වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ පිරිසක් රෑ දහවල් නොබලා වෙහෙස මහන්සි වූ බව සියල්ලෝම දනිති. එම කැපවීම දේශපාලන ව්‍යාපාර වල ඉතා දුලභ අත්දැකීමක් වූ අතර එමඟින් ලෝකයට ලබා දුන් ආදර්ශය වූයේ දකුණු ආසියාවේ ඇති අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව වඩාත් දේශපාලනික වශයෙන් ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයක් ලෙසය. නමුත්, බලයට පත් වී ඉතාම කෙටි කාලයක් තුළ ආණ්ඩුවේ ආණ්ඩුකරන මූලික අවයව බවට පත් වූයේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ චරිතය. එසේම රාජ්‍යය සේවය තුළ කළයුතු හරයාත්මක වෙනස්කම් වෙනුවට “මාධ්‍යයේ අවදානය අපේක්ෂා කිරීමේ” අරමුණින් තැනින් තැන ඉතා සුළු පියවර ගනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම මූලික කාරණය විසඳීමකින් තොරව ආණ්ඩුව රැගෙන යන තාක් දුරට ආණ්ඩුව බිඳ වැටීමේ රටාව ගැන සිහිනයකිඳු සිතීමට නොහැකි වනු ඇත. ඒ වෙනුවට, තැනේ හැටියට මැස්ස ගැසීමේ ක්‍රියාවලීය තව දුරටත් ඇදෙමින් රට හමුවේ පැල වූ සිවිල් විමුක්තියේ මූලික බීජ වියළී විනාශ වී යනු ඇත.

දේශපාලනික වශයෙන් රටක් මරා දැමීම සඳහා රුහිරය සෙලවීමම අවශ්‍යය නොවේ. එම රටේ බුද්ධිය, ක්‍රමිකව “සොඳුරු” අලුගෝසුවන්ගේ ග්‍රහණයට හසු කිරීමෙන් එම රට මරා දැමිය හැකිය. රටේ ස්වදේශීය භාෂාව ගැන කුමන පට්ටන්තර දෙඩුවද, එම බසට රටේ බුද්ධිමය බලය දියුණු කළ නොහැකිනම්, රටේ සියලුම ප්‍රතිපත්ති තීරණ ගන්නා තැන්වලට බටහිර විශ්වවිද්‍යාල වලින් උපාධියලත් අයවලුන් තෝරා ගන්නේ නම්, එහි ඇති සැබෑ අර්ථය කුමක්ද? මෙම මූලික කාරණය ගැන අවධානය යොමු කිරීමකින් තොරව ජාතිකත්වය ගැන කතා කිරීම ඔස්සේ මෙම රඟන නාටකය හාස්‍යය උපදවමින් තම ආත්මීය ඛේදවාචකය ගැන ඇති පරම දුක තාවකාලිකව වසා ගැනීමට හේතුවනවා මිස ඉන් කිසිම සුගතියක් රටට හෝ ජනතාවට තබා තම ජීවිතයට සිදුවන්නේ නැත. ඒ වෙනුවට බොරු රඟපෑම තව තවත් සංකීර්ණ කරනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ කතාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ගුණ වැයුම් වයා ප්‍රසස්ති ගී ගයා තම නායකයාගේ කෞශල්‍යය ගැන සතුටු නාටක නටා පෙන්නුවද, කරුණු වශයෙන් ගත් කළ එම කතාව අර්ථ ශූන්‍යයය. ජනාධිපතිවරයා මීට පෙර ජනතාව ඇමතු අවස්ථාවන් වලට වඩා එම කතාවේ ඇත්තේ හුදු දේශපාලන විළාපයක් සහ අස්ථාවර භීතියක් පමණි. ඔහුට එරෙහිව එල්ල වන්නේ යැයි කියන “විවේචන” වලට තම හඬාවැටීම වචන වලට පෙරලීමට උත්සහ කළ ජනාධිපතිවරයා ඉන් අනුකම්පාව අපේක්ෂා කරන විලාශයකින් ඇමතීම සැබවින්ම පක්ෂ මූලිකව තැනුණු කූඩුවල ලගිමින් රටේ පොදු අවශ්‍යතාවය ලඝුකොට තැකීමකි.

එම කතාවට දින කිහිපයකට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සංවිධානය කළ උත්සවයකදී දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඉදිරිපත් කළ කතාව මැනවින් ව්‍යුහගත කොට තිබුණි. එහි රටේ වත්මන් දේශපාලන හරය මෙන්ම අවශ්‍යතාවය ඒකරාශීකොට තුබුණි. අවාසනාවට මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම මූලික ප්‍රස්තූතයෙන් ව්‍යුක්ත වෙමින් සිටින්නේය. මෙම සම්ප්‍රදායික දේශපාලන වියෝව තුළ යහපාලන මූලධර්ම ගැන කිව හැක්කේ කුමක්ද? රුඩියාඩ් කිප්ලින් තම නැගෙනහිර සහ බටහිර කාව්‍යය සංග්‍රහයේ සඳහන් කළ කාරණය මීට කදිමට ගැලපේ, අහෝ .. නැගෙනහිර නැගෙනහිරයි, බටහිර බටහිරයි; ඒ දෙක කවදාවත් හමුවන්නේ නැත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, සම්ප්‍රදායික වශයෙන් රටේ සමස්ථ විඥානය මොට කරනු ලැබූ ව්‍යාජ ජාතිකත්වය සහ තම පවුල් පසුබිම තුළ විඳි දුක් කන්දරාව ඉදිරියට රැගෙන එමින් සිටින්නේය. මෙය, එතරම් වාසිදායක තෝරා ගැනීමක් නොව, එමඟින් තම සතුරාට අවශ්‍යය මූලික පසුතලය නිර්මාණය කරනු ලබයි. තම සතුරා යැයි මෙහිදී හඳුන්වනු ලබන්නේ, මතුපිටින් පෙනෙන විෂයයන් වලට වඩා තමන් තමන් තුළ රැකවරණය සොයන මතුපිට තලයේ පාවෙන සාධක වේ. විශේෂයෙන්, රටේ බොහෝමයක් නායකයින් මෙම තත්වයට මුහුණ දුන් අතර ඔවුහු සැලසුම්කළ බොහොමයක් යහපත් දෑ රට හමුවේ විහිළුවක් සහ ඛේදවාචකයක් බවට පත් වූයේය. මෙම අතීතයෙන් වත්මන් ජනාධිපතිවරයා ඉගෙන නොගෙන තමන් වටේ සිටින අයට ඉගෙනගැනීමට අණකරන්නේ නම්, ඔහු තමන් අවට සිටින්නාගේ උගුලට නොදැනීම අසුවනු ඇත.

මේ මොහොතේ රටේ පවතින අතිශය සංකීරණ කාරණයේ එක් ප්‍රධාන සහ වැදගත් පිළිබිඹුවක් වන ඇවන්ට්-ගාඩ් සමාගම සම්බන්ධ සිදුවීම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියක් ලබා දී තිබේ. මෙය රට හමුවේ ඇති ඓතිහාසික සිදුවීමකි. මෙවැනි දෑ මගහරිමින් තම නායකත්වය සාර්ථක කර ගත නොහැකිය.

රටක හමුදාපතිවරයෙක් කුදලාගෙන බිමදිගේ ඇදගෙන ගොස් වීරයින් වී දත් විලිස්සා තම පළිගැනීම වින්දනයකට පෙරළීමට පුළුවන් වූ විසිහතර පැයේ කැලෑ නීතියෙන් මෙවැනි ගැටලු විසඳීමට තරම් අශිෂ්ඨ විය යුතු නැති නමුත්, මෙහි වරදකරුවන් රටේ දේශපාලන නායකත්වට අදෝ ප්‍රදේශයෙන් හිනා වෙන තත්වයට පත් නොකළ යුත්තේය. විවිධ පෞද්ගලික වාසි තකා රට වෙනුවෙන් සිදුකළ යුතු මෙම අමිල වගකීම පැහැර නොහැරිය යුත්තේය.

ජාති ද්‍රෝහීත්වය හෝ පිටරටවලට රට පාවාදීම සම්බන්ධයෙන් කතා කරන කිසිවෙකු එක්සත් ජාතින්ගේ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් සෝමාලියානු තුඩුව සම්බන්ධයෙන් කරන නිරීක්ෂණයකට ( වැඩි විස්තර සඳහා : සතියේ ආරක්ෂාව කොළම බලන්න ) ශ්‍රී ලංකාව පටළවා තම ව්‍යාපාරය ආරම්භ කළ පුද්ගලයා ගැන නිහඬවීම විහිළුවකි. මූල්‍යය වංචාවක් සිදු කළ බව සැකකරමින් හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා සිරගත කිරීමට හැකිනම්, රට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අනාරක්ෂිත රාජ්‍යයක් බවට පත් කොට තම ව්‍යාපාරය වෙනුවෙන් රටේ ප්‍රධාන ක්ෂේත්‍රයක් හෑල්ලුවට ලක්කළ අයෙකු සහ ඔහුට සහයෝගය දැක් වූ අයවලුන්ට යුක්තිය සිදු කිරීම මූලික වගකීමකි. එවැනි කාරණා සුළුවෙන් තැකීම හෝ ආණ්ඩුව තුළ සිටින පිරිස් තම පෞද්ගලික අභිලාෂයන් සලකා එවැනි සිදුවීම් ව්‍යාකූල කිරීම නායකත්වයේ ඉරණම තීන්දු කළ හැකි කාරණා වේ.

මෙම තත්වය තුළ ආණ්ඩුව විසින් දුෂණ-වංචා මෙන්ම රාජ්‍යය සම්පත් අවභාවිතයට එරෙහිව ගෙන යන අධිකරණ ක්‍රියාමාර්ග හුදු නාටක පමණක් වීමේ බරපතල අවදානමක් තිබේ. ඇවන්ට්-ගාඩ් සිදු කරනු ලැබූ අපරාධය ගැන ඍජු තීරණ ගැනීම සහ ඒ වෙනුවෙන් කටයුතු කරන රාජ්‍යය නිලධාරීන්ට තම කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා රාජ්‍යය බලය සහ අනුග්‍රහය ලබාදීම අතිශය වැදගත් වේ. ඒ වෙනුවට, වගකිව යුත්තන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම ව්‍යාජ රඟපෑමක් පමණක් බවට පත්කොට ඒ වෙනුවෙන් කටයුතු කරන අය හෑල්ලුවට කිරීම මඟින් සිදුවන්නේ ආණ්ඩුව තව දුරටත් දුර්වල වීම පමණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන යහපාලන ආණ්ඩුව රටට ඉතුරු කිරීමට යන ශේෂ පත්‍රය “දේශපාලන සහවාසය තුළ දිය යටින් ගින්දර ගෙන යෑම”, වුවහොත් මෙහි අවසානයේදී රටේ බිහි කරනු ලබන්නේ “සාමුහික කොල්ලකාරීන්ගේ” නාටකයේ තවත් එක් ජවනිකාවක් පමණි. මෙම ජවනිකාවට, රටට අවශ්‍යය ජාතිකත්වය හෝ ජනතාවට අවශ්‍යය පරිපාලනය ලබා දිය හැකි යැයි විශ්වාස කිරීම විහිළුවක් පමණි. ජනතාවට, බොරුවට එහා ඉතුරුවන බිබික්කමක් නැත.

රුඩියාඩ් කිප්ලින් තම සුප්‍රකට කැලෑ පොතේ සටහන් කළ කාරණයක් මීට කදිමට ගැලපේ. “නමුත්…. කැලය පිළිබඳ නීතිය කැලෑ නීතිය පමණි. එසේම රංචුවක් පිළිබඳ නීතිය රංචුවට පමණි.” කැලෑ නීතියේ දශවසරකට අධික කාලය ජනතාව අත්වින්දෙමු. ඉන් පසු ජනතාව තෝරාගත් ආණ්ඩුවෙන් “රංචුවකගේ නීතිය” ක්‍රියාත්මක වනු දැකීම බලාපොරොත්තුව නොවූබව සිහිපත් කළ යුතුය.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa