සම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ අපට විශ්වාස කිරීමට උගන්වා ඇති ආකාරයට වඩා මනුෂ්‍ය බුද්ධිය පොහොසත් වගේම ගතිකයි – කෙන් රොබින්සන්

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වීම විප්ලවයක් නොවේ. එය අදාළ සිදුවීමට පෙර සහ පසු අවස්ථා ගැන ලිවීමේදී මා භාවිතා නොකිරීමට ප්‍රවේශම් වූ වචනයකි. මෙය, අතීත කතාවක් යැයි කෙනෙකුට නිගමනය කළ හැකිය. නමුත් මේ ගැන කතා කිරීම වැදගත් වන්නේ කාරණා තුනක් මූලික කර ගනිමිනි. පළමු වැනි කාරණය; දුම්කොළ නිෂ්පාදන සමාගම් සමග කතාබහා කරන විට තමන්ට සෞඛ්‍ය ඇමති ලෙස වඩාත් යටහත් පත්ව සිටගෙන කතා කිරීමට සිදු වූ වටපිටාවක් ගැන කියන මෛත්‍රිපාල සිරිසේන මහතා, තම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ හෑල්ලු කරඇති ආකාරයට නිසි පිළිතුරක්, එනම් ඔහු අදාළ විෂයභාර ආමත්‍යධූරයෙන් වහාම ඉවත් නොකර, තවදුරටත් වත්මන් පාලන රටාව අපිරිසිදු කිරීමට ඉඩදී බලා සිටීමය. දෙවැන්න; සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවට තාක්ෂණයෙන් පිරිණු නව අධ්‍යාපන ක්‍රමයක් තැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය ගැන ඔහු සඳහන් කරන කාරණාය. තෙවැන්න හෙවත් වඩාත් දැකුම්කලු කටයුත්ත වූ කලී සබරගමු විශ්ව විශ්වවිද්‍යාලයේ සිසුන්, තම ව්ද්‍යාල භූමියේ තැනූ සංස්කෘතික මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීමට ගිය නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතාට දැක් වූ විරෝධයයි.

මෙම කාරණා ගැන විස්තර කිරීමට පෙර ලංකාවේ “විප්ලවය” සම්බන්ධයෙන් ඇති සරල ඉතිහාසය ගැන පුරෝකථනයක් කිරීම වැදගත් වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ විප්ලව සඳහා සිහින, සැලසුම්, ජනතාව ගොඩ ගැසීම්, ඔවුන්ගේ මළසිරුරු වලින් මිනී කඳු තැනීම්, දහස් ගණන් මිනිසුන් අතුරුදන් කිරීම්, ආදී “විප්ලව” වල සිදු වූයේ යැයි කියන මූලික අවධි විටින් විට සිදු වූවා හැරෙන්නට, දේශපාලනික වශයෙන් මෙරට සිදු වූ කිසිඳු විප්ලවයක් නොමැත. විපල්වය යන වචනයෙහි සරල තේරුම, පවතින රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමයි. අධිරාජ්‍යවාදීන් පාලනය කළ අවධියේ මෙන්ම ඉන්පසු “නිදහස” යැයි නාමිකව ලබා දුන් රටවල සිදු වූයේ හිංසනය පදනම් කරගත් අරගල වලින් විප්ලව සිදු වීමය. වහල්භාවයට, වර්ණබේද වාදයට, අධිරාජ්‍යය වාදයට, පශ්චාත් -අධිරාජ්‍යයවාදය තුළ බලය අල්ලාගත් හෝ ලබාදුන් පවුල් කිහියකට, එරෙහිව ඇති වූ බොහොමයක් විරෝධයන් හිංසනය පදනම් කරගනිමින් සිදු වූ දෑ වේ.

ගාන්ධිගේ අහිංසාවාදී ව්‍යාපාරය මෙහිදී උපුටා නොදක්වන්නේ, මා හට තවමත් එහි අපැහැදිලි බොහෝ දෑ ඇති බැවිනි. විශේෂයෙන් අම්බෙඩ්කාර්, සුභාෂ් චන්ද්‍රබොෂ් වැනි චරිත ඉන්දීය ඉතිහාසය තුළ අඩු තක්සේරුවක් කරඇත්තේ, අපේ “ඉතිහාසඥයින්” කුවේණිට කළ අපහරණය හා සමානවය. මෝහන්දාස් ගාන්ධිගේ ව්‍යාපාරය තුළ අධිරාජ්‍යවාදයෙන් පසු පශ්චාත් -අධිරාජ්‍යවාදය තුළ මතුවී ආ සම්ප්‍රදාය වෙනස්කිරීමට එක්කෝ වැඩපිළිවෙක් නොතිබුණි. නැතහොත් එය හිතාමතාම මගහරිනු ලැබීය. මිලියන ගණනක් අකාලයේ මියගිය පකිස්ථානයෙන් ඉන්දියාව වෙන් කිරීම, සහ ඉන් පසු ඇති වූ පකිස්තාන – බංගලාදේශ යුද්ධය ආදී අතිශය භයානක මනුෂ්‍යය “සංහාර” සිදු වූයේ කළ යුතුව තිබූ බොහෝ දෑ අමතක කර දැමූ හෙයින් යැයි සිතේ.

එසේම, වසර සිය ගණනකට පසුත් අපට අද ඉන්දියාවේ දැකිය හැක්කේ කුමක්ද, ගුජරාට් හී සිදු වූ ජනවාර්ගික සංහාරයකට “වරදකරු” වූ නෙරේන්ද්‍ර මෝදී වැනි දේශපාලනඥයකු බලයට පැමිණීම සහ එම බලයට පැමිණි නායකයා “පිරිසිදු ඉන්දියාවක්” කිරීමට ඉලපත අතටගෙන කැමරාව ඉදිරියේ පාර අතුගෑවද, සෑම දිනකම උදෑසන තම ශරීර කෘත්‍යය සිදු කිරීම සඳහා පීත්ත පටි සේ දිවෙන දුම්රිය මාර්ග දෙපසට සාමාන්‍යය ඉන්දියානුවන්ගේ පැමිණීම වෙනස් වී නැත. ව්‍යාකූල සහ දූෂිත සමාජ ව්‍යුහය එලෙසම පවතින විට මුහුණුවල සිදුවන වෙනස්කම් , වෙනස්කම් නොවන අතර ඉන් සමාජ ව්‍යුහයට කිසිඳු යහපත් දෙයක් සිදු නොවේ.

සංකල්පවල ලගිමින් ඒවා මත ජීවත් වෙමින්, මහපොළවේ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න බොහොමයක් දේශපාලන සහ සමාජ ව්‍යාපාර මගහරිමින් සිටින ප්‍රමුඛ කරනා වලින් එකකි. සංකල්පයට පෙර සිදුවීම ආවේය නමැති මූලික ඇත්ත සන්දර්භය තුළ වියෝවී ඇති අතර වත්මන් “විඥානය” සෑම විට සංකල්ප මත පදනම් වී සිදුවීම් භුක්ති විඳීමට මාන බලයි. මේ නිසා ෆැන්ටසිය , තම ජීවිතයේ මූලික ගාමක බලවේගය බවට පත් වී තිබේ. මීට කදිම නිදසුන, සකර්බර්ගේ මුහුණු පොතය. නැත්නම්, බටහිර රටවල විශාල මුදලක් වියදම් කරමින් තනත නිල්චිත්‍රපටිය.

ආසියාව හරිහැටි නොදැක හෝ නොපෙන්වා “ආසියාවේ ආශ්චර්ය” පෙන්වූ මීට පෙර සිටි පරිපාලනය; ” යහපාලනය” නොකොට යහපාලනය පෙන්වන වත්මන් ආණ්ඩුව, මුහුණ දුන්නේ සහ මුහුණ දෙමින් සිටින්නේ මෙම ඇත්ත තත්වයට යැයි සිතේ. මේ අනුව, විප්ලවය නමැති සමාජ සංසිද්ධිය සඳහා නව සාහිත්‍යක් ලියවීම සහ ඒ සඳහා වාද-විවාද ඇතිවීම අතිශය වැදගත් වේ. මුලාවෙන් මිදීම එහි මූලික පියවරය.

14 වන සියවසයේ භාෂාවට එකතු වූයේ යැයි සැලකෙන විප්ලය (රිවලිටියෝ, රිවලුෂන්, අ ටර්න් අරවුන්ඩ්, රිවලුසියොන්) යන වචනයෙහි සරල අර්ථය කුමක්ද? ස්ථාපිත වී ඇති දේශපාලන ක්‍රමය පෙරලා දැමීම මෙහි සරල දේශපාලන අර්ථය වේ. වත්මන් ආණ්ඩුව බලයට පත් වීම වූ කලී විප්ලවයකට වඩා, අනාගත විප්ලවයක් සඳහා අවශ්‍ය මූලික වටපිටාවක් නිර්මාණය වීම පමණක් යැයි සඳහන් කළ හැකිය. මෙහි සිදු වූ අතිශය දැකුම්කලු සහ ඉදිරියටත් පවත්වා ගත යුතු උපාය වූ කලී අහිංසවාදීව සාමාජ ව්‍යුහය වෙනස් කිරීමට හැකි වටපිටාව සකස් කර ගැනීමය. මීළඟට අවශ්‍යය මූලික කාරණා වලින් එකක් වූ කලී, රටේ නීති පද්ධතිය, ස්වාධීන සහ ශක්තිමත් කොට එය සංස්කෘතියේ කොටසක් බවට පත් කිරීමය. එය පාසල් වල අත්‍යවශ්‍ය විෂයක් බවට පත් කිරීමය. එය සෑම පුරවැසියෙකුගේම මූලික රැකවරණ බවට පත් කිරීමය. වෙනත් වචන වලින් කිවහොත්, ඊට වගකිවයුතු සහ අදාළ විෂය සම්බන්ධයෙන් කටයුතු කරන අයවලුන්ගේ “රිලා වෙළඳ බඩුවක්” බවට පත් නොකිරීමය.

සංස්කෘතික අගනාකම් යැයි අපට සම්ප්‍රදායෙන් ලැබෙන දෑ “බලය” හෝ සමාජ ධූරාවලීය මත තීරණය වී, රටක සම්මත කරනු ලැබූ නීතියට පටහැනිව සමාජ අගනාකම් පැළපදියම් වී අත්තේනම් එම සමාජයේ සෑම විටම නීතිය සහ සංස්කෘතිය අතර නොගැලපීමක් ඇති වේ. මෙය සමාජ සිදුවීම් වලින් කාලකන්ණි වාසි ලබාගන්නාට කදිම තෝතැන්නක් නිර්මාණය කරනු ලබයි. මෙරට දේශපාලන ව්‍යුහය නිර්මාණය වී ඇත්තේ මෙම මූලික නොගැලපීම දඩමීමා කරගෙනය.

මෙහි කණගාටුදායක උදාහරණ වලින් එකක් වූයේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරනවිට මුහුණ දුන් යථාර්ථයයි. මෙහිදී වෙනස් වී ඇත්තේ කුමක්ද? පෙර සිටි සෞඛ්‍ය ඇමතිවරයා එම වටපිටාව ඔස්සේම සිටිමින් ජනාධිපති වී, පෙර සිටි නායකත්වය අනුගමනය කළ මර්ධනකාරී , විකාරබෝජන, නැව ගිලුනත් බෑන් චූන් රටාවෙන් වෙනස් වී බෞද්ධ සම්ප්‍රාදය තුළ සිටීමට දැඩි වෙහසක් දරනු ලබයි. නමුත් මෙහි හාස්‍යය වන්නේ, මීට පෙර පැවති නායකත්වය සිදුකළ අකාරයේ දේශපාලනයක් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කිරීමය. වෙනස එකල ජනාධිපති කළදේ මෙකළ සෞඛ්‍ය ඇමතිවරයා විසින් කිරීම නොහොත්, ජනාධිපතිගේ ජනාධිපති සෞඛ්‍ය ඇමති වීම දැයි සාදාරණ කාරණයක් මතුකළ නොහැකිද? සමාජ් සංස්ථා බිඳවැටී ඇති ප්‍රාමාණය මින් මනාව පැහැදිළි වේ.

මතුපිටට පෙනන කාරණා මෙලෙස නම්, ජානාධිපති කාර්යාලයේ සිට අනෙකුත් සියලුම රාජ්‍යය සංස්ථාවල තත්වය ගැන කිවහැක්කේ කුමක්ද? එය කාටත් වඩා හොඳින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්නා බව නොඅනුමානය. මෛත්‍රීගේ දේශපාලනය තවමත් ශක්තිමත් වීමට එකම හේතුව ඔහු ප්‍රගුණ කොට ඇති ඉවසීම සහ සම්මා සතිය පමණි. ඊට ලංකාව වැනි සමාජ සංස්ථාවක කෙතරම් පැවැත්මක් තිබේදැයි යන්න අපැහැදිලි කාරණයකි. එය තීරණය වන්නේ බලය ඇතිවිට සමාජ ව්‍යුහය ප්‍රකෘති කිරීම සඳහා තමන් කරන අදීන වැඩපිළිවෙල තුළින් පමණි.

එහි එක කොටසක් වන්නේ රටේ අධ්‍යාපනය බව නොඅනුමානය. අගමැති වික්‍රමසිංහ මහතා තමන්ගේ විශ්වාසවන්තම දේශපාලඥයින්ගෙන් දෙදෙනෙකු වන කිරිඇල්ල මහතා සහ කාරියවසම් මහතාට අධ්‍යාපනය භාරදී තිබේ. එසේම අගමැතිවරයා, විශ්වවිද්‍යාල ක්‍රමවේදය ගැන සේම පාසල් අධ්‍යාපනය ගැන සොයා බලමින් තම අදහස් ප්‍රකාශ කරමින් සිටියි. නමුත් ඒ බොහොමයක් අදහස් හුදු වෙළඳපොල ඉලක්ක කරගමිනි රට මුහුණ දී ඇති හිඟනකමින් මිදීම සඳහා සිදු කරන ක්‍රමෝපායික දේශපාලන අදහස් මිස ඉන් ගැඹුරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය ගැන සඳහන් වන්නේ ඉතාම අල්ප වශයෙනි. එය අග්‍රාමාත්‍යවරයාගේ වරදක් නොවේ. ලෝකයේ රටවල් බොහොමයක් සිතීමට පුරුදු වී ඇත්තේ එලෙසය. මෙය බරපතළ සහ ගැඹුරු සමාජ කාරණයකි.

රටට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය කුමක්ද? ඒ සඳහා ඒ ප්ලස් බී සමානයි සී වැනි ඍජු සමීකරණයක් ඔස්සේ සිදුකළ හැකිද? සැබවින්ම, මෙය තේරුම් ගැනීමේදී මුහුණ දෙන අභියෝග රාශියකි. මේ නිසා, තාක්ෂණයෙන් පුළුල් කොට අන්තර්ජාල පහසුමක් සහිත ටැබ්ලට් ලබාදීම මගින් මෙය කළ හැකි යැයි සිතිය නොහේ. ආධ්‍යාත්මය දියුණු කිරීමට අඩු සැලකිල්ලක් දක්වමින් භෞතික සම්පත් සැපයීම ඔස්සේ අනාගත පරම්පරා ගැන සිහින දැකීම සාර්ථක යැයි මා සිතන්නේ නැත. මීට කදිම නිදසුන, එඩ්ස් අසාදනය වී ඇතයි එක්තරා දරුවෙකු අරඹයා ඇති වූ කලහකාරී තත්වයයි. එසේම මීට සමාන ජාත්‍යන්තර උදාහරණයක් , ඉස්ලාමීය රාජ්‍යය ( අයිසිස්) නමැති ත්‍රස්තවාදී සංවිධානය නිරීක්ෂණය කිරීමෙන් ලබා ගත හැකිය. එනම්, ඊට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු සංවර්ධනය වූ බටහිර රටවල ඉපදුනු හැදී වැඩුණු පිරිසකි. ඔවුහු තම සියලු භෞතික සම්පත් හැරදා සිරියාවේ හෝ ඉරාකයේ පහිටි අසිස් කඳවුරු වෙත පැමිණ සටන් කරන්නේ මන්ද? සිංහල සහ දෙමළ ප්‍රජාවන් විසින් දියත්කළ සටන් ව්‍යාපාර වලදී මෙවැනි ප්‍රවණතාවයන් බහුල නොවුවද, ගැටලුවේ ඇති සැඟවුණු සත්‍යය තේරුම් ගැනීම කිසිවෙකුටත් අපහසු නොවේ.

මේ නිසා රටේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වන්නේ නම්, එය මනා සිහියෙන් කළයුතු වැඩපිළිවෙලකි.

ලොව ප්‍රකට අධ්‍යාපන විසේෂඥයකු වන කෙන් රොබින්සන් මහතා සඳහන් කළ කාරණා කිහිපයක් මෙහිදී උපුටා දැක්වීම ප්‍රයෝජනවත් යැයි සිතේ. ලෝකයේ සෑම රටකම පාහේ ඇති අධ්‍යාපන ක්‍රමය එක් නිශ්චිත ධූරවලීයක් මත පිහිටා නිර්මාණය කොට තිබේ. එහි ඉහළම ගණිතය, වෛද්‍යවිද්‍යාව, පරිගණක තාක්ෂණය වැනි විෂයන් තිබෙන අතර ඉතිහාසය, භාෂාව, සාහිත්‍ය, කලාව වැනි විෂයන් එහි පහල තලයේ තිබේ. මෙය ලෝකයේ සෑම තැනකම තිබෙන මූලික ව්‍යුහය වේ. මෙම ව්‍යුහයට අනුව අපි අපේ පොදු අධ්‍යාපන ක්‍රමය සකස්කොට තිබේ. ඊට හේතුව පොදු අධ්‍යාපන ක්‍රමය නිර්මාණය වීමට පටන් ගන්නේ, කාර්මික විප්ලවය මූලික කරගමිනි (බෞද්ධ ඉතිහාසය තුළ කියවෙන පිරිවෙන් අධ්‍යාපනය මෙහිදී නොසලකා හැරිය නොහැකි බව සත්‍යයකි. නමුත් ඊට නූතන ලෝකය තුළ ඇති වෙළඳපොල වටිනාකම ඉතා සීමතය). අධ්‍යාපන ක්‍රමය ලෙස දියුණු වූ මෙහි අවසානයේ සිදු වී ඇත්තේ යන්ත්‍රයක් බවට මිනිස් ශරීරය පත් වීමය. එය ඉතා විශාල දුරක් ගමන් කළ බව එනම් පරම්පරා ගණනාවක් ගමන් කළ බව මෙන්ම එමඟින් ලෝකයට විශාල දෑ දායාද වූ බව සත්‍යය වේ. නමුත් එමඟින්, සිදු වී ඇත්තේ මනුෂ්‍යත්වය ( හියුමැනිටි) ක්ෂුද්‍ර වීමය. අදාළ විෂයන් සඳහා යොමුකළ යුතු අවදානය අඩුකළ යුතු යැයි මෙහිදී කියන්නේ නැත. ඒවා මේ ආකාරයෙන් දියුණුවීම ඉතා වැදගත් දෙයකි. නමුත් අදාළ විෂයන් ප්‍රමුඛ වන විට අප අතරින් ගිලිහෙන විෂයන් ගැන අප දක්වන නැඹුරුව කුමක්ද? එය අපට සිදුකරන බලපෑම සම්බන්ධයෙන් අපට ඇති හැදෑරීම කුමක්ද?

රොබින්සන් මහතා එහිදී තවත් වැදගත් කාරණයක් මතුකරනු ලබයි. එනම්, 2016 දී ඉපදෙන දරුවෙකු විශ්‍රාම ගනු ලබන්නේ 2076 දීය. ලෝකය වෙනස් වීමේ සීඝ්‍රතාවය අනුව, 2076 දී අපට සිදුවිය හැකි වෙනස්කම් ගැන සිතාගත හැකිද යන්නය. මේ නිසා ඕනෑම රටක පොදු අධ්‍යාපනය මනා සිහියෙන් නිර්මාණය කළ යුතු වැඩපිළිවෙලකි. එසේ නොකළහොත් අපි බිහිකරනු ලබන්නේ, යාන්ත්‍රික මනුෂ්‍යය විෂයක් පමණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාගේ වැදගත් අදහස් පුළුල් සමාජ කතිකාවක් බවට පත්කළ යුතු කාරණයක් බව අවිවාදිතය.

මේ අතර ඊයේ (ජුනි 3, 2016) සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් සිදුකළ වැදගත් මෙන්ම ආකර්ෂණීය උද්ඝෝෂණය තුළින් මතුවන කාරණා කිහිපයක් තිබේ. එය දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක පටුඅරමුණු ඉටුකිරීමක් නොවේය, යැයි සිතමු. එනම් සිසුන් රටේ දේශපාලනඥයින්ට දක්වන පොදු විරෝධය එහිදී දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලය ලෙස එහි ගිය තෙවරප්පෙරුම මහතාට පෙරලා පැමිණීමට සිදුවිය. එම විරෝධයේදී සිසුන් සියලුදෙනාම පාහේ තම අදහස් දැක්වූ අතර දේශපාලනඥයෙකු තම සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට දක්වන විරෝධයට හේතුව ඔවුහු නිවැරදිව පැහැදිළි කළෝය. විරෝධය සදහා පාදක කරගත් කාරණය, විරෝධය සිදුකළ ආකාරය, මෙන්ම ඉන්පසු සිසුන්ගේ අවශ්‍යතාවය ඉටුවීම, සමාජීය වශයෙන් ඉතා වැදගත් සිදුවීමක් ලෙස දැකිය හැකි වේ. මෙය පුද්ගල විරෝධයකට වඩා ප්‍රතිපත්තිමය විරෝධයක් බව ඔප්පු කිරීමට සිසුන් වගබලා ගත් බව විශ්වාස කරමු. මෙවැනි දෑ සැබවින්ම සමාජ් විප්ලවයක ශක්තිමත් බීජවේ. ඒවා නිසි භූමියේ පැල කිරීම, සහ නඩත්තු කිරීම සමාජ වෙනසකට ඉතා වැදගත් වේ.

අවාසනාවට, මෙරට අතීතයේ සිදු වූයේ මෙවැනි සාර්ථක විරෝධයන් සිදුවන විට එහි ඇති දේශපාලන වටිනාකම පැහැරගැනීමට අනෙකුත් පරිවාර දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් යොමු වීමයි. ශිෂ්‍ය දේශපාලනය ප්‍රතිපත්ති වලින් ඉවත් වී හුදු හූ කීම් සහ තම සිසු සගයා පසුදා රාජ්‍යය මර්ධනයේ හෝ ප්‍රතිවාදීන්ගේ පළහිලව් අභ්‍යන්තර ආරවුල් නිසා මළකඳක් බවට පමණක් පත් වූ ඉතිහාසයක් අපට තිබේ. සබරගමු විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම, අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන් මේ මොහොතේ එකාවන්ව එකතු වී රටේ පොදු අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු ආකාරය ගැන පුළුල් සංවාද ඇති කිරීම, සහ රටේ අර්ථවත් සමාජ විපර්යාසයකට තම ප්‍රතිපත්තිමය දායකත්වය ලබාදිය හැකි පසුබිම සකස් කර ගැනීම ඉතා වැදගත් වේ.

මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් තිබේ. එනම්, පශ්චාත්-විප්ලවය ගැන ෆ්‍රෑන්ස් කෆ්කා අපට කළ අනතුරු ඇඟවීමයි. එනම්, සෑම විප්ලවක්ම හිඳි ගොස් එය නව නිලධාරී පන්තියක සිනහවන් අතර සැඟවේ. රටේ සමාජ සංස්ථා වෙනස් කිරීමේ ප්‍රභල හැකියාවක් සහ නිදහසක් ඇති විශ්වවිද්‍යාල සිසුන් වඩාත් නිරවුල්ව අවබෝධ කරගත යුත්තේ සහ වෙනස් කිරීම සඳහා මාන බැලිය යුත්තේ, සූදානම් විය යුත්තේ මෙම කෆ්කැසික් වාදය තුළ මතුකර කාරණයයි.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa