමසන විට ඊට තීරණාත්මක බලපෑ එක්තරා පසුබිමකට යාමට අපට සිදුවෙයි. ඒ මෙවන් අවිචාරවත් ජනතාවක් නිෂ්පාදන කලාවූ අධ්‍යාපන පසුබිමයි.

නූතන අධ්‍යාපනය තුළින් කරන විශේෂ දෙයක් නම් මිනිසා කරුණු සාධක මත නිගමනවලට විමර්ශනාත්මකව එන්නට පුහුණු කරවීමයි. ලංකාවේ පාසල් අධ්‍යාපනය බටහිර අධ්‍යාපනයක් ලෙසට රසායනික හා සමාජ විද්‍යාත්මක ක්‍රමවේද ආදීය පවා උගන්වයි. අනිත් පැත්තෙන් පාසල් ආකෘතිය හැදී ඇත්තේම නූතන විද්‍යාවට පටහැනි ලෙසයි. උදාහරණයකට, නූතන මිනිසකු ලෙස ශිෂ්‍යාව විනයානුකූල කරන්න හදනා සියලුම ක්‍රමවේද මෙන් සමකාලීන ළමා මනෝවිදයාව මත පදනම් වූ ඒවාට වඩා පැරණි, සාම්ප්‍රධායික, ආගමික දේවල් ය. බුදුන් වැඳිම්, ඊනියා භාවනා, ගාතා හා ගාතාමය ගීතිකා( ‘මගේ සිත තැන්පත්ය’///) නිතර කියවීම ඇතුළු විවිධාකාර ආගමික වතාවන්, සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් වලට ජාතික ඇඳුමින් සම්බන්ධවිම ආදී අපමණවත් පාසල් තුල විෂයට බාහිර සංස්කෘතික ක්‍රියාකාරකම් පෙන්වාදිය හැකිය. ඒවා සියල්ලම මෙන් පැරණි සාම්ප්‍රදායික අංග වලට ළමයා සම්බන්ධ කරමින් ශිෂ්ඨ කරන්න හදනමුත් ඒවායෙන් එසේ ශිෂ්ට වන බවට මනෝ විද්‍යාත්ම පර්යේෂණ වලින් මෙන් තහවුරු වී නැත. ඒ පිලිබඳ ඇත්තේ එසේ වන බවට හුදු විශ්වාසයක් පමණි. ඒ සියල්ලම මෙන් භක්තිය හා විශ්වාසය හරහා සම්බන්ධ වන ආගමික පදනමකින් පෞර්ෂය හදන්න හදන උත්සහයන්ය. දහම් පාසල් ගැනද කියන්න තියෙන්නේ එයමය.

මේ පර්යේෂණය ඔවුන් දැන් අවුරුදු පනහකට වඩා කර ඇති අතර අළුත්ම ප්‍රතිපලය කුලියාපිටියෙන් පිටවී ඇත. මෙසේ අවිචාරවත් ලෙස හැසිරෙන ජනතාවක් නිෂ්පාදනය කරන්නට මෙතරම් වියදම් කර පවත්වන අධ්‍යාපනයක් කුමටද? පන්සල් කුමටද? දහම් පාසල් කුමටද? කාරුණිකත්වය, දැණුම, ශිෂ්ටත්වය මේ කිසිවක් දීමට ඒ ආයතන මුළුමනින්ම මෙන් අසමත්වී ඇති බව තහවුරු කිරීමට තවත් සාධක අවශ්‍යද?

බුදුදහම ආගමක් නොව දර්ශණයක් බවත් එහි නිර්මාතෘ දෙවියකු නොව මනුෂයෙකු යැයි පාසල් තුළ උගන්වන අතර එසේනම් එහි නිර්මාතෘ සොක්‍රටීස් මෙන් පුරවැසි නමින් හඳුන්වන් නැතිව එම දාර්ශණික මිනිසාට නොගැලපෙන ‘බුදුරජානන්වහන්සේ’ නමින් ආගමික නමකින් හඳුන්වන්නේ ඇයි ද යන්න ශිෂ්‍යින්ට ඇසිය නොහැකි අතර ඒ නමින් පාසල් තුළ එම මිනිසාව ඇමතිය නොහැකිය. කාබන් පරීක්ෂණ මගින් අවුරුදු දහස් ගණන් පැරණි ඇට කැබලිවල සුලමුල කිව හැකි යැයි උගන්වන් නමුත් දළදාවේ හෝ ධාතූන් වල සුලමුලද එසේ සොයන්න බැරි ඇයිදැයි අසිය නොහැකිය? ඩාවින් 1859 පරිණාමාවාදය ප්‍රකාශකර ලද මුත් සිංහලයා සිංහයකුගේ සංසර්ගයෙන් බිහිවී ඇති බවට 2016 වර්ෂයට එනවිටත් ලංකාවේ ශිෂ්‍යන් අති බහුතරයක් විශ්වාස කරන අතර ඊට විද්‍යා විෂයන් හදාරන ශිෂ්‍යයෝද ඇතුලත්ය.

