IMAGE by: Lakruwan Wanniarachchi/AFP/Getty Images

විශ්වීය මනුෂ්‍යත්වය වූ කලී මෙයයි. ඊට සීමා නැත. ඊට විවිධ බෙදීම නැත. ඒ අපේ හැටිය. අපි අපේකම කියා හඳුන්වා ගන්නේ එයයි. මෙම ප්‍රසංසනීය ගතිය බොහෝ මිනිසුන් තුළ ලැගුම්ගෙන තිබේ. සැබෑ ජාතිකත්වය වූ කලී මෙම මූලධර්මයන් මත චිත්‍රණය කරන සංකල්පයක් මිස එකිනෙකාගේ සීමා මායිම් තනාගෙන සීමාව රැකගැනීම සඳහා පොරකන තත්වයක් ඇති කරන දෙයක් නොවේ.

ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය විසින් මීට දින කිහිපයකට පෙර රටවල් 27ක් අළලා කළ මත විම්සූමක ප්‍රතිපල ප්‍රසිද්ධ කොට තිබුණි. ඉන් කියවුනේ සීයට 80ක පිරිසක් තම රටවලට සරණාගතයින් පැමිණෙන බවට කැමති බවය. කරුණාවේ සහ සාමුහීකත්වයේ ගැඹුර ඉන් අවබෝධ වේ. මෙය ව්‍යාකූල කොට ඇත්තේ තම දේශපාලන සහ ආර්ථික බලය රැක ගැනීම සඳහා කළ හැකි ඕනෑම මගෝඩියක් සිදුකරණ කොටසක් විසිනි. අවාසනාවට ඔවුහු ලෝකය මෙහෙයවති.

හිලරිගේ හෝ ට්‍රම්ප්ගේ මැතිවරණ මෙහෙයුම් කටයුතුවල පමණක් නොව පිලිපීනයේ ඩුටේට් ජනාධිපති දක්වා ඔසවා තැබීමට අවශ්‍යය ක්‍රමෝපායික වැඩපිළිවෙල සකස් කරනු ලැබුවේ අදාළ කණඩායම් විසිනි. ජනතාවගේ එදිනෙදා ආශාවන් නිර්දය ලෙස පාවිච්චි කරමින්, ඒවා වෙළඳ භාණ්ඩ බවට පත් කිරීම ව්‍යාකූල වූ මැතිවරණ ක්‍රමවේදයක පවතින මූලික උපාය වේ. ඉන් පසු බලය ලබා ගනී. තම මූලික අපේක්ෂාව වූ එය, ඉන් පසු කෙසේ හෝ රැක ගැනීම සඳහා කළ හැකි උපරිම දෑ කරනු ලබයි.

වතමන් යහපාලන ආණ්ඩුව හිර වී සිටින හෝ ජනතාවගේ අපේක්‍ෂා හිරකොට තබා ඇති මූලික ක්‍රමවේදය චිත්‍රණය වන්නේ මෙතනදීය. ආණ්ඩුව බලට පත් වූයේ තමන්ට ඇති කැමැත්තට වඩා මහින්ද රාජපක්ෂ මහතාට තිබු අකමැත්ත නිසා බව ආණ්ඩුව අමතක කොට දමා ඇති මූලික කාරණය වේ. මේ නිසා රාජපක්ෂ මහතා, මර්වින් සිල්වා මහතා පාවිච්චි කරමින් කළ දේශපාලනය වත්මන් ආණ්ඩුව ඔහුම භාවිත කරමින් වෙන විදිහකට කිරීමට මාන බලයි. මෙය මුලාවකි. එයට කළ හැකි එකම දේ ජනතාව අතර ප්‍රතික්ෂේප වීමේ වේගය සීග්‍ර කිරීම පමණි.

මෙම සම්ප්‍රදායික රටාව ක්‍රමිකව වෙනස් වන බවත්, රැවටීම් සහ මුලාවේ හෙලීම දීර්ඝ කාලීන කිරීමට නම් බරපතල මර්ධනයක් අවශ්‍ය බවත් බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. ඒ නිසා රටේ සෑම පුරවැසියෙකුම සිතට ගත යුතු මූලික කාරණය ප්‍රචණ්ඩත්වයෙන් මිදීම සහ එවැන්නක් තම අසල්වැසියාට මුහුණ නොදීමට සැලැස්වීමය. තම අයිතිය රැකගත හැක්කේ තම අසල්වැසියාගේ අයිතිය රැකීමෙන් යන්න සෑම දෙනෙකුම අනිවාර්යෙන්ම දන්නා මූලික විද්‍යාවකි. මෙය ක්‍රියාවේ යෙදීම අත්‍යවශ්‍යය වේ.

එවිට රට තුළ මූලික පොදු අවබෝධයක් පැළපදියම් වේ. එය නිහඬව වර්ධනය කරන කිසිවෙකුට තමන්ගේ කරගත නොහැකි විනයානූකූල විරෝධයක් ඇති කරයි (පීපල් රෙසිස්ටන්ස්). එම විරෝධයට රාජ්‍යය සතු (සැබෑ අර්ථයෙන් ගතහොත් ජනතාව සතු) දේපල සහ එම දේපල කළමනාකරණය කරන අයවලුන් වගවීමට යටත් කළ හැකි වන්නාසේම, ඔවුහු විනිවදභාවයෙන් යුතු පිරිසක්ද යන්න තීරණය කොට ඊට වඩාත් උචිත ක්‍රියාමාර්ගයක් ගත හැකිය. එමඟින් එකී රාජ්‍යය තුළ ඇති ව්‍යුහය ශක්තිමත් කළ හැකිය.

කලින් කලට පවත්වන මැතිවරණ හෝ විවිධ සිදුවීම දඩමීමා කරගෙන දේශපාලන වාසී ලබා ගැනීමට ඉදිරිපත්වන පිරිසට නිවැරදි ප්‍රතිචාර ලබා දිය හැක්කේ එකී මූලික පදනම හැකිතාක් ශක්තිමත් වන දුරට යැයි සිතේ. ජනතාවගේ හැඟීම් සහ දැනීම් සංස්කෘතික වශයෙන් ගැඹුරට විහිදී ගිය ඒවා වන අතර, එය එකතුවන්නේ කුමන අවස්ථාවේදීද යන්න මේ දක්වා නිශ්චිතව කියවා ඇති පිරිස වන්නේ “කෛරාටක දේශපාලනඥයින්” පමණි.

මේ නිසා, මරදානේ දුම්රිය නැවතුම් පොලට ගොස් බත්පැකට් එකතුකොට ඒවා කර තියන් ගොස් කන්න නැති මිනිසුන්ට කෑමට දෙන සැබෑ මිනිසුන්ට වඩා, හෙලිකොප්ටරයෙන් ගොස් රට හේදී හෝ ගිලා බැස ඇති ආකාරය දැක මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පවත්වන පුදගලින් මාධ්‍යට වැදගත් වේ. එසේම, ඔවුන්ගේ හෙලිකොප්ටර් සංචාර සඳහා මාධ්‍යයේ ඉඩ ලබා දීම සඳහා බල කෙරෙති. මෙය වෙනස් කිරීම සඳහා අවශ්‍යය පසුබිම සකස් වී ඇති අතර, එය මනා සිහියෙන් කිරීම සඳහා සාමාන්‍යය ජනතාව අතර හඳුනා ගත හැකි පොදුබවට ආමන්ත්‍රණ කිරීමේ වැඩපිළිවෙලක් මෙන්ම ඒ සඳහා එකතුවීමට අවශ්‍ය ක්‍රමෝපායක් සෑම පුරවැසියෙකුට අතවශ්‍යය වේ.

අපේ මිනිසුන්, හදිසි ආපදා තත්වයෙන් විපතට පත් අයවලුන්ට පිහිටවන ආකාරය සැබවින්ම ප්‍රසංසනීයය. අපේ මිනිසුන් සතුව ඇති කැපවීම, අනෙකාගේ දුක හමුවේ පිහිටවීමට ඇති ආයාසය, දැකීමට ලැබීම සැබවින්ම වාසනාවන්තය. සුනාමී විපත සිදු වූ අවස්ථාවෙදීද අපි ජාතියක් ලෙස එකාවන්ව කටයුතු කළ අතර, වෙනත් රවලවල විපතට පත්වූවන් හාමතේ මිය යනවිට අපි අපේ කිසිවෙකුට හාමතේ මියැදීමට ඉඩ නොදුන්නෙමු. ඒ සාමන්‍යය ජනතාවගේ සහය නිසා මිස විනාශය දැක ඊට හමු වූ ආධාර ගසා කෑ හොරුන් නිසා නොවේ.

මේ වන විට සිදුවෙමින් පවතින්නේද ඒ හා සමාන තත්වයකි. රටේ සාමන්‍යය ජනතාව කිසිඳු දේශපාලන වාසියකින් තොරව විපතට පත් වූ අයවලුන්ට පිහිට වෙමින් සිටිති. රටේ ආරක්ෂක හමුදාව ඇතුළු බොහෝ රාජ්‍යය ආයතන වල පිරිස්ද ඊට සහයෝගය දක්වමින් සිටිති.

ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් 1919 නමැති දුරකථන අංකය පවතින අර්බුදය තවදුරටත් විහිලුවකට ලක් කොට තිබේ. ඊට හේතුව ජනාධිපතිවරයාට මේ සඳහා වුවමනාවක් නැති නිසා නොවේ. ඔහු අදාළ කටයුත්ත සඳහා පත්කොට ඇති අයවලුන්ගේ අක්‍රීයත්වය සහ අදාළ කටයුතු වගකීමකින් නොකිරීමය. මේ නිසා වැදගත් වන්නේ අදාළ සිදුවීම් වඩාත් යුහුසුළුව විසඳීම හැකි පිරිසක් යොදා ගැනීමය. ඒ සඳහා අඩු තරමින් විශ්ව විද්‍යාල සිසුන්ගේ සහය හෝ ලබා ගෙන නිවැරදි සන්නිවේදන ක්‍රමවේදයක් සකස් කිරීමය.

රාජ්‍යය සේවයේ ඇති ශාරය භක්ෂණය කළ අයවලුන්ට හදිසි ආපදා තත්වයන් වලදී වගකීම් භාර දීම වූ කලී නරින්ට කුකුලන් බාර දීම වැනිය. එසේම ඔවුහු කිසිවෙකු ස්වාධීනව අපක්ෂපාතීව මැදිහත් වන්නේද නැත. එබැවින් වැදගත් වන්නේ මේ සඳහා නිශ්චිත සහ කල් පවතින වැඩපිළිවෙලක් සකස්කොට වහාම ක්‍රියාත්මක කිරීමය. හදිසි ආපදාවලදී අතිශය වැදගත් වන්නේ, සන්නිවේදන පහසුකම් මනාව සකස් කිරීමය. එවිට විපතට පත් අයවලුන් රෑ වැටුන වලේ දවල් නොවැටේ. ඔවුනගේ ජීවත් වීමට හෝ ඇති අයිතිය තහවුරු කළ හැක්කේ එවිටය.

රාජ්‍යය සේවකයාගේ නිවාඩු ගැනීම තහනම් කිරීම පමණක් නොව රාජ්‍යය සේවකයින් නිශ්චිත ස්ථානයේ තැබීම නායකත්වය සිදු කළ යුතු මූලික කාරණයකි.

මේ අතර වෙසක් කලාපය යැයි නම් කරගත්, “රාජ්‍යය උත්සවය සඳහා” හමුදාවේ ඇතුළු රාජ්‍යය සංස්ථාවේ අයවලුන් වැස්සේ තෙමෙමින් කටයුතු කිරීමට අණකොට තිබේ.

පවුල් පණපිටින් මහපොළවට යට වූ රටක, වෙසක් තබා කිසිඳු උත්සවයක් පැවැත්විය හැකිද? පැවැත්විය යුතුද? මේ මොහොතේ කළ යුතුව ඇති එකම දේ සියලු දෙනාගේම සහය ඇතිව ආපදා තත්වයෙන් විපතට පත් සැබෑ අයවලුන්ට ඍජුව සහන ලැබෙන ක්‍රමයක් සකස් කිරීමය. ඔවුන්ට ඉඩම ලබාදී නිවාස තනා දීමය. විපතට පත් වූ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සොයා බැලීමය. රට මහපොළවට යට වෙද්දී එකේක වර්ණයේ කැරකෙන පහන් කූඩු තනා විවිධ වර්ණයෙන් තෝරන් දල්වා සතුටු වීමට තරම් කුරිරු විය හැකිද? රටේ පවතින බරපතල විදුලි අර්බුදය හමුවේ මෙවැනි දෑ සඳහා රාජ්‍යය සම්පත් නාස්ති කළ යුත්තේද?

සැබවින්ම, අදාළ නාය යාම් සහ ගංවතුර තත්වය කාලයක් තිස්සේ රටේ පරිසරයට කළ විනාශයේ විපාක වේ. පරිසරය කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් අපට නැත. ඇත්තේ තම මඩිය තරකර ගැනීම සඳහා සැකස් කරගත් කොමිස් ප්‍රතිපත්තියකි. තනතුරේ හැටියට කොමිස් මුදලේ ප්‍රමාණය තීරණය කර ගනිමින් ගසා කෑමය. එක්තරා ගුවන් හමුදාපතිවරයෙක් තම බංගලාව තනා ගැනීම සඳහා සුන්දර වනයක් වැනසූ ආකාරය අපි දන්නෙමු. රටට අයත් මුහුදු සීමාවේ සිට පිදුරුතලාගල කන්දේ මුදුන දක්වා වූ රටේ සෑම තැනකම මේ ආකාරයෙන් සිදු වූ දෑ බොහෝය. සැබෑ ඉතිහාසය මෙයයි. වැදගත් වන්නේ මෙම ඉතිහාසය වෙනස් කිරීම සඳහා ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීමය. එකිනෙකාට අවංක වීමය.

කලෙක පයිනස් වවා එහි ඇති ජල උල්පත් විනාශ කළහ. තව කලෙක කඳුවල පාංශු ඛාදනය සිදුවීමට කිසිඳු ප්‍රතිකර්මයක් නොකොට මහා ජලාශ තැනූහ. ඒවා රොන්මඩින් සහ පෝෂ්‍යදායක පාංශු සම්පත්වලින් පිරී ගියේය. වැස්සට ජලය ආරක්ෂා කරගැනීමට ඇති ධාරිතාව ක්‍රමයෙන් අඩු වී ගියේය. මුල් ජාලාශයේ ඇති ගැටලුව විසඳිමකින් තොරව ඊට ඉහලින් තව ජලාශයක් තැනුවේය. මේ ප්‍රතිපත්තිය කෙලවර වන්නේ වලාකුළු උඩත් ජලාශ තැනීමට උතසහ කිරීමෙන් මිස, රටේ සැබෑ පාරසරික ගැටලුව විසඳීමෙන් නොවේ. මේ නිසා වැස්සට ගංවතුර සහ නායයෑම; නියගෙට බීමටවත් ජල පොඳක් නොමැති තත්වය උදාවීම සැබෑ “ඉරණම” වී තිබේ. මෙතරම් මනරම් පරිසරයක් ඇති දිවයිනක් ආලපලුවන්ගේ අපහරණයට ලක් වීමෙන් උදා වී ඇති තත්වය මෙයයි. සංවර්ධන ව්‍යපෘති ඉලක්ක කර ගත යුත්තේ මෙවැනි දෑය. මෙම මූලික ගැටලු නොවිසඳනතාක් දුරට තත්වය තව තවත් උග්‍රවීම හැරෙන්නට, කිසිඳු යහපතක් රටේ ජනතාවට සිදු වන්නේ නැත.

කෙසේ වෙතත්, මෙරට සාමන්‍යය ජනතාව රටේ විපතට පත් වූ තම සගයන්ට පිහිට වන ආකාරය දැකීම සැබවින්ම ආඩම්බරයට කාරණයකි. මෙවැනි විපත් වලදී දක්වන සහයෝගය, එකමුතුව, සහ ඉන් ලබන සංතෘප්තිය වූ කලී මෙරට ජනතාව අතර පවතින සැබෑ ගුණාංග වේ. මෙවැනි දෑ වලින් සෑම විටම වාසි ලබා ගැනීමට උත්සහ දරනු ලබන්නේ බලය වෙනුවෙන් පොරකන පිරිසය. ජෝර්ජ් ඕවල් විසින් රචනා කළ “ඇනිමල් ෆාම්” හී එන නැපෝලියන් වැනි ඌරන්ගේ භූමිකාව රඟපාන ඔවුහු, ඕනෑම කටයුත්තකදී සැබෑ ලෙස දුක් විඳින සහ කැපකිරීම කරන අයවලුන් අභිබාවා පෞද්ගලික වාසී සඳහා නිරන්තරයෙන් පෙනී සිටින්නන් වේ.

මෙය රටේ බොහොමයක් දෙනෙකු දන්නා කාරණයකි. නමුත් ඉන් බොහෝ දෙනෙකු නොදන්නේ හෝ හිතා මතාම මගහරිනු ලබන්නේ එහි ඇති සැබෑ ශක්තිමත් දේශපාලන වටිනාකම තේරුම් ගැනීමය. එම අවබෝධය සීඝ්‍රයෙන් පැතිර යන්නේද; එය රටේ සාමන්‍යය ජනතාව අතර ශක්තිමත් වන්නේද? එම මොහොත වූ කලී ඕනෑම රටක් කාබාසිනියා කොට තම මඩිය තරකර ගැනීමට මාන බලන රංචුවේ පැවැත්ම දුර්වල කරන මොහොත වේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සමාජයේ සෑම අයෙකුටම භුක්ති විඳිය හැක්කේ එවිටය.

දුකේදී පිහිට වීමට අපි දක්වන කැප කිරීමට ඇති දේශපාලන වටිනාකම අපි අපි විසින්ම තේරම් ගැනීම සහ එය මූලික අරටුව බවට පත් කිරීම මඟින් සැබෑ සමාජ සංශෝධනයක් ඇති වේ. එවිට මිනී මරා සතුටු වීමට වඩා අසරණ මිනිසාට උදව් කිරීමෙන් සතුටු විය හැකිය. ශක්තිමත් සහ ගුණ ගරුක පරම්පාරාවක් නිර්මාණය කළ හැකිය. මෙලොවදී කළ පිං පරලොවදී සැප ලැබීමට නොව මෙලොවදීම භුක්තිවිඳීමට හැකි පරිසරයක් ඇති වේ. සැබෑ සංහිදියාවේ මූල ධාතුව එයයි.

nilantha-profile
නිලන්ත ඉලංගමුව
| Nilantha Ilangamauwa