රාජපක්ෂ සමයේ භීෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිපයේ දෙවැනි නායකත්වය දිය යුතුයැයි ‘යහ පාලන’ ආණ්ඩුවේ ඇමැති ජොන් සෙනවිරත්න දෙවැනි වරටත් කියන්නට පටන් ගෙන තිබේ. සෙනවිරත්නගේ හොරණෑ හඩට ප්‍රතිචාර දක්වන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන් දෙවැනියා පමණක් නොව පළවැනියාවීමට වුවත් සූදානම් බවයි.

රාජපක්ෂ මෙම ප්‍රකාශය කරන ලද්දේ අන්තවාදී බොදුබල සේනා මූලස්ථානයේදි බවද වාර්තාවේ. පණිවිඩය පමණක් නොව පණිවිඩකරුවාද වැදගත්ය. මෙම අවස්ථාවේදී පණිවිඩකරුවා වන්නේ අන්තවාදී කළහකරුවකු වන ගලබොඩ අත්තේ ඥාණසාරය.

එනයින් ගෝඨාභය කියා සිටින්නේ තමා දෙවැනියා හෝ පළවැනියා වන්නේ අන්තවාදී කළහකරුවන්ගේ නියෝජිතයා ද ලෙස බවයි.

සෙනවිරත්න මෙම ප්‍රකාශය මුලින්ම කරන ලද්දේ මේ වසරේ ජනවාරි මාසයේදීය. එම අවස්ථාවෙහිදී ඔහුට අත්වැල ඇල්ලීමට තවත් ඇමැතිවරු ගණනාවක්ම සිටියහ. දැන් ඔහු යළි එය පුනරුච්චාරනය කරන්නේ මුල් මුට්ටිය දැ බැලීම ජනාධිපති සිරිසේනට අනුව ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වූයේ නම් අඩි හයක් යට මිහිදන් වන්නට තිබුනි. ඉන් ඔහු අදහස් කරන ලද්දේ රාජපක්ෂවාදි මිනීමරු බලකායන් විසින් තමන් ඝාතනය කරනු ඇති බවයි. එළෙස මෛත්‍රීපාල සිරිසේන ඝාතනය වූයේ නම් ඒ ඝාතනය පිටුපස ගෝඨාභය රාජපක්ෂ හැර අන් කවරකු සිටිනු ඇත්ද?

රාජපක්ෂ පාලනයේ අළුගෝසුවා වූයේ ගෝඨාභය රාජපක්ෂ බව නොදන්නේ කව්ද? හත් වසරකට පෙර පැහැර ගෙන ගොස් පහරදී මැරෙන්නට අතහැර දමා ගොස් සිටි මාධ්‍යවේදී පෝද්දල ජයන්ත කැදවා කට වසාගෙන නොසිටියහොත් තමාට පක්ෂපාත බලවේග විසින් මරා දමන්නට ඉඩ ඇතැයි මරණ වරෙන්තුව ලීවේ මේ ගෝඨාභය රාජපක්ෂය.

මහ දවල් මහමඟදී ඝාතනය කරන ලද මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග කව්දැයි බීබීසී. වාර්තාකරුගෙන් අවඥාසහගතව ඇසූයේ මේ රාජපක්ෂය. එළෙසින්ම මහ දවල් දෙහිවලදී නිල ඇදුම් ලූ පොලිස් නිලධාරින් විසින් පැහැර ගෙන පහර දෙමින් සිටි මාධ්‍යවේදී විද්‍යාදරන් ත්‍රස්තවාදී සහායකයකු ලෙස හදුන්වා එම පැහැර ගැනීම ලුහු කරන ලද්දේද මේ රාජපක්ෂ විසිනි. (පසුව විද්‍යාදරන් නිදොස් කොට නිදහස් කරන ලදී.) ඩේලිමිරර් කතුවරියට තර්ජනය කොට නැගෙනහිර පළාතෙහි අතුරු හමුදා ගැන වාර්තාවක් ලියූ මාධ්‍යවේදිනියක මරා දැමෙනු ඇතැයි තර්ජනය කළේද මේ රාජපක්ෂමය.

රාජපක්ෂ මර්දනය, භීෂණය සහ දූෂණය අහෝසි කිරීමේ ජනවරමකින් බලයට පත් ජනාධිපති සිරිසේනගේ දේශපාලන දෙවැනියා බවට පත් කර ගන්නට ප්‍රසිද්ධියේ යෝජනා කැරෙන්නේ එවැනි භීෂකයෙකි. මෙම යෝජනාවට එරෙහිව කෙලින් කතා කළේ හිටපු ජනාධිපතිනි කුමාරතුංග පමණකි.

ජෝන් සෙනවිරත්නගේ ප්‍රකාශය රාජපක්ෂ සමයේ මෙරට සුලුතර ප්‍රජාවන් බියගන්වමින් භීෂක දේශපාලනයක් ගෙන ගිය අනතවාදි පිරිස් දිරි ගැන්වීමක් බවට දැන් පත්ව තිබේ.මන්ද යත් ඊට විරුද්ධව එතරම් හඬක් නැති නිසාය. ඔව්හු මහනුවරදී මුස්ලිම් ජනයාට එරෙහිව විදී බසින අතර කලුතරදී කතෝලික දේවස්ථාන වලට ප්‍රහාර එල්ල කරති. ජොන් සෙනවිරත්න ප්‍රසිද්ධියේත් තවත් මැති ඇමැතිවරුන් අප්‍රසිද්ධියේත් ගෝඨාභය රාජපක්ෂට පාවාඩ එළන විට රාජපක්ෂගේ සියලුම අන්තවාදී භිෂකයෝ උඩ පනින්නට පටන් ගෙන තිබේ.

යළි කෙසේ හෝ රාජය බලය ලබා නොගතහොත් සිය පවුලේ සහ හවුලේ බොහෝ දෙනෙකුට මහ උලුගෙදර කල්දේරම් බත් රස බලන්නට සිදුවන බව දන්නා රාජපක්ෂ නඩයේ එකම අපේක්ෂාව යළි බලයට පැන ගැනීමයි. මේ පාවාඩ එළීමත් එම කූටෝපායික මුලෝපායේ එක් පියවරක් නොවේ යැයි කියන්නේ කෙසේද? බලයට පැන ගැනීමට ඇති එකම ඉනිමඟ ලෙස රාජපක්ෂවරුන් දකින්නේ යුදවාදී දෙමළ මුස්ලිම් විරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී අන්තවාදය යළි මතු කර ගැනීමය. බලය අල්ලා ගැනීමට නොහැකි නම් එම අන්තවාදය මත ජනබලයක් ගොඩ නඟා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ක්‍රියා පිළිවෙත බකල් කිරීම රාජපක්ෂවරුන්ගේ දෙවැනි කූටෝපාය විය හැකිය.

නැගෙනහිර මහ ඇමැති සහ නාවික හමුදාව අතර ඇතිවූ ප්‍රශ්ණය සිය යුදවාදී අන්තවාදී දේශපාලනය සඳහා රාජපක්ෂවරුන් වහාම යොදා ගන්නා ලදි. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ විසින් නිකුත් කරන ලද නිවේදනය සඳහා යොදා ගෙන තිබුනේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ රාජපක්ෂ ගමන් කරන ජායාරූපයකි.

කොස්ගම යුද හමුදා අවි ගබඩාව පුපරා යාම රාජපක්ෂවරුන් සැළකන්නේ සිය යුදවාදි අන්තවාදය පැතිරවීමේ තවත් අවස්ථාවක් ලෙසය. පාවඩ එළමින් පවතින ගොඨාභය රාජපක්ෂට අනුව යුද හමුදාපතිවරයා ඉල්ලා අස්විය යුතුය. මහින්ද රාජපක්ෂ කියන්නේ පිපිරුමට හේතුව යුද හමුදාවේ මානසික ජීව ගුණය බිදවැටීම විය හැකි බවය. (මෙම පිපිරීම ආණඩුවේ වස්වැදීමක් බව රාජපක්ෂ අනුගාමිකයකු වන වාසුදේව කියද්දී වීරවංශ කියන්නේ පිපිරීම යුද හමුදාව දුර්වල කිරීමේ බටහිර ක්‍රමන්ත්‍රණයක කොටසක් බවය.)

මේ අතර රාජපක්ෂගේ හිටපු විදේශ ඇමැති පීරිස් කියා තිබුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට යුද හමුදා පිරිස් අත් අඩංඟුවට ගැනීම වැරදි බවත් එය විශාල බටහිර සැලසුමක එක් පියවරක් විය හැකි බවත්ය. ජීරිස් තවදුරටත් කියන්නේ යුද සමයන්හි වූ අතුරුදහන්විම් සෙවීම සහ ප්‍රතිකර්ම යෝජනා කිරීමට ‘සොයාගත නොහැකි පුද්ගලයින් සඳහා කොමිසම’ පත් කිරීමට ආණ්ඩුවේ සැලසුමද යුද හමුදාවට විරුද්ධ පියවරක් බවය.

ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින හමුදා පිරිස් සහ තජුඩීන් ඝාතනයට සැක පිට අත් අඩංඟුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැහැ දැකීමට මහින්ද රාජපක්ෂ සිරගෙදරට යන්නේ ඝාතකයින් වුව රුක ගැනීමට තමා සූදානම් බව සියල්ලන්ටම පෙන්වීමටය.

මෙකී සියළු කාරණා අපට පෙන්වන්නේ රාජපක්ෂවරුන් යළි බලයට පැමිණීමට ඔට්ටු අල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත නොව ජාතිවාදය, යුදවාදය සහ ඝාතකයින් රුක ගැනීමේ අන්තවාදය උඩ බවය. දැන් ජනාධිපති සිරිසේනගේ දෙවැනියා වන ලෙස ජෝන් සෙනවිරත්න අතුළු පිරිස් ගෝඨාභය රාජපක්ෂට පාවාඩ එළන්නේ එවැනි මතවාදයක් යළි රජ කිරීමට නොවේද?

කවර හෝ රාජපක්ෂවරයකුට ජනපතිගේ දේශපාලන දෙවැනියා වීමට පාවාඩ එළිම වනාහී රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් ලද සියළු ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම් පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව අද දිනා ඇති සහයෝගය සහමුලින්ම ආපස්සට කර කැවීමේ උගුළකි.

එවැන්නක් සිදු නොවනු ඇතැයි යමකු කීමට පුලුවන. එසේ නමුත් මහින්ද රාජපක්ෂට ශ්‍රිලනිපයෙන් නාම යෝජනා ලැබෙනු ඇතැයි සිතූයේ කව්ද? රජපක්ෂට එය ලැබුණා නොව ඔහුගේ දේශපාලන බලය පෙන්වා බලයෙන් ලබා ගන්නා ලද එකකි. වැරදීමකින් හෝ රාජපක්ෂ අතුලු ශ්‍රීලනිපයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබුණේ නම් කුමක් වන්නට තිබුණිද?

ලබන වසරට නියමිත පළාත් පාලන මැතිවරණයන්ගෙන් සිය බලය පෙන්වීම රාජපක්ෂවරුන්ගේ සිහිනයයි. එළෙස බලය පෙන්වා ශ්‍රිලනිපයේ බලය අල්ලා ගැනීම ද එම සිහිනයේම කොටසකි. ගෝඨාභයට පාවාඩ එළීම මෙම සැළැස්ම සඳහා මුට්ටිය දා බැලීමක් වැන්න.

රාජපක්ෂ මතවාදය පරාජය කැරෙන දූෂණ සහ භීෂණ විරෝධී ප්‍රායෝගික පියවර අද අත්‍යවශය වන්නේ ඒ නිසාය. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ චීනයේ හෝ ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ හෝ නොවන මේ මහ පොළවේ බව රාජපක්ෂ දූෂණය සහ මර්දනය පැරද වූ සියලු බලවේග විසින් මතකයට නඟා ගැනීම ද වැදගත් වන්නේ ඒ නිසාය.

රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී දේශපාලනය මත සැළකිය යුතු බලයක් ගොඩ නැගී ගෝඨාභයට ජනපති සිරිසේනගේ දේශපාලන දෙවැනියා කිරීමේ බලවේග පෙළ ගැසුණ හොත් ඒ වනාහී නූතන සුභ සහ යස නාටකය රඟ දැක්වීමක් බවට පෙරළෙන්නට ඉඩ තිබේ. මන්ද යත් කොකා ගැස්සීමට සොයා ගත යුත්තේ අන්ත ජාතිවාදයෙන් මුසපත් එක් පුද්ගලයකු පමණක් නිසාය. දෙවැනියා පමණක් නොව පළවැනියා වීමට සුභ දැන නොසිටියේද?

මතක තියා ගන්න, රාජපක්ෂවරුන්ට මේ සෙල්ලම හොදට පුරුදුය.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya