Image Credit: wsj.com

සිරකරුවන්ව බොහෝ විට අපරාධකරුවන් සහ අශිෂ්ඨයන් වශයෙන් පමණක් නොව, මන්ද බුද්ධිකයන් වශයෙන් පවා ලේබල් ගසා සමාජ අපවාදයට ලක් කෙරේ. නිල ලේඛන රහිත ශිෂ්‍යයන්ව රජයේ පාසල්වලට ඇතුළත් කර නොගැනීමට බලය දිය යුතුද මැයෙන් පැවති විවාදයකදී, හාවර්ඞ් විශ්ව විද්‍යාලයීය විවාද කණ්ඩායම පරාජය කොට, නැගෙනහිර නිව්යෝර්ක් පුනරුත්ථාපන කඳවුරු කණ්ඩායම ජයග‍්‍රහණය කළහ.

සිරකරුවන්ට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් සළසන එවැනි විවාද තරගවල ප‍්‍රතිචාර සහ ප‍්‍රතිඵලවලින් පේ‍්‍රරණය ලැබූ මහනුවර මානව හිමිකම් කාර්යාලය, එහි අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමාගේ මග පෙන්වීම යටතේ, පල්ලෙකැලේ බෝගම්බර බන්ධානාගාරයේ සිරකරුවන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල නීති පීඨයේ ශිෂ්‍යයන් අතර විවාද තරගාවලියක් පැවැත්වීමට නියමිත ය. මෙම තරගාවලිය බන්ධානාගාරය තුළදී පැවත්වෙන අතර, එය සිරකරුවන්ගේ අයිතිවාසිකම් උදෙසා කෙරෙන අරගල ව්‍යාපාරයේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වනු ඇත.

අවුරුදු විසි හතක් සිර ගෙයක කල් ගෙවා සිටි, හිටපු දකුණු අප‍්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඬේලාට කරන ගෞරවයක් වශයෙන් මෙම තරගාවලිය නම් කොට ඇත්තේ ‘මැන්ඬේලා පලිහ’ යනුවෙනි. සිරකරුවන්ට ඇලවෙන ගතානුගතික ලේබල් ඉරා දැමීමට මෙන්ම, ඔවුන්ට ගර්වයෙන් සහ අභිමානයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන අතරේම ඔවුන්ට පිළිගැනීමක් ලැබෙන සහ ඔවුන්ගේ කුසලතා ඇගැයීමට ලක් කිරීම මෙහි අරමුණ වන්නේය. රටේ පවතින අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය (පොලිස් බලකායන්, උසාවි සහ සිරකරුවන්ද ඇතුළත්) සෑහීමකට පත්විය හැකි කාර්යක්ෂම කාර්ය භාරයක් ඉටු කරන්නේය යනුවෙන් පේරාදෙණිය නීති පීඨ කණ්ඩායම වාද කරන අතර ඊට එරෙහිව බෝගම්බර සිරකරුවන්ගේ විවාද කණ්ඩායම කරුණු දක්වනු ඇත.

සමාජයේ බහුතරයක් විසින් සිරකරුවන්ව අපහාසයට ලක් කරනු ලැබුවත්, ඔවුන්ද මිනිස් ගරුත්වයට හිමිකම් සහිත මනුෂ්‍යයන් ය. ලෝකය පුරාම ක‍්‍රියාකාරිකයෝ සුළුතර අයිතීන් වෙනුවෙන් මොන තරම් හඬ නැගුවත්, අවසනාවකට මෙන්, සිරකරුවන්ගේ කණගාටුදායක තත්වය කිසිවෙකුගේ අවධානයට ලක් නොවන අතර, ඔවුන් කවුරුන් විසිනුත් අමතක කරන ලද සුළුතරයක් බවට පත්ව තිබේ. සිරකරුවන්ට වධ දීම සහ නරක විදිහට ඔවුන්ට සැළකීම පිළිබඳ චෝදනා නැගෙන අතරේම, ඔවුන්ගේ ප‍්‍රශ්න කෙරෙහි සංවේදී වීමට බාධා පමුණුවන දුර්වලතා අපේ අපරාධ යුක්ති විනිශ්චය ක‍්‍රමය තුළ දක්නට ලැබේ.

පුනරුත්ථාපනය කරන ලද සිරකරුවන් නැවත සමාජයට එන විට ඔවුන්ට ඇලවෙන අපවාදී ලේබලය නිසා ඔවුන්ට යළිත් සාමාන්‍ය සමාජයට අනුකලනය වීම දුෂ්කර කටයුත්තක් වී තිබේ. සිරකරුවන්ගේ දුක ගැන සංවේදී වීමට ශ‍්‍රී ලංකාවේ සංස්කෘතියෙන්ද අනුබලයක් නොලැබේ. ඔවුන් කරන ලද අපරාධ පසුපස පවතින නොකියූ කතාවන්ට සවන්දීමේ සූදානමක්ද අපේ සමාජයට නැත.

රට පුරා සිරගෙවල් 38 ක් පවතින අතර සිරකරුවෝ 17,000 ක් ඒවායේ වෙසෙති. එම පිරිසෙන් 1200 ක් සිරගතව සිටින්නේ බෝගම්බරයි. මේ කථික විවාද තරගාවලිය තුළ, අපරාධ විනිශ්චය පද්ධතියේ සාර්ථකතා සහ දුර්වලතා ගැන අවධානය යොමු කිරීමට ගන්නා ප‍්‍රයත්නයේදී, සිරගෙවල් ජනාකීර්ණ වීම වැනි ප‍්‍රශ්න ගැනත් සැලකිල්ල යොමු කිරීමට අපේක්ෂා කෙරේ. සිරකරුවන් කෙරෙහි බලධාරීන් විශ්වාසය තබන්නේ නම් සහ සාර්ථක දණ්ඩනයන් කි‍්‍රයාත්මක කරන්නේ නම් එවැනි ප‍්‍රශ්න ඉතා පහසුවෙන් විසඳාගත හැකි ගැටළු වන්නේය.


*2016 සැප්තැම්බර් 8 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ The Mandela Shield between Prisoners and Law Students නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයෙනි