Image by: GattyImage

මෑත කාලයේ දේශපාලන නායකයන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන විෂයක් සම්බන්ධයෙන් ඉදිරිගාමී කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ පවත්වා තිබේ. අගමැතිවරයා පවසා ඇති කතාව දෙරණ වෙබ් අඩවියේ සදහන් වූයේ ‘සංවර්ධනයට ප්‍රථම ජාතික සමගිය ඇති කළ යුතුයි‘ යන සිරස්තලය සමගය. එහි වැඩිදුරටත් සදහන් වූයේ ‘රට සංවර්ධනය කිරීමට ප්‍රථම ජාතික සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.‘ යනුවෙනි.

2009 යුද්ධය අවසානයෙන් පසු උතුරු වසන්තය, නැගෙණහිර උදානය යන නම්වලින් ඊනියා සංවර්ධන කටයුතු වල නිරතවුනු රාජපක්ෂ ආණ්ඩුව එහි ජීවත්වන ජනයාට යුක්තිය ඉටුකිරීමට මෙන්ම දශක ගණනාවක් කාබාසිනියා කළ ඔවුන්ගේ දේශපාලන නිදහස සහ දේශපාලන අභිලාශයන් තහවරු කිරීමට උත්සුක වනවා වෙනුවට හැකි තරම් සිදුකලේ ඒවා මර්දනය කිරීමය.

නමුත් වත්මන් ‘යහපාලන‘ ආණ්ඩුව ඉහත කී දේවල් කරන බවට සේයාවක් දුටුවත් කිසියම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීම සදහා ඉතාමත් සෙමෙන් ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ. ඒ අතර තුර වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඉහත ප්‍රකාශය සලකා බැලිය යුත්තේ ද යුද්ධයෙන් පසුව ගතවුනු වසර 7ට සාපේක්ෂවය.

ඒ අර්ථයෙන් ගත් කල අගමැති වරයා විසින් කර ඇති ප්‍රකාශය, ප්‍රකාශයක් ලෙස සාපේක්ෂව ඉදිරිගාමීය. එය 2009 සිට අද දක්වාම ලංකාව තුළ මෙන්ම ලංකාවෙන් පිටත සිටින ප්‍රගතිශීලී ජනයා සහ සංවිධාන විසින් ඉල්ලා සිටි ‘යුක්තිය‘ පිලිබද අදහසේ වැදගත් ඉමක් සටහන් කරනු ලබන්නේද යන්න විමසිම වටී.

නමුත්,

ලාංකීය ඉතිහාසයේ බොහෝ දේශපාලකයන් මෙන්ම වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහත් බලය ලබා ගැනීමට පෙර කළ බොහෝ ප්‍රකාශ සහ බලය ලබාගත් පසු සිදු කරල ලද ප්‍රකාශ අතර දක්නට ඇත්තේ සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් පෙන්නුම් කරයි.

උදාහරණ කිහිපයක් සපයන්නේ නම්, රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයාව සිටියදී රාජපක්ෂ පාලනය විසින් ආරම්භ කරන ලද ‘පෝට් සිටි‘ ව්‍යාපෘතිය හි අහිතකර බව පෙන්වා දී තමන් බලයට පැමිණි පසු එය නවතාදමන ලෙස ජනතාව ඉදිරියේ ප්‍රතිඥ්ඥා දුන්නේය. නමුත් ඔහු බලයට පැමිණි පසු සටකපට ලෙස නැවතත් පරිසර වාර්තා කැදවමින් එය එම ව්‍යාපෘතිය නැවතවරක් ක්‍රියාත්මක කරන තැනට පැමිණියේ ඉහත කී නග්න ස්වරෑපය නැවතත් පෙන්වමිනි. එහිදී පරිසරවේදීන්, ධිවරයින් ඇතුලු සමස්ථ ප්‍රජාවම එහි අහිතකර බව එදා මෙන්ම අද ද පෙන්වා දුන්න ද ඒවා දැන් ඔහුට ඇසෙන්නේ නැත.

ඒ රනිල් වික්‍රමසිංහය.

අනෙක් උදාහරණය නම් පානම ජනයාගෙන් උදුරාගත් ඉඩම් නැවත ලබා දෙන බවට රනිල් සහ ඔහුගේ සංවිධායකවරයෙක් වන දයා ගමගේ මැතිවරණට පෙර පොරොන්දු දුන්නේය.

නමුත් ඔහු ඒ පොරොන්දුව ඉටු කලේය. පොරොන්දුව ඉටු කලේ 2015 පෙබරවාරි 11 කැබ්නට් පත්‍රිකාවක් නිකුත් කරමින් ‘පානම ජනයාට අහිමිවු ඉඩම් නැවත ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරනය කර තිබේ‘ යන්න ලෝකයටම ප්‍රකාශ කරමින්ය.

රනිල්ගේ පොරොන්දු ඉටුකිරීම ගැන රාජපක්ෂ විසින් පන්නා දැමූ පානම ජනයා මෙන්ම ඉඩම් කොල්ලයට විරුද්ධව ක්‍රියාකරන සිවිල් සංවිධානත් කැබිනට් තීරණය ගැන සතුටු විය.

නමුත් ඒ සතුට තුළ රනිල්ගේ අභ්‍යන්තර සටකපට කම දැන් එළියට එමින් ඇත්තේ ඔහුගේ සංවිධායකවරයෙක් සහ වත්මන් ඇමතිවරයෙක් වන දයා ගමගේම ලවා කැබිනට් තීරණය එසේ තිබියදීම එම ඉඩම් වෙනුවට මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තැන්වලින් නිවාස තනාදී පානම මිනිසුන් කබලෙන් ලිපට දැමීමේ ව්‍යාපාතියක් ආරම්භ කිරීමෙන්ය. අවසානයේ පානම ජනයාට සිදුවෙමින් ඇත්තේ රාජපක්ෂගේ ඉඩම් කොල්ලයට එරෙහිව සටන් කලාක් මෙන්, තමන්ගේ ඉඩම් නැවත ලබා ගැනීම සදහා රනිල් සමග ද සටන් කිරීමට ය. දැන් ඔවුන්ට සිදුවූයේ ‘කැබිනට් තීරණය විහිලුවක්ද?‘ යනුවෙන් අසමින් නැවතත් මහ පාරේ තමන්ගේ අරගලය සිදුකරන්නටය.

අනෙක නම් දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය ය. වික්‍රමසිංහ ආණ්ඩුවේ වත්මන් අමාත්‍යවරයෙක් වන මනෝ ගනේෂන් එදා(2012) කීවේ ‛දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන්, රජය සාධනීය තීරණයක් නොගතහොත්, අපි මින් ඉදිරියටත් සටන් කරනවා.’ ඒ රනිල් වික්‍රමසිංහ ඇතුලු එවකට විපක්ෂයේ පිරිස් ද එක්ව මහපාරේය. නමුත් අද ‘දේශපාලන සිරකරුවන් නැත‘ යන්න කීමට තරම් නරුම වී ඇත්තේ ද වික්‍රමසිංහ ආණ්ඩුවය.

ඒ තරමටම ගැඹුරින් සලකා බැලුවහොත් රනිල්ගේ කතා විහිළුය. විහිළු ලෙස අර්ත ගැන්වුවත් ඒවා බියකරුය.

ඒ බියකරු තත්ත්වය තුළ ලංකාවේ ප්‍රමුඛ ලෙසම විසදා ගත යුතු ‘ජාතික ප්‍රශ්ණය‘ පිළිබද ඔහු කියන කතා විශ්වාස කරන්නේ කෙසේද?

නමුත් රනිල් වික්‍රමසිංහ තවදුරටත් ඒ ප්‍රශ්ණය මතුපිටින් ‘ප්‍රවෘත්ති විසදුම්‘ දී අභ්‍යන්තරයෙන් මග හරින්නේ නම් රනිල් වික්‍රමසිංහ අගමැති වරයාටත්, මහින්ද රාජපක්ෂට අවසානයේ මුණගැසුනු දෙයට වඩා වැඩි දෙයක් හමුවන්නේ නැති බව ද ලියා තැබිය යුතුය.

කවුරු කෙසේ අර්ථකතනය කළත් ලංකාවේ දේශපාලන අනාගතය තීරණය කරන්නේ තවමත් ‘ජාතික ප්‍රශ්ණය‘ මත බැවින් ‘රනිල්’ විහිළුවක් වුවත් අදාළ ප්‍රශ්ණය විහිළුවට ගෙන ක්‍රියානොකරන්නේ නම් රටේ අනාගතයට නම් යහපත්ය.!

ඒ යහපත අපි ප්‍රාර්ථනා කරමු!