Image:Vikalpa (පානම ජනයාගේ ඉඩම් අයිතියට අකුල් හෙලන ලාහුගල ප්‍රාදේශිය ලේකම් ඇතුලු පිරිස, පානම රාගම්වෙල දී..)

පානම මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම්වලින්, පහර දී බලහත්කාරයෙන් පන්නා දැමූවේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ මැරයින් විසිනි.

ඉන්පසු පැමිණි යහපාලන ආණ්ඩුව විසින් එම ඉඩම් හෙක්ටයාර 116න් හෙක්ටයාර 25ක් හැර ඉතිරි ඉඩම් ජනතාවට නිදහස් කිරීමට කැබිනට් මණ්ඩල පත්‍ර්‍රිකාවකින් තීරණයකර වසරකට වැඩි කාලයක් ගතව ඇතත් අදාළ නිළධාරීන් එම කැබිනට් තීන්දුව ක්‍රියාක්මක නොකර සිටින බව පවසමින් ගොනු කළ රිට් පෙත්සම, පසුගිය(28) දින සළකා බැලූ අභියාචනා අධිකරණය එහි වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් 24වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේ ය.

පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ පුංචිරාල සෝමසිරි විසින් එම පෙත්සම ගොනු කරන ලද්දේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් ආර්.පී.ආර්. රාජපක්ෂ, අම්පාර දිසා ලේකම් තුසිත පී. වනිපසිංහ, ලාහුගල ප්‍ර‍ෙදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න, පොලිස්පති පූජිත ජයසුන්දර, වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන්, ගුවන් හමුදාපති ගගන බුලත්සිංහල, නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමිනි.

පෙත්සම්කරු වන පුංචිරාල සෝමසිරි මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ කැබිණට් මණ්ඩලයේ තීරණය අනුව ඉඩම් බෙදා දෙන ලෙස රිට් අඥාවක් නිකුත්කරන ලෙසත්, රුපියල් 50000.00ක වන්දි මුදලක් ලබා දෙන ලෙසත්ය.

කෙසේ නමුත් 2000 වසරේදී සන්නද්ධ කණ්ඩායමක් පැමිණි පුංචිරාල සෝමසිරි ඇතුලු ගම්වාසීන් සියලු දෙනාගේම නිවාස සහ වගා බිම් ගිණි තබා ඔවුන්ට ද පහර දී එළවා දැමීමෙන් පසු සිවිල් සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව පානම මිනිසුන්ගේ ඉඩම් අයිතිය යළි ලබා ගැනීම වෙනුවෙන් අරගල කළේය.

ඒ අරගලවල ප්‍රතිඵලයක් ලෙස අද කිසියම් ජයග්‍රහණයක සේයාවක් පෙනෙමින් ඇති බවත්, විශේෂයෙන් එම ඉඩම් නොදීමට තවමත් කැස කවන පිරිස්වලටත් මෙම අධිකරණයේ මතය කිසියම් බලපෑමක් විය හැකි බවට මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මතයයි.

විශේෂයෙන් පොතුවිල් අධිකරණය විසින් පානම මිනිසුන්ගේ ඉඩම් අයිතිය පිලිබද පැහැදිලි අදහසක් ප්‍රකාශ කර සිටියදී ද, මානව හිමිකම් කොමිසම ද ඔවුන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පැහැදිලි නිර්දේශ ඉදිරිපත් කර තිබිය දී ද විශේෂයෙන් 2015 පෙබරවාරි 11වනදින නව යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල තීරණය ද නොසලකා හරිමින්, එම අරගලයේ නිරත වන නායකයන්ට විවිද තර්ජනය කරමින්ද හැසිරෙන විවිධ කණ්ඩායම් සහ ආණ්ඩුවේ මෙන්ම විවිධ දේශපාලන චරිත ද ‘පානම ඉඩම් අරගලය‘ ට එරෙහිව ක්‍රියාකිරීමට පෙර දැන් දෙවරක් කල්පනා කලයුතු වන්නේ ‘තර්ජකයින්ගේ‘ ම යහපතට බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. ඒ තරමටම පානම මිනිසුන්ගේ ඉඩම් අරගලය යුක්තිය දෙසට මෝරා ඇති බව මේ සියලු දෙයින් පෙනී යනු ඇත.

2016 මාර්තු 30වනදින පොතුවිල් අධිකරණයේ අදහස නීතිඥ රවීන්ද්‍රා සුමතිපාල මෙනවිය ‘විකල්ප‘ සමග කළ ප්‍රකාශය නැවත වරක් සටහන් කරන්නේ එහි ඇති වැදගත්කම නිසාවෙනි.

‘‘ඒසේම අපි ඔප්පු කර පෙන්නුවා මෙම ඉඩම ගුවන් හමුදාවට අයිති ඉඩමක් නොවන බවත්, කැබිනට් තීන්දුවක් මත මේ ඉඩම් ප්‍රමාණය ඒ ප්‍රදේශයේ ජනතාවට බෙදාහරින්න නිදහස් කර තිබෙන ඉඩම් ප්‍රමාණයක් බවත් ඉතාමත් සාධාරණ හේතු මත මේ ජනතාව ඒ ඉඩම්වලට ඇතුල් වූ බවත් අපි පෙන්වා දුන්නා.

පසුව අධිකරණය තීන්දුවක් විදිහට දුන්නා ඔවුන්ට කිසිදු ප්‍රශ්ණයක් නැතුව ඉඩම් වලට ඇතුල් වීමට හැකියාව තිබෙනව බවත්, ඒ වගේම ඔවුන්ගේ ඉඩම් අයිතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් සමග එකතු වී ඒ ඉඩම් අයිතිය ලබා ගන්න ඉක්මනින් කටයුතු කරන ලෙසත් අධිකරණය දන්වා සිටියා…‘‘

එබැවින් ඉඩම් කොල්ලකරුවනි ප්‍රවේශම් වන්න!

පහතින් දැක්වෙන්නේ ‘පානම ඉඩම් අරගලය‘ සම්බන්ධයෙන් වන සටහන් කිහිපයක් වන අතර එ්වා කියැවීමේදී දින පිළිබදව ද අවදානයෙන් කියවන මෙන් ඉල්ලා සිටිමු

පානම ඉඩම් අරගලය ජයග්‍රහණයේ මාවතට..

පානම ඉඩම් දයා ගමගේ කොල්ලකයි

පානම ‘යහපාලනයට‘ අයත් නැතිද?

[VIDEO]‘අපට කිසිම සහනයක් නැතිනම් අපිව මරලා, ගමම නැති කරලා ඉන්න ගෙවල් වලත් හොටල් ගහගන්න’

ගමට ගිය ගම්මුන්ට හමුදා බලපෑම්, අධිකරණ නියෝග, | ‘යහපාලනය’ කෝ ?

යහපාලනය ඉල්ලන පානම

‘අසවල් දේ අපට ලැබුණා යැයි අපිට ප‍්‍රීති වන්නට පුළුවන්ද?’ කාන්තා දිනය සහ ”පානම” කාන්තාවෝ!

@VIKALPA