Image Credit: huffingtonpost/ Gatte Image

හිටපු ජනාධිපතිවරයා මෙපමණ කලක් හොර ගල් අහුලමින් සිට පසුගිය දා හයිඞ් පිටියේදී එළියට ආවේය. ඒ, නැවත වතාවක් තමන්ට රට භාර දෙන ලෙස ඉල්ලමිනි. මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වැනි දා පරාජයෙන් පසු සති දෙක තුනකට වඩා ගෙදර සිටියේ නැත. මුලින්ම ඔහු කෙළේ, ධාතු නැරඹීමට ගෙන්වා ගන්නා සේ විවිධ පළාත්වලින් ඔහුව දැක ගැනීමට මිනිසුන්ව මුදමුලනට ගෙන්වා ගැනීමයි. ඒ අතරේ, ඔහුගෙන් කාලාන්තරයක් යැපුණු අතලොස්සක් ලවා නුගේගොඩින් පටන්ගෙන රටේ විවිධ පළාත්වල මහජන විරෝධතා රැළි සංවිධානය කරවා ගත්තේය.

මේ හොර ගල් ඔහු අහුලමින් සිටියේ, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දුර්වල බව සැකයෙන් තොරව අවබෝධ කරගන්නා තෙක් ය. නුගේගොඩ රැළියට සහභාගී වූ කිහිප දෙනා සම්බන්ධයෙන් විනය ක‍්‍රියා මාර්ගයක් ගැනීමටවත් සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් නොවන බව මුලින්ම දැන ගත් මහින්ද රාජපක්ෂ, තවත් අවස්ථා කිහිපයක්ම ඇති කරමින් එය නැවත නැවතත් පරීක්ෂාවට ලක්කෙළේය. ඒ සෑම අවස්ථාවකම ඔහුට දැන ගැනීමට ලැබුණේ, ජනාධිපතිවරයා වචනයෙන් ඇනුම්පද කියන තරම් ක‍්‍රියාවෙන් පෙන්නුම් කරන්නෙකු නොවන බවයි.

එය ඇත්තෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුද්ගල ප‍්‍රශ්නයක් නොව, ඔහු නියෝජනය කිරීමට උත්සාහ ගන්නා ප‍්‍රවේශයන් දෙකක නොගැලපීම සහ ගැටීම නිසා ඇති වන තත්වයකි. එකක්, යහපාලනයයි. ඒ ඔස්සේ, 19 වැනි සංශෝධනය ඇතුළු ඉතා සාධනීය ප‍්‍රතිසංස්කරණ කිහිපයකට කෙටි කාලයක් තුළ ඔහු උර දුන්නේය. එය, ඊට පෙර කිසි රාජ්‍ය නායකයෙකු අත්කර නොගත් සාර්ථකත්වයකි. එහෙත් අනිත් පැත්තෙන්, යහපාලනයේ දෘෂ්ටිවාදීමය ප‍්‍රතිපක්ෂය ඉවසා සිටීමත් ඔහු සිය රාජකාරියක් බවට පත්කර ගත්තේය. ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීම සඳහා ය. ප‍්‍රශ්නය වන්නේ, ගොඩ ගැනීමට යන්නේ මොන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද යන්නයි. අප දන්නා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකක් තිබේ. එකක්, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ගොඩනැගූ ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අනෙක, මහින්ද රාජපක්ෂ විසින් දශකයක කාලයක් තිස්සේ ගොඩනැගූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 2015 ජනවාරි 8 වැනි දා වන විට, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුළුටක්වත් ඉතිරිව තිබුණේ නැත.

මෙහිදී අවබෝධ කර ගත යුතු ඉතා වැදගත් දේශපාලනික පාඩමක් තිබේ. එනම්, එකී නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එහි නායක මහින්ද රාජපක්ෂත් යනු, හුදෙක් පක්ෂයක් සහ පුද්ගලයෙකු නොව, සමාජ බලවේගයක් සහ සංස්කෘතියක් වන බවයි. මහින්ද රාජපක්ෂ තමන්ගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කෙළේ හුදෙක් බණ්ඩාරනායකලා අතින් පක්ෂ නායකත්වය තමන් අතට ගැනීමෙන් නොව, තමාගේ දෘෂ්ටිවාදය සහ සංස්කෘතිය එම පක්ෂය තුළ සංයුක්තව රෝපණය කිරීමෙනි. ඒ දෘෂ්ටිවාදය සහ සංස්කෘතිය කුමක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට රාජත්වය, නීතියේ ආධිපත්‍යය වෙනුවට පවුලේ ආධිපත්‍යය යන පුළුල් වපසරිය තුළ, දූෂණය/භීෂණය රජ කැරැවූ මජර සංස්කෘතියකි. මේ නිසා, මහින්ද රාජපක්ෂ පරාජය කිරීම යනු මජර දෘෂ්ටිවාදය සහ සංස්කෘතිය පරාජය කිරීම බව මුලින්ම වටහා ගත යුතුය.

මෛත‍්‍රිපාල සිරිසේන, තමාගේම වන සමාජ බලවේගයක් නොවුණි. ජනවාරි 8 වැනි දාට කලින් ඔහුට යැපෙන්ට සිදු වුණේ, ඔහු නොවන වෙනත් බලවේග මත්තේය. එනම්, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ සිවිල් සමාජය ඇතුළු ඉතා පුළුල් බලවේග එකතුවක් මතයි. මේ එකිනෙක පාර්ශ්ව අතර මොන තරම් නොපෑහීම් තිබුණත්, ඒ සියල්ලට ඉහළින් තනි පොදු ප‍්‍රාර්ථනාවක් තිබුණි. එය හැඳින්වුණේ, යහපාලනය වශයෙනි. මෛතී‍්‍රපාල සිරිසේනට ස්වායත්ත සමාජ බලවේගයක් බවට පත්විය හැකිව තිබුණේ, ඒ ප‍්‍රාර්ථනයට හතුරුව සිටින සියලූ බලවේග නිර්දය සේ ප‍්‍රතික්ෂේප කරමින්, එම ප‍්‍රාර්ථනය තමාගේ සන්තකයට ගනිමිනි.

එහෙත් ජනවාරි 9 වැනි දා සිට ඔහු කරන්නේ, ජනවාරි 8 වැනි දා තමන් ලද පරාජය සමාජය කළ අත්වැරැද්දක් නිසා ඇති වූවක් බව ඔප්පු කිරීම සඳහාම යහපාලනය පරාජය කර පෙන්වීමේ දේශපාලනික ව්‍යාපෘතිය කරට ගත් මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවසාවදාරා සිටීමයි. මහින්ද රාජපක්ෂව ජනතාව ප‍්‍රතික්ෂේප කොට තිබියදී, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය ජනතාව ප‍්‍රතික්ෂේක කොට තිබියදී, ඔහු මහින්ද රාජපක්ෂටත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සෘජුව සහ වක‍්‍රව නැවත ජීවය පිම්ඹේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීම තමාගේ කාර්යයක් සේ ජනවාරි 8 වැනි දා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ නොතිබුණු බව මේ වන විට ඔහු අමතක කොට තිබුණි.

සිරිසේන ජනාධිපතිවරයාට ජනවාරි 8 වැනි දා භාර වුණේ, ජනතාව ඡන්ද පොළේදී ප‍්‍රතික්ෂේප කළ බලවේගය, සමාජමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් පරාජය කොට, අපරානුමත කිරීමේ වගකීමයි. එම බලවේගයේ වාහකය (පක්ෂය) මොන විදිහක හෝ ගුණාත්මක වෙනසකින් තොරව, හුදෙක් පක්ෂ ව්‍යවස්ථානුකූලව තම අතට ගත් පමණින් එම බලවේගය හෝ ඊට නායකත්වය සපයන මහින්ද රාජපක්ෂව පරාජය කළ නොහැකි බව ජනාධිපතිවරයා අවබෝධ කර නොගත්තේය. තමාගේ කර ගත හැකිව තිබූ ජනතා බලවේගයට නායකත්වය දීම, ජනතාව ප‍්‍රතික්ෂේප කළ පක්ෂයක නායකත්වයත් භාර ගැනීමෙන් කළ නොහැකි බව ඔහු තේරුම් නොගත්තේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ දූෂිත පරාජිත නායකයන්ව ඔහු ‘මිළ දී’ ගත්තේ එබැවිනි.

මේ ක‍්‍රමය මහින්ද රාජපක්ෂ සාර්ථකව අත්හදාබලා තිබේ. ඒ, එදා එක්සත් ජාතික පක්ෂයේ පිරිස් බුරුතු පිටින් ‘මිළදී’ ගැනීමෙනි. එදා එය සාර්ථක වුණේ, වෙනත් සාධකවලට අමතරව, යුද්ධයේ ජයග‍්‍රහණයක් හෝ ජයග‍්‍රහණයේ අපේක්ෂාවක් විසින් දකුණේ සමාජය තුළ ඇති කොට තිබූ ප‍්‍රහර්ශය විසින් සැපයූ විශේෂ ශක්තියක පිටුබලය යටතේ ය. මෙය, එක්සත් ජාතික පක්ෂය එක දිගටම පරාජය වෙමින් සිය හයිය ඉතා සීග‍්‍රයෙන් නැති කර ගනිමින් සිටි අවදියකි.

එහෙත්, සිරිසේන ජනාධිපතිවරයා මුහුණදුන්නේ ඊට වෙනස් තත්වයකටයි. ඔහුට යුද ජයග‍්‍රහණයක් නොතිබුණි. ඔහුට තිබුණේ, ජනවාරි 8 වැනි දා මැතිවරණ ජයග‍්‍රහණය පමණි. එහෙත්, අර යුද ජයග‍්‍රහණය තරමටම මේ ජයග‍්‍රහණය ප‍්‍රබල බලවේගයක් කර ගැනීමට පුලූවන් කම තිබුණේ, එම ජයග‍්‍රහණය පසුපස ඒ තරමේම ජනතා අපේක්ෂාවක් ලියලා තිබුණු බැවිනි. මහින්ද රාජපක්ෂ මැදමුලනෙන් නැවතත් පාරට බසින විට, ඔහුව නතර කිරීමට තිබුණේ එකම ක‍්‍රමයකි, එනම්, අර ජනවාරි 8 වැනි දා තමාව බලයට පත්කළ බලවේගවලට නොවක්ම නායකත්වය සැපයීමෙනි.

ඒ කෙසේද? මුලින්ම, රාජපක්ෂ ඇතුළු සියලූ දූෂිත කොටස් නොවලහා නීතිය ඉදිරියට ගෙන ඒමෙනි. මාධ්‍ය සංදර්ශන සඳහා දිනපතා කටඋත්තර ගැනීමට කැඳවීම හෝ හැකි ඉක්මණින් ඇප මත මුදා හැරීම සඳහා අත්අඩංගුවට ගැනීමේ ‘පෙන්නුම් බය’ පිළිබඳ මුළාවට අද ජනතාව නොරැවටෙති. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමන් අතට ගැනීම සඳහා රාජපක්ෂ කඳවුරේ සෙසු කණ්ඩායම්වල සහාය පතා කටයුතු කරන තාක් කල්, ‘පෙන්නුම් බයකින්’ එහා වැඩපිළිවෙලකට යාමට ජනාධිපතිවරයා අසමත් වන බව නොකිවමනා ය. ඒ බව අන් සියල්ලන්ට වඩා හොඳින් තේරුම්ගෙන අද කටයුතු කරන දේශපාලඥයා මහින්ද රාජපක්ෂයි.

හයිඩ් පිටියට යන ඕනෑම සාමාජිකයෙකුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව කී එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් මහින්ද අමරවීර දැන් කියන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එහිදී විවේචනය කර නැති නිසා එවැනි විනය ක‍්‍රියාමාර්ග අවශ්‍ය නොවන බවයි. මේ ප‍්‍රකාශය තුළ ඉහත කී සමස්ත විග‍්‍රහය කැටි කොට දැක්වෙයි. යහපාලන ජාතික ආණ්ඩුව විවේචනය කළාට කම් නැත. අවශ්‍ය වන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය නොකර සිටීමයි යන්න මහින්ද අමරවීරගේ ස්ථාවරයයි. මේ අතර, ‘ ඕනෑම මිළක්’ ගෙවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගත යුතු බව එස්. බී. දිසානායක කියයි. එනම්, යහපාලන ජාතික ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට වඩා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම උතුම් බවයි. මේ දෙන්නාම අදහස් කරන ඒ කියන ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය’ යනු කුමක්ද? අර ඉහතින් සඳහන් කළ, මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මිස වෙන කිසිවක් නොවේ. හයිඞ් පිටියට ශාරීරිකව නොගිය මෙවැනි අයවළුන් යහපාලන ජාතික ආණ්ඩුව තුළ සිටීම වනාහී, දාම් ලෑල්ලේ කළු ඉත්තන් සේම සුදු ඉත්තන්ද එක විට ඇදීමේ තනි වරය මහින්ද රාජපක්ෂට ලබා දී තිබීමකට වෙනස් නැත.

නුගේගොඩින් පටන් ගත් වේදිකාවට වඩා හයිඞ් පිටියේ වේදිකාව උත්කර්ෂවත් වන්නේ එම තතු යටතේ ය. නැවත තමන්ට බලය දෙන්නැයි ඉල්ලා සිටීමට රාජපක්ෂ අවුරුද්දකුත් මාස තුනක් බලා සිටියේ ඊට අවශ්‍ය කරන එකී පරිසරය සකස් වන තෙක් ය.

Gamini Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda