ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත. යළිත් වතාවක් ශ්‍රී ලංකාව එහි න්‍යාය පත්‍රයට ඇතුලත් වනු ඇත. සැප්තැම්බර් මාසයේදී සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියට අදාලව ශ්‍රී ලංකාව ඇත කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ මහා කොමසාරිස් සයිඩ් කුමරු විසින් එම සැසිවාරයේදී ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාව විසින් මහා අපේක්ෂා සහිත ක්‍රියාවලියක් ඇතුලත් වූ යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීය. එම යෝජනාව තුල ප්‍රධාන ක්‍රියාවලින් සතරක් ඇතුලත් විය. එනම් සත්‍ය කොමිසමක් පිහිටුවීම, විශේෂ අධිකරණයක් සහ විශේෂ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සහ හානි පුර්ණ කාර්යාලයක් පිහිටුවීමයි. මීට අමතරව තවත් බොහෝ නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් පොරොන්දු වී ඇත. ත්‍රස්තවාදය වැලැක්වීම පිලිබඳ පනත සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යලි සලකා බැලීම එසේ පොරොන්දු වී ඇති නීතිමය ප්‍රතිසංස්කරණ අතර වේ. අධි ආරක්‍ෂිත කලාප ලෙස පවත්වාගෙන යනු ලබන ඉඩම් සහ හමුදාව යටතේ පවතින ඉඩම් යලි ඒවායේ නියම හිමිකරුවන් හට ලබා දීම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වලට අයත් පොරොන්දුවකි. තවදුරටත් සිවිල් ජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට හමුදාව මැදිහත් වීම නැවත්වීම ද මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග යටතේ සිදු කල හැකිය.

අපේක්ෂා කල යුත්තේ කුමක්ද?

හමුදාව විසින් අත්පත් කරගෙන සිටි ඉඩම් යළි පවරා දීම සහ හමුදා මුර පොළවල් අඩු කිරීම ආදී කරුණු වලදී රජය විසින් කරුණු කිහිපයක් සම්බන්ධව ඉදිරිගාමි ලෙස පියවර ගෙන ඇත. වඩාත්ම වැදගත් වන්නේ රජය විසින් අතුරුදන් වුවන්ගේ කාර්යාලය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමයි. එසේම රජය විසින් අතුරුදන් වුවන්ගේ කාර්යාලය පිහිටුවීම පිලිබඳ කෙටුම්පත ගැසට් කිරීම, රජය විසින් අත්කරගත් ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

කෙසේ වෙතත් රජය විසින් කිසිදු සාර්ථකත්වය ඇත කර ගෙන නොමැති තවත් කේෂ්ත්‍ර කිහිපයක්ම ඇත. එනයින් අවබෝධ වී ඇත්තේ ඇතැම් ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා විශාල දේශපාලන ප්‍රාග්ධනයක් අවශ්‍ය වන බවයි. තවද මේ කිසිදු ක්‍රියාමාර්ගයක් හදිසියේ ක්‍රියාත්මක කල නොහැකි බවද පැහැදිලිව අවබෝධ කරගත යුතුය. නමුත් එතරම් අපහසුවකින් තොරව අත් කරගත හැකි ඉලක්ක බොහොමයක් තිබේ.

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිලිබඳ පනත වැනි කටයුතු වැඩි කරදරයකින් තොරව ක්‍රියාවට නැංවිය හැකි ඒවා වේ. රජය විසින් මෙම පනත සංශෝධනයට පොරොන්දු වුනද එකී පොරොන්දුව නොසලකා පනත බලාත්මක කිරීම කනගාටුවට කරුණකි. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම වචනයෙන් කියා නිම කල නොහැක. අතුරුදන් වුවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීමට යන මේ අවස්ථාවේදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම වඩාත් කැපී පෙනෙයි. අතීතයේ පැවති විමර්ශන කොමිසම් ඉදිරියේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් විසින් මුහුණ දුන් ගැටළු සහ අපහසුතාවනට යලිත් වතාවක් ඔවුනට මුහුණ දීමට සිදු නොවිය යුතුය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යළි සලකා බැලීම

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යලි සලකා බැලීමද වැඩි අපහසුතාවයකින් තොරව සිදු කල හැකි ප්‍රතිසංස්කරණයකි. ජිනිවා යෝජනාව මගින් මෙම පනත මුළුමනින්ම අත්හිටුවීය යුතු යැයි දක්වා නැත. එයින් යෝජනා කර ඇත්තේ රජය විසින් එම පනතේ ඇති ඉතාම පීඩාකාරී අසාධාරණ නීතින් පිළිබඳව යලි සලකා බැලීමක් පමණි. උදාහරණයක් ලෙස අවම කාල සීමාවක් නොමැතිව රඳවා තබා ගැනීමේ හැකියාව සහ රටෙහි සාමාන්‍ය සාක්ෂි නීතියෙන් පරිබාහිරව පපොච්චරණයන් පිළිගැනීම ආදී අසාධාරණ නීතින් යලි සලකා බැලීම දැක්විය හැකිය.

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම අපරාධයක් ලෙස නීති ගත කිරීම

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධය සිදු වී ඇති වාර ගණන අනුව බැලු කල ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන තැනට පැමිණ සිටයි. නමුත් තවමත් ශ්‍රී ලංකාව තුල දේශීය නීතිය යටතේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, අපරාධයක් ලෙස නීතිගත කර නැත. එහෙත් රජය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් වුවන් පිලිබඳ අන්තර්ජාතික සම්මුතියට අත්සන් තබා ස්ථිර කර ගැනීමට එකඟ වී ඇත. මෙම එකඟතාවය සැබවින්ම ධනාත්මක පියවරකි. කෙසේවෙතත් අද වනතෙක්ම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම අපරාධයක් ලෙස නීති ගත කිරීම සඳහා කිසිදු උත්සාහයක් රජය විසින් ගෙන නැත.


සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ නායකත්වය ගැනීම

රජය විසින් ජාතික කාර්ය බලකායක් පත් කිරීම තවත් ධනාත්මක ලක්ෂණයකි. මෙම කාර්යබලකාය වෙත පැවරී ඇති රාජකාරිය වන්නේ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳව රට පුරා සිටින ජනතාවගේ අදහස් විමසීමයි. නමුත් කණගාටුවට කරුණ වන්නේ මේ දක්වා මෙම කාර්ය බලකාය විසින් අත් කරගෙන ඇති ප්‍රගතිය ඉතා සීමා සහිත වීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පොරොන්දු වූ ආකාරයට මෙම මහජන අදහස් විමසීම් 2015 දෙසැම්බර් මස වන විට අවසන් විය යුතු විය. රජයේ පාර්ශව විසින් මෙම අදහස් විමසීමේ ක්‍රියාවලිය සඳහා මහජන නායකත්වයක් ලබා දීමට තවමත් සමත් වී නොතිබීම ඉහත දැක්වූ කරුණටත් වඩා ඍනාත්මක ලක්ෂණයකි.

පසුගිය සැප්තැම්බර් මාසයේ විදේශ අමාත්‍යවරයා විසින් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඉතාම වැදගත් කතාවක් ඉදිරිපත් කළේය. එම කතාවේදී ඔහු විසින් සංක්‍රාන්ති යුක්තිය පිළිබඳව රජයේ ඇමතිවරයෙක් මෙතෙක් ඉදිරිපත් කර ඇති විස්තරාත්මකම කරුණු දැක්වීම සිදු කළේය. එම කතාව ඉංග්‍රීසි බසින් විදේශීය ප්‍රේක්ෂකාගාරයකට ඉදිරිපත් කෙරින. අද වන තෙක්ම සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ එවන් ප්‍රකාශයක් දේශීය ප්‍රේක්ෂකාගාරයකට සිංහල බසින් ඉදිරිපත් වනු අසන්නට අපට අවස්ථාවක් ලැබී නැත. රජයට සියල්ල එකවර කිරීමට බැරි බව තේරුම් ගත හැකිය. එසේම දේශපාලන ඉඩ හසර ප්‍රමාණවත් නැති බවද වටහා ගත හැකිය. නමුත් කනගාටුවට කරුණ වන්නේ රජයේ සාමාජිකයන් විසින් සංක්‍රාන්ති යුක්තිය සඳහා ඉඩ හසර නිර්මාණය කිරීමට උත්සාහ නොකිරීමයි. අප විසින් අතීතය් සමග ගනුදෙනු කල යුත්තේ ඇයිද යන කාරණාව සිංහල ජනතාවට පැහැදිලි කර දීමට රජය තවමත් සමත් වී නොමැත.

ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වූ පාර්ලිමේන්තු විවාදය පවා හුදෙක් සංහිඳියාව සහ එකමුතුකම පිලිබඳ හරසුන් වදන් වලට සීමා විය. අතීතය සමග ගනුදෙනු කල යුත්තේ කෙසේද සහ එසමයේ සිදු වූ වැරදි නිවැරදි කර ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව විස්තරාත්මක ප්‍රතිපත්තිමය සංවාදයක් තවමත් ඇති වී නැත.

ඒ වෙනුවට රජය විසින් දිගින් දිගටම විදේශීය සභාවට එක් ආකාරයක කතාවක් කියන අතර දේශීය සභාවට වෙනත් ආකාරයක කතාවක් කියනු ලබයි. අධිකරණ ක්‍රියාවලිය තුල විදේශීය සහභාගිත්වය තිබේද නැද්ද යන කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමේදී මෙම බෙදීම පැහැදිලිවම දක්නට ලැබේ. රජය විසින් පොරොන්දු වුයේ විදේශීය සහභාගිත්වය ලබා ගන්නා බවටයි. විදේශ අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද මෙම පොරොන්දුව ආරක්ෂා කරන බවට තහවුරු කර ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් කිහිප වරක්ම විදේශීය විනිසුරුවරුනට ලංකාවේ අධිකරණ පද්ධතියේ කටයුතු කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ප්‍රකාශ කර ඇත.

මේ නිසාවෙන්ම තමන් අන්තර්ජාතික සම්බන්ධතා සහ මානව හිමිකම් පිළිබඳව විශේෂඥයන් යැයි හඳුන්වා ගන්නා පිරිස් හට සංක්‍රාන්ති යුක්තිය පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යෑම පහසු වී ඇත. මෙම කටයුත්තේදී රජය විසින් සමාජය තුල මුලිකත්වය ගෙන කටයුතු කිරීමට ඇති අකමැත්ත නිසා මෙසේ තමන් විශේෂඥයන් ලෙස හඳුන්වා ගන්නා පිරිස් හට ජන මාධ්‍ය තුල වැඩි ඉඩක් ලබා ගනිමින් සිය අසත්‍ය මත වාද පතුරුවා හැරීමට අවකාශය ලැබී ඇත. ඔවුන් ඉතා උප්‍රකමශීලී හා කූට ලෙස සමාජය තුල බෙදීමක් ඇති කිරීම සිදු කරගෙන යයි.

මීළඟ වසරේ මාර්තු මාසය තෙක් කුමක් අපේක්ෂා කල යුතුද?

2017 වසරේ මාර්තු මාසයේදී මහා කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන අවසන් ලිඛිත වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව තුල කතා බහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙසට යොමු වන හැඩයක් දක්නට ලැබෙයි. කෙසේ වෙතත් සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ ගැටළු අමතක වී යාමට ඉඩ දිය නොහැක. අතුරුදන් වුවන් පිළිබද කාර්යාලය පිලිබඳ පනත බලාත්මක වූ පසු එම කාර්යාලය සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන සැපයිය යුතු වන අතර නිලධාරීන් පත් කිරීම සහ කාර්යාලය පිහිටුවීම සිදු කල යුතුය. තවද එතරම් අපහසුවකින් තොරව අත් කරගත හැකි නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ ලඟා කරගැනීම සඳහා ඉදිරිගාමීව කටයුතු කල යුතුය. මෙහිදී සිවිල් සමාජ සාමාජිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද පසුගිය සැප්තැම්බර් මාසයේ රජය දුන් පොරොන්දු වගකීමෙන් යුතුව ඉටු කරන්නේද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු විය යුතුය. එසේ නොකරන අවස්ථා වලදී ඊට රජයට බල කිරීමද ඔවුන් සතු වගකීමකි.

aruni Jඅරුණි ජයකොඩි