සතියකට පෙර හමුදාපති වෙතටයි යනුවෙයි මා ලියූ සටහන ප්‍රතික්ෂේප කරනයුද හමුදා ප්‍රකාශකයකු කියා ඇත්තේ එවැනි අවන්හලක් යුද හමුදාව සතුව නැති බවයි. එම සටහන යුද හමුදාපතිවෙත ලිවීම වරදක් බව මම පිළි ගනිමි.

මෙම ප්‍රතික්ෂේප කිරීම යුද හමුදාව මුලින්ම ප්‍රකාශයට පත්කළේ මාධ්‍යවේදය නමින් වසුරු බුදින්නකු සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වසළයකු වන දිවයින පුවත්පතෙහි කිර්ති වර්ණකුලසූරිය හරහාය.

මෛත්‍රී – රනිල් සමගි ආණ්ඩුවට එරෙහිව අතේ පැල කරන ලද බොරු ප්‍රසිද්ධ කිරීම සිය රාජකාරිය බවට පත් කර ගෙන ඇති දිවයින වැනි පුවත්පතක් හරහා යුද හමුදා ප්‍රකාශකයකු මෙම ප්‍රතික්ෂේප කිරීම පළ කිරීමෙන්ම අපට තවත් බොහෝ දේ අනුමාන කළ හැකිය‍.

පසුගිය දිනෙක ජනාධිපති සිරිසේන විසින් බරපතල විවේචනයකට ලක් කරන ලද ‘ යුද අධිකරණය තව මාස තුනකින්. විදෙස් විනිසුරවෝත් එති’ යන අමූලික බොරුව පළ කර තිබුනේ ද මේ වසළයාම විසිනි. ඔහු විසින් වර්ගවාදය උසිගැන්වීම පිළිබඳ ලියන ලද වාර්තා එක් කළ හොත් එය විශකුරු ජනමාධ්‍යවේදයේ අත් පොතක් බවට පත් වනු ඇත.

වරක් අගමැති වික්‍රමසිංහ මෙම වසළ මාධ්‍යවේදියා හදුන්වන ලද්දේ ලේ උරා බොන රීරි යකකු ලෙසිනි.

දිවයින පුවත්පතෙහි හිටපු ප්‍රධානියකු මා සමඟ කීවේ මේ වසළයා ලියා දෙන ඕනෑම ජාතිවාදී බොරුවක් එම පුවත්පතෙහි පළ කැරෙන්නේ රාජපක්ෂවාදී දිවයින හිමිකරුවන්ගෙන් බලපෑම නිසා බවය.

[කොග්ගල හමුදා අවන්හලෙහි බිල]
කොග්ගල හමුදා අවන්හලෙහි බිල

එවන් විනාශකාරී ලියන්නකු ලවා හමුදාවේ ප්‍රධානියකු මෙසේ කියා තිබුණි:

‘හමුදාව කොග්ගල අවන්හලක් පවත්වා ගෙන යන්නේ නැහැ. මේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියා බොරු පැමිණිළි කරනවා යැයි ජේෂඨ හමුදා නිලධාරියෙක් පැවැසීය. හමුදාවේ අවන්හලක් හදුනා ගැනීමට තරම් හැකියාවක් ඔහුට නැහැ යැයි ඔහු පැවැසීය.’
එහි මැය වශයෙන් යොදා තිබුණේ ‘එන්ජීඕ ලොක්කාගේ පැමිණිල්ල හමුදාව ඉවත දමයි’ කියාය.

පසුව යුද හමුදාවේහි නිල ප්‍රකාශකයකු රාවය පුවත් පතට නිවැරදි කිරීමක් එවමින් කියා තිබුණේ යුද හමුදාවේ එවැනි අවන්හලක් කොග්ගල පවත්වා ගෙන යන්නේ නැති බවයි.

එම නිවැරදි කිරීම ගැන මම ස්තුතිවන්ත වෙමි. ඉන් පෙනි යන්නේ මාගේ සටහනින් ඉදිරිපත් කළ පැමිණිල්ලට පිළිතුරු දිය යුතුයැයි හමුදා ප්‍රධානීන් කල්පනා කළ බවයි.

සටහන ලිවීමේහිදී මා කර තිබූ වරද වූයේ හමුදාපති වෙත ලිවිමය. එම සටහන ත්‍රිවිධ හමුදාවම බාරව සිටින ජනාධිපති හෝ ආරක්ෂක ලේකම්වරයාට ආමන්ත්‍රණය කළ යුතුව තිබුණි. මෙම කොග්ගල අවන්හල කවර හෝ රාජ්‍ය හමුදාවක් විසින් පවත්වා ගෙන නොයන්නේ නම් ඒ බව ප්‍රකාශ කරන ලෙස මම අභියෝග කරමි. මේ සමඟ පළ කර ඇති එම අවන්හලෙහි බිලෙහි එය අයත්වන්නේ කවර හමුදාවකටද දැයි සඳහන් නොවේ. එහි ඇත්තේ හෙළිකොප්ටරයක පින්තූරයක් බැවින් මෙම කොග්ගල ගුවන්හමුදා කඳවුරට අයත් යැයි උපකල්පනය කළ හැකිය.

කොග්ගල මිලටරි කඳවුරෙහි ප්-රදර්ශණය වන ගුවන් හමුදා යානය

යුද හමුදාපතිට එම ලිපිය ආමන්ත්‍රණය කිරීම ගැන මම වරද යළිත් පිළිගනිමි.

එසේ නමුත් යුද හමුදා ප්‍රකාශක කර ඇත්තේ කොළේ වසා ගැසිමකි. මහ ජනයාට නිවැරදි තොරතුරු දෙනු වනුවට ඔහු කර ඇත්තේ අර්ධ සත්‍යයක් ප්‍රකාශ කර පාඨකයා මුලා කිරීමය. මෙම කොළ්ලකාරි අවන්හල කොග්ගල පවත්වා ගෙන යන්නේ කුමන හමුදාවක් විසින් දැයි ඔහු කියා නැත.

මෙම අවන්හල ඉදිරිපිට නිලි පැහැති ගුවන් යානාවක් ප්‍රදර්ශණය කැරේ. එය මිලිටරි යානාවකි. රුපියල් සියය බැගින් ගෙවා දරුවෝද වැඩිහිටියෝද එය බැලීමට ගොඩ වෙති. එය තුළ විනාඩි 10ක පමණ යුද වීඩියෝවක් ප්‍රදර්ශණය වෙයි. එහි අරමුණ යුද උන්මාදය නැංවීමය. අද මෙරටට අවශය වන සහජීවන දේශපාලනය වෙනුවට එය පෙන්වන්නේ රාජපක්ෂ යුගයේ යුදකාමයයි. (ආණ්ඩුවේ සහජිවන මතවාදය පොළවට බැස නැති බවට මෙය තවත් උදාහරණයකි).

හමුදාව අයත් නැති බාහිර වෙළෙන්දන්ට මෙළෙස ගුවන් යානා ප්‍රදර්ශණය කරමින් මුදල් අය කළ හැකිද?

මෙම අවන්හල විසින් මුහදු තීරයට පවා නීති දමා තිබේ. සිය ව්‍යාපාරය පවත්වා ගෙන යෑම පිණිස වෙරළ පවත්වා ගෙන යෑම පිණිසය. මෙම වෙරළෙහි නෑම තහනම් බවට දැන්විම් පුවරුවක් එහි පිහිටුවා ඇතත් එම නියෝගය කවරකු විසින් දෙන ලද්දක් දැයි එහි සඳහන් වන්නේ නැත. වෙරළ පොදු ජනයාට අයත්ය. එහි නීති පැනවිය හැක්කේ රාජ්‍ය ආයතනයකට පමණි. එමෙන්ම නියෝගය පණවා ඇත්තේ කි විසින්දැයි එහි සඳහන් විය යුතුය.
අවන්හල විසින් වෙරළ දිගට කෑම කැමට මේස තබා තිබේ. එළෙස වෙරළ තීරය අල්ලා ගැනීමට වෙන කවර හෝ බත් කඩයකට හැකිද?

මවිසින් මතු කරන ලද මූලික ප්‍රශ්ණය තවමත් ඉතිරිය. එනම් දේශීය සහ විදේශීය පුද්ගලයින්ට මිල ගණන් දෙකක් පවත්වා ගැනීම, විදේශිකයින් සමඟ පැමිණෙන දේශීය පුදගලයින්ද එම වැඩි මිලම ගෙවියයුතු බව කියා මුදල් කොල්ලකෑම සහ මූලික වශයෙන් රජයෙන් වැටුප් ලබන සොල්දාදුවන් ලවා අවන්හල් පවත්වා ගෙන යමින් සාමාන්‍ය ජනයා පවත්වා ගෙන යන අවන්හල් අපහසු තත්වයට පත් කිරීම යානාදියි.
ගුවන් හමුදාව හෝ ආරක්ෂක ලේකම්වරයා දැන් ඊට පිළිතුරු දෙන්නේද?

sd 100සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya