‘හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව ද?, නැතිනම්, ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘ යනුවෙන් වව්නියාව සිට පැමිණි තරුණ ජනමාධ්‍යෙව්දියෙක් ඇසුවේ ය.

ඒ පසුගිය ඉරිදා(11) කොළඹ පැවති ප්‍රධාන රැස්වීමකදී ය.

හැමතැනම හමුදා කදවුරු, තාමත් ඉඩම් ඔවුන් අතේ, වගා කරන්නෙත් ඒවා බිස්නස් කරන්නෙත්, ඒවා විකුණන්නෙත් ඔවුන්, තේ කඩත් ඔවුන් කරනවා, අඩුම තරමින් ඇතැම් පෙරපාසල්වල ගුරුවරුත් ඔවුන්……සිවිල් කටයුතුවලට හමුදාව යොමූ වී ඇත් බවට උදාහරණ බොහොමයක් ඔහු කීවේය…

රැස්වීමේ සිටියේ බහුතරයක් සිංහලය. ඒ නිසාදෝ ඔහු ඇසූ පැනයට වටිනාකමක් එක්කාසු වූයේ නැතත් රැස්වීම අමතමින් සිටි දේශකයා, ප්‍රශ්ණයට පොදු අදහසක් ඉදිරිපත් කළ අතර ප්‍රශ්ණ කර සිටි තරුණයාට එයින් සෑහිමකට පත්වීමට සිදුවිය.

දකුණේදී එම ප්‍රශ්ණයට ලැබෙන වටිනාකම ඒ තරම් අවම වූයේ යුද්ධය අවසන්ව වසර 7ක් ද ඉක්ම යමින් තිබියදීය.

එපමණක් නොව උතුරේ සිවිල් ක්‍රියාකාරීත්වයන්වලින් හමුදාව ඉවත් කර ගන්නා බවට පොරොන්දු දී බලයට පැමිණි ‘යහපාලන‘ ආණ්ඩුවට වසර එක හමාරක් ද ගෙවෙමින් තිබිය දීය.

‘සාලාව‘ මැද දුම්රොටු තුළින් වත් ඒ තරුණයාගේ සිතිවිල්ල කියවමුද?

පසු සටහන් –

කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම උදාහරණයක් සේ සලකා උතුරේ පිහිටි යුද හමුදා කඳවුරු ඉවත් කිරීමට ජනාධිපති හා අගමැති පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා තිබුණි. ඔහු වැඩිදුරටත් සදහ් කර තිබුණේ,

‘‘උතුරේ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල මෙලෙස හමුදා කඳවුරු කිහිපයක්ම තිබෙනවා. එම හමුදා කඳවුරු තියෙන්නේ ජනශූන්‍ය ප්‍රදේශවල නෙමෙයි. හැම හමුදා කඳවුරක්ම තියෙන්නේ සිවිල් ජනතාව වාසය කරන ප්‍රදේශවල. යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොචචි හා මන්නාරම් දිස්ත්‍රික්කවල කිසියම් පිපිරීමක් වුවහොත් ප්‍රශ්න ගණනාවක් ඇතිවෙන්න පුලුවන්. උතුරේ ජනතාව ජීවත් වන ප්‍රදේශවල පිහිටි මෙම කඳවුරුවල තුළ අනතුරක් සිදුවුයේ නම් කොපමණ දෙනෙකු මිය යා හැකිද?‘‘ ජනතාව ජිවත් වන ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කර ජනතාව ජීවත් නොවන ප්‍රදේශවල එය ඉදිකරන ලෙස ඔහු වැඩිදුටත් පවසා තිබේ.

ඒ අතර යාපනයේ සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පදිංචිය සම්බන්‍ධයෙන් සාධරණීය පිළිතුරක් ලබා නොදුන්නොත් ලබන 22 වනදා සිට උපවාසයක නිරතවීමට උතුරු වලිගාමම් ප්‍රදේශයේ සිට අවතැන්වූ ජනතාව තීරණය කර ඇත.