හොඳ වෙලාවට බටහිර ජාතීන් පෘතුවිය ඉර වටා යන බව හොයා ගත්තේ, නැත්නම් අපට ඉරුදෙවියන්ද තාමත් ප්‍රශ්ණ කල නොහැකිය! මේ ආකාරයට ශිෂ්‍යයාට තමා ඉගෙන ගන්නා විෂයන් වලින්ම ලෝකය ස්වාධීනව දකින්නට හා ප්‍රශ්ණ කරන්නට නොහැකිය. අවසානයේ එළියට එන්නේ විෂය ගැන යම් තාක්ෂණික දැණුමක් ඇති එහෙත් ලෝකය ප්‍රශ්ණ කිරීමට හෝ දැකීමට ඉගෙනගත් විෂයම යොදාගැනීමට නොදන්නා පාසලට පිටින් තිබෙණා සියළුම පැරණි මතිමතාන්තාර හා අන්ධ විශ්වාස භක්තියෙන් පිළිගන්නා ඒවාට මුකුත් කීවොත් කෙන්ති ද යන අතාර්කික මිනිසෙකි.

දත්ත සාධක සාක්ෂි මත සත්‍යය දකින්නාට කරුණු තෝරා බේරා විමර්ශණාත්මක වීමට යම් තර්ක ඥාණයක් තිබිය යුතුය. එවැන්නෙකුට තාර්කිකව කරුණු ඉදිරිපත් කිරීමෙන් යමක් පහදා දිය හැකිය. තර්ක මත නිගමනවලට පැමිණියකු තම තර්කය තවත් තර්කයකින් බිඳ වැටෙන විට අදහස වෙනස් කරගැනීමට ඉඩ ඇත. එහෙත් විශ්වාස මත නිගමනයකට එන්නාට එවැනි ක්‍රමයකට නොසිතන අතර සාමන්‍යයෙන් විශ්වාස යනු ඇදහීම් මත පදනම් වන්නෙකි. විශ්වාස මත එලබෙන්නාද බැලු බැල්මට තර්ක ලෙස පෙනෙන තමා විශ්වාස කරන දේ හරි යැයි කියන්නට විවිධ කරුණු කියා සිටි හැකි නමුත් එම ‘තර්ක’ ඔබ කොපමණ බිඳ දැම්මද විශ්වාසය වෙනස් කරගන්නේ නැත. එවැන්නෙකු ‘මම එය විශ්වාස කරනවා’ යැයි කී විට ‘ඔයා කොහොමද එය විශ්වාස කරන්නේ?’ කියා ඔබ පෙරලා ඇසුවාට වැඩක් නැත. එවිට එම විශ්වාසයට පැහැදිලි දත්ත සාධක කරුණු නැති බැවින් තමාට ‘හැඟෙනා’, බොහෝවිට ඔබ ඇසූ ප්‍රශ්ණයට පවා අදාලත්වයක් නැති විවිධාකාර දේවල් කියන්නට පටන් ගනී. ඔබ තවදුරටත් තාර්කිකව වාද කරන්න ගියොත් ඔහුට/ඇයට කෙන්ති යන අතර අවසානයේ ඔබට කුණුහරපෙන් බැණීමටත් සමහරවිට පහරදීමටත් ඉඩ ඇත. බොහෝ තදින් ආගමික විශ්වාස ඇති අය, පේන කියන්නන්, පැරණි සම්ප්‍රදායික දේ ගැන භක්තියක් ඇත්තන් ආදිය සමඟ ඔබ විරුද්ධ අදහසක් ගැන තර්ක කරන්න ගියොත් ඔවුන්ට කේන්ති යයි හො නොරිස්සුම් වේ. ඔබේ තර්කයට මුහුණදීමට ඔහුගේ/ඇගේ විශ්වාසයට තර්කයක් නැත. එවැන්නෙක් සමඟ ප්‍රතිවිරුද්ධ අදහසක් සුහදව තාර්කිකව කතා කල නොහැක. එවැනි විශාල පිරිසකට ඔබ තාර්කිකව අමතන්න ගියොත් එකම ඝෝෂාවක් ලෙසට ඔබ දෙසට විවිධ දේ කියා කෑගසන තර්කයෙන් නොව ඝෝෂාවෙන් ඔබව පරාජය කරන්න හදන පිස්සන් මෙන් පිරිසක් හමුවෙයි. එය හරියට අර ඒඩ්ස් මර්ධන නිලධාරීන් කුලියාපිටියේ ජනතාව අමතනකොට එම ජනතාව හැසිරෙන් ආකාරයයි. ඔබ හොඳින් ඒ වීඩියෝව බලන්න, ඒ නිලධාරීන් කියන්නා වූ කිසිඳු තර්කයකට ඔවුන් තාර්කික පිලිතුරක් දෙන් නැත. මොකද එය හටගෙන ඇත්තේ තර්කයක් මත නොවේ. නිලධාරින් ඉදිරිපත් කරන්නේ අර වෛද්‍ය වාර්තාව වැනි විද්‍යාත්මක තර්කයකි. එසේ විශ්වාස මත නිගමනවලට පැමිණියකු තාර්කිකව කියන දේවල් පිලිගන්නේ නැත. අවසානයේ මෙවැනි පෞර්ෂයක් ඇති මිනිසකු බිහිවීම සමබන්ධයෙන් මුළුමනින්ම වගකිව යුත්තේ අධ්‍යාපනයයි. එම අධයාපන අර්බුදය වඩාත් තිදින් බලපෑමට ඉඩ ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයෙන් හා සාමප්‍රදායික අදහස් වලින් බාහිර අදහස් වලට අවමයෙන් විවෟත වූ ළමා කාලයක් ඇති පිරිස්වල අය යි.

ඇමරිකන් විදියට ඇදපැලදගෙන විද්‍යාවෙන් බිහිකල කාර් එකක්ද අරගෙන ඒ කාර් එක අනතුරු වලින් බේරා ගැනීමට කතරගමට පූජා තියන්න යන්නේත් මේ අතාර්කික පිරිසයි. නම් තැබීමේ සිට සියළු වස්දොස් යවන්නට විභාග, කසාද සාර්ථක වන්න අවුරුදු දහස් ගාණක පැරණි විශ්වාස වල පිහිට හොයන්නේත් මොවුන්ය. ලෝකයේ මේ කිසිවක් නොකරන රටවල් මීට වඩා සාර්ථක වී ඇත්තේ කෙසේද? පූජා වට්ටියක් හෝ මල්පහන් පුදකල පසු හෝ ඇදහිලි විශ්වාස තමාට බලපාන්නේ කෙසේද? මේ ආදි අසන්නට ඇති ප්‍රශ්ණ කන්දරාවෙන් එකඳු ප්‍රශ්ණයක්වත් තමන්ගෙන් අසන්න නැත. ඒවා ප්‍රශ්ණ කරන විධික්‍රම හා පෞර්ෂය අධ්‍යාපනය විසින් ලබාදී ද නැත. එබැවින් ඒ සියල්ල පැමිණෙන්නේ විශ්වාසය මතයි. එවැන්නෙක් ඒඩ්ස් යනු කුමක්දැයි හොයන්න යන්නේ ද නැත. එසේ හෙවීම සාමන්‍යෙයන් ඔවුන්ගේ ප්‍රෙව්ශය නෙවේ.

නැකත් නැතිව කසාද බඳින්න ඇති බිය, කතරගම නොයන්න ඇති බිය, තවත් විවිධ අද්භූත දේ ගැන ඇති බියත් මේ ඒඩ්ස් වලට ද ඇති බයත් එකම බියයි. එපමණක් නොව ඔවුන් දෙමළා, සුද්දා, හම්බයා ආදී මේ වනවිට අතිශය ව්‍යාකූල කර ඇති සංකල්ප ද තේරුම් ගන්නේ මේ ඒඩ්ස් තේරුම් ගන්නා ආකාරයටම වෙන අතර ඒවාට දෙන ප්‍රතිචාරද ඒඩ්ස්වලට දෙන ප්‍රථිචාරවලට වඩා එතරම් වෙනස් නොවන බව ඔබට පැහැදිලි විය යුතුය. ඒ අර්තයෙන් රටේ ජාතික ප්‍රශ්ණය මොවන් සමඟ කතා කිරීම එඩස් ගැන සාකාච්ඡාව හා සමානයි.

මෙසේ හැසිරෙන ජනකොටස් ඉතා පහසුවෙන් ආවේගශීලි විය හැකිය. ඔවුන් පහසුවෙන් කතාබහකර විසඳාගත හැකි දේවල් යුද්ධයන් ලෙස දහස් ගණන් මරණයට පත්වී අවසන් කරගැනීමට ඉඩ ඇත. ඔවුන් කවර නමකින් තමන් උසස් මිනිසුන් කොටසක් ලෙස හැඳින්වු ද, හෙට මේ ප්‍රදේශයේ භීෂණයක් ඇතිවුවහොත් අනිද්දා එළිවන විට රෝස් කරපු මිනිසුන් මහමග සිසිරාද, බෙලි කපා වෙන් කල හිස්, වැට ඉනි මතද, ලෙලදෙනවා ඔබට දැකිය හැකිය! මේ ජනකොටස ජාතිආලයෙන් අවුස්සා දමිළ කෝලහලායක් ආවොත් දමිළයින්ගේ කඩසාප්පු කොල්ලකා, ගිනි තියා පණපිටින් පිලිස්සීමට පසුබට නොවනු ඇත! ඒ සියල්ල සිදුවිය හැක්කේ තාර්කික විශ්වයකට වඩා ආගමික විශ්වයක් තුලය. එසේ මරාදමන්නේ තමන් සමඟම ජීවත් වූ සාමාජිකයින් යැයි නොසිතන්නේනම් තාත්තෙක් පවා නැති මේ පොඩ් කොල්ලයි උගේ අම්මයි කොන්කර කිච කර රජයේ පොදු පාසලක්න්වත් කුඩා ඉඩක් නොදෙන්නට තර්ජනය කර විනාශවී යාමට හැරීමට එවන් ජනකොටසකට ඇති අපහසුව කුමක්ද? අනිත් පැත්තෙන් ‘පිටගම්කාරයින්’ගේ සිට ‘අඩුකුලේ උන්’ දක්වා තම සමාජයෙම උන් කොන් කිරීමෙන් හා අනිත් උන්ට අපට ඇති අවස්ථාවන් නොදෙන ලෙස පාර්ලිමේන්තුවෙන් පවා ඉල්ලා සිටීමේ ඉතා ලැජ්ජාසහගත දීර්ඝ ඉතිහාසයක් මේ ජනතාවට ඇත.

අවසානයේ ඔවුන් හැසිරී ඇත්තේ විද්‍යාවටද විරුද්ධවය. ඒ අර්ථයෙන් ඔවුන්ව ඒඩ්ස් වැනි රෝගවලට පවා මුහුණ දීමට සිදුවන, මානව හා ළමා අයිතිවාසිකම් වලට ගරුකරන නූතන සමාකාලීන ලෝකය තුල තැබිය නොහැකිය. සෝපාකගේ සිට පටාචාරා දක්වා අසරණයින්ට කාරුණික විය යුතු අති විශාල ආදර්ශ තොගයකින් ද දරුණු කුෂ්ඨ රෝගීන්ට පවා උපස්ථාන කර පෙන්වූ ආගමික නායකයාගේ ආදර්ශ වලින්ද පිරී ඇති බෞද්ධ සම්ප්‍රදාය තුළ නම් කිසි සේත් තිබිය නොහැකිය. එබැවින් මෙවන් ජනකොටස් ඔවුන් පෙනී සිටින සාම්ප්‍රදායට සංස්කෘතියට අනූව තේරුම් ගැනීම හිතනවට වඩා සංකීර්ණ කටයුත්තක් ලෙසට ඉතිරිවී ඇත.

ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne