අහෝ දෙවියනි! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතිය බාර දී තිබෙන ඇමැත්තාගේ නූගත්කම, අඥානකම සහ මහන්ත්තකම!!

මවකට එච්අයිවී වයිරසය අසාදනය වී ඇත්නම් එම මවගෙන් දරුවා ඉවත් කර පරිවාස බාරයට දිය යුතු යැයි ද එසේ නොකරන්නේ නම් අධිකරණයට හෝ ගොස් එම දරුවා මවගෙන් ඉවත් කරන්නේ යැයි ද සසරිබර ශ්‍රී ලංකාවේ අධ්‍යාපානය බාර ඇමැතියා වූ අකිල විරාජ් විසින් ප්‍රකාශ කර තිබේ.

මෙයින් පෙනෙන්නේ එච්.එය්.වී ඒඩ්ස් රෝගය ගැන පමණක් නොව නූතන මානවවාදී සමාජයන්හි මෙවැනි ප්‍රශ්ණ සම්බන්ධයෙන් භාවිත වන විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමැත්තා මෙලෝ හසරක් නොදන්නා බවයි.

සිය අඥානකම පෙන්වන කතාවලට සිමාවක් තිබිය යුතු බව මේ ඇමැත්තා දන්නේ නැත. කතා නොකරනතාක් මෝඩයාත් නුවනැත්තෙකි යැයි කියයන්නේ මෙවැනි මහත්බොරුන්ටය.

අකිල විරාජ් ඇත්ත වශයෙන්ම කරන්නේ එකී දරුවා පාසැලට ඇතුළත් කළ නිසා සිය දරුවන් පාසැලින් ඉවත් කර ගත් අවබෝධයක් නැති මිනිසුන්ට උඩ ගෙඩි දීමකි. ඔහුගේ කතාවෙන්ම එය එලියට පනී. ‘‘මට ලක්ෂ 03ක් ජන්දෙ දුන්නා, මං ඒගොල්ල ගැන බලන්න ඕනෙ.” ඔහුගේ ප්‍රවිශ්ඨය හුදු ජනප්‍රියවාදී එකකි. එම නූගත් මාපියන්ගේ දැනුම ඉහළ නැවීම පිණිස ඔහු විසින් මේතාක් ගෙන ඇති කිසිදු පියවරක් නැත.

ඇමැති රංජන් රාමනායක නිවසට ගොස් එම මව සහ දරුවා දිරිමත් කළ නමුත් අකිල විරාජ් කළේ එම පාසැලේ දරුවන් ඉවත් කරගත් නූගත් ගැමියන් තව තවත් උසිගන්වන කතාවකි.

දියුණූ ජනනායකයින් ගමන්කළ යුත්තේ අනවබෝධ ජනයාටත් පිටුපසින් නොව ඔවුන්ට ඉදිරියෙනි.

අකිල විරාජ්ට අනුව අපේ රට ඝර්ම කලාපිය රටක් බැවින් ලෙහෙසියෙන්ම තුවාල සිදුවේ. මව්වරු නිදා ගන්නේ සිය දරුවන් සමඟ එක පැදුරේ ය‍. එබැවින් මවට එව්අයිවී වයිරසය ඇතුල්වි ඇත්නම් මවගේ තුවාලයකින් දරුවාට වයිරසය ඇතුල් විය හැක.

මෙම තර්කය එච්අයිවී ආසාධිතයින් බහුල තායිලන්තය, ඉන්දියාව, උගන්ඩාව වැනි රටකට ආදේශ කළ හොත් කුමණ තරමක මානුෂීය ඛේදවාචකයක් බවට පත් වනු ඇත්ද?

මේ අඥාන තර්කය ඉදිරියට ගෙන ගිය හොත් ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු එච්.අයි.වි. අසාධිතයින්ගේ දරුවන් එම පවුල්වලින් ඉවත් කොට අකිල විරාජ්ට බාරදිය යුතුය.

මෙහෙමත් පසුගාමී අදහස් දරන එච්.අයි.වී. අසාදිතයින්ට එරෙහිව බිය වපුරන පසුගාමි නූතන ලෝකයට නොගැලපෙන දේශපාලනඥයකු අධ්‍යාපන ඇමැතිකම දරන රටක දූ දරුවන්ට පමණක් නොව අධ්‍යාපනයටම දෙවියන්ගේ පිහිට ය.

ඔහු නොකියා කියන කොටස මෙයයි: එවිට දරුවාට තුවාලයක් සෑදී පාසැලේ අනෙක් ළමයින්ටද එව්අයිවී අසාදනය විය හැක. එබැවින් දරුවා මව සමඟ එක ගෙදර සිටින්නේ නම් පාසැලේ අනෙක් ළමයින් ඉවත් කර ගැනීම සාධාරණය.

එසේ මවගේ තුවාලයකින් දරුවකුට එච්.අයි.වී. රෝගය වැළදුන දරුවන් කී දෙනෙක් ගැන අකිල විරාජ් දන්නවාද?

‘‘ඉන්පසු ඔහු මෙසේ ද කියයි‍: අප දරුවා මවගෙන් වෙන්කරන්න හැදුවා. මව ඊට ඉඩ දෙන්නේ නැහැ. තවත් බලනවා. ළමයා නොදුන්නොත් අධිකරණයට ගොස් ළමයා පරිවාස බාරයට ගන්නවා”

මෙතරම් සාහසික අඥාන ප්‍රකාශයක් කරන්නේ ශිෂ්ඨාචාර සමාජයක් බිහි කිරීම පිණිස මහජනයාගේ අභිලාෂයෙන් බලයට පත් ආණ්ඩුවේ අධ්‍යාපන සහ සංස්කෘතික ඇමැති ය‍. (ඔහුට මේ තනතුර ලැබුණේ කිසිදු දක්ෂතාවයක් හෝ අත්දැකිමක් නිසා නොව අගමැති වික්‍රමසිංහගේ චක්ගෝලයකුවීම නිසා පමණය.)

එසේ දරුවන් බලයෙන් පරිවාසයට ගැනීමට අකිල විරාජ්ට ඇති බලය කුමක්ද? අධිකරණයට යන්නේ කුමණ නීතියක් යටතේද?

අකිල විරාජ් මෙසේ ද කියයි: ‘‘අප මෙය බේරන්න හැදුවා. එතකොට මානව හිමිකම්කාරයො ඇවිල්ල ඒක කෑවා.” ඔහු ඉන් අදහස් කරන්නේ මානව හිමිකම් කොමිසම විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු සංස්කෘතියකි. එසේ නොමැතිව පාර්ලිමේන්තුවේ අණපනත් සම්මත කිරීම සහ කමිටු පත් කිරීම පමණක් නොවේ. එවැනි සංස්කෘතියක් ගොඩ නැගෙනු ඇත්තේ ඇසූපිරූ තැන් ඇති නූතන ශිෂ්ඨාචාරයේ භාවිතයන්ගෙන් ඉගෙනීමට සමත් මිනිසුන්ගෙන් මිස දේශපලන බලයෙන් ඉදිමුණූ අඥාන නූගතුන්ගෙන් නොවේ.

එච්.අයි.වී. අසාදිතයකු වේවා මත්ද්‍රව්‍ය අබ්බැහියකු වේවා ලාදුරු රෝගියකු වේවා ඒ සියල්ලන්ම මනුෂයෝය. ඒ සියල්ලන්ටම මිනිස් අයිතිවාසිකම් තිබේ. ශිෂ්ඨත්වය යනු එවැනි සියලු දෙනා වෙත දයාවෙන් සහ ඔව්න්ගේ අයිතීන් සුරැකෙන පරිදි සුව සේවා සහ අයිතීන් සැපයීමය.

කළකට පෙර ලාදුරු රෝගීන් කිසිදු හව්හරණක් නැති දූපත්හි රඳවා තැබූහ. කියුබාව වැනි රටවල එච්.අයි.වී. අසාදිතයින්ද එළෙසම සිරගත කර තැබූහ. සමරිසි ලිංගිකයින්ටද එළෙසම සැළකූ සහ සළකන අන්තවාදී දේශපාලනයන් තිබේ. මත්ද්‍රව්‍ය ඇබ්බැහිවුවන්ට ප්‍රතිකාර වශයෙන් කරන ලද්දේ ජීවිතය එපා වන දඩුවම් වැනි දේය.

අද අප එම දුෂ්ඨකාලය පසුකරමින් සිටිමු. ජනවාරි විප්ලවය යනු ශ්‍රී ලංකාව ද එවැනි දුෂ්ඨ කාලපරිච්ජේදයන්ට තිත තැබීමේ ආරම්භයක් විය.

අද මානවවාදී සමාජයන් සොයන්නේ මිනිස්කම සුරැකෙන විසඳුම් ය. මිනිස්කම කෙලෙසූ දුෂ්ඨ භාවිතයන් පිටු දකින සමාජ අවබෝධය ඉහළ නැංවීමේ මංපෙත් විමසා බැලීම අද ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ඨාචාර කතිකාවන්හි කොටසකි.

මෙරට අධ්‍යාපන ඇමැති එවැනි සාධනීය වර්ධනයන් ගැන හංකාවිසියක්වත් නොදැනය.

ඇමැති අකිල විරාජ් කාරියවසම්ට අධ්‍යාපනයත් සංස්කෘතියක් බාර දීමේ විපාක කුලියාපිටියේ දී මෙන්ම නිදහස් චතුශ්‍රරයේදී ද දැක ගැනීමට දැන් හැකි වී තිබේ.

දෙකම ගොන්පාට් ය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya