සිංගප්පූරුවේ හිටපු නායක ලී ක්වාන් යූ 1960 දශකයේ කී දෙයක් තවමත් අපේ මාධ්‍ය තුළ නිතර උපුටා දැක්වේ. එනම්, ඔහුගේ සිහිනය වුණේ, කවදා හෝ සිංගප්පූරුව ලංකාවක් කිරීම බවට ඔහු කී ප‍්‍රකාශයකි. එදා සිංගප්පූරුව සිටින්ට ඇත්තේ අපට වඩා මොන තරම් පස්සෙන්ද යන්න එයින් අපට වටහාගත් හැකිය. වියට්නාමය 1975 වන තෙක් ප‍්‍රංශය සහ ඇමරිකාව යන ලෝක බලවතුන් දෙන්නෙකු සමග මුහුණට මුහුණ හැප්පී විනාශ වී සිටියත්, අද ආර්ථික වශයෙන් ගව් ගානකින් අපව පසු කරගෙන යමින් සිටී. 2006 දක්වා රාජාණ්ඩු ක‍්‍රමයක් සහිත වැඩවසම් සමාජ ක‍්‍රමයක් තුළ ජීවත් වූ නේපාලය, අපේ සාක්ෂරතාව (අකුරු කියැවීමට ලිවීමට ඇති හැකියාව) සියයට 93 ක් වෙද්දී සියයට 30 ක සාක්ෂරතාවකට පමණක් හිමිකම් කී නේපාලය, දැන් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගෙන තිබේ. එම ව්‍යවස්ථාව ‘ලෞකික’ ය. එනම් ඒ ව්‍යවස්ථාවට ආගම ගාවාගෙන නැත. එහෙත් එම රටේ ජනගහනයෙන් සියයට 81 ක් හින්දු භක්තිකයන් ය. කොටින්ම, බුදුන් වහන්සේ උපන්නේද ඒ නේපාලයේ ය. බංග්ලාදේශය ඔවුන්ගේ අලූත් ව්‍යවස්ථාව තුළ රාජ්‍යය ‘ලෞකික’ කළ යුතු බවට දැනට යෝජනා කොට තිබේ. එහි ජනගහනයෙන් සියයට 90 ක් මුස්ලිම් ය.

මේ සියලූ රටවල් පිහිටා ඇත්තේ අපේ කලාපයේ ය. ඒ නිසා මෙය ‘සුද්දාගේ’ හෝ ‘අධිරාජ්‍යවාදියාගේ’ ආදර්ශ හුවාදැක්වීමක් වශයෙන් කෙනෙකු ගත යුතු නැත. මේ සෑම රටක්ම පාහේ, බොහෝ දුරට, ආගමික හා සංස්කෘතිකමය වශයෙන් අපට නෑකම් කියයි. එහෙත් සමාජ ප‍්‍රගමනය පිළිබඳ තරගයේදී අපේ මෑත කාලීන ඉතිහාසය සමාන වන්නේ, ඉබ්බා සමග අර මෝඩ කම්මැලි හාවා අතර පැවති තරගයටයි. හොඳයි, ගිය දේ ගියාදෙන්. එහෙත් තවමත් අප එම වැරැද්ද නිවැරදි කර ගැනීමේ සැබෑ ප‍්‍රයත්නයක් ගන්නා බවක් පෙනෙන්ට තිබේද?

මේ සඳහා අවශ්‍ය කෙරෙන, ආපසු හැරී බලා ප‍්‍රශ්න අවබෝධ කර ගැනීමේ ක‍්‍රියාවලිය, ජනතා සහභාගීත්වය අවශ්‍ය කරන විවෘත අභ්‍යාසයකි. එහිදී ප‍්‍රශ්නය මුලින්ම අවබෝධ කරගත යුත්තේ පාලකයන් ය. ඊළඟට, ජනතාවට එම අවබෝධය ලබා දීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබේ. එය කළ යුත්තේ, හුදෙක් පක්ෂ අතර කෝන්තර පිරිමසා ගැනීමේ රණ්ඩුවක් තුළ නොව. වැටුණු වළවල්වල ස්වභාවය සමාජයක් වශයෙන් සද්භාවයෙන් අවබෝධ කර ගැනීමේ සාමූහික වෑයමක් වශයෙනි. උදාහරණයක් වශයෙන්, අද අපේ බෙල්ලට වැටී ඇති ණය තොණ්ඩුව මෙතරම් හිර වුණේ කෙසේද යන්න ජනතාව දැනගත යුතුය. එයින් ගොඩ ඒම සඳහා, මහින්ද රාජපක්ෂගේ කුප‍්‍රකට අතීතය මතක් කර දීමට අමතරව, අද වහාම ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ ජනතා සංකථනයක් ද ඇති කරගත යුතුය. එහෙත් ඊළඟ මැතිවරණයේදී තම පක්ෂයට අහිමි විය හැකි ඡුන්ද ප‍්‍රමාණය සැළකිල්ලට ගෙන, අද ගත යුතු තීරණ, ඒවා කෙතෙත් නීරස වුවත්, හෙටට කල් දැමීම නොකළ යුත්තකි.

මේ නීරස තීන්දු ගැනීමේ ක‍්‍රියාවලිය රාජපක්ෂවාදීන් අද ගෙන යන ව්‍යාපාරයට ආධාරකයක් කර ගැනීම වැළැක්විය හැක්කේ, එම තිත්ත තීන්දු ගැනීමට හේතුකාරක වී ඇති අතීත සිදුවීම් පිළිබඳ පැහැදිළි අවබෝධයක් ජනතාවට ලබා දීමෙනි. ඊට ඇති හොඳම මාර්ගය වන්නේ, එවැනි සිදුවීම්වලට සම්බන්ධ සියල්ලන් නොපමාව නීතිය ඉදිරියට පැමිණවීමයි. එහිදී සජින් වාස් ගුණවර්ධනට එක ආකාරයකිනුත්, ගෝඨාභය රාජපක්ෂට තවත් ආකාරයකිනුත් සැළකීම, අඩු වශයෙන් හැට දෙලක්ෂයක් ඡන්දදායකයන් පිළිගන්නේ නැත. එසේම, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශනයකට ලඝු කොට, අනතුරුව ඔවුන් ඇප මත මුදා හරිමින්, ඉතිරි වැඩ කොටස සුපුරුදු ඉබි ක‍්‍රියාවලියට බාර කිරීමත්, ජනතාව පිළිගන්නේ නැත. මේ රටේ ජනතාව ඉතා බුද්ධිමත්ම සිය ඡන්දය පාවිච්චි කරමින්, මේ රට ගමන් කරමින් තිබු ප‍්‍රපාතයෙන් 2015 දී ගලවා ගත්තේ, සරත් ෆොන්සේකා සහ ශිරානි බණ්ඩාරනායක නැමැති පුරවැසියන් දෙන්නෙකුට පමණක් යුක්තිය ඉෂ්ට කර ගැනීමට නොව, තව ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සිදුවූ අයුක්තියකට සාධාරණයක් ඉෂ්ට කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි. වර්තමාන පාලකයන්ගේ යහපාලනයේ තරම මැණෙන ප‍්‍රධාන මිම්ම වන්නේ, එම බලාපොරොත්තුව කොතෙක් දුරට සාධනය කර දීමට වර්තමාන පාලකයන් සමත් වන්නේද යන කාරණයයි. එසේ තිබියදී, අතීත සිදුවීම් ආශ‍්‍රය කර ගනිමින්, තෝරා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පමණක් නීතිය ඉදිරියට මූනිච්චාවට පැමිණවීම, දැන් දැන් ජනතාවට එපා වෙමින් තිබේ. එම මහජන කලකිරීමේ වාසිය යන්නේත් අවසානයේදී රාජපක්ෂ කඳවුරටමයි.

මහින්ද රාජපක්ෂ සහ එම පුවල වටා ගොඩනැගී තිබුණේ, නිදහසින් පසු ලංකාවේ බලයට පත් කිසි පාලකයෙකුට නොතිබුණු තරමේ, ජාත්‍යන්තර දූෂණ ජාලයකි. පසුගිය දා යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ එම ජාලයේ එක් කුඩා ක‍්‍රියාකාරීත්වයක් සම්බන්ධයෙන් පමණි. ඔවුන් දියත් කොට තිබූ මුදල් විශුද්ධිකරණ ක‍්‍රියාවලිය, හුදෙක් මූල්‍ය වංචාවකින් එහා යන, ලෝක ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලට පවා නෑකම් ඇති සංකීර්ණ වැඩපිළිවෙලක් විය හැකිව තිබූ බවට සැකයක්ද දැන් ඇතිව තිබේ. එය එසේම නොවුණත්, මුදල් විශුද්ධිකරණයම ජාත්‍යන්තර අපරාධයක ගනයේ ලා සැලකේ.

මුදල් විශුද්ධිකරණයක් යනු, ඉතා සරළව කිවහොත්, රුපියල් 500 හොර මුදල් නෝට්ටුවක් රුපියල් 50 සැබෑ මුදල් නෝට්ටුවකට මාරු කර ගැනීමට සමාන ක‍්‍රියාවලියකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, වැඩි වටිනාකමකින් යුත් නෝට්ටුව හොරට අච්චු ගැසූ නෝට්ටුවක් බව, සියලූ ගනුදෙනුකාර දෙපාර්ශ්ව දැන සිටීමයි. රුපියල් 500 ක් රුපියල් 50 ක් වැනි අඩු මිලකට දෙවැන්නෙකුට මිළදී ගත හැක්කේ එබැවිනි. එහෙත් මුදල් විශුද්ධිකරණයේදී හුවමාරු වන මුදල්, හොරට අච්චු ගැසූ ඒවා නොව, හොරට හම්බ කරගත් ඒවා ය. එවැනි මුදලක් නීත්‍යානුකූල මුදලක් සේ පාවිච්චියට ගැනීම සඳහා යොදාගන්නා උපක‍්‍රම, ‘මුදල් විශුද්ධිකරණය’ තුළට ගැනේ. සී.එස්.එන්. නාලිකාවට යොදවා ඇති ආයෝජනය, එවැනි එක් උපක‍්‍රමයකි. එහෙත්, මීට වඩා විශාල වශයෙන් මුදල් විශුද්ධිකරණයක් සඳහා පිටරට බැංකු ආදී මූල්‍ය ආයතනවල සහායද ලබා ගැනේ. එවැනි බැංකු බටහිර ලෝකයේ අද හොඳටම හිඟයි. එබැවින් මෙම සේවාව ලබා ගැනීමට සීෂෙල්ස් වැනි රටකට යාමට සිදුවෙයි. ඇත්ත වශයෙන්ම එම රටේ බැංකු සැදී පැහැදී සිටින්නේම, මෙවැනි හොරට හම්බ කරගත් ලෝකයේ විවිධ තැන්වල ධනපතියන්ගේ හොර සල්ලි ආරක්ෂා කර දෙමින් එයින් තමන්ද අතිවිශාල ලාභයක් ලබා ගැනීමටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 දී ලංකා තානාපති කාර්යාලයක් මේ සීෂෙල්ස් රටේ විවෘත කෙළේය. සීෂෙල්ස් රටේ මුළු ජනගහනය 90,000 කි. දෙහිඅත්තකණ්ඩිය තරම්වත් ජනාකීර්ණ නැත. ඒ අතරේ කිසි ශ‍්‍රී ලාංකිකයෙකු වාසය කරන්නේද නැත. එවැනි රටකට, ජනාධිපතිවරයාගේ උවමනාව පිට හිටිහැටියේම ‘මිහින් ලංකා’ ගුවන් සේවය නොනවත්වා පියාසර කිරීමට පටන් ගත්තේය. එපමණක් නොව, ලංකා බැංකු ශාඛාවක් ද එම රටේ ආරම්භ කෙරුණේය. ඒ ඇයි?

අනූ නවයෙන් ජීවිතය බේරාගෙන 2014 දී රුසියාවට පැන ගත් යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනිකොවිච්ගේ කළු සල්ලි ඩොලර් මිලියන ගණන් තැන්පත් කර ඇත්තේ සීෂෙල්ස් බැංකුවල බව දැන් සොයාගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ සහ ඔස්ටි‍්‍රයාවේ බැංකුවල තිබුණු ඔහුගේ ගිණුම් මේ වන විට තහනම් කොට ඇත.. ජීවිතය බේරාගෙන රටින් පළා ගිය තවත් ඒකාධිපතියෙකු වූ ටියුනීසියානු හිටපු නායක බෙන් අලී සහ ඔහුගේ පවුලේ ඩොලර් කෝටි ගණනක මුදල් තැන්පත් කොට ඇත්තේද සීෂෙල්ස් රටේ බැංකුවලයි.

2015 ජනවාරි 8 වැනි දා මේ රටේ ජනතාව යහපාලනයට දුන්නේ හාවෙකුගේ ප‍්‍රවේගයකි. ඒ සමගම, රාජපක්ෂ කඳවුර ඉබ්බෙකු සේ කට්ට ඇතුළේ සැඟවෙන තත්වයක්ද එදා නිර්මාණය වුණි. එදා කට්ට ඇතුළේ සැඟව සිටි ඉබ්බා දැන් දැන් වේගයෙන් ගමන් කරන බවක් පෙන්නුම් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් භාවය රැක ගැනීම සඳහා යැයි කියමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණයක් ඇති කැරැවීම සඳහා යැයි කියමින්, යහපාලනයේ මූලික ප‍්‍රතිපත්ති පවා පැත්තකින් තබා ජනාධිපතිවරයා ගෙන ගිය ක‍්‍රියාවලිය අවසානයේ, අද (17) එම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම ‘විරුද්ධ පක්ෂය’ හයිඞ් පිටියේ මහා රැළියක් පවත්වයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් භාවය කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුවේ එක්සත් භාවය පවා පරදුවට තැබෙන අවකල් ප‍්‍රකාශ, මේ අතර ආණ්ඩුවේම ඇතැම් කොටස් වෙතින් එහෙන් මෙහෙන් අසන්ට ලැබේ. 1948 පටන් රටක් වශයෙන් ජාත්‍යන්තර තලයේ ඉබ්බාට පැරදුණු අපි, දැන් ජනතාවක් වශයෙන් නැවතත් එම පරාජය දේශීයව අත්දැකීමේ ඉරණමටත් තීන්දු වී සිටිමුද?

Gamini Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda