ඇගේ ඇස අග චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම ගැහැණුන්ගේ ලිංගික ආශාවන්, ඔවුන්ගේ ලිංගික ජීවිතය සහ ඔවුන්ගේ සමස්ත පැවැත්මේ අරමුණ පිළිබද පිරිමින්ගේ ෆැන්ටසියක් බවත් අතිශයින්ම පුරුෂ මූලික චිත්‍රපටියක් වන එහි ස්ත්‍රී චරිත නිරූපණය කර ඇත්තේ ඉතාම ප්‍රතිගාමී ආකාරයට බවත් කියමින් කාමන් වික්‍රමගමගේ – Carmen Wickramagamage නැමැති ආචාර්යවරියක විසින් The Island පුවත් පතට දීර්ඝ ලිපියක් ලියා තිබුණි. ‘A Female Spectator on Asoka Handagama’s Aege Aesa Aga ( Let Her Cry) ‘අශෝක හඳගමගේ ඇගේ ඇස අග ගැන කාන්තා ප්‍රේක්ෂිකාවකගේ ඇසින්'(පරිවර්තනය මවිසිනි) යන්න දින දෙකක් පුරා පළ වූ ඒ ලිපියේ ශීර්ෂය විය. මීට සති දෙකකට පමණ පෙර ඇගේ ඇස අග නරඹා මම ද කෙටි සටහනක් ලියූවෙමි. විකල්ප වෙබ් අඩවියේ(vikalpa.org) පළවූ එයින් මා කියූවේ එය අපේ රටේ කාන්තාවන් විසින් විශේෂයෙන් නැරඹිය යුතු චිත්‍රපටියක් බවයි. එහිදී මා වැඩි අවධාරණයක් කළේ චිත්‍රපටිය තුළ නිරූපිත ප්‍රධාන කාන්තා චරිත ද්වය ඇසුරින් සිනමා කරුවා සංකේතවත් කරන සමාජ ජීවිත යථාර්ථය පිළිබදවයි. කාන්තා ප්‍රේක්ෂිකාවක වන මා ඇගේ ඇස අග දුටුවේ උක්ත ලිපියේ කර්තෘ වන කාන්තාව එය දැක ඇති ආකාරයට වඩා සහමුළුමනින්ම වෙනස් ආකාරයටයි. ඒ උත්ප්‍රාසාත්මක පරස්පරය මේ සටහන ලියන්නට මා පෙළඹවූ කාරණයයි.

ඒ ලිපිය කියවන විට මට එකවරටම සිතුණු දෙයක් නම් එහි රචිකාව මේ චිත්‍රපටිය නරඹන්නට ගොස් ඇත්තේ ස්ත්‍රීවාදී න්‍යාය නමැති කෝදුව තදින් අල්ලාගෙන බවයි. ඇය ස්ත්‍රීවාදී සිනමා විචාරිකාවක වන Laura Mulvey ( Visual Pleasure and Narrative Cinema) ගේ අදහස් සහ, ‘පිරිමි බැල්ම‘ Male Gaze – (පිරිමි ඇසකින් තිරය මත සිදුවන දේ දැකීම) නැමැති සංකල්පයත් තමන්ගේ විචාරයේදී උපයෝගී කර ගනියි. ස්ත්‍රීවාදී න්‍යායේ තදින් එල්බගත් ගත් බවක් පෙනෙන ඇය තිරය මත ස්ත්‍රිය දකින්නට කැමති ආකාරයක් ඇති බව පෙනේ. එනම්, පිරිමින්ට අභියෝග කරන, පිරිමින්ගේ පැවැත්මෙන් ස්වාධීන අනන්‍යතාවක් ඇති, පිරිමින් තමන්ව රිද්දන විට එකහෙළා ඔවුන් හැර යාමට හයියක් ඇති, ආදරය රැකවරණය ඉල්ලා පිරිමි පස්සේ නොයන ශක්තිමත් ස්ත්‍රීන් චිත්‍රපටි තුළින් නිරූපණය කළ යුතු බවත්, ඒවා ස්ත්‍රී විරෝධී නොවන්නේ එවිට බවත් වැනි ඉතා පටු අදහසක් ඇය දරා සිටින්නේදැයි සැකයක් මතු වෙයි. මාද ඇතුළුව ස්ත්‍රියගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම කෙනෙකු, අපේ සමාජයේ ගැහැණුන් කවදා හෝ අත්පත් කර ගනු ඇතැයි බලාපොරොත්තු වන පරමා දර්ශී තත්ත්වය එය බව සැබවි. නමුත්, තවමත් සැබෑ මහපොළොවේ යථාර්ථය එය නොවේ. මගේ අදහස නම් අවංක නිර්මාණකරුවෙකු නිර්මාණ කළ යුත්තේ කිසිම න්‍යායක් ප්‍රවර්ධනය කිරීමට නොවේය යන්නයි. (අරමුදල් සපයන මූලාශ්‍රයන්ගේ උවමනාවන් මත එසේ කරන ‍ නිර්මාණකරුවන් නැති බව මා කියන්නේ නැත) නිර්මාණකරුවාගේ වගකීම සමාජයේ සැබවින්ම පවත්නා යථාව වෙතට ප්‍රේක්ෂකයා අවදි කරවීමත්, එතැනින් එහාට වඩා යහපත් තැනකට විතැන් වීමේ අවශ්‍යතාව ගැන ඉගි කිරීමත්ය. ඒ හැර න්‍යායන් වල පමණක් දිනන, යථාර්ථයේදී හමු නොවන වීරත්වයක් හෝ අදීනනත්වයක් ආරෝපණය කර ව්‍යාජ චරිත නිරූපණයන් ඉදිරිපත් කොට, න්‍යායේ දෘඪ කෝදුවෙන් සෑම සියලු දේම මනින අතලොස්සක් දෙනා තෘප්ත කරවීම නොවේ. ස්ත්‍රීන්ට මොරාල් එකක් දී ඔවුන්ව බලාත්මක කිරීමේ අරමුණින් පටු ස්ත්‍රීවාදී චිත්‍රපටියක් හැදීම අශෝක හඳගමගේ අරමුණ නොවූ බව ඒ ලිපියේ රචිකාවියට මග හැරී ඇත. එසේ නොකිරීම ගැන ඇය අධ්‍යක්ෂකට දොස් පවරන්නේ ඒ නිසා විය යුතුයි.

ඇගේ ඇස අග ස්ත්‍රී විරෝධී චිත්‍රපටියක් කියාවත්, අධ්‍යක්ෂ පුරුෂාධිපත්‍යය ප්‍රවර්ධනය කරන්නෙක් කියාවත් මට දැනුණේ නැත. උත්ප්‍රාසය නම්, ඒ වෙනුවට මට ඇත්තෙන්ම සිතුණේ අධ්‍යක්ෂවරයා අපේ රටේ කාන්තාවන් වෙතට හෙළා ඇත්තේ ගෞරවනීය බැල්මක් බවයි. කාන්තා චරිත නිරූපණය ස්ත්‍රීවාදී නැත යන බොල් තර්කණයේ පමණක් පිහිටා සිටින ලිපියේ රචිකාවියට චිත්‍රපටියෙන් විදාරණය කෙරෙන සමකාලීන ශ්‍රී ලාංකීය සමාජ දේශපාලන යථාර්ථය එහෙම පිටින්ම ගිලිහී යයි. චිත්‍රපටිය තුළ බුද්ධාගම සහ පන්සල ගෙනැවිත් තිබෙන්නේ ඇයිද, පරිස්සමින් පවත්වාගෙන යන මධ්‍යම පාන්තික ජීවිතවල ඕලාරික පැවැත්මේ නීරස බව දැනවීමට යොදාගන්නා ඉසියුම් උපක්‍රම ආදී කාරණා කිසිවක් ඇයට ගෝචර වන්නේ නැත. ප්‍රධාන ගැහැණු චරිත දෙකටම අධ්‍යක්ෂ ලබා දී තිබූ පෞරුෂය ඇය කොතනකදීවත් දැක නැත.

ඇය ගෙන එන ප්‍රධාන චෝදනාවක් නම් සමස්ත චිත්‍රපටියේ ඇත්තේ ‘පිරිමි බැල්මක්’ යන්නයි. එය පැහැදිලි කරන්නට ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාව තමන්ගේ ශරීරයේ ක්‍රීම් ආලේප කරමින් සිටින අවස්ථාවේ ආචර්යවරයාගේ බිරිද කාමරයට පැමිණීමේ දර්ශනය පාවිච්චි කරයි. තුවායක් ඇඳ සිටින ශිෂ්‍යාවගේ කකුල් අස්සෙන් පෙනෙන දේ සූක්ෂම ආකාරයට වසං කිරීමත්, ශිෂ්‍යාව ප්‍රේක්ෂකයාට පිටුපස හරවාගෙන තුවාය දෙපසට විහිදා මැඩම්ට පමණක් තම නිරුවත පෑමත්, පිරිමින්ව ඇවිස්සීමේ අරමුණින් පිරිමි ප්‍රෙක්ෂකයා වෙනුවෙන්ම නිර්මිත බව ඇය කියයි. චිත්‍රපටියේ ඒ දර්ශනය අපට පෙනෙන්නේ කාමරයට ඇතුල් වන මැඩම් දකින දෙයක් හැටියටයි. ඒ අවස්ථාවේ මැඩම් කාමරයට එන්නේ ශිෂ්‍යාවගේ නිරුවත් කලවා ඈත සිට දැකීමෙන් පසුවයි. ඒ අනුව ඇය එහි එන්නේම තම සැමියා ආකර්ෂණය වී ඇති තරුණ ශරීරය පිළිබද ඇති වූ ඊර්ෂ්‍යාව විසින් අවුලුවන ලද කුතුහලහය විසින් මෙහෙයවීමෙනුයි. ශිෂ්‍යාව තුවාය දිග හැර නිරුවත පාන්නේ ඇයටයි. මන්ද එය දැක බලා ගැනීමේ කුතුහලය ඇති වී තිබුණේ ඇයටයි. ඒ මිස ප්‍රේක්ෂකාගාරයේ වාඩි වී සිටින පිරිමින් හෝ ගැහැනුන්ට ඒ ගැන කුතුහලයක් තිබුණද නොතිබුණද එය චිත්‍රපටියට අදාළ වන්නේ නැත. ස්ත්‍රී වේවා පුරුෂ වේවා, ප්‍රේක්ෂකයාගේ ලිංගික කුතුහලය සංසිදවීමට අවශ්‍ය වුණි නම්, ඒ තුවාය තව ටිකක් එහාට මෙහාට කරන්නට හෝ බිමටම අත අරවන්නට අධ්‍යක්ෂකට පුළුවන් කම තිබුණි. නමුත් ඔහු එය කර නැත. සිනමාව සිනමාව විදියට කියවා ගැනීම බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගේ වගකීමකි.

චිචාරය ලියන රචිකාවගේ තවත් ප්‍රධානම චෝදනාවක් වන්නේ අශෝක හදගම මේ මහ පොළොවේ නැති විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක මවා ඇති බවයි. ඈත ගමක දුප්පත් පවුලක ඉපදුණු, සිංහල බෞද්ධ පරිසරයක හැදුණු තරුණ ගැහැණු ළමයින් ඔය තරම්ම නිර්භයව සමාජ සම්මතයන් බිඳ හෙලනවාදැයි ඇය පුදුම වෙයි. කන්‍යාභාව ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම, විවාහයට පෙර ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම, කසාද නොබැඳ දරුවන් පිළිසිඳ ගැනීමේ ආදීනව ආදී සම්ප්‍රදායක සම්මතයන් ගණන් නොගන්නා, ඒවාට පයින් ගසන ගැහැනුන් අපේ සමාජයේ තවම නැති බවත් ඒ තත්ත්වය එළඹීමට තව බොහෝ කාලයක් ගත වනු ඇති බවත් ඇය කියයි. ස්ත්‍රීවාදය ගරු කරන කෙනෙකු හැටියට ඇයට සන්තෝස විය හැකි තත්ත්වයක් අප රටේ තරුණියන් අද වන විට අත් කරගෙන ඇති බව මම කියමි. විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා බොහෝ ගැහැණු ළමයින් තව දුරටත් කන්‍යාභාවය නැති වුණොත් දිවි නහ ගනිමි වැනි අන්තයන්ගේ එල්බ ගෙන නැති බව මා කියන්නේ ඉතා විශ්වාසයෙනුයි. (මේ ගැන නොදන්නා කෙනෙකුට, අවංකව කතා කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් නියැදියක් ගෙන රහස් සමීක්ෂණයක් කිරීමෙන් එය තහවුරු කරගත හැකි වනු ඇත) හැමෝම එක සේ නිර්භීත යැයි මෙයින් කියවෙන්නේ නැහැ. නමුත් ඒ පැරණි තත්ත්වය සීග්‍රෙයන් වෙනස් වී ඇති බව පැහැදිලියි. තමන්ගේ පෙම්වතා සමග රූම්ස් වලට යෑම ආදිය තව දුරටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් අතින් සිදු නොවන විරල සිදුවීමක් යැයි කියනවා නම් ඒ කියන්නා සිටින්නේ විශාල වැරදි වැටහීමකයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ චරිතය ගැන කතා කරද්දී ඇත්තටම එවැනි චරිත තියෙනවාදැයි ප්‍රශ්න කරන රචිකාවිය, චිත්‍රපටියේ නිරූපිත මැඩම් වැනි සිය සැමියාගේ ලෝකය තුළ තම අනන්‍යතාව සොයන ගැහැණුන් අපේ සමාජයේ යථාර්ථයක් නොවන්නේ යැයි කියන්නේ නැත. එවැනි චරිත සැබෑ ලෝකයේ පවතින බව ඇය පිළීගන්නා බවක් එයින් ගම්‍ය වෙයි. එසේ නම් ඒ චරිතය එසේ යථාර්ථවාදීව නිරූපණය කරද්දී, ස්ත්‍රී චරිත ප්‍රතිගාමී ලෙස පිළිබිඹු කරනවායැයි ඇය සිනමා කරුවාට චෝදනා කරන්නේ කෙසේද? එතැනදී ඇගේ තර්කය පරස්පර විරෝධී නොවේද?

විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක වන ඒ ලිපියේ රචිකාව චිත්‍රපටියේ කතා තේමාවට විශ්වවිද්‍යාලය පසුබිම් කරගැනීම ගැන කතාකරමින් එතැනදීත් හදගමට යථාර්ථය මග හැරී ඇති බව කියයි. විශ්ව විද්‍යාල වල ශිෂ්‍යාවන් සහ ආචාර්යවරුන් අතර සම්බන්ධතා ගැන ඇය දරා සිටින මතයත් නිවරදි නොවේ යැයි මට සිතේ. බොහෝ විට පෙළඹුම ඇරඹෙන්නේ ආචාර්යවරුන්ගේ පැත්තෙන් මිස තම මහාචාර්යවරුන් යෝධයන් සේ දකින, ගුරු ගෝල ධූරාවලිය විසින් බය පක්ෂපාතව ඈත් කරවනු ලබන ශිෂ්‍යාවන්ගේ පාර්ශවයෙන් නොවන බව ඇය කියයි. ඒ ඇතැම් විට ඇගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අත්දැකීම් විය හැකියි. නමුත්, විවිධ අරමුණු මත, (ගුරුවරයෙකු කෙරෙහි උපන් දරා ගත නොහැකි අවංක ප්‍රේමයත් අරමුණක් විය නොහැකි යැයි මම නම් නොකියමි) තමන්ගේ අචාර්යවරුන් තමන් වෙතට ආකර්ෂණය කර ගන්නට වෙහෙසෙන, ඔවුන් පස්සේ යන ශිෂ්‍යාවන් නැතිද? එවැනි ශිෂ්‍යාවක නිරූපණය කළ පමණින් එය යථාර්ථයෙන් බොහෝ ඈතය කියා කියන්නට තරම් මනුෂ්‍ය සමාජය ඉරි ගසා වෙන්කොට, ‘මෙහෙමම මිසක් එහෙමනං‘ වෙන්න බෑ කියන්නට පුළුවන් තරම් සරළද?

(චිත්‍රපටියක නිරූපිත චරිත හැමවිටම සමාජයේ බහුලව පෙනෙන චරිතම විය යුතුය කියා මා නම් සිතන්නේ නැත. අධ්‍යක්ෂවරයා තෝරා ගන්නේ තමන්ට කියන්නට ඇති දේ කියන්නට අවශ්‍ය චරිතයයි. එය සමාජයේ ව්‍යතිරේඛයක් වීම චිත්‍රපටියක් විචේචනය කිරීමට හේතුවක් විය නොහැකියි.)

විශාල වශයෙන් ගැහැණු ළමයින් විශ්ව විද්‍යාලවලට ඇතුල් වන, ගැහැණු ළමයින් විශ්ව විද්‍යාල තුළ ඉතා දක්ෂ, දීප්තිමත් විද්‍යාර්ථීන් වන යුගයක මේ චිත්‍රපටියේ ශිෂ්‍යාව පොතක් පතක් කියවන, බුද්ධිමය සංවාදවල යෙදෙන, මිතුරියන් සමග ගැවසෙන කිසිදු දර්ශනයක් චිත්‍රපටියේ නැත්තේ ඇයිද යන්නද ලිපිය තුළ ප්‍රශ්න කෙරෙයි. තමන්ගේ ශරීරය ගැනම පමණක් වෙහෙසෙන, තමන් ආදරය කරන මහාචාර්යවරයා දිනා ගැනීම ජීවිතයේ ඉලක්කය කරගත් කාන්තාවක හැටියට ඇය ඉදිරිපත් කර තිබීම අධ්‍යක්ෂකගේ පුරුෂ මූලික බැල්මේ ප්‍රතිඵලයක් යැයි ඇය තර්ක කරයි. මා දුටු ආකාරයට ඇගේ ඇස අග චිත්‍රපටිය නිර්මාණයේදී සිනමා කරුවා තෝරාගෙන තියෙන්නේ තමන්ට අවශ්‍ය ඉලක්කයට යාම සදහා අත්‍යවශ්‍යම, නොපෙන්නාම, නොකියාම බැරි සුඟ පමණයි. ඔහු දර්ශන තෝරා ගෙන ඇත්තේ ඉතාම සීරුවෙන් අරපරිස්සමටයි. මට එහි අතැම් දර්ශන හයිකු කවියක් වැනි යැයි දැනේනේ එනිසායි. ශිෂ්‍යාවගේ බුද්ධිමත් භාවය හෝ, ඇගේ අධ්‍යයන ජයග්‍රහණ ගැන හෝ, ඇගේ මිතුරියන් ගැන හෝ පෙන්වීම අධ්‍යක්ෂකට තමන්ට අවශ්‍ය කතාව කියන්නට උදව් වෙන්නේ නැත. අයාලේ යමින් දර්ශන නාස්ති නොකිරීම, හොද සිනමාකරුවෙකුගේ ගුණාංගයක් නොවන්නේද?

ඒ ලිපියේ රචිකාවිය මනුෂ්‍ය සම්බන්ධතා යනු සම්මත සරල විසඳුම් හෝ, නිශ්චිත තීරණ මගින් වහ වහා විසඳා පැත්තක තැබිය හැකි ලිපි ගොනු තරම් සරල දෙයක් හැටියට දකින්නේද යන්න මම නොදනිමි. නමුත් ලිපියේ අවසාන පරිච්ඡේද කිහිපයේදී ඇය කතා කරන දේ තුළින් එවැනි අදහසක් කියවන්නාට ඇතිවීම වළක්වනු බැරිය. තමන්ගේ සැමියන් වෙනත් සම්බන්ධතාවන්ට ඇතුල් වූ විට ගැහැනුන් දික්කසාද නොවී පිරිපත උහුලන්නේ හුදෙක් ආර්ථික අනාරක්ෂිත බව හෝ සමාජ අපවාදය නිසාය, නැතිනම් විවාහක යුවලක් අතර ඇති එකම බන්ධනය ලිංගික ආකර්ෂණයයි, එයට අභියෝගයක් එල්ල වූ තැන සම්බන්ධයෙන් ඉවත්වීම තෝරාගත හැකි හොඳම විකල්පයයි, ආර්ථික වශයෙන් ස්වාධීන ගැහැණු ඒ විකල්පය තෝරා ගන්නෝය වැනි සරල රේඛීය, කොටු ගසා යටි ඉරි ඇඳි වැකි විශ්වාස කරන අයෙකුට හැර ජීවිත පිළිබද එතරම් සැහැල්ලු විවරණ දිය හැකිද? චිත්‍රපටිවල කෙසේ පෙන්නුවත් සැබෑ ජීවිතවල නම් බිරිඳ සහ අනියම් පෙම්වතිය ගහ මරා ගන්නා බව කියන ඇය ඊට වෙනස් විකල්පයක් තෝරා ගන්නා අයට වචන වලින් සමච්චල් කරයි. ඇයට චිත්‍රපටිවල පමණක් එවැනි චරිත හමුවන්නේ ඇගේ ජීවන අත්දැකීම් සහ සමාජ ඇසුර පුළුල් එකක් නොවන නිසා ද නැතිනම් ජීවිතයේ සෑම දෙයක්ම න්‍යායක් ඇසුරින් අර්ථ දැක්වීමට පෙළඹෙන නිදාසැයි මට සිතේ. චිත්‍රපටියේ අවසානයේ අධ්‍යක්ෂවරයා ප්‍රෙක්ෂකාගාරයට දෙන පණිවිඩය හැටියට ඇය තේරුම් ගෙන ඇත්තේ ‘ගැහැනුන් සැමියන් අනාචාරයේ යාම නිහඩව ඉවසා සිටිය යුතුය‘ යන්නයි. එය හරියට ‘මනමේ නාට්‍යෙයන් කියන්නේ ගැහැනු චපලයි කියන එක නේද ’ ගණයේ අතිශයින් ප්‍රාථමික විචාරයකි. එනිසා ඇගේ නිගමනය ගැන ඉන් එහාට කරදර වීම තේරුමක් නැත.

කලා කෘතියක කර්තෘ තමන් විසින් හේතු සහගතව තෝරා ගන්නා චරිත, සිදුවීම්, අවස්ථා පෙළ ගස්සවා, කූටප්‍රාප්තියකට ගෙන එන්නේ ඒ ඇසුරින් ප්‍රෙක්ෂකයන් තුළ ජීවිතය සහ සමාජය පිළිබද කිසියම් පරිඥානයක් ඇති කරවීමේ අරමුණෙනි. එනිසා ප්‍රේක්ෂකයන් හැටියට අප කළ යුත්තේ නිර්මාණයක චරිත හෝ සිදුවීම් වෙන වෙනම උගුල්ලා අරගෙන අපට හුරු පුරුදු න්‍යායන්ගේ කෝදුවෙන් ඒවා කිරා මැන බැලීම නොව, නිර්මාණයෙන් නිර්මාපකයා කුළු ගන්වන සමස්ථාර්ථය නිවැරදිව කියවා ගැනීමට උත්සහ කිරීමයි. නිර්මාණයක වටිනාකම නිර්ණය වන්නේ එය ප්‍රේක්ෂකයා වෙතට කිසියම් ආලෝක ධාරාවක් පතිත කරන්නේ නම්ය. ඒ අර්ථයෙන් ගත් විට ඇගේ ඇස අග වටිනා නිර්මාණ යක් යැයි මට සිතේ.
මා නැවතත් කියන්නේ එය අපේ රටේ ගැහැනුන් මග නොහැරිය යුතු චිත්‍රපටියක් බවයි.

Nadie Picනදී කම්මැල්ලවීර | Nadie Kammallaweera