Image by: huffingtonpost.in

දූෂණ චෝදනා ලබා සිටි රාජපක්ෂ සනුහරයට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුව අසමත්වීම සමච්චලයට නැගූ රාජපක්ෂ හොරණෑකරුවෝ මාස ගණනාවකට පෙර ගායනා කළ සමුහ ගීතය වූයේ ‘හොරු ඇල්ලුවාද’ යන්නයි.

රාජපක්ෂවරුන්ගේ සිහින ආණ්ඩුවේ විදේශ ඇමැති ලෙස අභිෂේක ලබා සතියක් ගතවන්නටත් පෙර රුපියල් මිලියන 70ක වංචාවක් සම්බන්ධයෙන් රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ අත් අඩංඟුවට ගත් පසු දැන් සමූහ ගීතයේ තනුව වෙනස් වී තිබේ. දැන් ගැයෙන්නේ ‘ දැන් සතුටුයිද’ යන ගීයයි.

තවම හොරු අල්ලන්නට පටන් ගත්තා පමණය. යෝෂිත සහ නාමල් ගිය පාරේ යා යුතු තවත් රාජපක්ෂවාදී හොර දේශපාලනඥයින් රෑනක්ම තවම සිටින්නේ හැලිය රත්වන තුරු දිය කෙළින කකුළුවන් ලෙසය. වැඩිකල් නොගොස් දෙවැනි සමූහ ඝාතනය වන ‘දැන් සතුටුයිද’ වෙනස් කොට ගයන්නට වෙන්නේ පැරණි තාලයක් අලුත් කිරීමෙනි. ඒ මෙසේය: ‘අපි යන්නේ කොයි පාරේ- රාජපක්ෂලා ගිය පාරේ’; අපි යන්නේ වැලිකඩඩඩ- එන්න යන්න වැලිකඩ…’

නාමල් රාජපක්ෂට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි ප්‍රකාශ ලබා දී ඇත්තේ ආණ්ඩුවේ කිසිවකු නොව රාජපක්ෂලාගෙන් වරදාන ලැබූ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරයින් රොත්තකි. එකී සාක්ෂි අනුව පැහැදිලිවම පෙනී යන්නේ නාමල් රාජපක්ෂ මිලියන 70ක මුදලක් අවභාවිත කර ඇති බවයි.

එසේ නමුත් රාජපක්ෂවරුන්ට අනුව දැන් අල්ලා තිබෙන්නේ හොරු නොවේ. දේශපාලන පළිගැනීමක් වශයෙන් අහිංසක මහත්මයෙකි. ඔහු රුදවුම් භාරයට පත් කිරීම අධිකරණයේ සිහින ආණ්ඩුවේ ප්‍රකාශක වන ඩලස් අලහප්පෙරුමට අනුව දේශපාලන තීන්දුවකි.

එහෙත් රාජපක්ෂවාදියකු වන පා.ම. විමල් වීරවංශගේ ඉල්ලීමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව මගින් සම්මත කරන තුරු නව වැට් බදු ඉහළ දැමිම නතර කිරීම දේශපාලන තීන්දුවක් නොවේ. ස්වාධීන තීන්දුවකි.

හිටපු ජනාධිපතිවරයකුද නීතිඥයකුද වන මහින්ද රාජපක්ෂ තවත් තර්කයක් ඉදිරිපත් කරයි. එනම් සිය පුත්‍රයා අත් අඩංඟුවට ගෙන තිබෙන්නේ අල්ලස ලබා දුන් පාර්ශවයෙන් කිසිදු පැමිණිල්ලක් නොමැතිව බැවින් මෙම අත් අඩංඟුවට ගැනීම නීති විරෝධී බවයි. රාජපක්ෂට අනුව කවර හෝ දේශපාලනඥයකු කෝටි ප්‍රකෝටි ගණනින් අල්ලසක් ලබා ගත්තද එම අල්ලස දුන් සමාගම හෝ පුද්ගලයා හෝ පැමිණිල්ලක් නොකරන්නේ නම් වංචාකාර දේශපාලනඥයාට විරුද්ධව පියවර ගත නොහැකිය.

මේ අනුව මෙරට කවරකු හෝ චීන්නුන්ගෙන් හෝ ඉන්දියානුවන්ගෙන් හෝ ඇමෙරිකානුවන්ගෙන් හෝ වෙන කවරකුගෙන් හෝ අල්ලස් ලබා ගැනීම නීතිය හමුවට පැමැණවිය හැක්කේ එකී අදාළ පාර්ශවය පැමිණිල්ලක් කරන්නේ නම් පමණි. තවද ඔහු කියන්නේ තම පුත්‍රයා කළැයි කියන වරද සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශයක් ද නැති බවයි. නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් ඇති චෝදනා නිවැරදිද නැත්ද යන්න තීරණය කරණු ඇත්තේ අධිකරණය විසිනි. එසේ වෙතත් මෙකී මිලියන 70ක අල්ලස නිසා අගතියට පත් පාර්ශවයක් නැතැයි කියන්නේ කීම රාජපක්ෂගේ තවත් මුසාවකි. පොලීසිය අධිකරණයට ඉදිිපත් කළ බී වාර්තාව අනුව නාමල් රාජපක්ෂ එම මුදල් ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ගොඩනැගිළි සංකීර්ණයක් ඉදිකිරීමට පැමිණි ක්‍රිෂ් නම් ඉන්දීය සමාගමකිනි. එවිට අගතිය සිදුවන්නේ මෙරටට නොවේද?

එපමණක් නොව පොලිස් වාර්තාව අනුව නාමල් රාජපක්ෂ ලබා ගත් බවට සැක කෙරෙන මිලියන 450ක් තවත් එවැනි අල්ලසක් වසා දැමීම පිණිස යළි ක්‍රිෂ් සමාගම වෙත මිලියන 400ක් ගෙවා ඇත්තේ ආණ්ඩුවේම ආයතනයකිනි. ඉදින් චෝදනාව අනුව අගතියට පත් පාර්ශවයක් නැතැයි රාජපක්ෂ කියන්නේ කුමන තර්කයක් අනුවද?

රාජපක්ෂට දේශපාලන වශයෙන් අමුකැවී නැත්නම් මෙවැනි තර්කයක් ඉදිරිපත් කරන්නේ නැත. සිය පුත්‍රයා රැඳවුම් භාරයට පත්වීම නිසා පියකු වශයෙන් රාජපක්ෂ මහතාට සිත්වේදනාවක් ඇතිවීම සාධාරණය. නමුත් එළෙස රුඳවුම් භාරයට පත් කිරීම අසාධාරණ බවට රාජපක්ෂ ඉදිරිපත් කරන කරුණූ එම සිත් වේදනාව නිසා සනාථ වන්නේ නැත.

ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ගත් බවට නාමල් රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා මෙරට මුද්‍රිත සහ වෙබ් මාධ්‍ය මගින් සාක්ෂි සහිතව හෙලිදරව් කරන ලද්දේ අද ඊයේ නොවේ. කළක පටන්ය. රාජපක්ෂවරු එම කිසිදු ජනමාධ්‍ය වාර්තාවකට උත්තර බැන්දේ නැත. අද සිදුවන්නේද එයයි. පොලිස් බී වාර්තාවේ එන කිසිදු චෝදනාවක් බොරුයැයි රාජපක්ෂවරු හෝ ඔවුන්ගේ අන්තේවාසිකයින් හෝ කියන්නේ නැත. මේ චෝදනා ඍජුය. ඉන් එකකින් කියැවෙන්නේ නාමල් රාජපක්ෂ විසින් බංගලදේශ ජාතිකයකුට මිලියන 52ක් බැරකර සති කිහිපයකදී එම පුද්ගලයාගෙන්ම මිලියන 50ක් ලබා ගෙන එය ආයෝජනයක් ලෙස පෙන්වා ඇති බවයි. හොරුන්ගෙත් හොරු කම්බ හොරුන්යැයි කියන්නේ මෙවැනි දූෂිත ජාවාරම්වලටය.

එපමණක් නොව රාජපක්ෂ සිය අනුගාමිකයින් රැවැටීම පිණිස අමු කෙප්යක්ද අතහරියි. එනම් මීට වඩා බලගතු ආණ්ඩු පවා පෙරළා දමා ඇති බවයි. ඔහු ඉන් අඟවන කෙප්පය නම් වත්මන් ආණ්ඩුව පෙරළා දමා තමන්ගේ ආණ්ඩුවක් සාදා ගන්නා බවයි.මීළඟ මහා මැතිවරණය නියමිතව ඇත්තේ 2020 වසරේදිය. ඒ සඳහා තවත් වසර හතරක් ගත විය යුතුය. එයට පෙර මේ ආණ්ඩුව පෙරළා දැමීමට නම් පාර්ලිමේන්තුවෙහි බහුතර බලයක් රාජපක්ෂට ලැබිය යුතුය. එය දවල් හීනයක් මිස ඊට වැඩි යමක් නොවේ.

වැදගත් ප්‍රශ්ණය එය නොවේ. රාජපක්ෂ කියන ලෙස මේ ආණ්ඩුව පෙරළා දමා තමන්ගේ ආණ්ඩුවක් පිහිටවූ පසු බැසිල්, නාමල්, යෝෂිත යන රාජපක්ෂවරුන්ට පැවැරී ඇති වංචා දූෂණ නඩු ඉවත් කර ගන්නා බවද? රාජපක්ෂ නොකියා කියන්නේ එයයි. එනම් ‘ අපි බලයට එනවා, ඇවිත් අපේ එවුන් නිදහස් කරනවා’ යන්න නොවේද?

බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ එන්ජීඕවට චීන සමාගම් මුදල් පොම්ප කළේය. මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ හොර හැදුනම්පත් එන්ජිඕවට රතු කුරුසියෙන් කිරිකිරි වාහන නොමිලේ ලැබුණි. නාමල් රාජපක්ෂට ඉන්දීය සමාගම් ගෙවූ මිලියන ගණන් ආ ගිය අතක් නැත. යෝෂිත රාජපක්ෂට රට සවාරි යෑමට සහ ශිෂ්‍යත්ව ලබා ගැනීමට ආයුධ ජාවාරම්කාර පිරිස් සහය වූහ. රෝහිත රාජපක්ෂ යැවූ රොකට් තවම චීන අහසේ විය යුතුය. රාජපක්ෂ පියාගේ සොහොන් කොත් නිමවා මල්වවා කෞතුකාගාරයක් ඉදිකළේ රජයේ ගොඩනැගිළි අරමුදල් අවභාවිතයෙනි. සුනාමි මුදල් රාජපක්ෂගේ පුද්ගලික එන්ජීඕව වූ ‘හෙල්පින් හම්බන්තොට’ ට බැරවුනි. ගෝඨාභය රාජපක්ෂ සුරතලට මිනී මෝරු ඇති කළේ ආණ්ඩුවේ මුදලිනි. ලැයිස්තුව තව බොහෝ දිගය.

ඉදින් රාජපක්ෂ මැතිසදුනි, පළිගැනීම්, පළිගැනීම් යැයි පපුවට ගසා ගන්නවා හැර වෙන මොනවා කරන්නද? දැන් ලෝ වැඩ සඟරාවෙහි එන මේ පද ගායනා කරන්න:

‘කරන කළට පව් මීරිය මීසේ. විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ’’
ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ තේමා ගීතය වශයෙන් ද එය සුදුසුය.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya