පහත පලවන්නේ පසුගිය ජූනි 08 වන දා පැවැති “උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව” යන මැයෙන් අක්ෂය සාමූහිකය විසින් සංවිධානය කළ සංවාදයේ දී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කේ. සී. සෙන්දිවේල් සහෝදරයා ඉදිරිපත් කළ අදහස් ආශ‍්‍රයෙන් සැකසූ සටහනකි.[@akshaya.lk]

##

අද දින පවත්වන්නට යෙදිලා තියෙන මේ සාකච්ඡාවේදි මූලික කරුණක් විදිහට අපි අරන් තියෙන්නේ උතුරු පළාත් සභාව විසින් යෝජනා කර තිබෙන්නා වූ දේශපාලන තීරණය හා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කල යෝජනාවලිය. විශේෂයෙන්ම මතුකරන්න ඕනේ දේ තමයි ඒ යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය නෙවෙයි. ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ උතුරු පළාත් සභාව. ඇත්ත වශයෙන්ම උතුරු පළාත් සභාව මෙය යෝජනා කරද්දි දෙමළ ජාතික සන්ධානය එවැනි යෝජනාවලියක් ඉදිරිපත් කලේ නෑ. ඒකට හේතුවක් වෙන්නෙ ඒගොල්ලෝ අද පවතින යහපාලනය කියන ආණ්ඩුවත් සමග එකගතා දේශපාලනයක් අරගෙන යාම.

උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් මහතාගේ මූලිකත්වයෙන් මේ යෝජනාවලිය වැඩි බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන තියෙනවා. ඒ ගොල්ලෝ ඉදිරිපත් කලේ තමන් උතුරු නැගෙනහිර පළාතෙන් වැඩිපුර දෙමළ ඡන්ද අරගෙන බහුතර බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවලා තියෙන පාර්ශවයක් හැටියට අපි දෙමළ ජනතාව වෙනුවෙන් මේක ඉදිරිපත් කරනවා කියන කාරණය. අද දෙමළ ජනතාව තුලත්, රට තුලත්, විදේශ රටවල් තුලත්, වැඩිපුර සාකච්ඡාවට ලක්වෙලා තියෙන යෝජනාවලියක් හැටියට අද මේ ඉදිරිපත් කරලා තියෙන ෆෙඩරල් යෝජනාවලිය පත්වෙලා තියෙනවා. මේකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ අලුත් සොයාගැනීමක් නෙවෙයි. මේක 1950 දී එස්. ජෙ. වී. චෙල්වනායගම් මහතාගේ නායකත්වයෙන් තිබුණ තමිල් කොන්ග‍්‍රසය ඉදිරිපත් කරපු යෝජනාවලියෙන් කොටසක් විදිහට, නැත්නම් ඒ යෝජනාවලියේ සාරංශයක් විදිහට හදුන්වන්නට පුලුවන්. පළාත් සභාව ඉදිරිපත් කරල තියෙන ෆෙඩරල් කියන මේ සංකල්පය, නැත්නම් මේ යෝජනාවලිය අපි පක්ෂයක් හැටියට පිළිගන්නේ නෑ.

ඒකට කාරණාව වෙන්නේ මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙන අදහස අපේ රටේ අද පවතින ජාතික ගැටලුවට විසදුමක් වෙන්නේ නෑ කියන කාරණාව. විශේෂයෙන්ම බහුජාතික සමාජයක් තියෙන මේ රට තුල මේගොල්ලෝ යෝජනා කරලා තියෙන මේ යෝජනාවලිය ජාතික ගැටලුවට විසදුමක් විදිහට පිළිගන්න බෑ කියන මතයේ තමයි අපි ඉන්නේ. අපේ සමාජය තුල තියෙන පංතිමය භේදය, පංතිමය ප‍්‍රශ්නය මේ විසදුම හරහා යනකොට ඒක තවත් වෙන්වෙලා යන තත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ පංතිමය වශයෙන් අපේ සමාජය එකතුවෙන්න බැරි තත්වයකට මේ යෝජනාවලිය විසින් තල්ලු කරනවා කියලයි අපි සිතන්නේ. ඒ ගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන ෆෙඩරල් ක‍්‍රමයට යනකොට අපේ සමාජය තුල තිබෙන පංතිම වෙනස පංතිමය වශයෙන් ඉදිරියට එන එක නතර වෙන බවයි අපි සිතන්නේ.

අපේ සමාජයේ තිබෙන ප‍්‍රශ්න ප‍්‍රධාන ගැටලු 4ක් විදිහට අපිට වෙන් කරගන්නට පුලුවන්. එකක් පංතිමය ගැටලුව. අනිත් එක ජාතික ගැටලුව, ඊට පස්සේ කුල බේදය. සිංහල හා දෙමළ සමාජය තුල තියෙන කුල භේදය. හතරවෙනි එක කාන්තාවට එරෙහිව තියෙන පීඩනය. මේ රටේ තියෙන ඒ ගැටලු අතර තුර මේ යෝජනාවලිය හා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන්නේ තනිකර ජාතික ගැටලුව ගැන විතරයි. අනිත් ප‍්‍රශ්න ගැන මේ ගොල්ලෝ කතා කරන්නේ නෑ. ජාතික ගැටලුව ගැන කතා කරන කොටත් ඒගොල්ලන් ඉතිහාසයේ කාලයට ගිහින් එහෙ ඉදන් තොරතුරු අරන් ඇවිත් තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. මෙතැනදි විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි දකුණේ නැත්නම් සිංහල සමාජය තුල සිංහල බෞද්ධ ජාතිවාදය තමන්ගේ ඓතිහාසික අයිතිය ගැන කතා කරලා තමන්ට තමයි මේ රට අයිති කියලා කියන ඒ විදිහටම තමයි දෙමළ ජාතික සන්ධානය එහෙම නැත්නම් දෙමළ ජාතිවාදය ඉතිහාසයට ගිහිල්ලා ඉතිහාසයේ අපි මේ රට පාලනය කලා, මේ ප‍්‍රාන්තය අපි පාලනය කලා, ඒ හින්දා පාලක පංතියක් හැටියට අපිට නැවත ඒ පාලනය දෙන්න ඕනේ කියන ඒ මතයෙන් තමයි ෆෙඩරල් ඉල්ලන්නේ. ඒ විදිහටයි ඒ ගොල්ලන්ගේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි කියන්නේ දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදය ඒවගෙම උතුරේ පටු ජාතිවාදය මේ දෙකම කාලයෙන් කාලයට තමන් තුල තමන් රණ්ඩු කරගෙන තමන් තමා පෝසත් කරගෙන ඇවිල්ල තියෙන ඉතිහාසය තමයි ලංකාව තුල තියෙන්නේ.

මේ නිසාමයි මේ රට තුල වැඩකරන ජනතාවගේ එකගතාවය කියන එක කාලයෙන් කාලයට පිටිපස්සට තල්ලු වෙලා තිබෙන්නේ. මේ තුල පංතිමය බලවේගය එකතු කර ගැනීම සදහා වූ අභියෝගය දිගින් දිගටම පවත්වා ගෙන යනවා මේ රට තුල. එහිදී අපි විශේෂයෙන් බලනවා ඒකට උත්සාහ කරන කාලසීමාව තුල තමයි දෙමළ ඊලම කියන ඉල්ලීම දෙමළ ජාතික ජාතිවාදීන්ගේ පැත්තේ ඉදලා ඉදිරිපත් වෙන්නේ. අපි වමේ පක්ෂයක් හැටියට කිසිසේත් මේ දෙකටම – ඒ කියන්නේ දෙමළ ඊලමටවත් නැත්නම් මේ ගොල්ලෝ කියන මේ ෆෙඩරල් ක‍්‍රමයටවත් අපි කිසිකාලේක එකගවෙලා නෑ. අපි මේ පංතිමය සටනට මුලපුරද්දි මේ ගොල්ලෝ මේක ඉදිරියට දාලා ඒ පංතිමය එකගතාවය නැත්නම් පංතිමය සටනට ලොකු බාධාවක් එල්ල කරනවා.

මේ රටේ ජීවත් වෙන්නා වූ දෙමළ ජනතාව ඒ වගේම මුස්ලිම් ජනතාව හා කදුකර දෙමළ ජනතාව කියන ඒ ජන කොටස් වලට ජාතික ප‍්‍රශ්නයක් තියෙන බව මේකෙන් පෙන්නුම් කරන හැටි අපි පිළිගන්නවා. අපි පිළිගන්නා හැටියට මේ රටේ ජාතික ගැටලුවක් තියෙනවා. මේ රටේ මූලික ප‍්‍රශ්නයක් වන පංතිමය ගැටලුව තාම එහෙම තියෙද්දි මේ ජාතික ගැටලුව ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ලෙස ඉදිරියට ඇවිල්ල තියෙනනා. එම ජාතික ගැටලුව පිළිගන්නා අතර, අපි බලන්නේ ඒකාබද්ධ ලංකාව තුල සියලුම ජන කොටස් එකතුවෙලා සියලුම ජන කොටස් වල අභිලාශයන් ඉටුකරගත හැක්කේ කොහොමද කියන කාරණාව.

අපි පිළිගන්නවා මේ රටේ ජාතීන් හතරක් ජීවත් වෙනවා කියලා. සිංහල, මුස්ලිම්, දෙමළ හා කදුකර දෙමළ කියන ජාතින් හතරක් මේ රටේ ජීවත් වෙනවා කියන එක පිළිගනිමින් ඒ අතර තුර තව බර්ගර් වගේ ජන කොටස් මේ රටේ ජීවත් වෙනවා කියන කාරණාව අපි පිළිගන්නවා. එබැවින් මේ ජන කොටස් වලට විවිධ ප‍්‍රශ්න ගැටලු තියෙන බව අපි පිළිගන්නවා. මෙහිදි මාක්ස්වාදී දෘෂ්ඨි කෝණය හා පංතිමය දුෂ්ඨි කෝණය හරහා බලන විට මේ ගැටලුවට කුමන විදිහේ විසදුමක් ලබා දෙන්න පුලුවන්ද කියන එක තමයි ප‍්‍රධාන කාරණාවක් විදිහට අද ඉදිරියට ඇවිල්ල තියෙන්නේ. ෆෙඩරල් එහෙම නැත්නම් තනි ඊලම වගේ නැතිව මේ රටේ ජීවත් වන්නා වූ සියලුම ජන කොටස් වල අභිලාෂයන් ඉටුකරන්න පුලුවන් සාමූහිකව ජීවත් වෙන්න පුලුවන් රටක් ගොඩනගමින් ඒ රට තුල ඒ විසදුම ලබා ගැනීමට උත්සාහ ගන්න ඕනේ කියන කාරණාව තමයි අපි අවධාරණය කරන්නේ.

අද අපිට ජනතාවගේ පැත්තෙන් එන ප‍්‍රශ්නය තමයි, විශේෂයෙන්ම අපි පක්ෂයක් හැටියට දෙමළ ජනතාව අතර වැඩිපුර වැඩ කරන පක්ෂයක් හැටියට අපි දෙමළ ජාතිවාදීන්ට එරෙහිව කතා කරන විට දෙමළ මිනිස්සු අපෙන් අහනවා ජාතික ගැටලුවට වමේ නැත්නම් සිංහල සමාජයේ තියෙන විසදුම මොකක්ද කියලා. සිංහල සමාජයේ වමේ පක්ෂ මේක මොන දෘෂ්ඨි කෝණයෙන්ද බලන්නේ කියන ප‍්‍රශ්නය ජනතාවගේ පැත්තෙන් එල්ල වෙනවා. විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ සිට බලන කොට ආරම්භයේදී වමේ ව්‍යාපාරය දෙමළ ජනතාව ගැන, රටේ ජීවත්වන සියලුම ජනතාව ගැන කතා කරපු දේශපාලන සංස්කෘතියක් තිබුනා. යුද්ධයත් සමග මේ ජාතිවාදය ගොඩ නැගිමත් සමග ඒ වමේ ව්‍යාපාරය, වමේ නායකයෝ ගොඩක් දෙනෙක් සිංහල බෞද්ධ ජාතිවාදය පැත්තට තල්ලු වෙලා දෙමළ ජනතාව තුල තිබුනා වූ වම පිළිබද විශ්වාසය කඩලා දැම්මා. ඒ පරතරය තාමත් පැවතෙනවා. යුද්ධය ඉවර උනාට පස්සේ ඒ ප‍්‍රශ්නය ඉස්සරහට ඇවිල්ල තියෙනවා සිංහල සමාජය තුල. ඇත්තටම පැරණි මාක්ස්වාදි නායකයන්ට ඇරෙන්න අලුතින් බිහිවෙන මේ සිංහල සමාජය තුල තමන්ගේ ප‍්‍රශ්නයට, දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට කොයිවගේ උත්තරයක්ද ඉදිරිපත් කරන්නේ? ඒ ගොල්ලෝ ඉදිරිපත් කරන විසදුම මොකක්ද? මෙතැනදි අපි බලන්න ඕනේ ඒ ප‍්‍රශ්නය මූලිකත්වය දරාගෙන ඒකට උත්තරයක් දෙන්න අවශ්‍ය වෙනවා. නැතහොත් මේ දෙමළ සමාජය දැන් තල්ලුවෙලා තියෙන පටු ජාතිවාදී තලයේදි තාමත් ඒ ගොල්ලෝ ඒකට හිරවෙලා ඉන්න එක අපිට වලක්වන්න බැරි වෙනවා. ඒ නිසා ජාතික ප‍්‍රශ්නය ගැන සිංහල සමාජයේ වාමාංශික කොටස් දරන අදහස මොකක්ද කියන එක ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්.

@akshaya.lk