Image Credit:dailynews.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාද යාත්‍රාව අවසන් කිරීමේ කතාව ඉදිරිපත් කරමින් විනාඩි 14ට ආසන්න කාලයක් පුරා තම භීතිය පුරාජේරුවකට හරවමින් ඉදිරිපත් කරනු ලැබුවේය. රාජපක්ෂ මහතා කිසිඳු සූදානමක් නොමැතිව කතා කළ ආකාරයකි. එසේම ඔහුගේ කතාව තුළින් දැක ගත හැකි මූලික කාරණයක් නම්, හෙතම විමල් වීරවංශ මහතාගේ ගෝලයෙකු බවට පත් වී තිබීමයි. වීරවංශ මහතා ඊයේ දිනයේ කිරිබත්ගොඩදී සිදුකළ කතාවේදී ඉදිරිපත් කළ “අප්‍රසන්න” විලාශය රාජපක්ෂ මහතා පෙර ලිප්ටන් වටරවුම ඉදිරිපිට දී ඉදිරිපත් කළේය. ඔහුගේ වියෝව බරපතළ වී ඇති ආකාරයක් මෙන්ම, තම අවිශ්වාසයේ ගැඹුර සෑම වචනයක් පුරාම පෙන්වනු ලැබුවේය.

මා මීට පෙර ලිපියේ සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ මූලික අරමුණු දෙකක් විය හැකිය. පළමුවැන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් නොමැතිව මැතිවරණ ජයග්‍රණය කළ හැකි තත්වයක් නිර්මාණය වීම කෙසේ හෝ වැළක්වීම. දෙවැන්න, වතමන් ආණ්ඩුවේ පළමු නිල කාලය අවසන් වන විට රටේ රාජපක්ෂ සිතන බලවේගය විපක්ෂ නායකත්වය ලෙස ඉදිරියට ගැනීම. මේ සඳහා වත්මන් බහුමුහුන් විපක්ෂය තුළ මතුවන කතාකාරයින් කවට සහ දෙවන පන්තියේ දේශපාලනඥයින්ගේ තත්වයේ රඳවා ගැනීම වැදගත් වේ. වත්මන් ආණ්ඩුව නිවැරදිව කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම අත්වන ඉරණම ඉතා කණගාටුදායක විය හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ රැළියක් සඳහා ලිප්ටන් වටරවුම තෝරා ගන්නා විට, මෙම බහුබන්ධන විපක්ෂයේ අයවලුන් ඔලොක්කුවට මෙන් සඳහන් කළේ සෙනඟ නොමැති නිසා එවැනි කුඩා ස්ථානයක රැළිය පැවැත් වූ බවයි. ඉතාමත් හාස්‍යයජනක ලෙස අද දින ඔවුහු අනුගමනය කරනු ලැබුවේ එම උපාය මාර්ගය වේ. දින පහක් තිස්සේ කරනු ලැබූ විරෝධය සඳහා අදාළ පක්ෂවලට දැරීමට සිදු වූ මූලික වියදම කෙබඳුද? එසේම, දින පහක් තිස්සේ රටේ ප්‍රධාන මාවතක් අවහිර කිරීමෙන් රටට සිදු වූ පාඩුව කෙබඳුද? විරෝධතාවන් පැවැත්විය යුතු බව සත්‍යය. එය මූලික අයිතියකි. නමුත්, රට වැටී සිටින අඝාදයෙන් ගොඩ ඒම සඳහා හෝ වත්මන් පරිපාලනයේ ඇති දුර්වලතා මකා දැමීම සඳහා මෙවැනි කරනා වලින් සිදු කළ නොහැකිය. එය තේරුම් ගත යුත්තේ ජනතාව මිස මෙම, අලුගුත්තේරුවන් නොවේ.

මෙම රට ආර්ථිකමය වශයෙන් කාබාසිනියා කරමින්, රටේ මූලික මෙහෙයුම් දණ්ඩ බවට “අසමානතාවය”, “කොතනිකින් හෝ හොරා කෑම”, “රාජ්‍යය සංස්ථා ප්‍රතිපත්තිමය සහ මූල්‍යමය වශයෙන් විනාශ කිරීම”, ආදියට මූලික වශයෙන් වගකිව යුත්තේ මේ අයවලුන්ය. එසේම, වත්මන් ආණ්ඩුව තුළ සිටින අයවලුන්ද මෙහි වග උත්තරකරුවන් වේ. මේ රට ගොඩ නැගීමට අවශ්‍ය වන්නේ නම් රටේ ජනතාව පළමුව ඒකරාශිවිය යුත්තේ මෙම රෝගී මිනිසුන්ගෙන් රට ගලවා ගැනීමේ මාර්ගයකටය. කතා කිරීමට විනයක් නොමැති, තම මුඛයෙන් වචනයක් පිට කළහොත් අවට ඇති වාතය ගඳ ගසමින් ඒවා අසා සිටින අයවලුන්ගේ මනස ව්‍යාකූල කරවන අයවලුන්ට මෙම රටට කළ හැකි යහපත් දායාදයක් තිබෙන්නේද? රටේ මූලික ඇට සැකිල්ලට බද්ධ වී සිටිමින් ඇට සැකිල්ල තව තවත් දුර්වල කරන මෙම රෝගීන්ගෙන් රට බේරා ගැනීම සඳහා මූලික පොදු වැඩපිළිවෙලක් රටට අත්‍යවශය වේ.

එසේම, බලයට පත්වන කුමන ආණ්ඩුවකින් හෝ තම “විශේෂඥ දැනුම” හිතු මනාපෙට විකුණන අයවලුන් රටට කොට ඇති හානිය අති විශාලය. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උගුලේ ක්‍රමයෙන් වැටෙන ආකාරය නීරීක්ෂණය කළ හැකි වේ. ඔහු රටේ රාජ්‍යය සංස්ථා වලට පත්කළ බොහෝ දෙනෙකු ඔහුගේ දේශපාලනයට ප්‍රභල විරෝධයක් දැක් වූ අයවලුන් වෙති. ඇතැම් පත්වීම රටේ ජනතාව පුදුම කරවන දෑ බවට පත් වී තිබේ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කිරීම සඳහා ඔහුගේ ඝාතකයා වසර කීයක් ඔහු සමඟ ජීවත් වූයේද යන්න මෛත්‍රී දන්නා කාරණයකි.

මෙරට බිහි වූ බොහෝ නායකයින්ට මහුණ දීමට සිදු වූ මූලික අභියෝග දෙකක් විය. එකක්, කොටි සංවිධානයේ ගොදුරු බවට පත්වීමය. දෙවැන්න, තම හදවත ගලවා අතට දෙන මට්ටමින් ආලවන්තකම් පාමින් තමන් සමූහයේ සිටින අයවලුන් දුන් “වැල්අල” ගිලීමෙන් ඒවා දිරවාගත නොහැකි වීමය. එවැනි කටයුතු සඳහා හුරු වූ පරම්පරාගත පිරිස් මෙරට සිටිති. රටේ බොහොමක් විදේශ ධූත සේවාවල, රාජ්‍යය පරිපාලන සේවය තුළ මෙවැනි අයවලුන් සිදුකළ කටයුතු ගැන බොහෝ දෙනෙකු දනිති. වත්මන් ආණ්ඩුව අර්බුදයට ලක් විය හැක්කේ මෙවැනි පාද යාත්‍රා මඟින් නොවේ. නමුත්, තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පත්කරගන්නා තැන දුටුතැන වල ඉහගන්නා “ආලවන්තයින්ගේ ” අතිනි.

කෙසේ වෙතත්, රාජපක්ෂ මහතාගේ පශ්චාත්තාපය ඉතා පැහැදිලිය. ඔහු එය අද දින පැවැත්ව වූ කතාවෙන් වචන වලට පෙරලුවේ මෙලසය. ” අපි ඊළඟ එන්නේ යන්න නෙමෙයි, අරං යන්න. ඕ ගොල්ලොත් එනවා නේද?” රාජපක්ෂ මහතා විසින් මරදානේ චොප්පේ නමැති අයෙකුට ආදේශ කරන වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, තමන් ඊට වෙනස් යැයි පෙන්වීම සඳහා කිසිඳු වාග්මාලාවක් හෝ හැසිරීමක් පෙන්වන්නේ නැත. රාජපක්ෂ මහතා මීට පෙර මේ හා සමාන ලෙස හැසිරෙමින් කියා සිටියේ, “බැරිනම් ඕක දෙන්න කියන්න මට, මම කරලා පෙන්නනම්”. ජයසුන්දර මහතාගේ හැසිරීම, මර්වින් සිලවා මහතාගේ හැසිරීම හා සමාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහුටද අනගාත දේශපාලන අරමුණු තිබෙනවා විය හැකිය. නමුත් එය විවේචනය කළ හැක්කේ එවැනිම පුද්ගලයෙකු ලෙස හැසිරීමෙන් නොවේ. නමුත් අවාසනාවට, මොවුහු මෙම රටට ලබා දී ඇති ආදර්ශය මෙයයි. රටේ, බහුතරයකට රටේ ජීවත්වීම පවා එපා වී ඇත්තේ මේ නිසාය.

විදේශ අමාත්‍යය මංගල සමරවීර මහතා, මෙම මූලික කාරණය රාජපක්ෂ මහතාට තේරුම් කරදීමට වසරක් තුළ ලියනු ලැබූ තම දෙවන ලිපියෙන්ද උත්සහ කරනු ලැබීය. සමරවීර මහතා ඔහුට මූලික නීතිමය රාමුව මෙන්ම මනුෂ්‍ය සදාචාරය තේරුම් කර දීමට උත්සහ දරනු ලබයි. නමුත් එය කිසිඳු වගතුවක් නැති කාරණයකි. එවැන්නක් තේරුම් ගැනීමට හැකි තත්වයක රාජපක්ෂ මහතා නැත. ඔහුට ඇති වෛරය වෙන කිසිවක් නොව, තමන් සමීපයේ සිටි අයෙක්, තමන් සිහිනෙන්වත් නොසිතු දෙයකින් තම බලය ක්‍ෂණයකින් නැති වූ බලය අත්පත් කර ගැනීමය. මෙය බරපතළ පෞද්ගලික තත්වයකි. ඔහුට එහිදී ප්‍රතිපත්ති, සදාචාරය හෝ පරිපාලන මූලධර්ම වැදගත් නොවේ. නොදැන සිදුකරන විනාශයට වඩා දැනෙගන සිදුකරන විනාශකාරී කටයුතුවල හානිය බරපතළය.

රාජපක්ෂ මහතා පිපාසයෙන් පෙලෙන මූලික අභියෝගය නම්, ” මෛත්‍රී අසමත් නායකයෙකු බවට පත් කරන්නේ කෙසේද සහ ඔහු මහජනතාව ඉදිරියේ හාස්‍යයට ලක් කරන්නේ කෙසේද”, යන කාරණයයි. ජනාධිපති සිරිසේන මහතා තමන් සිදුකරන සෑම පත්වීමක්ම මනා සිහියෙන් සහ අවබෝධයෙන් කළ යුත්තේ ඒ නිසාය. බැටළු හම පොරවාගත් වෘකයයින් දැනටමත් ඔහුගේ මුළුතැන්ගෙය ආක්‍රමණය කොට ඇත. මීළඟ පියවර ඔහුගේ සිරියහන් ගැබට පැමිණීමය. මෛත්‍රී අන්ද මන්ද කිරීම සඳහා වෙනත් විරෝධතා ඇතිකළ හැකිය. නමුත්, පාලනාධිකාරියක් දුර්වලකොට අසමත් කිරීම සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ, අපේක්ෂා නොකරන පැත්තෙනි.

“අපි ඊළඟට එන්නේ යන්න නෙමෙයි, අරං යන්න” , යැයි රාජපක්ෂ කියන කතාවේ ඇති ප්‍රායෝගික ක්‍රමවේදය සැලසුම් කරනු ලබන්නේ ඒ අනුවය.

කෙසේ වෙතත්, රාජපක්ෂ මහතා තම කතාවේදී ඇතැම් කාරණා වලදී ඉතා ප්‍රවේසම් වූ ස්වාභාවක් දැකගත හැකිය. ඉන්දියාව සඳහන් නොකොට “පිටරටවල්” අපේ රැකියා කොල්ල කෑම සඳහා එන බව සඳහන් කරන්නේය. එසේම, රටේ මූලික ආර්ථික කාරණා ගැන ඔහු සරල දෙඩවීමක නිරත විය. නමුත් සත්‍යය තත්වය සැබවින්ම බරපතළය. රාජපක්ෂ මහතාගේ පරිපාලනය දායාද කළ “නිධානය” එයයි.

ඔහු තැනූ ප්‍රධාන ව්‍යපෘති දෙකම වෙන්දේසියට දමා තිබේ. අදාළ ව්‍යාපෘති චීනයට භාරදීම සඳහා කළ ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කරමින් තම ණය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මෙරට සේවය කළ චීන ජාතික කම්කරුවන්ට පහරදීමක් වාර්තා වූයේද මීට සති කිහිපයකට පෙරය.

රටේ ආර්ථිකය ඇත්තේ ගැඹුරු අඝාදයක වේ. රජයේ වාර්ෂික ආදායමෙන් 95.4% වැය වන්නේ ණය ගෙවීමටය. ඉතුරුවන මුදල අනෙකුත් වියදම් සඳහා වැය වේ. මෙම තත්වයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවට දේශපාලන සූදු කෙළියේ නිරත විය නොහැකිය.

බොහොමයක් සංවිධාන, දේශපාලන පක්ෂ මෙන්ම බලපෑම් කණ්ඩායම් දෙදරා යන්නේ අසමතුන් නිසා නොවේ, ඉතාමත් සූක්‍ෂම ලෙස තම පෞද්ගලික අරමුණු දිනාගැනීම පමණක් ඉලක්ක කරගන්නා කෛරාටක හොරුන් නිසාය. ඔවුහු නායකත්වයට ඇදෙන අකාරය, නායකත්වය මෝහනය කරන ආකාරය, නායකත්වය අන්ධ කරන ආකරය සහ නායකත්වය කොන්ද පණ නැති නායකත්වයක් බවට අරුත්ගනවන කලාව දන්නා අයවලුන්ය. මේ ලෝකයට සිදු කළ බොහෝ හානී සිදුකරනු ලැබුවේ ඔවුහු විසිනි. තම මූලික ප්‍රතිපත්ති තමන් අභිමුඛව පාවා දුන් පසු ඕනෑම විනාශයක් සිදුවන තෙක්, බලා සිටීමට එවැනි නායකත්වයකට සිදු වේ. රටේ ඉතිහාසය මෙන්ම ලෝක ඉතිහාසය මෙයයි. පක්ෂ මෙන්ම සංවිධාන මුහුණ දුන් කටුක යතාර්ථය එයයි. මෛත්‍රී සහ රනිල් හමුවේ ඇති අභියෝගය වන්නේද එයයි.

අරං යන්න එන්න කලින් සිදුකළ යුතු සහ තමන් සිදුකරන දෑ මඟින් රටට සෙතක් වන බව පෙන්වීම සඳහා සිදුකළ යුතු කටයුතු රාශියකි.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa