Image Credit :http://rusecounion.ru

හිරෝෂිමාවට හෙලූ න්‍යෂ්ටික බෝම්බයෙන් ඇති වූ විනාශයේ 71 වැනි සංවත්සරය අගොස්තු 6 වැනි සිකුරාදාට යෙදී තිබේ(තිබිණි). 1939-1945 අතර කාලයේ පැවති දෙවැනි ලෝක යුද්ධය අතරතුරේදී 1945 අගෝස්තු 6 වැනි දා ඇමරිකානු පරමාණු බෝම්බයක් ජපානයේ හිරෝෂිමා නුවරට අතහැරියේය. නගරයෙන් සියයට 90 ක් එයින් විනාශ විය. ජීවිත 80,000 ක් විනාශ විය. බෝම්බයෙන් විසිරුණු විකිරණ විෂ වායුව නිසා තවත් දස දහස් ගණනක් මිනිස්සු පසුව ජීවිතක්ෂයට පත්වූහ. මේ බෝම්බය හෙලීමෙන් දින තුනකට පසු තවත් පරමාණු බෝම්බයක් ජපානයේ නාගසාකි නුවරට අතහැරුණි. එයින් 40,000 ක් මරුමුවට පත්වූහ. මේ ‘නවතම සහ වඩාත් ක‍්‍රෑරතර බෝම්බය’ ඉදිරියේ, ජපානයේ හිරෝහිතෝ අධිරාජයා තම රට කොන්දේසි විරහිතව යටත් වන බව සිය ගුවන් විදුලිය හරහා ප‍්‍රකාශයක් කරමින් මිත‍්‍ර පාර්ශ්වයේ රටවලට දන්වා සිටියේය.

අගෝස්තු 6 වැනි දා පැවැත්වීමට නියමිත මේ පිළිබඳ අනුස්මරණයට පෙරාතුව පසුගිය අඟහරුවාදා තෝකියෝ නුවර විශේෂ උත්සවයක් පැවැත්වුණි. ඒ ශ‍්‍රී ලාංකිකයෙකුට ගෞරව දැක්වීම පිණිසයි. ඔහු වනාහී, ලෝ ප‍්‍රකට කීර්තිමත් නීති විශාරදයෙකුද, ජාත්‍යන්තර අධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකුද වූ සී. ජී. වීරමන්ත‍්‍රී ය. පසුගිය අඟහරුවාද මේ උත්සවය පැවැත්වුණේ, න්‍යෂ්ටික අවි භාවිතයට අදාළ ජාත්‍යන්තර නඩුවකදී වීරමන්ත‍්‍රී විනිසුරුවරයා විසින් දෙන ලද එක් විසම්මුතික තීන්දුවක විසි වැනි සංවත්සරය වෙනුවෙනි.

මේ කාරණයේදී එම අධිකරණයේ සිටි සෙසු සියලූ විනිසුරුවරුන්ට වෙනස් මතයක් දැරූ වීරමන්ත‍්‍රී විනිසුරුවරයා, මොනම තත්වයක් යටතේවත් න්‍යෂ්ටික අවි භාවිතය හෝ එසේ භාවිත කරන බවට තර්ජනය කිරීම සහමුලින් නීති විරෝධී විය යුතු බව කියා සිටියේය.

ඔහුට අනුව, ජාත්‍යන්තර නීතියේ මූලික සිද්ධාන්ත ඒ මගින් උල්ලංඝණය කෙරෙන අතර මානුෂීය නීතියේ පොදු ව්‍යුහය සමන්විත වන මානවවාදී අවශ්‍යතා ඒ මගින් නිෂේධ කෙරෙන්නේය. ඔහුට අනුව එය, සම්මත නීතියට පටහැනි ය. විශේෂයෙන්, 1907 හේග් රෙගුලාසිවල 23 වැනි වගන්තියටත්, 1925 ජිනීවා ගෑස් ප්‍රොටෝකෝලයටත් එය පටහැනි බව ඔහු කියා සිටියේය. එසේම සෑම නීතියක්ම රඳා පවතින මනුෂ්‍යයාගේ අභිමානය සහ වටිනාකම පිළිබඳ මූලික සිද්ධාන්තයටත් එය පටහැනි බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. එපමණක් නොව, පෘථුවියේ වෙසෙන සමස්ත ජීවයම වනසාලන ආකාරයෙන් මිනිස් පරිසරය ඒ මගින් විනාශ කැරැවිය හැකි බවත් ඔහු කීය.

උතුරු කොරියාව වැනි රස්තියාදුකාර රටවල් ඇතුලූ තවත් රටවල් නවයකට ලෝකය විනාශ කළ හැකි න්‍යෂ්ටික අවි ශක්තිය තිබෙන දරුණු තත්වයක් තුළ වීරමන්ත‍්‍රී විනිසුරුවරයා මෙසේද කීය:

His Excellency Judge  | Christopher Gregory Weeramantry
His Excellency Judge | Christopher Gregory Weeramantry

‘‘මොනම තත්වයක් යටතේවත් මෙවැනි සංහාරක අවි භාවිත කිරීම හෝ එසේ කරන බවට තර්ජනය කිරීම ජාත්‍යන්තර අධිකරණය මගින් එකහෙලා නීති විරෝධී බව ප‍්‍රකාශයට පත් නොකිරීම ගැන මම කණගාටු වෙමි. මේ ප‍්‍රශ්නය සදහටම විසඳීම සඳහා ජාත්‍යන්තර අධිකරණය කළ යුතුව තිබුණේ ඒ ගැන තද ස්ථාවරයක් ගැනීමයි. ඒ වෙනුවට ජාත්‍යන්තර අධිකරණය කෙළේ, වහෙන් ඔරෝ ආකාරයෙන් නීති විරෝධී භාවයක් පිළිබඳ අදහස් ප‍්‍රකාශ කිරීමත්, එයද අපැහැදිළි ආකාරයෙන් සහ වැරදි ආකාරයෙන් ප‍්‍රකාශයට පත් කිරීමත් ය.’’

1955 ජුලි 9 වැනි දා නිකුත් කළ රසල්-අයින්ස්ටයින් ප‍්‍රකාශනය ගැනත් වීරමන්ත‍්‍රී කතා කෙළේය. බර්ට‍්‍රන්ඞ් රසල් සහ ඇල්බට් අයින්ස්ටයින් යනු පසුගිය සියවසේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් දෙන්නෙකි. පරමාණු බෝම්බයක් තුළ පවතින විනාශකාරී බලය ගැන කතා කිරීමට ඔවුන් දෙන්නාටම විශේෂිත වූ සුදුසුකමක් තිබේ. ඔවුන් සමග මේ ප‍්‍රකාශනයට අත්සත් කිරීම සඳහා ලෝකයේ වෙසෙන අති කීර්තිමත් විද්‍යාඥයන් ගණනාවක්ම සහභාගී වූ අතර න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් මනුෂ්‍ය වර්ගයාට අත්විය හැකි ව්‍යසනය ගැන ඔවුහූ ඒ ප‍්‍රකාශනය තුළින් අනතුරු ඇඟවූහ.

එම ආයාචනය පදනම් වුණේ මිනිස් වර්ගයාගේ අනාගතය ගැන ඇති සැකසාංකා සහ බුද්ධිමය තාර්කිකත්වය සහ මානවවාදය මත ය. මෙකී කාරණා ජාත්‍යන්තර නීතියේ ව්‍යුහයට අන්තර්ග‍්‍රහණය කොට තිබේ. යුද්ධයකදී අනුගමනය කළ යුතු මානවවාදී නීතිරීති සියල්ලමත් ඒවාට ඇතුළත් වෙයි. මේ සිද්ධිය ස්ථානගත වන්නේ, එකී සුවිශේෂී ක්ෂේත‍්‍රයේ සුවිශේෂී කොටස තුළ ය. රසල්-අයින්ස්ටයින් ප‍්‍රකාශය තුළ වඩාත් පැහැදිළිව විස්තර කෙරෙන කොටසත් එයයි.

එම ප‍්‍රකාශනය තුළ මෙසේද කියැවේ:

‘‘එවන් මාරාන්තික රේඩියෝ-විකිරණ අංශු මොන තරම් පරාසයක විහිදේ දැයි නිශ්චිතව කිව නොහැක. එහෙත් මේ ගැන කීර්තිමත් විශේෂඥයන් අතරේ ඒකමතිකත්වයක් ඇති එක දෙයක් තිබේ. එනම්, පරමාණු බෝම්බයක් පාවිච්චි කරමින් කරන යුද්ධයක් තුළ මිනිස් සංහතියේම අවසානය ළඟා විය හැකි බවයි.. මිනිස් ප‍්‍රාණීන් වශයෙන් අප මේ ආයාචනා කරන්නේ මිනිස් ප‍්‍රාණීන්ට ය: ඔබේ මනුෂ්‍යත්වය මතක තියාගන්න. අනිත් සියල්ල අමතක කරන්න. ඔබට එසේ කළ හැකි නම්, නව පාරාදීසයක මාවත ඔබ ඉදිරියේ දිග හැරෙනු ඇත. ඔබට එසේ කළ නොහැකි වෙතොත්, විශ්ව විනාශයේ අවදානම ඔබ ඉදිරියේ දිග හැරෙනු ඇත.‘‘

මේ අභියෝගයට මුහුණදීමට ප‍්‍රමාණවත් අත්‍යවශ්‍ය ප‍්‍රතිපත්තිවලින් සන්නද්ධව එම අභියෝගය අප භාරගන්නේ නම්, මේ කළු වලාව පලවා හැරීමටත්, න්‍යෂ්ටික අවිවලින් තොර දීප්තිමත් සූර්යාලෝකයක් ලබා ගැනීමටත් හැකි සම්මාදමක් ජාත්‍යන්තර නීතියෙන් සපයා දිය හැකි වන්නේය.

මිනිස් වර්ගයාගේ අනාතයට මෙතරම් තර්ජනයක් විය හැකි වෙනත් ප‍්‍රශ්නයක් තවත් නැත. ජාත්‍යන්තර නීතියේ අනාගතය ගැන යම් බලාපොරොත්තු ඇති කර ගැනීමේ හැකියාවත් අප සතු ය. මේ ප‍්‍රශ්නය ජාත්‍යන්තර විනිශ්චය සභාවන් ඉදිරියට මේ වන තෙක් පැමිණ නැත. දැන් ප‍්‍රථම වතාවට මෙය සාකච්ඡාවට ගැනෙමින් ඇති මොහොතක එයට පිළිතුරු දිය යුතුව තිබේ. නිශ්චිතවම, පැහැදිළිවම, සියල්ලන්ට ඒත්තු යන පරිද්දෙන් ඊට පිළිතුරු දිය යුතුව තිබේ.

*2016 අගෝස්තු 4 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ A New Paradise or the Risk of Universal Doom නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි