Image By: alchetron.com

දවස් ගණනක සාද ගණනකින් පස්සේ අන්තර්ජාලයට ගොඩ වුනා. පර්සියානු රත්තරං මාලුවා නික්ම ගිහින් බව දැනගත්තේ ඒ වෙලාවේ. එළබෙන හැම අවුරුද්දකම කවුරුන් හෝ නික්මයාමට නියමිතයි. අවුරුද්දක් නිර්මාණය වන්නේ හමුවීම් සහ නික්මයාම් වලින් – අබ්බාස් කිරොස්සාමි – රත්තං මාලුවාගේ නික්මයාම දවස පුරාම මොකද්දෝ මුස්පේන්තුවක් එක් කළා. ඒ දවස ඉවර වෙන්නේ නැති එකක්. සිගරැට් පැකට් එකක් විතර බීලා, මාකට්ටුව වහන්න ඔන්න මෙන්න කියන කොට දිව්වේ වයින් බෝතලයක් ගන්න. ඒක හදිසි – අදිසි අදහසක්.

මේ දීර්ඝ දවසේ හවස් කාලය නික්මයාමේ සාදය සඳහා… වයින්, ගෙයි කෙරවලක තිබිලා හොයා ගත්ත හෂීෂ්. පර්සියානුවෙකුගේ නික්මයාමේ සාදයක් හෂීෂ් නැතිව කොහොමද? පස්සේ හිතුනා ඕපීඑම් ටිකක් තිබුණනම් හොදයි කියලා. අර්ධ සන්ධ්‍යාව ගෙවිලා රාත්‍රිය උදාවුනා. නික්මයාමේ සාදය ආරම්භ කලා. ආරාබි දිග කොලයකට දුංකල හිමීහිට තියන ගමන් කල්පනා කළේ – කිරොස්ටාමිගේ චිත්‍රපට ගැන. නිකමයාම් සාදය ආරම්භකරන චිත්‍රපටය ගැන. ගොඩක් දේවල් තිබුණත් ලොකු බර දේවල් නික්මයාමකට සුදුසු නෑ කියලා හිතුනා.

ඒ නිසා වින්ඩ් විල් කැරි- අස් සුලග අප රැගෙන යාවී තෝරගත්තා. ඒ චිත්‍රපටය නික්මයාමේ සාදයට සුදුසුයි කියලා හිතුන නිසා. ඉරාන සිනාමාව හැමදාම කවියක් වගේ. ආගම්කාරයන්ගේ තොරොම්බල් ඇරැනාමා පර්සියානු හැඩයටම මං කවදත් කැමතිය.

ටෙහෙරාන් නුවර මට තවමත් මතක තියෙන සුවඳ කිසිවක කලවම් නොකළ හෂීෂ් සුවඳ. ඒ සුවඳ කිරොස්ටාමිගේ චිත්‍රපට වල තිබුණා.

නික්මයාමේ සාදය නිසා නික්මයන්න කලින් කියන්න ඕන දේවලා කෙලින් කියන්න ඕනේ. කාමරේ කහ ගැහුණු විදුලි ලාම්පුව සාදයට නොගැලපෙන ගතියක් තිබුණා. ඒ ටිකක් කරදරකාරීයි. ඒ නිසා ඒක නිවලා දැම්මා. පස්සේ පන්දමක් විතර දිග හෂීෂ් සුරුට්ටුව පත්තුකළා. රතුපාට චිලියන් වයින් ටික පර්සියානු චායි කොප්පයකට දාලා පළමු තොළ තියන ගමන් සමුගැනීමේ කතාව අරම්භකලා. කථාව ටිකක් වෙනස් අපි වචන කථා නොකරන්න තීරණය කලා. රෑප තිරය මතට ඇවිල්ල සාදය අරම්භ කලා.

අතරින් පතර දුම් විවේකයන්. ඒ වෙලාවට අපි වචන වලට පෙරලුනා. අපි කෙලින් කථාකලා. රත්තං මාලුවාගේ සිනමාවට කැමති වුනාට මං රත්තං මාලුවාගේ අන්ධ බටහිරකමට කැමති නෑ කියලා – මං මගේ අදහස කෙලින් කිව්වා. අපි හිටගන්න ඕනේ බටහිරත් නොවන නැගෙෙණහිරත් නොවෙන භූගත ගැටෝ අවකාශයක කියලායි මගේ අදහස වුනේ. භූගත ගැටෝවක් වුනාම අදහස් හරි භයානකයි. ඒ අදහස් වලට පුලුවන් බටහිර, නැගෙණහිර ගැන තිබෙන චිත්‍ර අනිත් පැත්තට හරවන්න. ඒ නිසා මං ඒ අවකාශයට කැමතියි කියලා කිව්වා. රත්තරං මාලුවාට මං කියපු ඒවා අහුනාද දන්නේ නෑ. ඒත් කෙලින් කථාකරන්න කලින් තීරණය කරලා තිබුණ නිසා කෙලින්ම කිව්වා.

ආයේ වචන වලින් රෑපවලට – සාදය නිහඬයි. රෑප බලන අතරතුර චිලියානු වයින් සහ පර්සියානු හෂීෂ් දුම් කොච්චර හොදට ගැලපෙනවද කියලා අදහස් ඔලුවට කඩාපාත්වනුනා. සාදය ලතින් ඇමරිකානුවෙකු හිටියනම් කොච්චර අගේද කියලා හිතුනේ ඒ නිසා වෙන්න ඇති. පරිසියානු දුම් සහ ලිතින් රස දකුණු ආසියාතික රස රහස් සමඟ කොච්චර සමීපද කියලා හිතුනාම එකිනෙකා එකිනෙකා උණුසුමින් වැළද ගැනීමේ උණුසුම් ආසාවක් ශරීරයේ කොණකින් පටන් අරන් අතේ පිටි අල්ල කිතිකවන්න වුනා.

සාදය තවමත් වචන නොමැතිව ඇදීගියා. පන්දමක් වගේ දිග සුරුට්ටුව අහවර වන විට මරියා සාදයේ අවසානයට ලංවෙමින් අසල කොට්ටකට ඇලවුනා. අවසන් සුරුට්ටුව ඇස්පියාගෙන විඳින එක් මොහොතක කිරොස්ටාමි- පරිසියානු රත්තරං මාලුවාද සාදය නිමාකරමින් නික්මගොස් තිබුණා.

රාත්‍රිය ගෙවීගොස් දවසේ පළමු කාර්තුව එළබෙමින් කොහේ හෝ ඈතක ඔරලෝසු කනුවක පාන්දර තුනේ ගාණ්ඨාරය නාදවුනා. මමත් නික්මයාමේ සාදය නිමාකරමින් මරියා අසල් කොට්ටයම ගුලිවුනා.

පසන් ජයතිලක | Pasan Jayathilaka