වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පෙර රජ දවස දක්වා ඈතට ඇදී යන අතර මෙරට කරවූ ඉපැරණි රජවරුන් ඒ සඳහා අත්පොත් තබන්නේ වනජීවීන් වෙනුවෙන් වෙන් කෙරුණු ලෝකයේ ප්‍රථම අභය භූමිය මෙරට තුල ස්ථාපනය කරමිනි. ගහකොළ හා සතා සිවුපාවා වෙනුවෙන් සෙත සෑදු එවැනි ගෞරවාන්විත අතීතයක් අප රටට හිමිව තිබුණද වර්තමානයේ අප රට කරවන පාලකයන් වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් දක්වන්නේ ඉතා නිද්‍රාශීලී පිළිවෙතකි. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදුවූ ඉතා අමානුෂිකම සංවිධානාත්මක වනජීවී අපරාධය ලෙස සැලකිය හැකි අම්මාවරුන් මරා වනාන්තර වල ජීවත්වූ අලි පැටවුන් නීතිවිරෝධී ආකාරයෙන් පැහැරගෙන විත් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දුෂිත නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදී වර්තමාන යහපාලන ආණ්ඩුවද මුනිවත රකිමින් සිටීම ඊට කදිම නිදසුනකි. අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ සහ වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීමේදී වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ ප්‍රතිපාදන වලට පටහැනිව කටයුතු කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන දුෂණ සහ අක්‍රමිකතා ගැන සහ සියිටීස් (CITES) බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවී ඇති දුෂණ හෝ අක්‍රමිකතා සිදුවී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ඒක පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා වෙත භාරදී මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක් ගෙවී ඇතත් මේ දක්වා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරයා ඒ පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් යහපාලන ආණ්ඩුවේ වනජීවී අපරාධකරුවන් සම්බන්ධ නිහඬ පිළිවෙත මොනවට පැහැදිළි වෙයි.

මෙම විමර්ශනය සඳහා පත්කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක ඒකපුද්ගල විමර්ශන කමිටුව තම නිරීක්ෂණ ඇතුලත් වාර්තාව මෙම වසරේ මැයි මස 25 දින තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත භාරදී ඇත. නමුත් එම වාර්තාව සම්බන්ධයෙන් කිසිඳු ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට දේශපාලන අධිකාරිය මේ දක්වා කටයුතු කර නැත. පරිසරය රකින බව පවසමින් බලයට පැමිණි වර්තමාන යහ පාලනය යටතේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාවට නංවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොරොන්දුවූ ක්ෂණික සහන වැඩසටහන් අතර සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම හා සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම දක්වා තිබුණු නමුත් මෙම කල්මැරීමෙන් ප්‍රකට වන්නේ එම පොරොන්දු හුදෙක් පොරොන්දුපත්‍ර වලට පමණක් සීමාවී ඇතිද යන්න නොවේදැයි විමසිය යුතුය.

විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දී ඇති සාක්ෂිකරුවන්ට අනුව දිවයිනේ වනාන්තර වල ජීවත්වූ වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්ද බෙහෙත් විද මව් ඇතින්න අකර්මන්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්ද බෙහෙත් විදීමෙන් අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවනින් පුනුරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන් ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනුරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවන වැනි රැඳවුම් මධ්‍යස්ථාන වලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බව මෙම වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.

මෙම කමිටුව ඉදිරියේ දෙන ලද සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සමහර දුෂිත පුද්ගලයන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දුෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස අලි ඇතුන් ලියාපදිංචි කරගෙන ඇති බවය. ඔවුන් විසින් ඒ ආකාරයෙන් වංචනික ලෙස අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා අලි පැටියාගේ උපත පිළිබඳව සහ මව් ඇතින්නගේ මරණය පිළිබඳව ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීම හා ලිපිගොනුවේ ව්‍යාජ සටහන් යෙදීම සිදුකර ඇත. එසේම දෙපාර්තමේන්තුවේ සේවය කල දුෂිත නිලධාරීන් විසින් අලින්ට අදාල ලිපි ගොනුවල දමා ඇති සටහන් බ්ලේඩ් තලවලින් සූරා හෝ ටිපෙක්ස් භාවිතා කොට මකා ඒ මත වෙනත් ව්‍යාජ කරුණු යතුරු ලියනය කිරීම සහ අලවා තිබූ අලින්ගේ ඡායාරූප ගලවා ඒ වෙනුවට වෙනත් අලින්ගේ ඡායාරූප ඇලවීම සිදුකර ඇත. දෙපාර්තමේන්තුවේ සමහර දුෂිත නිලධාරීන් වනජීවී ජාවාරම්කරුවන්ට ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදීමට පහසුවන පරිදි අලි නොමැතිව ලිපිගොනු පමණක් පවත්වාගෙන් යාම හා ලියාපදිංචි අලි මියගොස් ඇති ලිපිගොනු අවලංගු නොකොට දිගටම පවත්වාගෙන යාම සිදුකර ඇත.

මෙම කමිටුව ඉදිරියේ දෙන ලද වාචික සහ ලිඛිත සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුවේ පැවති දුෂණ සහ අක්‍රමිකතා වලට පහත නම් සඳහන් නිලධාරීන් වගකිවයුතු බව පෙනී ගොස් ඇති අතර, ඒ නිලධාරීන් එම කටයුතු වලට චෝදනා වලට ලක්විය හැකි බව දක්වා ඇත.

1. උදේනි වික්‍රමසිංහ – හිටපු වැඩ බැලූ අධ්‍යක්ෂ ජනරාල්
2. එච්.ඩී. රත්නායක – හිටපු අධ්‍යක්ෂ ජනරාල්
3. උපාලි පද්මසිරි – සහකාර අධ්‍යක්ෂ
4. ප්‍රියංකා සංජීවනී – කළමනාකරණ සහකාර
5. චාන්දනී විල්සන් – නියෝජ්‍ය අධ්‍යක්ෂිකා
6. අරුණි උද්ධිකා – සංවර්ධන සහ මුල්‍ය සහකාර

මෙම තොරතුරු හෙළිදරව් කරගෙන ඇත්තේ රජයේ රේඛීය විෂය භාර අමාත්‍යවරයා විසින් පත්කරන ලද විමර්ශන කමිටුවක් මගින් විනිවිධ පෙනෙන ආකාරයෙන් යුතුව සිදුකරන ලද විධිමත් විමර්ශන ක්‍රියාවලියක් මගිනි. එබැවින් මෙහි අන්තර්ගත කරුණු පිළිබඳව කිසිවෙකුටත් චෝදනා එල්ල කල නොහැක. දැන් බලධාරීන් විසින් සිදුකල යුතුව ඇත්තේ චූදිත නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සුපිලිපන්නභාවය ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමය. ඒ අනුව ඉහත සඳහන් කල පුද්ගලයන්ට එරෙහිව 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, 1982 අංක 12 දරන පොදු දේපල වලට එරෙහිව කරන වැරදි පිළිබඳ ආඥා පනත, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය, ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි වලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කල යුතු නමුත් මේ දක්වාම බලධාරීන් කමිටු වාර්තාව හමස් පෙට්ටියේ දමාගෙන් කිසිවක් සිදු නොවූ ආකාරයෙන් කල් මරමින් සිටීම ජුගුප්සාජනකය.

යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් දුෂිතයන් ආරක්ෂා කිරීම යහපාලන ප්‍රතිපත්ති සමග කිසිඳු ආකාරයකින් නොගැලපෙන අතර තවදුරටත් වනජීවී අපරාධ සිදුකිරීමට අපරාධකරුවන්ට හා ඊට අනුබල දීමට දෙපාර්තමේන්තු නිලධාරීනට පෙළඹවීමක් ඇතිකරවන නරක පූර්වාදර්ශයක් විය හැකි බවද අප අවධාරණය කරමු. ඉකුත් රජය සමයේද විජිත් විජිතමුණි සොයිස මහතා රේඛීය විෂය භාර අමාත්‍යවරයාව සිටියදී වන අලි පැටවුන් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන කමිටු දෙකක් පත්කරන ලදී. එනම් එවකට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) තනතුර හෙබවූ සමන් ප්‍රනාන්දු කමිටුව හා මහාචාර්ය සරත් කොටගම, චරිත විජේසේකර හා නීතිඥ ලලිත් කුමාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල කමිටුව වශයෙනි. එම කමිටු වාර්තා ද වනජීවී විෂය භාර අමාත්‍යංශය සතුව ඇත. මෙම කමිටු වාර්තා තුනේම පොදු ලක්ෂණය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල ඉහත නම් සඳහන් පුද්ගලයන්ට විවිධ ප්‍රමාණ වලින් චෝදනා එල්ලකර තිබීමය. කෙසේ නමුත් විජිත් විජිතමුණි සොයිස මහතා රේඛීය විෂය භාර අමාත්‍යවරයාව සිටි සමයේ එම වාර්තා සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනුණු අතර වර්තමාන යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපයද ඊට කිසිඳු ආකාරයකින් වෙනසක් නැත.

අපගේ මාතෘභූමියට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය උදාකිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන යන ඇතැම් වැඩසටහන් සාධනීය නමුත් එපරිද්දෙන්ම මෙරට වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත්වල සුරක්ෂිත බව තහවුරු කිරීමටද පාලකයින් කැපවීම අත්‍යාවශ්‍ය බව අප මේ මොහොතේ නැවත වරක් සිහිපත් කිරීමට කැමැත්තෙමු. ඒ මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු මෙරට මිනිසුන්ගේ මෙන්ම වනජීවීන් හා ගහකොළ වලද අද දවසේ භාරකරුවා වන බැවිනි. තමන්ට සිදුවන යම්කිසි අසාධාරණයක් හෝ අකටයුත්තක් සම්බන්ධයෙන් හඬ නැගීමට, වීදි බැසීමට හා අරගල කිරීමට මිනිසුන්ට හැකියාවක් ඇත. නමුත් තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි වනසතුන් හා ගහකොළ වල ඉරණම ඔවුන්ට එල්ලවන අසාධාරණයක් හෝ අකටයුත්තක් මගින් නිහඬවම විසඳෙනු ලැබෙන්නේ ඉතා කෘර හා අමානුශික ආකාරයට බව පාලකයින් දැඩිව සිහි තබා ගත යුතුය. අප නිසි අවබෝධයෙන් හා නිරන්තර අවධියෙන් නොසිටියහොත් මෙම අසරණ වනජීවීන්ට හා ගහකොළට සිදුවී ඇති විනාශය වටහා ගන්නා විට අප බොහෝ ප්‍රමාධ වැඩිය.

එවැනි පසුබිමක වැටත් නියරත් ගොයම් කන්නා සේ වනජීවීන් රැකීම වෙනුවෙන් මහජන මුදලින් යැපෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ම වනජීවී අපරාධ වලට සහය දක්වයි නම් ඒ ගැන කියන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. එසේම තක්කඩි නිලධාරීන් අතලොස්සක් විසින් මේ උලාකමින් සිටින්නේ වසර 65කට වැඩි මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසය තුල හැත්තෑවකට අධික අවංක හා නිර්භීත වනජීවී නිලධාරීන් පිරිසක් තම ජීවිත පූජාකර රැකගත් වනජීවී සම්පත් බවද අප අමතක නොකළ යුතුය. එබැවින් එවැනි තක්කඩි දුෂිතයන්ගෙන් වනජීවී සංරක්ෂණය බේරාගෙන අලි ඇතුන් මෙන්ම සෙසු වනජීවීන්, ගහකොළ සහ ස්වභාවික සම්පත් ආරක්ෂාකර ගැනීමට උරදීම පරිසරය රකින බව පවසා බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේ යුතුකම හා වගකීම බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමු.

supun lahiru prakash
සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය