මහින්ද රාජපක්ෂ කල්ලිය කලක් තිස්සේ රට තම පුද්ගලික දේපලක් බවට හරවා ගනිමින්, එහි නීතිය අවනීතිය බවට පත් කර ගනිමින්, තම මතයනට විරුද්ධ සියලු මතයන් දරන අය යටපත් කරමින්, තමන්ගේ සුඛ විහරණයට හෝ තමන්ගේ වගාඩම්බරයට අහිතකර යැයි සිතෙන සියල්ල අතුගා දමමින් පවත්වාගෙන ගිය අත්තනෝමතික පාලනයට එරෙහිව කලක් තිස්සේම කණ්ඩායම් වශයෙන්ද, පුද්ගලයින් වශයෙන්ද, වරක සංවිධානාත්මකවද වරෙක අසංවිධානාත්මකවද හඬ නැගුවේ රට තුල සහ රටින් පිටව සිටි සිවිල් සමාජ කොටස් ය. එම දීර්ඝ ක්‍රියාදාමයේ අප්‍රතිහතව යෙදුණ මෙම කණ්ඩායම් හා පුද්ගලයින් නැතිනම් සිවිල් සමාජය (පුරවැසියන්) තමන් ඉදිරියේ ඇති මහින්ද කල්ලියේ ආධිපත්‍යය පෙරලීම කිසි දිනෙක සිදුවේවිද කියා සිතිය නොහැකි අවධියක තම ‘කඳු ඉවත්කළ මෝඩ මහල්ලා’ගේ අප්‍රතිහත දිරියෙන් වැඩ කටයුතු කරගෙන යනු ලැබීය. මෙම ක්‍රියාවන්හි යෙදුණු අයට මහින්ද කල්ලිය සහ ඔහුගේ අනුගාමිකයන් විසින් ‘ ජාතිද්‍රෝහීන්, ඩොලර් කාක්කන්, කොටි බළල් අත්, විදේශ කුමන්ත්‍රණකරුවන්’ ආදී මෙකී නොකී නම් ගම් සහිතව රාජ්‍ය මාධ්‍ය සහ ඔවුනගේ බැල මෙහෙ මාධ්‍ය ආයතනවල අනුග්‍රහයෙි. රට තුල පැවති දුර්ධාන්ත දූෂිත පාලන කල්ලියේ ජඩ ක්‍රියාවන් එළිදරව් කිරීම ජාති ද්‍රෝහී කමක් ලෙස හංවඩු ගසනු ලැබීය. නමුත් මෙම සිවිල් සමාජ කණ්ඩායම් මේ සියළු අවලාද, අපහාස විද දරා ගනිමින් වරෙක ශාරීරිකවද වන්දි ගෙවමින් තම කාර්යන් නොනැවතී කරගෙන යනු ලැබීය. ඔවුන් වැඩ කලේ මේ දේවල් හෙලි කිරීම තුලින් ප්‍රමාණාත්මකව ඉතා හෙමින් සිදුවන වෙනස කවදා හෝ ගුණාත්මක වෙනසක් බවට පෙරලෙනු ඇත යන ස්ථිර විශ්වාසය හිත් තුල පුරවාගෙනය.

ඕනෑම ක්‍රියාවක් එය සිදු වූ පසු එළියට පෙනෙනවා වුවත් එම සිදුවීම සිදුවීමට බොහෝ කලකට පෙර එම ක්‍රියාව ක්‍රියාත්මක කරවන්නන්ගේ හිත් තුල ක්‍රියාත්මක වී හමාරය.

මේ මා මතක් කරනුයේ මහින්ද කල්ලියේ දුර්ධාන්ත පාලනය පෙරලීම සඳහා මූලිකව ක්‍රියාවන් දිගින් දිගටම (තමන් පුද්ගලයන් ලෙස ලාභ නොතකා) කළ සිවිල් සමාජ ක්‍රියාධරයින්, සංවිධාන සහ පුද්ගලයින් ගැනයි. මේ අවධියේ ප්‍රධාන විපක්ෂය කරබා ගෙන සිටිමින් මහින්දගේ කල්ලියේ නොපනත් කම් ඉවසුවා පමණක් නොව ඔවුන්ගෙන් කොටසක් පුද්ගලික ලාභ ලබා ගැනීමේ අරමුණින් මහින්දගේ දෑත් සවිමත් කිරීමට මහින්දලා සමග එක්වන තත්වයක් පවා ඇති විය. මහින්ද කල්ලියේ බලය කිසි දිනෙක පෙරලිය නොහැකි මහා ගිරි කුලක් සේ පෙනුන අවධිය තුල මෙම සිවිල් සමාජ කණ්ඩායම් නොයෙක් තාඩන පීඩන මැද ක්‍රියාත්මක විය. මේ අප්‍රතිහත ක්‍රියාදාමය නිසා කාලයාගේ ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් රටතුල පැතිරුණු මතයක් ගොඩ නැගිණි. ප්‍රධාන විරුද්ධ පක්ෂය ද අවසානයේ එම බලවේගයේ කොටස් කරුවන් බවට පත්විය. ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම තවත් එවැනි පක්ෂ ඔවුන් සමග එක්විය. ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගිය පෙරටුගාමීන් වැනි ඉතා සුළුතරයක් හැර අනෙක් සියළු දෙනා මහින්ද කල්ලියේ අර්ධ ෆැසිස්ට්, අර්ධ වැඩවසම්, නන්නත්තාර බල අධිකාරියට එරෙහිව එක පෙරමුණකට එක්විය. එහි අවසාන මොහොතේදී මෛත්‍රී ඇතුළු මහින්ද ගොඩෙන්ම කණ්ඩායමක් මේ බලවේග සමග එක්වීම තුල ජනවාරි 08 පෙරලිය සිදුවිය.

කෙසේ වුවත් මෙම දීර්ඝ කාලීන සිවිල් සමාජ ක්‍රියාදාමය සිදුවීමේදී එය රට තුල සිවිල් සමාජයේ මූලිකත්වයෙන් සිදුවූයේ රටින් පිට සිටින විසුරුණු ලාංකීය සිවිල් සමාජයේ සහයෝගය ලබමිනි. රට තුල මුව විවිර කළ නොහැකි අවධියක රටින් පිට සම්මන්ත්‍රණ, සාකච්ඡා හා දැනුවත් කිරීම් ආදී වැඩ මෙම රට තුල සහ රටින් පිට සිවිල් සමාජ කොටස් එක්ව ක්‍රියාවට නගනු ලැබීය. ආරක්ෂක හේතූන් මත රට තුල නොකළ හැකි දේ රටින් පිට සිදුවිය. එම සාකච්ඡා සම්මන්ත්‍රණ මෙන්ම විදේශයන් සහ ජාත්‍යන්තර ආයතන දැනුවත් කිරීම් වැඩ විවිධ මට්ටම්වලින් ලොව පුරා කරගෙන යනු ලැබීය. තායිලන්තයේ, සිංගප්පූරුවේ, ඉන්දියාවේ හෝ නේපාලයේ වරෙක රැස්වුණි. වරෙක ජිනීවා, ජර්මනියේ, ලන්ඩනයේ හෝ පැරිස් වල එක්වූ අතර තවත් වරෙක ඉතාලිය හෝ කැනඩාවේ නැත්නම් ඕස්ට්‍රේලියාවේදී රැස්විය. මෙසේ ලෝකයේ විවිධ තැන්වල මහින්ද කල්ලියේ සාපරාධී දේශපාලනය පෙරලා දැමීම අරමුණු කර ගනිමින් සිවිල් සමාජය සහ රටින් පිට සිටි ලාංකීය සිවිල් සමාජය එක්වී සම්මන්ත්‍රණ සාකච්ඡා තුලින් වැඩ පිලිවෙලවල් සොයනු ලැබුවේ එකිනෙකා අත්වැල් බැඳගෙනයි.

එදා ජනවාරි 08 පෙරලිය ඇති කිරීමට මූලික වූ මෙම බලවේග බලපෙරලියෙන් පසු තවදුරටත් කරලියේ රඟනු නොලැබේ. බලපෙරලියේ අවසාන කාලය තුල එහි ප්‍රධාන කොටස් රගන දේශපාලන බලවේග ඉන්පසු එම පෙරලුණු බලයේ හිමිකරුවන් බවට පත්වේ. මෙම දේශපාලන බලය හොබවන අයට තමන්ට බලය හිමිවීමට මග පෑදූ බලවේග නොපෙනී යන අතර බලය අතට ගත් කොටස් දේශපාලනය ඔවුනට ඉන් පෙර හුරු ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම ක්‍රමක්‍රමයෙන් පෙළඹෙමින් පවතී.

රාජ්‍ය යනු රටක් පවත්වා ගැනීම සඳහා ඇති කර ගත් යටපත් කිරීමේ මෙවලමකි. එම මෙවලම අත්පත් කර ගත් අය එහි යටපත් කිරීමේ බලය නිසාම මොනයම් හෝ ආකාරයකින් ආධිපත්‍යවාදී සිතිවිලිවලට පැමිණෙන අතර බොහෝ විට එම බලය අපහරණයට පෙළඹේ. නමුත් සිවිල් සමාජය සංවිධානාත්මකව බලවේගයක් ලෙස පවතීනම් පමණක් රාජ්‍ය පවත්වන දේශපාලන බලය සමග කේවල් කිරීමේ ගුණාත්මක බලයක් සිවිල් සමාජය සතු කර ගනී. එවිට පමණක් බලය අපයෝජනයට බලය හිමිකරගත් කොටසට ඉඩ නොදී රාජ්‍ය ජන සමාජයේ වුවමනාවන් සපුරන මෙවලමක් ලෙස මෙල්ල කර ගත හැකි වනු ඇත. මෙම මෙල්ල කර ගැනීම තුල බිහිවන සමාජ තත්වය ප්‍රජාතන්ත්‍රවාදයයි.

කෙසේ වුවද දැන් බලය පෙරලා කාලයක් ගත වී හමාරය. එදා සිවිල් සමාජය අද එදාට වඩා විසිරුණු එකක් ලෙස පවතී. තැනතැන යම් යම් ක්‍රියාවන්හි යෙදෙන නමුත් බලය සමග පැහැදිලිව කේවල් කිරීමකට යාමට තරම් අද එය ශක්තිමත්ද? එදා එකට වැඩ කළ පිරිස් අතර අද පැහැදිලි ජාල ගතවීමක් තිබේද? වෙසෙසින්ම එදා රටින් පිට රැස්වීම් සම්මන්ත්‍රණ සාකච්ඡා සංවිධානය විය. විදේශ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර ආයතන කෙරෙහි දැනුවත් කිරීම් සහ බලපෑම් කරනු ලැබීය.අද වන විට එදා පිට රටකදී එක්වූ බලවේගවලට කොළඹදී නැත්නම් ගාල්ලේදී හෝ යාපනයේදී එක්විය හැක. නමුත් එවැන්නක් මේ වන තුරු සිදුවී තිබේද? එදා රට තුල සිවිල් බලවේග නිති පතා විදේශවල සිටින ලාංකීය ක්‍රියාධරයන් සමග අත්වැල් බැඳගනු ලැබීය. නමුත් අද වන විට ඒ තත්වයන් එසේ පවතීද? ලංකා රාජ්‍ය ආයතන (පොලිසි, අධිකරණ හා නිලධාරී පද්ධතිය ) සම්පූර්ණයෙන්ම වාගේ දූෂිත වී ඇති බව ප්‍රකට කරුණකි. මෙම ආයතන පුනරුත්ථාපනය කළ යුතුව ඇත. ඒ සඳහා විදෙස් ගත ලාංකීය සිවිල් සමාජයේ දැනුම උකහා ගත හැක. ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල අත්දැකීම් ඒ සඳහා ප්‍රයෝජනයට ගත යුතුය.

සිදුවිය යුත්තේ රට තුල සිවිල් බලවේග එකට ජාල ගතවන අතරම පිට සිටින අයටද රට තුලට විත් තම සහාය රටතුල සිවිල් බලවේගයනට ලබාදීමට රට තුලම සම්මන්ත්‍රණ සාකච්ඡා රැස්වීම් ඇතිකිරීම බව මගේ වැටහීමයි. එදා පිට සිටින අය රට තුල අයට පිටට ආරාධනා කළ නමුත් අද පවතින තත්වයන් ප්‍රයෝජනයට ගනිමින් අද රටතුලම එකතු විය හැක. එවැනි එක්වීමක් තුල ඇතිවන බලවේගය ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී ගමනට බලපෑම් කළ යුතුය. නීතිය මත පාලනයකට, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් දෙසට ගමකට, වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම ආදිය කළ හැකි වන්නේ ආණ්ඩුව විසින් කරනු ලබන්නේත් එවිට පමනි. මේ වන විටත් නැවත ක්‍රමක්‍රමයෙන් මාධ්‍යවේදීනට පහරදීම අරඹා ඇත. නීතිය අවභාවිතාව සිදුවෙන බව පෙන්වා ඇත. බලය අපයෝජනය ඇරඹී ඇත. තව කලකදී ඒවා පැරණි පුරුදු ප්‍රමාණයටම ගමන් කරනවා හෝ එයද ඉක්මවා යනු ඇත. මේවාට එරෙහිව සිවිල් සමාජය තැන තැන ප්‍රතික්‍රියා දක්වනු බව පෙනේ. නමුත් සිවිල් සමාජය අකටයුත්තට ප්‍රතික්‍රියා දැක්වීම තුලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි නොවනු ඇත. සිවිල් සමාජය තමන්ගේ වුවමනාවක් පැහැදිලිව රාජ්‍යට ඉදිරිපත් කර ආණ්ඩුව ලවා ඒවා කරවා ගන්නා තත්වයක බලවේගයක් බවට පත්විය යුතුය.

ඒ සඳහා ඔවුන් දැන්වත් තමන්ට මග හැරුණු තැන් සමාලෝචනය කර ජාල ගතවෙමින් දෙස් විදෙස් සිවිල් බලවේග එක තැනකට බලවේගයක් ලෙස ගොනු කළ යුතුය. එසේ සවිමත් වන සිවිල් බලවේග ජනතාවගේ උවමනාව වන ප්‍රජාතන්ත්‍රවාදය දෙසට රට ගමන් කරවීමට ආණ්ඩුවට බලපෑම් කරන මග පෙන්වන බලවේගයක් බවට පත්විය යුතුය. නීතිය මත පාලනයක් ඇති කිරීමට වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට බලපෑම් කරන බලවේගයක් බවට පත්විය යුතුය. ලද ජය ජයක් බවට අත්කර ගත හැකි වන්නේ එතුලින් පමනි.

රංජිත් හේනායකආරච්චි