Image:Vikalpa File(Land Issue in Vallikamam/Jaffna)

ශ‍්‍රී ලංකාවෙි පලාත් බෙදීම එංගලන්ත ජෝර්ජ් රජුගෙන් උරුමවුවක් බව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වන මෛත‍්‍රීපාල සිරිසේනයන් විසින් ප‍්‍රකාශ කරණ ලදී. එහෙත් පවතින දේශපාලන සාහිත්‍යට අනුව ඩොනමොර් ප‍්‍රතිසංස්කරණ මගින් සිදුවුයේ උඩරට සහ පහතරට ලෙස බෙදීපැවති දෙපළාත ඒකාබද්ධ කර පරිපාලන බලය පමණක් විමධ්‍යගත කරමින් පාලන යාන්ත‍්‍රණයක් ගොඩනැගීමය.

1947 දී සම්පාදිත සෝල්බරි ව්‍යවස්ථාව මගින්, යටත්විජිත පාලකයන් මෙරට වෙත ඒකීය රාජ්‍ය ස්වරූපය හදුන්වාදුන් අතර ජාතිකවාදීන් විසින් ඒකීය රාජ්‍ය සංකල්පය පෝෂණකිරීමෙන් පසු එය ‘සිංහල- බෞද්ධ’ ලෙසට වර්ධනයකරණ ලදී. ගැටළුව පවතින්නේ එ්කීය හෝ ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමය තුල පුරවැසියා සමානව පිළිගනී ද යන්නය.

රාජ්‍ය සහ සිවිල් සමාජ මුලාශ‍්‍රයන්ට අනුව ශ‍්‍රී ලංකාව බහුවාර්ගික රාජ්‍යයකි. එකී බහුවාර්ගිකත්වය ශ‍්‍රී ලංකා රාජ්‍ය ප‍්‍රතිපත්ති මගින් අභියෝගයට ලක්වී ඇත. සිංහල භාෂා පනත, ගොවි ජනපද ව්‍යාපාර, 1972 ශ‍්‍රී ලංකා අධ්‍යපන ප‍්‍රමිතිකරණ පනත, සහ 1978 ජනරජ ව්‍යවස්ථාව මගින් බෞද්ධාගමික ප‍්‍රමුඛස්ථානය ආදි ප‍්‍රතිපත්ති බහුවාර්ගිකත්වය නොසලකා වාර්ගික පාක්ෂිකතත්වයන් ඇතිකරන ලදී. ලංකා ධජයතුල පවා වාර්ගික එකමුතුබව නොසලකාහැර තිබේ. මෙම සමානාත්මතාව නොසලකා හැරීමට එදිරිව 50-50 දේශපාලන යෝජනාව ඉදිරිපත් වු අතර එය ප‍්‍රතික්ෂේප කළ පැවති ආණ්ඩු සිංහල බෞද්ධ මතවාදය පෝෂණය කිරිමෙි ප‍්‍රතිඵලයක් ලෙස වාර්ගික එකමුතුභාවය ඉරිතැලුණි. මෙම එකමුතුභාවයේ බිඳවැටීමේ අවසාන රූපකය නම් තිස් අවුරුද්දකට අධික ව දිග්ගැස්සුණු යුද්ධය වෙි. නන්දිකඩාල් කලපුවෙි දී ත‍්‍රස්තවාදය අවසන්වුයේ යැයි පවසන්නේ ද මෙකී යුද්ධයේ අවසානය වේ. යුධ අවි භාවිතය අවසන් වුව ද යුද්ධයේ මුලබීජ එලෙසම පවතින බව පශ්චාත් යුධ දේශපාලනික තත්වයන් මගින් පෙනීයයි. උදාහරණ ලෙස, යුද්ධයේ අයුක්තිය පෙන්වාදෙන විග්නේෂ්වරන් ද්‍රෝහියකු කිරීම ප‍්‍රක්ෂේපණය කරනු ලබන්නේ යුද්ධයේ එක්මුල බීජයක්වන දේශපාලන පිලිගැනීමේ වන අසමානතාවයයි.

වර්ථමාන ආණ්ඩුවෙි ආමාත්‍යවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා ට අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ෆෙඩරල් ක‍්‍රමය සම්පුර්ණයෙන් ම ප‍්‍රතික්ෂේප කරයි. එහෙත් සිරිපාල ට අමතක වු කරුණනම් එම පක්ෂය බණ්ඩාරනායක නායකත්වය යටතේ බලය බෙදීම පිළිගත් බවය. 1957 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනාකරන ලද බණ්ඩාරනායක- චෙල්වනායගමි ගිවිසුමත්, 1965 දී එක්සත් ජාතික පක්ෂ යෝජනාවක් වු ඩඩ්ලි- චෙල්වනායගම් ගිවිසුමේත් පදනම වන්නේ බලය විමධ්‍යගත කිරීමකි. 1994 දී පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණුඩුවේ සාමසාකච්ජා මේසයේ ප‍්‍රධාන නියෝජිතයකු වන නිමල් සිරිපාල අද ෆෙඩරල් ක‍්‍රමයට විරුද්ධවීම පුදුම සහගතය.

ෆෙඩරල් කොයිකටත් තෛලය නොවේ. ෆෙඩරල් ක‍්‍රමය මගින් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය බෙදාවෙන්වුවත‍්, එමගින් ප‍්‍රජාතාන්ත‍්‍රක ආණ්ඩුකරණය වෙත පදනමක් ලබාදුන්න ද එමගින් ජනතාවගේ දෛනික ගැටළු විසදේ ද? නමුත ලංකාව වැනි බහු සංස්කෘතික රටක් තුළ එවැනි සාකච්ඡාවක් 30අවුරුදු යුද්ධයකින් පසුවවත් මතු කිරීම වැදගත් ය. දෛනික ගැටළු විසදීමට පවතින ඒකීය රාජ්‍ය ක‍්‍රමය මගින් සහයෝගයක් ලබානොදීම හේතුවෙන් දෙමළ දේශපාලනය ෆෙඩරල් ක‍්‍රමය යෝජනාකරණ බව දේශපාලන සාහිත්‍ය විමසීමේ දී පෙනීයයි. ඒකීය රාජ්‍ය මගින් සිදුකරණු ලබන අසමාන දේශපාලන නියෝජනය, මධ්‍යගතකරණය මගින් පරිධියේ අවශ්‍යතා නොසලකාහැරීම්, වාර්ගිකත්වය සමඟ අනන්‍යවූ දේශපාලන නියෝජනය සහ සිංහල- බෞද්ධ පුරුෂෝත්තමවාදය සමඟ බැදී පවතින දේශපාලන සමාජානුයෝජනය බහුතරයක් වු පුරවැසියන් තුළ ෆෙඩරල් රාජ්‍යක්, ෆෙඩරල් අදහස් සඳහා බිය එමගින් රෝපණකර ඇත.

හරිණි අමරසුරිය විසින් විවියන් ගුණවර්ධන සැමරුමේ සිදුකළ කතාවේ දී සිදුකළ පහත උපුටා ගැනීමෙන් පෙනීයන්නේ පවතින රාජ්‍ය ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය වියයුතු ආකාරයයි. ඇය නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමෙි කමිටුවේ සමාජිකයෙක් ලෙස කටයුතුකිරීමේ ද ලත් අත්දැකීම් ඉදිරිපත්කරණ ලදී.

”ඔවුන්ගේ (කමිටුව වෙත පැමිණි ස්ත‍්‍රීන්ගේ) යෝජනා පිටුපස තිබුණේ ජීවත් වීමට කරනු ලබන අරගලයක් තුළ අත්දැකීම්ය. උදාහරණයක් ලෙස ළමයින්ට අධ්‍යාපනය ලබා දීමේදී මුහුණ දෙන ගැටළු, සෙඛ්‍ය සේවාවන් ලබා ගැනීමේදී මුහුණ දෙන ගැටළු, සමාජ ආරක්ෂන අයිතීන් නැති වීම, ගෘහය තුළ හා සමාජයේ පරචණ්ඩත්වය සහ බලහත්කාරකම් නිසා මුහුණදිය යුතු තත්ත්වයන්, යුද්ධය නිසා පවුලේ සාමාජිකයන් අතුරුදහන් වීම සමග ඇති වන ගැටළුවල ජීවනෝපාය මාර්ග නැතිවීම, ණය බරින් පෙලීම සම්ප‍්‍රදාය, සංස්කෘතිය හා ආගම නමින් පාලනයට ලක්වීම, යනාදී කරුණු ඔවුන් අප වෙත ඉදිරිපත් කළහ. මෙම ප‍්‍රශ්න හා ගැටළු තුළින් හෙම්බත් වී එම තත්ත්වයන් වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් පැමිණ සිටියහ. නව ව්‍යවස්ථාව තුළින් ඔවුන් බලාපොරොත්තු වූයේ ඔවුන් මුහුණදෙන අසාධාරණකම්වලින් ආරක්ෂාවයි. මෙම කාන්තාවන් බොහෝමයක් මෙම ප්‍රශ්න ඉදිරිපත් කළ පළමු අවස්ථාව ද මෙය නොවීය”

ඉහත ප‍්‍රකාශිත කාන්තා සංජානනයට අනුව නව ව්‍යවස්ථා සම්පාදනය මගින් බලාපොරොත්තුවන්නේ ස්ත‍්‍රීන් පොදු සහ පෞද්ගලික අවකාශයන් තුල දෛනිකව මුහුණදෙනු ලබන අසමානතාවය, අයුක්තිය සහ නොසලකාහැරීම් සඳහා ප‍්‍රබල ව්‍යවස්ථා ආමන්ත‍්‍රණයකි. මෙය කාන්තාවන් ට පමණක් නොව සමස්ථ ශ‍්‍රී ලංකා සමාජයට ම පොදු ලක්ෂණයකි.

මාගේ කුඩාබැණනුවන් ගේ මුහුණුවරට සමාන වු බලචන්ද්‍රරන් යුධබිමේ දී ජිවග‍්‍රහණයෙන් ගෙන පසුව මරාදමන ලද බව ප‍්‍රකාශ විය. බලචන්ද්‍රන් හා සමවන දරුවන් විශාල ප‍්‍රමාණයක් යුද්ධයේ අවසන් අදියරෙදී මියගිය බව වන්නි ජනාතාවගෙන් අසන්නට ලැබුණි. දරුවන් මියගියේ ෂෙල්වෙඩි මගින් පමණක් ම නොවන බවත් රාජපක්ෂ ආණ්ඩුව විසින් කරණ ලද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාලනය හේතුවෙන් දරුවන් බඩගින්දරෙන් සහ වෛද්‍යාධාර නොමැතිව මියගිය බවත් බොහෝ වන්නිවරු ප‍්‍රකාශකරණ ලදී.

No Fire Zone හි එක් ස්ත‍්‍රියක් ප‍්‍රකාශත ආකාරයට පුදුකුඩුඉරිප්පු රෝහලවෙත ෂෙල් ප‍්‍රහාර එල්ල වී, රෝගීන් ගේ රුධිරය වැසි ජලය සමඟ මුසුව ගලාගිය බවත්, බොහෝ රෝගින් එම අවස්ථාවේ දී නිසි ප‍්‍රතිකාර සහ වෛද්‍යාධාර නොමැතිව පිඩාවෙන් සහ මිය යමින් සිටි බවය. ඒකීය රාජ්‍ය තුළ සිදුකල යූධ අවස්ථාවේදී කෘෘරත්වයෙන් නොසලකාහැරී තමන් එකීය රාජ්‍ය වෙතම විශ්වාස තැබීමට නොහැකි බව ෆෙඩරල් යෝජනා තුලින් ඔවුන් පෙන්වා දෙයි.

එසේම බලචන්ද්‍රරන් වැනි බොහෝ මියගිය දරුවන් පිලිබඳ කිසිදු සදහනක් නොමැතිව අප ලෝක ළමා දිනය උත්කර්ෂවත්ව සැමරුවෙමු. දරුවන් උදෙසා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමේ සිහිනයේ ජිවත්වන එක්සත් ජාතික පක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යුද්ධෙයන් මිය ගිය සහ අතුරුදහන් වු දරුවන් පිලිබඳ යුද්ධයෙන් වසර 07කට පසුව ද නිසි සංගණනයක් කිරීමට නොහැකි වීමෙන් පෙනීයන්නේ තවදුරටත් පවතින රාජ්‍ය ස්වරූපය ‘පුරවැසියා‘ සමානව පිලිනොගැනීමකි. යුද්ධය හේතුවෙන් දෙමාපියන් අහිමි වුයේ දෙමළ දරුවන්ට පමණක් නොවේ. යුද්ධය පැවති ප‍්‍රදේශයන් හි ජිවත්වු මුස්ලිම් දරුවන්ට සහ යුද්ධයෙන් මියගිය සිංහල සෝල්දාදුවන්ගේ දරුවන් ද අමතක කිරීමට නොහැක. එහෙත් රාජ්‍ය යාන්ත‍්‍රණයට මෙකී දරුවන්ගේ සමාජ සුරක්ෂණය උදෙසා කිසිදු තිරසාර පිඹුරුපතක් නොමැත. LTTE සමාජිකයා පැනයාමට තැත් කිරීමේදී වෙඩිතබා ඝාතනය කිරිම හේතුවෙන් වන්දි ගෙවීමට නොහැකි වු හමුදා නිලධාරියා වෙනුවෙන් බන්දුල ගුණවර්ධන ප‍්‍රධාන කණ්ඩායම බලවත් උනන්දුවක් සහ උද්යෝගයක් දක්වන ලදී. මෙම බන්දුල ගුණවර්ධන මුදල් ඇමතිව සිටීයදී යුද්ධයෙන් වින්දිත වු සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙක් වාර්ගික දරුවන් වෙනුවෙන් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් දිර්ඝකාලීන සුබසාධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට නොහැකිවීම තේරුම් ගැනීමට නොහැකි කරුණකි.

යුද්ධයේ දී ජිවිත විනාශ සිදුවේ. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් ලෙස, යුද්ධයකදී ජිවිත විනාශ අවම කිරීමට පියවර ගත යුතුවෙි. ජත්‍යන්තර ප‍්‍රඥප්ත්ති මගින් රාජ්‍යයේ මෙකී වගවීම අවධාරණය කරණු ලැබේ. එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අන්තර් ජාතික රතු කුරුස සංවිධානය පෙන්වා දෙන ආකාරයට යුද්ධය පැවති අවස්ථාවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සිවිල් සංවිධාන සියල්ලම වන්නි භුමියෙන් ඉවත්කරණ ලදී. එක්සත් ජාතින් ආණ්ඩුවේ අණ පිළිපදිමින් වන්නියෙන් ඉවත්වන්නේ සිවිල් වැසියන්ගේ දැඩි ඉල්ලීම් ද නොසලකමිනි.

සිවිල් සංවිධාන ඉවත්වූ පසු රජයේ හමුදාව විසින් දැඩි ප‍්‍රහාර වන්නිය වෙත එල්ලකරණ ලද බව වන්නිවරු පැවසීය. මෙලෙස තමා සහ තම දරුපවුල් මරාදමමින් අවසන් වුනු යුද්ධය වාර්ෂිකව සමරණ කරන ඒකීය රාජ්‍ය වෙනුවට ෆෙඩරල් යෝජනා කරණුයේ පවතින ඒකීය රාජ්‍ය මගින් තමා වෙත කිසි දිනෙක සමාන දේශපාලන පිළිගැනීමක් හිමිවන ලකුණු නොමැතිවීමෙනි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon