බරපතල අපරාධ නඩු විභාග කිරීමේ බලය ඇති අධිකරණය වන මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීමෙන් බරපතල අපරාධ සිදුවීමේ ශක්‍යතාව බෙහෙවින් අඩු කර ගත හැකි බව පෙන්වා දීම මෙහි අරමුණයි. නඩු විභාග කිරීමේ දීර්ඝ ප‍්‍රමාදයන් හේතු කොටගෙන, අපරාධ කිරීමෙන් අපරාධකරුවන්ව අධෛර්යමත් කිරීමත්, සාර්ථක අන්දමින් දඬුවම් පැමිණවීමට රාජ්‍යය සතු බලය කෙරෙහි අපරාධකරුවන් තුළ යම් බියක් ජනනය කිරීමත් අසාර්ථක වන්නේය.

අඩු වශයෙන් මේ නඩු විභාග කෙරෙන මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කළ යුතු බව මේ අනුව යෝජනා කෙරේ. ඊට අමතරව, මෙවැනි නඩු දෛනිකව අඛණ්ඩ මට්ටමකින් විභාග කිරීමත් මගින් මේ තත්වය වෙනස් කර ගත හැකි වනු ඇත. දැනට මහාධිකරණ 28 ක් ලංකාවේ තිබේ. ඒ ප‍්‍රමාණය දෙගුණ කර ගැනීම, මූල්‍යමය වශයෙන් ගත් විට, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට මහා බරක් පැටවන දෙයක් වන්නේද නැත.

මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම යනු, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව, මහාධිකරණ කාර්ය මණ්ඩල සංඛ්‍යාව, ඊට අවශ්‍ය භෞතික සම්පත් සේම ඒවාට අවශ්‍ය ස්ථාන සම්පාදනය කිරීමත් අදහස් වන්නේය.

මේ ආකාරයෙන්, එක පැත්තකින්, අපරාධ නඩු විභාග කිරීම ප‍්‍රමාද වීමේ ප‍්‍රශ්නය විසඳා ගත හැකි වනු ඇත. මහාධිකරණ පද්ධතිය තුළ ඇති කෙරෙන වෙනස්වීම් හරහා මුළු අධිකරණ පද්ධතිය තුළමත්, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය වැනි වෙනත් ආයතන පද්ධති තුළත් විශාල වෙනසක් ඇති කර ගත හැකි වනු ඇත.

මේ වෙනස හරහා ඇති වන වැදගත්ම වෙනස වනුයේ ශ‍්‍රී ලංකාවේ සිදු වන බරපතල අපරාධ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වීමයි. අපරාධ නඩු විභාග කිරීමේ ප‍්‍රමාදය, රටේ මෙවැනි අපරාධ වැඩි වීමට ප‍්‍රධාන හේතුවක් වන්නේය යන අදහස මෙහිදී අවධාරණය කෙරේ. අපරාධ කිරීම අධෛර්යමත් කිරීම හෙවත් නිවාරකය යන සාධකය මෙහිදී වැදගත් වෙයි. විත්තිකරුවෙකු වැරදිකරුවෙකු වන අවස්ථාවකදී ඉක්මණින් දඬුවම් ලබා දීම, කඩිනම් අධිකරණ කි‍්‍රයාවලියක් තුළ සිදු කෙරේ. අපරාධ නඩු විභාග ක‍්‍රමය තුළ අද ලෝකය පුරා පිළිගැනෙන මතයට අනුව, හොඳම අපරාධ නිවාරකය වන්නේ දඬුවම පිළිබඳ නියත භාවයක් ඇති කිරීමයි. අපරාධ නඩු විභාග ප‍්‍රමාද වීම යනු මේ නියත භාවය වියැකී යාමයි. මෙවැනි ප‍්‍රමාද වීම් තුළ සිදු වන නොයෙකුත් පරිබාහිර සාධක නිසා, කරන ලද අපරාධයට නියමිත දඬුවමින් ගැලවී යාමට තමන්ට හැකියාවක් ඇතැයි අපරාධකරුවා තුළ විශ්වාසයක් ඇති කෙරේ. දීර්ග කාලයක් තිස්සේ දිග් ගැස්සෙන නඩු විභාගයකින් පසු යම් විත්තිකරුවෙකු වැරදිකරුවෙකු කොට දඬුවමකට ලක් කළත්, සාධාරණ කාලයක් තුළ එම අපරාධය සඳහා දඬුවමකට ලක්වීම තරම් එහි වටිනාකමක් පවතින්නේ නැත. දීර්ඝ කාලයකින් පසු, එම අපරාධය පිළිබඳ මතකයේ බරපතල කම පවා හීන වී යාමට ඇති ඉඩකඩ ඊට එක් හේතුවකි. මෙය ශ‍්‍රී ලංකාවේ නිතර සිදු වන තත්වයකි. යම් අපරාධයක් පිළිබඳව අසා ඇති ජනතාවක් තුළ ඒ සම්බන්ධයෙන් ඇති වන හැඟීමත්, එවැනි අපරාධ සඳහා නිසි දඬුවම් පැමිණවිය යුතු බවට ඔවුන් තුළ පවතින අපේක්ෂාවත් තුළ පවතින වැදගත්කම, මෙවැනි දීර්ඝ පමා වීම් හේතුවෙන් බොඳ වී යයි. මේ නිසා මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම හරහා එවැනි ප‍්‍රමාදයන් වළක්වා ගැනීම තුළින්, අපරාධකරුවන්ට නිසි දඬුවම් ලැබෙන්නේය යන මතය සක‍්‍රීය ආකාරයෙන් සමාජය තුළ තහවුරු කළ හැකි වන්නේය.

මෙහි වැඩිම බලපෑම ඇති වනුයේ, ස්වභාවිකවම, අපරාධකරුවන් සම්බන්ධයෙනි. නඩු දීර්ඝ වශයෙන් ප‍්‍රමාද වීම් නිසා, දඬුවමින් ගැලවී සිටීමේ විශාල ඉඩකඩක් තමන්ට ඇති බවට අපරාධකරුවා තුළ හැඟීමක් ඇති කෙරේ. අඩුම වශයෙන්, දඬුවම එන්නේ බොහෝ කාලයකට පසුව බවට හැඟීමක් ජනිත කෙරේ. ඒ නිසා, හදිසියේම තමාගේ නිදහස උදුරා ගැනෙතියි බියක් අපරාධකරුවා තුළ හටගැනෙන්නේ නැත. බරපතල අපරාධයක් සැලසුම් කරන අපරාධකරුවාගේ සිතට එය මහත් සහනයක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

බරපතල අපරාධ අඩු කර ගැනීමෙන් ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය කෙරෙහිත් විශාල බලපෑමක් ඇති කළ හැකිය. ඉතා පහසුවෙන් අපරාධ කෙරෙන සැටි දකින්නට සිදුවීම සමාජය තුළ ඇති කරන්නේ කාලකණ්ණි හැඟීමකි. තමන්ගේ ජිවිතවලට සහ තමන්ගේ ප‍්‍රියයන්ගේ ජීවිතවලට ඇති තර්ජනය සේම තමන්ගේ දේපළවලට ඇති තර්ජනයත් පිළිබඳ බියක් ඔවුන් තුළ ඒ මගින් ජනිත කෙරේ. ශ‍්‍රී ලංකාවේ මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමෙන් ඒ හැඟීම බොහෝ දුරට අවම කරගත හැකි වනු ඇත.

ඉක්මණින් නඩු විභාග කිරීම හරහා වඩාත් සෙත සැළසෙන කණ්ඩායම් අතර කාන්තාවන් සහ ළමුන් වැනි අසරණ පිරිස් වැඩියත්ම කැපී පෙනේ. ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී දූෂණ සහ ලිංගික අපචාර විශාල වශයෙන් වැඩි වෙමින් පවතින බව නිතර අසන්ට ලැබේ. නඩු විභාග කිරීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රමාදය මෙකී අනාරක්ෂාවටත් අහිතකර ලෙස බලපායි. එබැවින් මෙවැනි අපරාධවලට ලක්වන වින්දිතයන්, කාන්තාවන් සේම දෙමාපියන්ද, එම සිදුවීම් පිළිබඳව බලාධිකාරී ආයතන වෙත පැමිණිලි කිරීමට පවා බොහෝ විට මැළි වෙති. එයාකාරයෙන් නිහඬව විඳවින පිරිස් අපමණ ය. මහාධිකරණ සංඛ්‍යාව වැඩි කොට ඉක්මන් නඩු විභාග ක‍්‍රියාවලියක් දියත් කිරීම හරහා මේ තත්වය වළක්වා ගත හැකිය.

මෙසේ මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිස් දෙපාර්තමේන්තුවටත් විශාල සේවයක් සැලසෙයි. අද මේ ආයතන දෙක පිළිබඳවම ඇති මහජන හැඟීම එතරම් හොඳ නැත. ඊට හේතුව, අපරාධකරුවන්ව නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් පැමිණවීමට මේ ආයතන අසමත් වන බවට ජනතාව අතර ඇති හැඟීමයි. මේ තත්වය, එම ආයතනවල සේවය කරන පිරිස්වල විශාල චිත්ත පීඩාවක් ඇති කිරීමටත් තුඩුදෙයි. බරපතල අපරාධ පිළිබඳ නඩු විභාග කඩිනම් කෙරෙන්නේ නම්, මේ ආයතනවල සේවය කරන ඇතැම් පිරිස් වඩාත් උද්‍යෝගයෙන් කටයුතු කරනු නොඅනුමානයි. එය, සෙසු සේවක පිරිස්වල චිත්ත ධෛර්ය වඩවාලීමටත් හේතු විය හැකිය.

අනිත් අතට, මහාධිකරණවල නඩු විභාග කඩිනම් කෙරෙන විට එය වෙනත් අධිකරණවලටත් ආදර්ශයක් විය හැකිය. ඇත්ත වශයෙන්ම, අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ සමස්ත යාන්ත‍්‍රණයම, මෙසේ මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමෙන් කාර්යක්ෂම කර ගත හැකි වන්නේය. එසේ වන විට, මේ ආයතන ඇතුළෙන්මත් තව තවත් සම්පත් ඉල්ලා සිටින තත්වයක් නිර්මාණය වනු ඇත. මේ වන විට පුරුද්දට ගොස් ඇති අලස බව සහ උදාසීනත්වය ඒ මගින් බොහෝ කොට අවම කර ගත හැකි වන්නේය.

තවද, මේ වෙනස සමස්ත දේශපාලන දේහයටත් දැනෙනු ඇත. අද දේශපාලන පද්ධතිය දෙස ජනතාව බලන්නේ අවඥාවෙනි. එම දේශපාලන පද්ධතිය, දේශපාලඥයන්ගේ සෘජු සහභාගීත්වය ඇතිව හෝ වක‍්‍ර අනුග‍්‍රහය හරහා අපරාධවලට සම්බන්ධ වන බවක් පෙනේ. කඩිනම් නඩු විභාග හරහා මත්ද්‍රව්‍ය අපරාධ සහ මුදල් විශුද්ධිකරණය වැනි වෙනත් බරපතල අපරාධ නීතිය ඉදිරියට පැමිණවිය හැකි නම් එය අද පවතින දේශපාලනික ක‍්‍රමය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු නිසැකයි.

උදාහරණයක් වශයෙන් කඩිනම් නඩු විභාග ක‍්‍රියාවලියක් මේ රටේ පැවතියේ නම්, රාජපක්ෂ පාලන තන්ත‍්‍රය සම්බන්ධයෙන් එදා මතුව තිබූ මහ පරිමාණ අපරාධ ඇති නොවීමට ඉඩ තිබුණි. නැත්නම්, ඒ තරම් නරක ආකාරයෙන් ඒවා ඇති නොවීමට ඉඩ තිබුණි. රාජපක්ෂ සමයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇතැයි අද කියන අය එය අවසන් කර ගන්නේ කෙසේදැ යි බරසාර අන්දමින් සිතා බැලිය යුතුව තිබේ.

ඒ සඳහා ඇති එක මාර්ගයක් වන්නේ, ශ‍්‍රී ලංකාවේ මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමත්, බරපතල අපරාධ විභාග කෙරෙන නඩු ක‍්‍රියාවලිය කඩිනම් කිරීමත් ය. මේ ආකාරයට, රටේ සමස්ත අපරාධ යුක්ති විනිශ්චය ක‍්‍රමයත්, රටේ දේශපාලන ක‍්‍රමය ඇතුළු සමස්ත සමාජ දේහයත් කෙරෙහි ඒ හරහා සාධනීය බලපෑමක් කිරීමට හැකි වනු ඇත. එබැවින් මේ ගැන ආණ්ඩුවේ නායකයන්ගේ, ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ මෙන්ම සිවිල් සමාජය සහ ජනමාධ්‍ය ඇතුළු ශ‍්‍රී ලංකාවේ සියලූ අදහස් සම්පාදකයන්ගේ අවධානය යොමු වන ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

Basil Fernandoබැසිල් ප‍්‍රනාන්දු

*2016 අපේ‍්‍රල් 15 වැනි දා ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ නිකුත් කළ Sri Lanka: Doubling the Number of High Courts will Drastically Reduce Crimes නැමැති ප‍්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි