මහාවංශයේ අලුත්ම සංස්කරණය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේදී හෙතම වැදගත් කාරණයක් මතු කළේය. ඒ රටේ ඉතිහාසය හැදෑරීම සහ ඒ සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසන බවය. බැලූ බැල්මට මෙය දේශපාලනික වශයෙන් සැලකිය හැකි තවත් එක් අදහසක් පමණක් ලෙස වර්ගීකරණය කළ හැකි නමුදු, මෙය අත්‍යවශ්‍ය කාරණයක් යැයි සිතේ. මෙය රටේ මූලික අවශ්‍යතාවලින් එකකි. මන්ද, මෙරට ඉතිහාසය ඉතාමත් කණගාටුදායක ලෙස විකෘති සහ ව්‍යාකූල කොට එම විකෘතිය මෙරට ජාතික අධ්‍යාපනයේ කොටසක් කර තිබීම හේතුවෙනි.

නව පරීක්ෂණ ආරම්භ කිරීම සහ ඒ සම්බන්ධයෙන් වාද විවාද ඇති වීම මෙන්ම ඒ හා සම්බන්ධව නව නිර්මාණ බිහිවීම මඟින් විකෘතිය, ප්‍රකෘති තත්වයට පත් වන්නේය යන්න මුලාවකි. නමුත්, අදාළ විෂය මූලික කරගෙන නව විවාද මෙන්ම විචාර ඇති වීම, විකෘතිය ප්‍රකෘතිමත් කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීමට අවස්ථාවක් උදාවීමකි. එය දීර්ඝකාලීන වැඩපිළිවෙලකි.

ඉතිහාසය වූ කලී, ඕනෑම රටක එම රටේ මූලික ව්‍යුහාත්මක හැඩතලය චිත්‍රණය කරන ලියවිල්ල හෝ අලිඛිත විශ්වාසය වේ. ලිඛිත මෙන්ම අලිඛිත ඉතිහාසය සමාජීය කාරණා අරඹයා ඉතා බරපතළ මෙහෙවරක් සිදු කරනු ලබයි. එය සුභවාදී මෙන්ම අශුභවාදී ලෙස භාවිත කළ සහ කරන අවස්ථා තිබේ.

ඉතිහාසය වූ කලී උරුමයක් පමණක් නොවේ. ඉතිහාසය වූ කලී දේශපාලන මෙවලමකි. එය දේශපාලනික වශයෙන් සිදු කරන බලපෑම අතිශය සුවිශාල වේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ එය මහාවංශය ඔස්සේ චිත්‍රණය කොට ඇති ආකාරය මෙන්ම මෙරට ජාතික අධ්‍යාපන ක්‍රමවේදයට එය ඔබ්බවා ඇති ආකාරය ගැන යලි යළිත් කම්මන්ත්‍රණ මෙන්ම සම්මන්ත්‍රණ පැවැත්විය යුත්තේය. එමඟින්, මෙරට දරුවන්ට ලබා දෙන පණිවිඩය කුමක්ද, එය ඔවුන්ගේ ජීවිත වලට වැදගත් මෙහෙවරක් ඉටු කරන්නේද යන්න, විමසා බැලිය යුතු මූලික කාරණා වේ. එය, විෂයෙහි න්‍යායික දැනුම ඇත්තා, විෂය සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම ඇත්තා ආදීන්ගේ සිට ඒ සම්බන්ධයෙන් කිසිඳු සැලකිල්ලක් නොදක්වන්නා දක්වා වූ සියලුම දෙනා අතර ඇති විය යුතු සංවාදයකි.

වර්තමානයේ මුහුණ දී සිටින ප්‍රභලතම අභියෝගය වන මූල්‍යමය වටිනාකම ඔස්සේ විෂයයන් වර්ගීකරණය කිරීම නමැති මූලික රාමුව තුළ ඉතිහාසය සහ එහි ඇති වැදගත්කම සිර වී තිබීමයි. ඒ අනුව එහි ඇති දේශපාලනික වැදගත් කම බොහෝ දෙනෙකු එදිනෙදා ජීවිතයෙන් මගහැර තිබේ. අනෙක් පසින්, ඉතිහාසය, තම පැරණි උරුමය ගැන පුරසාරම් දොඩමින් වර්තමානයේ වැටී ඇති මංමුලාවට මානසික සහනයක් සොයන මෙවලමක් බවට පත් වී තිබේ.මෙමඟින්, වර්තමානය තුළ පවත්වා ගත යුතු මූලික විවාදය අහිමි වෙමින් තිබෙන සැටියෙකි.

ශ්‍රී ලංකාවේ “නිල” හෝ “සම්මත” යයි පිළිගනු ලැබූ ඉතිහාසය ප්‍රකාරව සිංහයෙකු සමග සහවාසයේ යෙදෙන ස්ත්‍රීයකට දාව උපදින දරුවෙකුගෙන් පැවත එන පරම්පරාවක් ඔස්සේ “සිංහලයා” පැවත එන්නේය නමැති ඉතිහාසය තව දුරටත් වලංගු නොවන බව මෙන්ම, එය කදිම හාස්‍යයක් බව ඔප්පු කොට හමාරය.

එසේම එය, මිත්‍යාවකින් ඔබ්බට ගිය හෝ විය හැකි යැයි උපකල්පනය කළ හැකි සිදුවීමකට වඩා එවැන්නක් ගැන සිතා කටයුතු කිරීම මුලාවක් බව සියල්ලෝම දනිති. කුමන හෝ අවශ්‍යතාවයකට අදාළ ඉතිහාස කතාවට ආරම්භයක් ලබා දී තිබේ. එය හුදු නිර්මාණ කරුවාගේ ආස්වාදය පිණිස පමණක් සිදු වූවා විය හැකිය.

නමුත්, වසර ගණනාවකට පසු අප හමුවේ ඇති සත්‍යය කුමක්ද? ආරම්භයක් ගැන නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි සිදුවීම් වලදී ඊට ආරම්භයක් ලබාදීමට උත්සහ කිරීමේදී සිදුවන්නේ අදාළ සිදුවීම් ව්‍යාකූල වීම හෝ විකෘති වීමය.

ඉතිහාසයට “ආරම්භක” සලකුණක් තිබේය යන්න, විවාද සම්පන්න සහ අහේතුක කාරණයක් වේ. එය බොහොමයක් ව්‍යාකූලතා ඇති වීමට බලපෑ කාරණයක් විය. මන්ද එක් සිදුවීමකින්, තව සිදුවීමකට ඇති සම්බන්ධයට අවසානයක් නැති හෙයිනි. පරිණාමවාදයේ සිට බොහොමයක් වාද, සිර වූ මූලික කේන්ද්‍රීය කාරණයක් බවට මෙය පත්වී තිබේ. මෙය බොහොමයක් මිනිසුන්ට හානියක් සිදුකොට තිබේ.

කුවේණි උපතින් ගෙනා “ශාපය” මගහැරීම සඳහා “විදෙස් රටක” හොඳ ලෙයකින් උපන් “විජය” සමග දීග කෑම නොහොත්, විජය බින්නබැසීමෙන් පසු, කුවේණි “ නිවාස අඩස්සියේ” තබා සිටි නිවසේ සිට, කුවේණිගේ පියාට සහ සහෝදරයාට එරෙහිව සටන සැලසුම් කිරීම ඔස්සේ සිදු කරන මූලික බෙදීම, මෙරට ඉතිහාසයේ ලක්‍ෂමන් රේඛාව බව ජාතික අධ්‍යාපනය තුළ තබා ඇති මූලික සටහන වේ.

මෙම මූලික ඉතිහාසයේ ඇති මූලික නොගැලපීම ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාව ලබා දෙනු ලබන්නේ, රාජ්‍යය විසින් නොමිලේ ලබා දෙන අධ්‍යානය අවසන් කිරීමෙන් පසුය. ඒ දක්වා “විභාග සමත් වීම” සඳහා පසුකාලීනව ප්‍රශ්න කරන විශ්වාසය මත පදනම් වූ ඉතිහාසය යොදා ගන්නේය. මෙහි ඇති නොගැලපීම සහ එමඟින් ඇතිකරන හානිය මැනිය නොහැකිය. එය, දරුවන්ට සේම, විෂය දහරාව තුළ අඩංගු කාරණා වාර්ෂිකව පුනරුච්චාරණය කරන ගුරුවරයාටද ඇති කරන්නේ බරපතළ හානියකි. ඉතිහාසඥයින්ට පැවරෙන මූලික වගකීම් වලින් එකක් වූ කලී මෙම ව්‍යාකූලභාවය විසඳීමය. විසඳා නොගැලපෙන දෙයක සමඟ පොර දින අපේ දරුවන් ඉන් නිදහස් කොට මීළඟ පරම්පරාව හෝ යම් පැහැදිලි මාවතකට යොමු කිරීමය.

මෙම කාරණය විසඳීම සඳහා මෙරට ලිඛිත මෙන්ම අලිඛිත ඉතිහාසය තුළ ලියවී ඇති දෑ සහ මුඛ පරම්පරාවෙන් පැවතෙන දෑ සම්බන්ධයෙන් විමර්ශණය කිරීමය.

රාවණා රජු සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති ප්‍රභල සහ අතිශය වැදගත් විවාදය, පෙර සඳහන් කළ කාරණය මූලික කොට ගනිමින් දැක ගත හැකි ආකර්ශනීය ප්‍රවණතාවයකි. රාවණා රජු සම්බන්ධයෙන්, ඔහුගේ පරිපාලන විධික්‍රමය සම්බන්ධයෙන් ඉන්දියානු ඉතිහාසඥයින් පවා මහත් අභිමානයෙන් කතා කරති. එසේම ඔහු තැනූ භූගත “මාළිගා” වල සිට, ඔහු පවත්වාගෙන ගියේ යැයි සැලකෙන “ගුවන් තොටුපළවල්” හය, භාවිතා කළේ යැයි විශ්වාස කරන ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා ආදී කාරණා ඔස්සේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ මගහැරිය නොහැකි කාරණා රාශියක් තිබේ. එය හුදු මිත්‍යාවන් පමණක් නොව ( එසේම එය හුදු මිත්‍යාවන් වුවද ), එය රටකට අවශ්‍ය ආවේණික ඉතිහාසයක් නිර්මාණය කිරීමේදී භාවිත කළ හැකි ශක්තිමත් මෙවලමකි. ප්‍රවාදයකි. මෙය, වර්ගවාදයෙන් හෝ අන්තවාදයෙන් ගලවා ගැනීමට සහ එහි ඇති ආවේණිකබව ඉදිරියට ගෙන ඒම ඉතිහාසඥන්ගේ මෙන්ම අදාළ විෂය සඳහා දේශපාලන බලය ඇති අයවලුන්ගේ මූලික වගකීමක් වේ.

දකුණු ආසියානු කලාපයේ ඉතිහාසය සම්බන්ධයෙන් දැක ගත හැකි මූලික කාරණය වූ කලී, ඊට ඉන්දියානු ආධිපත්‍යයක් ලබා දීමය. ඉන්දියාව වූ කලී මහාභාරතය නොවේය, යන මූලික සත්‍යය කාරණයෙන් පිට පැන මෙය ඉන්දියාව මූලික කොට ගනිමින්ත්‍ චිත්‍රණය කොට තිබේ. මින් තම රට ගලවා ගැනීමට සමත් වූ එකම රට වූයේ පකිස්තානයය. ඊට හේතුව, පකිස්තානය නිර්මාණය කිරීමේදී ඊට එහි ආවේණික වූ ඉතිහාසයක් අත්‍යවශය විය. එහි මූලික පියවර වූයේ, රාමායණය ජාතික අධ්‍යාපනයෙන් ඉවත් කොට ඊට ඉස්ලාමීය ඉතිහාසයක් ඇතුලත් කිරීමය. එය නිවැරදි වැඩපිළිවෙලක් යැයි මා කියන්නේ නැත, නමුත් ඉන්දීය ආධිපත්‍යය මෙරට බුද්ධිමය, සමාජීය මෙන්ම ආර්ථිකය ආදී සෑම ක්ෂේත්‍රයකම පැවතිය යුතු දේශීය ආවේණිකබව මකාදමා තිබේ. අප දෙවැනි ජාතියක් බවට පත්කොට තිබේ. මෙය පිළිගත නොහැකි සහ පිළිනොගත යුතු මූලික මූලධර්මයකි. එම නොපිළිගැනීම, මහපාරේ උද්ඝෝෂණය කිරීමෙන් හෝ කෝලාහල කිරීමෙන් හෝ අනත්වාදය ඇවිස්සීමෙන් කළ නොහැකිය. කළ හැක්කේ, අධ්‍යාපන ක්‍රමය රටට උචිත ලෙස සෑම දෙනාටම පොදු ආකාරයෙන් සකස් කොට රටේ ආවේණික ඉතිහාසයට මූලික තැන ලබාදීමය.

මෙම අධිපත්‍යය හේතුවෙන්, චීනය වැනි රාජ්‍යයන් මෙරට ඉතිහාසය තුළ සිදු කළ අතිශය තීරණාත්මක මැදිහත්වීම් වලට අඩු වටිනාකමක් ලබා දී තිබේ. විශේෂයෙන්, බුද්ධ ධර්මයට අදාළ මූලික ගවේෂණ සිදුකරන්නේ චීන ජාතික භික්ෂුවක් විසිනි. එසේම, මේ වන විට අශෝක වැනි රාජ්‍යය පාලකයින් ගැන කතා කිරීම සඳහා මූලික අවකාශය සලසා දෙනු ලැබුවේ, බ්‍රිතාන්‍යය යටත් විජිත පාලකයින් විසිනි. බමුණන් විසින් තැනූ ලෝකය ඊට එරෙහි ස්වාධීන අදහස්, චින්තන සහ පුද්ගලයින් බරපතළ ලෙස යටපත් කර තිබුණි. මෙරට පාලනය කළ රජවරුන් ඉන් පහකොට චීනයට ගෙනගොස් රජුට අදාලව නඩුවිභාගය චීනයේදී පැවැත්වූ බවට ලිඛිත සටහන් තිබේ. මෙවැනි දෑ ජාතික අධ්‍යාපනයට ඇතුලත් කිරීම සහ එමඟින් මෙරට දරුවන්ට විවේචනාත්මකව සිතීමට පුරුදු කිරීම අත්‍යවශ්‍යය කාරණයක් වේ.

ඉතිහාසය යළි ලිවිය හැකිද? යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් නැත. එය සංකීරණ ජාලයකි. නමුත්, රටකට අත්‍යවශ්‍යය වන්නේ එම රටට ආවේණික වූ ඉතිහාසයක් පැවතීම සහ එය කිසිඳු රටක් මත යැපෙන වාර්තාවක් බවට පත් නොවීමය. මෙය මහත් ප්‍රවේශමෙන් කළ යුතු, කළ හැකි සහ මඟ හරිය නොහැකි මූලික කටයුත්තක් වේ. කොන්ෆුසියස් සටහන් කළ පරිදි, ඔබට අනාගතය අර්ථගැන්වීමට අවශ්‍යය වන්නේනම්, ඉතිහාසය හදරාන්න.

නිලන්ත ඉලංගමුව