යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහුගල ජාතික වනෝද්‍යානය විනාශ කර අලි – මිනිස් ගැටුම වර්ධනය කරයි

පසුගිය කාලය මුළුල්ලේම ක‍්‍රියාත්මක කළ මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව අවතැන්වීම පමණක් නොව වනජීවී රක්ෂිත වල පැවැත්මට දැවැන්ත තර්ජන එල්ල විය. කිසිදු කාලයක නොවූ විරූ ලෙස සිදු වූ මෙම ක‍්‍රියාවලියට අලූතින් එක් වෙමින් පවතින ව්‍යාපෘතිය වන්නේ හැඩ ඔය වාරි ව්‍යාපෘතියයි. මෙහි මූලික පරමාර්ථ ඉතා ම යහපත් වුව ද එය ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ආකාරය පිළිබඳව පරිසර ක‍්‍රියාකාරීන් වන අපට ගැටළු මතු ව තිබේ. මෙම ව්‍යාපෘතිය පරිසරයට, වනජීවී වාසස්ථානවලට හා වනජීවීන්ගේ පැවැත්මට බාධාවක් නොවන පරිදි ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. එහෙත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා හා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ හකීම් මහතා විසින් සවුදි අරාබියෙන් ලැබෙන මුදල් ආධාර යටතේ දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මක කිරීමට යාමෙන් සමාජයීය, ජෛව විද්‍යාත්මක හා පාරිසරික ගැටළු බොහොමයක් උද්ගත විය හැකි බව පෙනෙන්නට තිබේ. පසුගියදා මෙම අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පොතුවිල් හිදී පැවති රැස්වීමේ දී මේ ව්‍යාපෘතිය කෙසේ හෝ කි‍්‍රයාත්මක කරන බවට ජනතාවට පොරොන්දු වී තිබේ.

හැඩ ඔය ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තාව Feasibility report on Heda oya reservoir project නමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් 2006 ඔක්තෝම්බර් මාසයේ දී සකස් කර අවසන් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ක‍්‍රියාවට නැංවීමට යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් සමාජයීය හා පාරිසරික බලපෑම් බොහොමයක් උද්ගත විය හැකි බව අප විසින් සිදු කරන ලද අධ්‍යයන වල දී අනාවරණය වී තිබේ.

අම්පාර දිස්ත‍්‍රීක්කයේ ලාහුගල හා පොතුවිල් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ලාහුගල, පානම හා පොතුවිල් යන ප‍්‍රදේශවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හා වාරි ජලය සැපයීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ව ඇත. ව්‍යාපෘතියේ මූලික අරමුණ යහපත් වුව ද එය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රමවේදය සැලකිල්ලට ගත් විට ගැටළු ගණනාවක් පැන නගින බව පෙනී ගොස් තිබේ. එ් අතුරින් ප‍්‍රධාන වන්නේ අලි – මිනිස් ගැටුම වර්ධනය වීමත් සමඟ මතු වන සමාජයීය ගැටළු ය. ජනතාවගේ වගා බිම් විශාල ප‍්‍රමාණයක් මෙම ව්‍යාපෘතියට යට කිරීමට සිදු වීමෙන් බොහෝ ගොවි ජනතාවක් අවතැන් වීම තවත් ගැටළුවකි. මීට අමතර ව රක්ෂිත වනාන්තර මධ්‍යයේ වනජීවී වාසස්ථාන විනාශ කරමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබීම අනෙක් ප‍්‍රධාන ගැටළුවයි.

හැඩ ඔය ව්‍යාපෘතියේ ස්වභාවය

මෙම ව්‍යාපෘතිය සිදු කරන සමස්ත ප‍්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය තුළ හා එහි මායිමේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඹුක්කන රක්ෂිතය තුළ හා ලාහුගල යෝජිත රක්ෂිතය තුළ පිහිටා තිබේ.

මෙම වාරි ව්‍යාපෘතියට අදාළ ජලාශය ඉදි කරනු ලබන්නේ මොණරාගල දිස්ත‍්‍රීක්කයට අයත් සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ ය. හැඩ ඔය හරහා තනන කිලෝ මීටර 3.9 ක් දිග හා උස මීටර 25 ක් පමණ වන වේල්ලක් මඟින් ජලය එක් රැුස් කර හෙක්ටයාර 476 ක (අක්කර 1175) ප‍්‍රමාණයෙන් යුත් හැඩ ඔය ජලාශය ඉදි කරනු ලැබේ. ජලාශයේ ධාරිතාව අක්කර අඩි 119,000 කි.

මෙම ජලාශය ඉදි කිරීම සඳහා මොණරාගල දිස්ත‍්‍රීක්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගොවි බිම් අක්කර 1100 කට වැඩි ප‍්‍රමාණයක් ජලයෙන් යට කර දැමීමට නියමිත ය. ජලාශයේ ජලය හැඩ ඔය දිගේ පහළට ගෙනවිත් ගල් අමුණ ප‍්‍රදේශයේ දී හැඩ ඔයේ තනන ජල හැරවුමකින් හැඩ ඔය දෙපස ප‍්‍රදේශයට ජලය රැුගෙන යෑමට නියමිතව ඇත. මෙහි දී සකස් කරන වම් ඉවුරු ඇළ කිලෝ මීටර 16.5 ක් දිග වන අතර එහි කිලෝ මීටර 3 ක කොටසක් කොන්ක‍්‍රීට් ඇළ මාර්ගයක් ලෙස සකස් කිරීමට නියමිත ය. වම් ඉවුරු ඇළෙන් ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහ වැව හා කිතුලාන වැව මෙන්ම පිටතින් පිහිටි සෙංගමු වැව, කරඳ වැව හා රොට වැව යන වැව් වලට ද ජලය සැපයීමට නියමිත ය.

දකුණු ඉවුරු ඇළ කිලෝ මීටර 20 ක පමණ දිගින් යුක්ත ය. එහි කිලෝ මීටර 4ක් කොන්ක‍්‍රීට් වලින් සකස් කිරීමට නියමිත ව ඇත. මෙම ඇළෙන් ප‍්‍රධාන වශයෙන් මීයංගොඩ වැව හා රද්දල් වැවට ජලය සැපයීමට නියමිත ව තිබේ. වම් ඉවුරු ඇළෙන් ගොවි බිම් හෙක්ටයාර 2500 කට (අක්කර 6180) වාරි ජලය ලබා දේ. මේ යටතේ දැනට වගා කරන ගොවි බිම් අක්කර 4805 (හෙක්ටයාර 1945) කට හා අලූතින් බිහි කරන ගොවි බිම් අක්කර 1375 (හෙක්ටයාර 555) කට වාරි ජලය සැපයීමට නියමිත ව ඇත.

දකුණු ඉවුරු ඇළෙන් දැනට වගා කරන ගොවි බිම් අක්කර 2135 කට (හෙක්ටයාර 864) හා අලූතින් වගාබිම් අක්කර 300 ක් (හෙක්ටයාර 121) ඇති කර වාරි ජලය ලබා දීමට නියමිත ය. මේ අනුව දකුණු හා වම් ඉවුරු ඇළ යටතේ වගා බිම් හෙක්ටයාර 3485 කට වාරි ජලය සැපයීමට යෝජිත ය. සමස්ත ව්‍යාපෘතිය යටතේ අලූතින් වගා කිරීම සඳහා ගොවි බිම් අක්කර 1675 ක් (හෙක්ටයාර 678) බිහි කිරීමට ද නියමිත ය. මෙම ගොවි බිම් සැකසීම සඳහා සෙංගමුව හා රද්දැල්ල ප‍්‍රදේශයේ (ලාහුගල යෝජිත රක්ෂිතයට අයත්) කුඹුක්කන වන රක්ෂිතයේ හා ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිත ව පිහිටි වනාන්තර බිම් එළිපෙහෙළි කිරීමට නියමිත ව ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහ වැව ප‍්‍රතිසංස්කරණය කිරීමට යෝජිත ය. එහි දී මහ වැවේ වැව් බැම්ම උස්කර වැවේ ජල රැුදවුම් ධාරිතාව වැඩි කිරීමට නියමිතව ඇත. මේ අයුරින් සිදු කිරීමට යෝජිත ව්‍යාපෘතිය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යන්නේ සමස්ථ ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවන ප‍්‍රතිලාභ වලට වඩා වැඩි පාරිසරික, ජෛව විද්‍යාත්මක හා සමාජයීය බලපෑම් බොහොමයක් උද්ගත විය හැකි බවයි.


වනජීවී වාසස්ථාන වලට ව්‍යාපෘතියෙන් සිදුවන බලපෑම

ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරනු ලබන ඉඩම් හා වාරි ව්‍යාපෘතියට සමගාමීව සකස් කරනු ලබන ඇළ මාර්ග පද්ධතිය, මහා මාර්ග පද්ධතිය ව්‍යාප්තව ඇත්තේ සෙංගමුව හා රද්දැල්ල යන ප‍්‍රධාන අලිමංකඩ හරහා ය. කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානයේ සිට අලි ඇතුන් වියළි කාල වල දී ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානට, රොට වැව හා බක්මිටියාව වැව ආදී ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වන්නේ සෙංගමුව හා රද්දැල්ල වනාන්තර ප‍්‍රදේශ හරහා ය. විශේෂයෙන් ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් යන වියළි මාස කිහිපය තුළ දී මෙම සංක‍්‍රමණයන් සිදු වේ. මීට අමතරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යෝජනාවකට අනුව ගල්ඔය ජාතික වනෝද්‍යානය, ගල්ඔය නිම්න නිරිතදිග අභය භූමිය, සාගමම් අභය භූමිය, බක්මිටියාව වැව හා රොට වැව ආශ‍්‍රිත ප‍්‍රදේශ වල සිට ලාහුගල-කිතුලාන ජාතික වනෝද්‍යානය හරහා කුඩුම්බිගල-පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානය දෙසට අලින්ගේ සංක‍්‍රමණික මාර්ගය විහිදී ඇති සෙංගමුව හා රද්දැල්ල ප‍්‍රදේශ අලි මංකඩක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ සූදානමක් පවතී. ඒ සඳහා අවශ්‍ය මූලික ක‍්‍රියා මාර්ග වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මඟින් මේ වන විට ඒකාබද්දව කි‍්‍රයාවට නංවමින් සිටී. නමුත් මේ තත්ත්වයට විශාල බාධකයක් හැඩ ඔය ව්‍යාපෘතියෙන් සිදු විය හැකිය.

අලි මංකඩ හරහා කොන්ක‍්‍රීට් ඇළ මාර්ග පද්ධති බිහි කිරීම, වගාබිම් ඇති කිරීම, මාර්ග පද්ධති සකස් කිරීම හේතුවෙන් අලිමංකඩ සම්පූර්ණයෙන්ම අවහිර වීම සිදු වේ. මේ තත්ත්වය අලින්ගේ වාසස්ථාන කණ්ඩනය වීමටත් අලි – මිනිස් ගැටුම වර්ධනය වීමටත් ඉතා දරුණු ලෙස බලපෑ හැකිය. ලාහුගල ප‍්‍රදේශයේ පවතින අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අද වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගම්මාන මායිම් වන පරිදි විදුලි වැටක් ඉදි කර අලි මංකඩ ක‍්‍රමානුකූලව විවෘත කර ඇත. නමුත් මෙම ව්‍යාපෘතියත් සමඟ ම එය ප‍්‍රතිඵල රහිත තත්ත්වයකට පත් විය හැකි අතර අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා තවත් විශාල මුදලක් වැය කර විදුලි වැටක් ඉදි කිරීමට හා එය පවත්වාගෙන යාමට සිදු වේ. එසේ නොවුනහොත් මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ලාහුගල-කිතුලාන ජාතික වනෝද්‍යනය තුළ පිහිටි මහ වැව ප‍්‍රතිසංස්කරණය කිරීමට යෝජිතව ඇත. මහ වැව යනු අලින්ගේ ප‍්‍රධාන ආහාර බිමකි (ගොදුරු බිමකි.*. මහ වැවේ වැඩෙන බේරු පන් මෙම ප‍්‍රදේශයේ අලින්ගේ ප‍්‍රධාන ආහාරය වේ. මේ නිසා මෙම ප‍්‍රදේශයේ අලි-ඇතුන්ට ආහාර සඳහා ගැටළු මතු නොවේ. නමුත් යෝජිත ව්‍යාපෘතිය යටතේ මහ වැවේ වැව් බැම්ම උස් කර රදා පවතින ජල ධාරිතාව වැඩි කිරීමත් සමඟ සිදු වන්නේ බේරු පන් විනාශ වීමයි. එවිට අලින්ට පෝෂක ශාක හිඟයක් ඇති වීමේ වැඩි අවධානමක් පවතී. එබැවින් ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීමට මෙම ව්‍යාපෘතිය හේතු විය හැකිය. මෙම ව්‍යාපෘතිය යටතේ ජලාශය ඉදි කිරීම සඳහා මොණරාගල දිස්ත‍්‍රීක්කයේ වගා බිම් හෙක්ටයාර් 476 ක් ජලයෙන් යට කර දැමීමට නියමිතය. එම වගා බිම්වලට විකල්පයක් ලෙස හා අවතැන් වන හා වගාබිම් අහිමි වන ජනතාවට නව වගා බිම් හා ජනාවාස ලබා දීම සඳහා සෙංගමුව හා රද්දැල්ල ආශ‍්‍රිතව පිහිටි වනාන්තර ඉඩම් හෙක්ටයාර් 678ක් එළිපෙහෙළි කිරීමට සිදු වේ. මෙය ව්‍යාපෘතියේ ඉතා හානිකර තත්ත්වයකි.

හැඩ ඔය මොණරාගල දිස්ත‍්‍රීක්කයේ පිහිටි මරගල කඳුවැටියෙන් ආරම්භ වී පහළට ගලා එන ඔයකි. මෙම ඔයේ සම්පූර්ණ ජලධාර ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර 604 කි. හැඩ ඔයේ ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් බොහොමයක්ම (යෝජිත හැඩ ඔය ජලාශයට හැඩඔය වාරි ව්‍යාපෘතියෙන් අවතැන් වන අලි – ඇතුන් ඉහළින් පිහිටි) එළිපෙහෙළි කර වගාබිම් බවට පත්කර ඇති අතර ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට ගොදුරු වීමට ඉඩකඩ ඇත. එබැවින් හැඩ ඔය හරස් කර වේල්ලක් ඉදි කිරීමෙන් ඉතා කෙටි කාල සීමාවක් තුළ දී රොන්මඩින් පිරී ගොස් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ ලබාගැනීමේ දී ගැටළු මතු විය හැකිය. මේ නිසා ව්‍යාපෘතිය සදහා වැය කරන අති විශාල මුදලට හා වගාබිම් යට කිරීමට සාපේක්ෂව සැළකිය යුතු ප‍්‍රතිලාභ හිමිවේ ද යන්න ගැටළුවකි. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනයවන වනාන්තර බිම් තුළ හා එහි මායිමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් ඉදිරියේ දී රක්ෂිත වනාන්තර අනවසරින් අල්ලා ගැනීම වර්ධනය වීමට මේ තත්ත්වය හේතු විය හැකි ය. වර්තමානය වන විට ද රද්දැල්ල හා සෙංගමුව ප‍්‍රදේශවල වනාන්තර ඉඩම් අනවසරින් අල්ලාගෙන එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම ඉතා සීග‍්‍රයෙන් සිදු වේ. එම තත්ත්වය වර්ධනය වීමක් මෙම ව්‍යාපෘතියෙන් සිදු විය හැකි ය. ඒ සඳහා ව්‍යාපෘතියත් සමඟ ම වනාන්තර තුළ ඉදි කෙරෙන මාර්ග පද්ධති හා ඇළ මාර්ග පද්ධති රුකුලක් විය හැක.

යෝජිත ව්‍යාපෘති බිමේ වත්මන් හානිකර කි‍්‍රයා

එ්.එල්.එම්. අතවුල්ලා හා රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කර තිබේ. සාගම වැවේ හා පන්නල් ඔයේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයක් හා අලි – ඇතුන් ඇතුළු ව සුවිශේෂී ජෛව ප‍්‍රජාවකට රැුකවරණය සලසන මෙම රක්ෂිතයේ තෘණ භූමි හා වනාන්තර එළිපෙහෙළි කරමින්, වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින්, වගාබිම් ව්‍යාප්ත කිරීම සිදු කර ඇත. මේ නීති විරෝධී වගා බිම් වලට ද මෙම ව්‍යාපෘතිය යටතේ වාරි ජලය ලබා දීමට නියමිත ය. එ් හේතුවෙන් ම රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කරමින් අනවසර වගා බිම් ව්‍යාප්ත කිරීම ද මේ වන විට සීග‍්‍රයෙන් කි‍්‍රයාත්මක කරමින් තිබේ.

වන සංරක්ෂණ ආඥ පනතට අනුව 2010 ඔක්තෝබර් 01වන දින අංක 1673/45 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 47136ක් වන බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම වන රක්ෂිතය, ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානයට මායිම් වන අතර ඉතා විශාල අලි ගණනකට රැකවරණය සලසන ප‍්‍රදේශයකි. මෙම වනාන්තරය හා තෘණ බිම් එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් එ් ආශ‍්‍රිත ව පිහිටි සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ යන ගම්මානවලට පිවිසීමෙන් මේ වන විට අලූතින් අලි – මිනිස් ගැටුමක් උද්ගතවෙමින් පවතී. මෙවන් හානි කර තත්ත්වයන් ඇති කිරීමට පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් රජයේ වගකිව යුතු අමාත්‍යාංශ භාරව කටයුතු කරන ඇමතිවරුන්ගේ සහයෝගය ලබා දීම පිළිබඳව අප කණගාටු වෙමු.

නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන සමහර ප‍්‍රදේශ කිරි ගොවිතැන වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි වේ. මහජන ආරක්ෂක ආඥ පනත යටතේ 1976.09.17 වන දින අංක 231 දරන ගැසට් නිවේදනයෙන් අක්කර 4000ක භූමි ප‍්‍රදේශයක් වට්ටමඩු තෘණ බිම ලෙස අලයාඩිවිම්බු කිරිගොවීන් සඳහා අම්පාර දිස්ති‍්‍රක් ලේකම් විසින් වෙන් කර තිබේ. එම ප‍්‍රදේශය අද වන විට බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතයට ඇතුළත් කර තිබේ. මෙම තෘණ භූමිය කිරි ගොවි පවුල් 168කට අයත් කිරි ගවයන් 15,000ක පමණ ප‍්‍රධාන පෝෂක තෘණ භූමියකි. මෙම ප‍්‍රදේශය බලහත්කාරයෙන් අත්පත් කරගෙන වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් කිරි ගොවි කර්මාන්තයේ නිරත ජනතාව දැඩි අසීරුතාවයකට පත් ව සිටී.

පන්නල් ඔයේ හා සාගම වැවේ ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශයක් වන මෙම වනාන්තරය හා තෘණ භූමි එළිපෙහෙළි කිරීම හේතුවෙන් සාගම වැව යටතේ වගා කටයුතු සිදු කරන සාගම වෙල් යායේ යල මහ දෙකන්නයේ වගා කටයුතු සිදු කිරීමට ජලය හිඟ වීමෙන් ගොවි ජනතාවට ගැටළු රැුසකට මුහුණ දීමට ද ඉදිරියේ දී සිදු වනු ඇත. හැඩ ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් ම මෙවන් ඉඩම් කොල්ලයක් සිදු කිරීමෙන් පෙනී යන්නේ ඉදිරියේ දී මේ ප‍්‍රදේශයේ රක්ෂිත වනාන්තර ඇතුළු ජනතාව පරිහරණය කරන බොහෝ භූමි ප‍්‍රදේශ දැඩි අවධානමකට ලක් විය හැකි බව ය.


වත්මන් රජයේ යහපාලන ප‍්‍රතිපත්ති උල්ලංඝනය කිරීම

මෙවර ජනාධිපතිවරණයේ දී ”මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්” මැයෙන් ඉදිරිපත් කළ වත්මන් ජනාධිපතිතුමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබා දහම රැුක ගැනීම කොටසෙහි සඳහන් වන්නේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර එ්වායේ සුරක්ෂිතතාව පිළිබඳව වග බලා ගැනීමට කටයුතු කරන බව ය. නමුත් හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය ඇතුළු ආරක්ෂිත වනාන්තර වැනසීමට පිඹුරුපත් සැකසීමෙන් පෙනී යන්නේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කරුණු උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කරන බව ය.

මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තවදුරටත් සඳහන් වන්නේ සංවර්ධන වැඩසටහන් වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් ඇගයීම අනිවාර්යය කරන බව යි. නමුත් හැඩ ඔය වාරි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනතාවට පොරොන්දු දීමට හෝ සවුදි අරාබියෙන් මුදල් ආධාර වෙන් කර ගැනීමට ප‍්‍රථමයෙන් කිසිදු ආකාරයක පරිසර බලපෑම් ඇගයීමක් සිදු කර නොමැත. ජනාධිපතිවරණයට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ වත්මන් ජනාධිපතිතුමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අද වන විට එ් ආකාරයෙන් ම කි‍්‍රයාත්මක නොකිරීමෙන් පෙනී යන්නේ එම ලේඛනය ජනතාව මුලා කිරීමට පමණක් භාවිතා කළ එකක් බව ය.

මෙවර මහ මැතිවරණයේ දී වත්මන් රාජ්‍ය බලය හිමි එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ”මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ කි‍්‍රයාවලියට” අනුව අලි – මිනිස් ගැටුම පාලනයට කි‍්‍රයාමාර්ග ගන්නා බව සඳහන් වේ. නමුත් හැඩ ඔය ව්‍යාපෘතිය හරහා සැලැසුම් කරන්නේ අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමකි. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ද සඳහන් කර ඇත්තේ අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ය. මේ සියල්ල හැඩ ඔය වාරි ව්‍යාපෘතිය ඉදිරියේ පුස්සක් බවට පත් වී ඇත.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල කුමන සාධනීය කරුණු ඇතුළත් වුව ද කි‍්‍රයාත්මක යාන්ත‍්‍රනය තුළ දී එ් සියල්ල නොතකා හැරීම රටක විනාශයට හේතු වේ. මින් සිදු වන්නේ ජනතාව මුලා කිරීම පමණක් නොවේ. එ් හරහා රටේ ස්වාභාවික සම්පත්, අනාගත පරපුර ඇතුළු සමස්ථය බිඳ වැටීමට ලක් වේ. තාවකාලිකව බලයට පත් වන රජයක මැති ඇමතිවරුන්ට තම අභිමතය පරිදි රක්ෂිත ප‍්‍රදේශ විනාශ කරමින් වත්මන් හා අනාගත පරපුරේ සම්පත් වනසා දැමීමට කිසිදු අයිතියක් නොමැත.

ව්‍යාපෘතියට අදාළ නීතිමය තත්ත්වය

මෙම ව්‍යාපෘතියේ ස්වභාවය හා එය ස්ථානගත කරන ප‍්‍රදේශයේ ස්වභාවය සැළකිල්ලට ගත් විට මෙය පාරිසරික අණ පනත් ගණනාවකට යටත් වන බව පෙනී යයි. ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය තුළ හා එහි මායිමේ මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ව ඇති බැවින් 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට යටත් වේ. මෙම පනතේ 2අ වගන්තියට අනුව, ජාතික වනෝද්‍යානයක් තුළ යම් සංවර්ධන ක‍්‍රියාවලියක් සිදු කළ හැකි වන්නේ කළමනාකරණ සැලැස්මකට යටත් ව පමණි. එය වනජීවී කළමනාකරණ සැලැස්මක් මිස වෙනත් භෞතික සංවර්ධන සැලැස්මක් නොවේ. ඊට පරිබාහිරව සංවර්ධන කටයුතු සිදු කළ නොහැකි ය. එය සිදු කළ හැකි වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ මූලික පරමාර්ථය වන වනසතුන් හා වෘක්ෂලතා ආරක්ෂා කිරීම යන කාරණාවට එකඟ ව පමණි.

ජාතික වනෝද්‍යානයක් තුළ මීට පරිබාහිර සංවර්ධන කටයුත්තක් සිදු කිරීම මෙම පනතේ 6 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි. එම වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක අවසර පත‍්‍රයක් යටතේ සංචාරක කටයුතු වල නිරත වීම හැර අනෙක් ඕනෑම මානව කි‍්‍රයාකාරකමක් නීති විරෝධී වේ. එවන් නීති විරෝධී කි‍්‍රයාවක නිරත පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට මෙම පනතේ 6(4) වගන්තියට අනුව වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට ලක් කළ හැකි ය.

මෙවන් නීති රීති ජාතික වනෝද්‍යාන ලෙස ප‍්‍රකාශයට පත් කරන සුවිශේෂී වනජීවී වාසස්ථාන ආරක්ෂා කිරීමට තිබිය දී ගාමිණී විජිත් විජයමුණි සොයිසා හා රවුෆ හකීම් යන අමාත්‍යවරුන්ට රිසිසේ මේවා වැනසීමේ හැකියාවක් නොමැත.

එපමණක් නොව මෙම ආඥා පනතේ 9 අ (1) හා (2) වගන්ති වලට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමට ප‍්‍රථම වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. ඒ සඳහා ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇඟයීම් ක‍්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු වේ. ඉන් පරිභාහිරව කිසිදු සංවර්ධන කි‍්‍රයාවලියක් ජාතික වනෝද්‍යානයක මායිමේ සිදු කළ නොහැකි ය.

ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය තුළ හා එහි මායිමේ කි‍්‍රයාත්මක කිරීමට යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියට මෙම නීති රීති සියල්ල වලංගු වේ. වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ වසර කිහිපයක් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා මේ නීති රීති පිළිබඳව නොදැන සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වීම හාස්‍යයට කරුණකි.

කුඹුක්කන වන රක්ෂිතය මෙම වාරි ව්‍යාපෘතිය යටතේ එළිපෙහෙළි කිරීමට යෝජිත ව ඇති බැවින් 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතට යටත් වේ. මෙම පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයක කිසිදු සංවර්ධන කි‍්‍රයාකාරකමක් සිදු කළ නොහැකි ය. එවන් කි‍්‍රයාවක නිරතවන පුද්ගලයකු හෝ එ් සඳහා ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයකු ද වැරදිකරුවකු වන අතර වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි ය. වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය. මෙවන් දැඩි නීති රීති යටතේ මෙම වනාන්තර පාලනය වන්නේ වනජීවීන්ට ඇති රැුකවරණය නිසා පමණක් ම නොවේ. ජල පෝෂක ලෙස ඇති වටිනාකම හේතුවෙන් කෘෂි කර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීම, අලි – මිනිස් ගැටුම පාලනය කිරීම පමණක් නොව වර්තමාන හා අනාගත පරපුරේ යහපැවැත්ම තහවුරු කිරීම ද මෙම රක්ෂිත වනාන්තර වලින් සිදු වන නිසා ය. එබැවින් මෙම නීති රීති උල්ලංඝනය කර රක්ෂිත වනාන්තර විනාශ කර හැඩ ඔය වාරි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට මෙම අමාත්‍යවරුන්ට කිසිදු අයිතියක් නැත.

මේ අණ පනත් වලට පමණක් නොව ව්‍යාපෘතියේ ස්වභාවය මත 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට ද යටත් වේ. මේ පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව, සියලූම ගංඟා ද්‍රෝනි සංවර්ධන හා වාරිමාර්ග ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිම, හෙක්ටයාර් 1කට වැඩි කැලෑ, කැලෑ ආශ‍්‍රිත නොවන ප‍්‍රයෝජනයක් සඳහා ලබා ගැනීම, හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීම යන අවස්ථා වල දී පරිසර බලපෑම් ඇඟයීම් ක‍්‍රියාවලියට යටත් ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් තවම මෙම ව්‍යාපෘතිය එවන් අදියරකට අවතීර්ණ වී නොමැති නමුත් ජනතාවට පොරොන්දු වී ඇත්තේ හා මේ සඳහා ණය ආධාර සපයාගෙන ගෙන ඇත්තේ මෙම ව්‍යාපෘතිය කෙසේ හෝ කි‍්‍රයාත්මක කරන බවට පූර්ව නිගමනය මත පදනම්ව වීම පුදුමයට කරුණකි. යහපාලනයේ මූලික සංකල්ප වන සභාගීත්ව ප‍්‍රවේශය, නීතියේ ආධිපත්‍යය යන කිසිදු කරුණක් මෙහි දී සැලකිල්ලට ගෙන නොමැත. මෙම ව්‍යාපෘතිය හමුවේ වත්මන් රජයේ යහපාලන සංකල්ප රජයේ අමාත්‍යවරු විසින් ම අභියෝගයට ලක් කර ඇත.

විකල්ප දෙසට යොමු විය නොහැකි ද?

යෝජිත හැඩ ඔය ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන්නේ ලාහුගල, පානම හා පොතුවිල් ගම්මාන සංවර්ධනය කිරීමයි. මෙම ගම්මාන සංවර්ධනය කිරීමේ දී වාරි ජලය හා පානීය ජලය ලබා දීම ව්‍යාපෘතියේ ප‍්‍රධාන පරමාර්ථය ලෙස අවබෝධ කර ගෙන තිබේ. එ් සඳහා විකල්ප බොහොමයක් පවතී. සංවර්ධනය කළ යුතු ගම්මාන ආශ‍්‍රිත ව ප‍්‍රධාන ජල ප‍්‍රභව 03ක් පවතී. එනම් හැඩ ඔය, කරඳ ඔය (ජලධාර ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් 422) හා විල ඔය (ජලධාර ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් 484) යි. මෙම ජල මූලාශ‍්‍ර ආධාරයෙන් ජල අර්බුදය පවතින ප‍්‍රදේශ වල වැව් පද්ධති සකස් කිරිම තුළින් වාරි ජලය හා පානීය ජලය සැපයීමේ හැකියාව ඇත. එහි දී ප‍්‍රධාන ගංඟාව හරස් කර වැව් ඉදි කිරීම වෙනුවට ජල හැරවුම් උපයෝගී කර ගෙන ජලය වැව්වලට පිරවීම සිදු කළ හැකිය. එමගින් රොන් මඩ පිරීමෙන් ඇති වන හානිය ද අවම කර ගත හැකි වනු ඇත.

වගා කළ හැකි ගොවි බිම් විශාල ප‍්‍රමාණයක් ජලාශයට යට කිරීම වෙනුවට වගා බිම් ආශ‍්‍රිත ව කුඩා වැව් ඉදි කර ජලය රඳවා ගැනීම සිදු කළ හැකි ය. එමඟින් හැඩ ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන ජනතාවට විකල්ප ඉඩම් ලෙස වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර ලබා දීම වෙනුවට එම බිම් අලින්ගේ ගැවසුම් ප‍්‍රදේශ ලෙස ඉතිරි කර තැබීමේ හැකියාව ඇත. අනවශ්‍ය ලෙස ගොවි බිම් ජලාශයට යට කර දැමීම ද එමඟින් පාලනය කර ගත හැකිවනු ඇත.

සැළසුම් සහගතව මෙවැනි ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමෙන් ලාහුගල, පානම හා පොතුවිල් ප‍්‍රදේශවල පවතින වාරි ජල ප‍්‍රශ්නය හා පානීය ජල ප‍්‍රශ්නය විසඳා ගත හැකි අතර එ් සඳහා ඉතා අධික මුදලක් වැය කිරීමට ද සිදු නොවේ. එවිට මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත ඇති දැවැන්ත මුදලේ අතිරික්ත කොටස මෙම ප‍්‍රදේශවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා යෙදවීමේ හැකියාව තිබේ.

එවන් විකල්පයකට යොමු නොවී පාරිසරික, සමාජයීය හා ජෛව විද්‍යාත්මක ගැටළු මතුවන සහ අධික මුදලක් නිකරුනේ වැය කරන හැඩ ඔය වාරි ව්‍යාපෘතිය තිරසාර ව්‍යාපෘතියක් බවට පත් කර ලාහුගල, පානම හා පොතුවිල් ගම්මාන සංවර්ධනය කිරීම සඳහා යොදවන ලෙස වගකිව යුත්තන්ට අවධාරණය කර සිටිමු.

Sajeewa Chamikaraසජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය