Image Credit: www.visitsrilankatours.com

යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින පිරිස් එකිනෙකට ඉඳුරා වෙනස් මතවාද පළ කරනු දක්නට ලැබේ. පෙර නොවූ විරූ ආකාරයෙන් සිදුවීම් පෙළ ගැසීමත්, ඒවායේ පවතින සංකීර්ණ භාවයත් නිසා, යම් කලක් ගත වන තෙක් නිශ්චිත පුරෝකථනයන් කිරීම උගහට ය.

එහෙත් මේ ආරම්භක අදියරේදී වුව, කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ බි‍්‍රතාන්‍ය සංචාරක ප‍්‍රවණතා ගත් ස්ථානය කෙරෙහි විමර්ශනාත්මක සැළකිල්ලක් යොමු කිරීමත්, ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ බි‍්‍රතාන්‍යයට හිමි වැදගත්කම පිළිබඳ විමසා බැලීමත් වැදගත් වෙයි.

එක්සත් රාජධානිය සම්ප‍්‍රදායිකව ලංකාවේ සංචාරක වෙළඳපොළ තුළ ඉසිලූ ස්ථානය ඉතා වැදගත් ය. 2008 දී ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 18 ක් අයත් වුණේ එක්සත් රාජධානියටයි. ඒ වන තෙක් ශ‍්‍රී ලංකාව තුළ වැඩිම සංචාරක ප‍්‍රතිශතයකට හිමිකම් කී බි‍්‍රතාන්‍යය අභිභවා 2009 දී ඉන්දියාව පෙරමුණට ආවේය. කෙසේ වෙතත්, 2015 වන තෙක් එම අංශයෙන් දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට බි‍්‍රතාන්‍ය සමත් විය. එහෙත් එම වසරේදී ඉන්දියාවත් පරයා චීනය ප‍්‍රමුඛ ස්ථානයට පැමිණීමත් සමග බි‍්‍රතාන්‍යය ඒ අංශයෙන් තුන්වැනි ස්ථානයට පත්විය. එසේ වෙතත්, ශ‍්‍රී ලංකාවට පැමිණෙන මුළු සංචාරක සංඛ්‍යාවෙන් සියයට 10 ක් ඒ වන විටත් නියෝජනය වුණේ බි‍්‍රතාන්‍යයෙනි.

2015 සංචාරකයන්ගේ පැමිණීම සහ ‘විදේශ සංචාරක රාත‍්‍රීන්’

රටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව රටේ සංචාරක ව්‍යාපාරයේ වැදගත් මිම්මක් වශයෙන් ගැනෙතත්, ඊට වඩා වැදගත් නිර්ණායකයක් වශයෙන් සැළකිය යුතුව ඇත්තේ, රටේ සංචාරක ප‍්‍රවණතා නිවැරදි තක්සේරුවක් තුළ නිශ්චිතව ස්ථානගත කළ හැකි වන, ‘විදේශ සංචාරක රාත‍්‍රීන්’ නැමැති සූචියයි. මේ වනාහී, එක් සංචාරකයෙක්, අනුමත කරන ලද නවාතැනක (හෝටලයක) එක රාත‍්‍රියක් ගත කරන්නේද යන්න විමසා බැලීමේ සූචියකි.

මේ මිම්ම තුළ, සංචාරකයන් කොපමණ ප‍්‍රමාණයක් රටට එන්නේද යන්න නොව, කොපමණ රාත‍්‍රීන් ප‍්‍රමාණයක් යම් සංචාරකයෙකු රටේ ගත කරන්නේ ද යන්න සැළකිල්ලට ගැනේ. එම රාත‍්‍රීන් ගණන වැඩි වන තරමට එකී තැනැත්තා රටේ රැඳී සිටින කාලය වැඩි වන අතර, ඊට සමානුපාතිකව එම තැනැත්තා විසින් රට තුළ වියදම් කරනු ලබන ප‍්‍රමාණයත් ඉහළ යයි. ඒ අනුව, රටට ලැබෙන සමස්ත සංචාරක ආදායම ඉහළ යයි.

ඊට අමතරව, වැඩි රාත‍්‍රීන් ගණනක් රටේ ගත කරන විට එකී තැනැත්තා විසින් රට තුළ සංචාරය කරන ස්ථාන ගණනත් වැඩි වෙයි. රට තුළ වැඩිම දින ගණනක් ගත කරන යුරෝපීයයන් සහ බි‍්‍රතාන්‍යයන් සාමාන්‍යයෙන් රට පුරා විවිධ තැන්වලට ගමන් කරන බව පෙනෙන්ට තිබේ. ඒ අනුව, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම, එක ප‍්‍රදේශයකට පමණක් සීමා නොවී, රට පුරා (බොහෝ විට ග‍්‍රාමීය ප‍්‍රදේශ කරා) පැතිරෙයි. ඒ අනුව, ලංකාවට වැඩියෙන්ම පැමිණෙන ජාතිකයන්ගේ රාත‍්‍රීන් සංඛ්‍යාව ගණනය කිරීම වැදගත් වෙයි.

එහිදී අපට දැක ගන්නට ලැබෙන චිත‍්‍රය සිත්ගන්නා සුළු ය.

වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන චීනය ගතහොත්, වසරක් තුළ රටට පැමිණෙන චීන ජාතික සංචාරකයන් ප‍්‍රමාණය 316,247 ක් වන අතර, එම ප‍්‍රමාණය ලංකාවට ඇතුලූ වන මුළු සංචාරකයන් ප‍්‍රමාණයෙන් සියයට 18 ක් වන්නේය. එසේ වෙතත්, ඔවුන් ගත කරන ‘විදේශ සංචාරක රාතී‍්‍රන්’ ප‍්‍රමාණය, 2,033,425 ක් හෙවත් සියයට 11 ක් පමණි. මේ සමග සසඳන විට, බි‍්‍රතාන්‍ය ‘විදේශ සංචාරක රාත‍්‍රීන්’ ප‍්‍රමාණය 2,385,490 ක් හෙවත් සියයට 13 ක් වන්නේය. එය, ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකේම ‘විදේශ සංචාරක රාත‍්‍රීන්’ සංඛ්‍යාව අභිභවා සිටී. එසේ වන්නේ, එම රටවල් දෙකටම වඩා අඩු සංචාරක සංඛ්‍යාවක් (161,845) බි‍්‍රතාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති තත්වයක් තුළ වීම මෙහිදී වැදගත් ය. තවත් විදිහකින් කිවහොත්, චීනයෙන් පැමිණෙන සංචාරක සංඛ්‍යාවට වඩා සියයට 50 කින් අඩු බි‍්‍රතාන්‍ය සංචාරක සංඛ්‍යාවක් රටට ඇතුළු වී ඇති තත්වයක් ඉදිරියේ ය.

එසේ හෙයින්, බි‍්‍රතාන්‍යට අදාළ ‘විදේශ සංචාරක රාත‍්‍රීන්’ පිළිබඳ මිම්ම අනුව, ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ඉහළින්ම සිටින්නේ බි‍්‍රතාන්‍යයි. එහිදී චීනය දෙවැනි ස්ථානයටත්, ඉන්දියාව තෙවැනි ස්ථානයටත් පත්වෙයි. මේ අනුව බලන කල, බි‍්‍රතාන්‍යයෙන් පැමිණෙන සංචාරකයන් විසින් ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම සුළුපටු නොවන බව පෙනී යයි.

බි‍්‍රතාන්‍ය පවුම දුර්වල වීමත්, ගුවන් ගමන් නියාමනයේ සිදුවන වෙනස්කම් සහ යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය වෙන් වීම නිසා ඇති විය හැකි අනිටු ප‍්‍රතිවිපාකත් නිසා එක්සත් රාජධානියේ වෙසෙන්නන් පිටරට ගමන්බිමන්වල යෙදීම, කෙටි කාලීනව අඩු වීමට ඉඩ තිබේ. ඉහත සඳහන් කළ පැහැදිළි කිරීම් අනුව, ලංකාවේ සංචාරක ව්‍යාපාරය කෙරෙහි බි‍්‍රතාන්‍ය සංචාරකයන්ගේ බලපෑම සුළුපටු නොවන නිසා මේ ගැන සැළකිලිමත් වීම අපේ පැත්තෙන් වැදගත් ය.

ඒ අනුව, උපායික වශයෙන්, සංචාරක ප‍්‍රවර්ධන ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම හරහා ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ බි‍්‍රතාන්‍යයේ උනන්දුව එක දිගටම පවත්වා ගත හැකි ක‍්‍රමෝපායන් පිළිබඳ වහා සිතා බැලිය යුතුව තිබේ.

ශ‍්‍රීලාල් මිත්තපාල

2016 ජුලි 6 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ The Importance of British Tourism to Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි