Image: www.worldpeacetech.com

සෙනසුරාදා(Sep 10) සූරිච්හි දී මම, බොහෝ සේ යොදා ගැනෙන හා බෙහෙවින් අයුතු ලෙස යොදා ගැනෙන සාමය ගොඩ නැගීම නම් යෙදුම ආශ‍්‍රිතව පවත්නා සමහර අදහස් හා අභියෝගයන් ගැන කෙටි දෙසුමක් පැවැත්වීමි. ශ‍්‍රී ලංකාවේ දී නම් සාමය ගොඩ නැගීම වඩාත් ම සමීපව සම්බන්ධ වන්නේ ”ප‍්‍රාදේශීය, කලාපීය හෝ ජාතික වශයෙන් වේවා ” ගැටුම් නිරාකරණය හෝ විපරිවර්ථනය පිළිබඳ මුල පිරීම්වල නිරත ක‍්‍රියාකාරකයන්ගේ ව්‍යාපාරයක් සමග ය. මාධ්‍යය හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනය මේ කටයුතුවල නිරත සිවිල් සමාජ පුද්ගලයන්ට හා සාමූහිකයන්ට එරෙහිව ”සපුරා නොවැදගත් නැති මුත් බොහෝ විට ඵලදායක විචේචනයෙන් බෙහෙවින් ඔබ්බට යමින් පලි ගන්නා, පටු හා පක්ෂග‍්‍රාහී අභිප‍්‍රායෙන් ” වසර ගණනාවක් ම බෙරිහන් දී ඇති හෙයින් මෙය ගැටලූ සහගත සම්බන්ධයකි.

පෙනෙන පරිදි නම් සාමය සොයා යාම හා ශක්තිමත් කිරීම පිළිකාවට පිළියමක් සෙවීමට අසමාන නොවන හෙයින් ප‍්‍රසිද්ධියේ හෝ තදබල ලෙස විරුද්ධ විය හැකි යමක් නොවේ. එහෙත් එය විසින් ජනනය කර ගැනෙන ඒ විරුද්ධත්වය ම ය, සාමය නිර්වචනය කෙරෙන, සන්නිවේදනය කෙරෙන හා ආරක්ෂා කෙරෙන මග ද වන්නේ ය. 2007 දී මම, යුද්ධයට සහ එවක බලයේ සිටි අත්තනෝමතික, ලිබරල් විරෝධී ආණ්ඩුවට මගේ විරුද්ධත්වය සඳහන් කරමින් ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පතක කොලමක් පළ කළෙමි. ඊට දැක්වුණු ප‍්‍රතිචාරය අපේක්ෂා කළ හැකි පරිදි ම අතිශයින් ම බෙදුණේ විය ”පාඨකයෝ ඊට ඇලූම් කළහ නැත් නම් වෛර කළහ, මැදහත් වී නම් ඒ යන්තමිනි. සාමය ගොඩ නැගීමේ අභියෝගය එතැන ය” දැනට මත් අදහස ගැන උද්‍යෝගිමත්ව සිටින්නන් ඒත්තු ගැන්වීම පහසු ය; එහෙත් අරමුණක් සඳහා උපක‍්‍රමයක් ලෙස යුද්ධයක් නොහොත් ප‍්‍රතිඵලය (යම් ආකාරයක සාමයක්) උපක‍්‍රමය යුක්ති සහගත කරන්නේ ය යන අදහස කෙරෙහි විශ්වාසය තබන්නන් සම්බන්ධ කර ගැනීම මුළුමනින් ම නොහැකි නොවන්නේ නම් බොහෝ සේ අපහසු වන්නේ ය.

මේ සියල්ල සම්බන්ධ මගේ උනන්දුව, විශ්වවිද්‍යාලයේ දී මා ශාස්ත‍්‍රපති උපාධිය සඳහා තාක්ෂණය හා ගැටුම් නිරාකරණය හැදෑරූ සමය තෙක් අතීතයට දිව යයි. එහෙත් ඊට පෙර ’90 ගණන්වල අග දිල්ලියෙහි උපාධි අපේක්ෂකයෙකුව සිටිය දී මා ඉන්දියාවේ ආර්ථිකය විවෘත වන සැටි සහ ඒ සමග අන්තර්ජාලය හා පරිගණක භාවිතය සම්ප‍්‍රාප්ත වන සැටි දැක තිබිණ.

එවකට මම දිල්ලියේ දීට වඩා හොඳ පරිගණක සම්බන්ධතාවක් රත්මලානේ දී භුක්ති වින්දෙමි. පරිගණක භාවිතය පිළිබඳ විවිධ නිපුණතාවන් යොදා ගෙන (AutoCAD දන්නා පුතුන් හෝ WordPerfect හා Dbase III Plus දන්නා දූවරුන්) පුවත්පත්වල පළ වන විවාහ යෝජනා කියවනු දැක විස්මයට පත් මම තාක්ෂණය ඉන්දියාව තුළ සහ වඩාත් පුළුල් ලෙස ගත හොත් දකුණු ආසියාව තුළ සමාජ හා දේශපාලන සම්බන්ධතා කෙරෙහි කවර නම් බලපෑමක් කරනු ඇත් දැයි සිතුවෙමි.

මෙය කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව හා පකිස්ථානය අතර ආතතීන් අතිශයින් ම ඇවිලී ගිය සමයක් වූ හෙයින් හුදෙක් ආණ්ඩු විසින් ප‍්‍රවර්ධනය කෙරෙන ප‍්‍රචාරක කටයුතු හැරුණු විට පුද්ගලයන් අත ද සන්නිවේදන ක‍්‍රම පවත්නා කල්හි ඒවායින් ප‍්‍රචණ්ඩ ගැටුම කෙරෙහි කවර නම් බලපෑමක් සිදු වනු ඇත් දැයි මම මවිත වීමි. මේ වනාහි ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් හා අද දින සමාජ මාධ්‍යය ලෙස සැලකෙන හැම දෙයකට ම පෙර විය. ඇත්තෙන් ම ඒ වනාහි කවදා නමුත් සමාජ මාධ්‍යය නම් යෙදුම නිර්වචනය කෙරෙන්නට හෝ භාවිත කෙරෙන්නට පෙර විය; හාත්පස පැවතියේ ජංගම දුරකථනත් ප‍්‍රබලයන් සඳහා වූ ජංගම සරඹ ශාලාත් පමණකි. ඒ වනාහි එක් ගිණුමකට මෙගාබයිට් 2කට ආසන්න ප‍්‍රමාණයක් සහිතව යාහූ! පමණක් පැවති, ජීමේල් නොපැවති, A/S/L on ICQ සෙවීම තව මත් කළ නොහැකි වූ සහ MSN Messenger තව මත් ‘නවතම’ වූ සමයකි.

ඒ වනාහි අන්තර්ජාලය සමග සම්බන්ධ වීමට පූර්වයෙන් අපූරු අමිහිරි හඬක් නැගුණු හා එළි නිවි නිවී පත්තු වුණා වූ ද ඇත්තෙන් ම ගූගල් ආයතනය සමාගමක් බවට පත්ව යන්තම් වසරක් පමණක් ගෙවී තිබුණා වූ ද සමයකි. මම මවිත වී බලා සිටියෙමි, දැනුදු බලා සිටිමි” සාමය ගොඩ නැගීම සඳහා තාක්ෂණය කිනම් බලපෑමක් කරනු ඇත් දැයි, මතු නො ව, යුද්ධය ප‍්‍රවර්ධනය කිරීමට, නිදොස් කිරීමට සහ ඇත්තෙන් ම එහි පිරිවැය වසන් කිරීමට කෙසේ යොදා ගැනෙනු ඇත් දැයි.

2007 දී මා ලියූ කොලමට ලැබුණු ප‍්‍රතිචාරවලින් එළිදරව් වූයේ ශ‍්‍රී ලංකාව තුළ මාධ්‍යය හා සන්නිවේදන ක‍්‍රම ඒ වන විටත් යුද්ධය ප‍්‍රවර්ධනය කිරීම සමග නොවෙන් කළ හැකි ලෙස වෙළී පැටලී තිබුණු තරම යි. එල්ටීටීඊයේ ෆැසිස්ට්වාදයත් ආණ්ඩුවේ ඒකාධිපතිවාදයත් ඉතා ම වෙනස් අරමුණු දෙකක් ද බොරු ප‍්‍රචාරය කිරීම ද ප‍්‍රචාරක ව්‍යාපාර ද විවෘතව හා නිතරගයෙන් අවිශ්වසනීය හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම ද උදෙසා එකට වැඩ කරමින් දෛනික මාධ්‍ය ආහාර වේල හරහා ඒ වන විටත් සාමාන්‍ය පුරවැසියාගේ අවධානය උරා බී ගෙන තිබිණ. මුසාබස් ප‍්‍රමාණවත් තරම් කාලයක් නැවත නැවතත් කියූ විට සත්‍යයෙන් වෙන් කොට හඳුනා ගත නොහැකි තරමට පත් වේ. යථාර්ථය ගොඩ නගනු ලැබුණේ පාලනය කිරීම, වාරණය කිරීම හා සීමා කිරීම හරහා ය බොහෝ විට ප‍්‍රචණ්ඩත්වය හරහා ය. එල්ටීටීඊය හෝ ආණ්ඩුව කී කතන්දරය විශ්වාස කළවුන්ට කිසි ම ගැටෙන මතයක් හෝ විවේචනාත්මක ප‍්‍රශ්න කිරීමක් සමග සම්බන්ධ විය නොහැකි විය. අද අප ඉතා වෙනස් සමාජ-ආර්ථික වාතාවරණයක් භුක්ති විඳින නමුත්, එල්ටීටීඊය ද නැති නමුත්, සාධාරණ සාමයක් ඇති කිරීම, සන්නිවේදනය කිරීම හා තිරසර කිරීම තව මත් අභියෝගයකි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට එතරම් ම සතුරුකමක් නො පැවතිය හැකි ද?

අවධාරණය කෙරෙන්නට පෙර පවා වගවීම නම් යෙදුම ආශ‍්‍රිතව එතරම් ම ප‍්‍රචණ්ඩත්වයක් ඇති නොවිය හැකි ද? ශ‍්‍රී ලංකාව තුළ සිටින බොහෝ දෙනෙකු නන්දිකඩල්වල සිදු වූයේ කුමක් දැයි දැන සිටිය හැකි ද? දකුණුදිග ‘වීරයන්’ උතුරේ වීරයන්ගෙන් එතරම් ම පැහැදිලි ලෙස වෙනස් හා විජාතික නො විය හැකි ද? ප‍්‍රවෘත්ති හා තොරතුරු තමන්ගේ අරමුණුවලට ගැළපෙන පරිදි හැඩ ගස්වා ගැනීමේ දී අද දවසේ වඩාත් ම ජව සම්පන්න, බලගතු ම නියෝජිතයන් වන්නෝ අත්තනෝමතික ආණ්ඩු ද අයි.එස්.අයි.එස්. වැනි non-state actors ද වෙති. විමුක්තිය පිළිබඳ මුල් කාලීන ප‍්‍රතිඥාව සහ විමුක්තිය සඳහා පැවති ශක්‍යතාව කෙබඳු වී ද යන්නත් පක්ෂග‍්‍රාහී දේශපාලන අවශ්‍යතාවන් විසිනුත් වඩ වඩාත් වාණිජමය ලාභය විසිනුත් පැහැර ගැනෙන ඍජු හෝ වඩාත් ප‍්‍රතිචාරාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ(responsive democracy) වාස්තු විද්‍යාවන් කෙබඳු වී ද යන්නත් මම දැක ඇත්තෙමි. නෝර්වේහි පැරණිතම හා ප‍්‍රචලිත ම පුවත්පත්වලින් එකක කතුවරයා, ප‍්‍රසිද්ධ කිරීමට පෙර අන්තර්ගතය මකා දැමීමේ හා අවහිර කිරීමේ පූර්ණ හැකියාව නැති හෙයින් තමන් ෆේස්බුක් අඩවියට බිය වූ බව පැවසුවේ මේ පසු ගිය සතියේ ය. සාමය ගොඩ නැගීම සඳහා තාක්ෂණය සතු ශක්‍යතාව පිළිබඳව කතා කිරීමට පවා, එය අසාර්ථක වී ඇති තරම පිළිබඳවත්, එපමණක් නො ව, ප‍්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත් කිරීමට, යුද්ධ යුක්ති සහගත කිරීමට සහ ශ‍්‍රී ලංකාව තුළ දී කල් තියා සැලසුම් කොට අපහසු, මෑත අතීතයක් මකා දැමීමට දායක වී ඇති තරම පිළිබඳවත්, මධ්‍යස්ථ තක්සේරුවක් කළ යුතු වේ.

මම දිගින් දිගට ම බලාපොරොත්තු තබා ගනිමි. සිරස්තල, news feeds හා යාවත්කාල කිරීම් ප‍්‍රමුඛ වශයෙන් අවධානය යොමු කරන්නේ සිදුව ඇති වරද කුමක් ද යන්න හෝ ඉතා ම වැරදියට සිදු වෙමින් පවතින වරද කුමක් ද යන්න පිළිබඳව ය. එහෙත් ශ‍්‍රී ලංකාව තුළ ද ඉන් ඔබ්බෙහි ද හරියට කෙරෙන බොහෝ දේවල් ඇත. online ක‍්‍රමයෙන් කරන ලද ප‍්‍රචණ්ඩ ලෙස පසුපසට තල්ලූ කිරීම් හා කුරිරු පණිවුඩ යැවීම් සියල්ල ම තිබිය දීත්, කවර හෝ හේතුවක් නිසා සමාජයෙහි හා දේශපාලනයෙහි සහ යෞවන ප‍්‍රාර්ථනාවන්හි අද්දරවල සිටින GLBTIQ ප‍්‍රජාවන්ට, කාන්තාවන්ට, අනන්‍යතා කණ්ඩායම්වලට, කුඩා සමාජ ව්‍යාපාරවලට සහ සාක්ෂි අත ඇති පුද්ගලයන්ට, වර්ගය හා වරප‍්‍රසාද ගැන කතාබහ කිරීම, පොදු යහපත තකා තොරතුරු කාන්දු කිරීම, ප‍්‍රධාන ප‍්‍රවාහයේ කිසිදු මාධ්‍යයක් කිසි දා ගොස් නැති හෝ නොයනු ඇති ස්ථානවල සිට ඒ මොහොතේ ම යාවත්කාලීන කිරීම, අසාමාන්‍ය ඉදිරි දැක්මවල් ඉදිරිපත් කිරීම, සාමාන්‍යයෙන් නෑසෙන හඬවල් ඇසෙන්නට සැලැස්වීම යන මේ සියල්ල ම සහ තවත් දෑ ද, තාක්ෂණය නිසා දැන් නූගතෙකුට පවා අවසරයකින් හෝ වියදමකින් තොරව කළ හැකි ය. මේ පසු ගිය වසර කිහිපයකට පෙර තොරතුරු හිඟයක සිටි අපි දැන් ප‍්‍රවෘත්ති තොගයක් වෙත අවධානය යොමු කර ඒ අතරින් තෝරා ගැනීම පිළිබඳ අර්බුදයකට මුහුණ පා සිටින අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස අද දින සාමය සමග සම්බන්ධ වීමේ දී ද ඒ අර්බුදයට ම මුහුණ පා සිටිමු; අද දවසේ සාමය වනාහි කොතරම් වාද විවාද කෙරෙන්නා වූත් සංකීර්ණ වූත් අතථ්‍ය වූත් දෙයක් ද යත් අප සැබෑ ලෝකය තුළ තහවුරු කිරීමට උත්සාහ කරන දෙයක් වන තාක් දුරට ම පත්ව ඇත්තේ ය.

මෙය මේ විෂය ක්ෂේත‍්‍රය තුළ කටයුතු කිරීමට සුදුසු කාලයකි. බොහෝ විට දේශපාලනය, මාධ්‍යය, සමාජ වෙනස, ප‍්‍රකාශ ලිවීම හා පුරවැසි මාධ්‍යය(politics, media, social change, memorialisation and civic media) ගැන උනන්දු වන නමුත් ඒ සියල්ල අතරවාරයේ මම ඉඳුරා ම බිඳෙනසුලූ සංවාදවල, සම්බන්ධතාවල හෝ සන්නිවේදනවල සුසංවාදී භාවය ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණය සම්බන්ධ කළ හැකි (නව, නවෝත්පාදක, තිරසර) ක‍්‍රම සිතා බැලීමට උත්සාහ කරන්නෙමි. මම බොහෝ විට මට අවධානය යොමු කිරීමට සිදුව තිබෙන දෙයින් කෝපයටත් අපේක්ෂා භංගත්වයටත් පත් වන නමුත් වැඩ කිරීම කිසි විටෙක සිත් ගන්නාසුලූ නොවන්නේ නො වේ.

මා තාක්ෂණය සමග හැකි තාක් පෙළ ගැසෙන අතර දේශපාලනික වර්ධනයන් ගැන වැඩිපුර සැලකිලිමත් නොවන්නේ නම් පෙලඹෙන්නේ අයිතිවාසිකම්, ආචාර ධර්ම හා අභිමානය පිළිබඳ උනන්දුවකිනි. පළමු වැන්න මා විසින් මා තදබල ලෙස එකඟ නොවන හඬවල් උදෙසා Online හා වෙනත් සංවාද මණ්ඩපවල දී සටන් කරනු ලැබීමේ අවශ්‍යතාව මතු කරයි. දෙවැන්න මා සතු වරප‍්‍රසාද පරීක්ෂාවට ලක් කරන අතර අදහස් සම්බන්ධයෙන් දැඩි ලෙස නමුත් සංවාදකයන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කිරීමට ද කල්පනා කිරීමට ද මා දිරි ගන්වයි. තුන් වැන්න යනු මට නම් බොහෝ විට ක‍්‍රමානුකූලව වෙනස්කම් කරනු ලැබීමෙන් වඩාත් ම පීඩාවට පත්ව ඇති අයට සාමය ගොඩ නැගීම පිළිබඳ ක්ෂේත‍්‍රය තුළ දී තාක්ෂණය විසින් සලසා දිය හැකි දෙය යි.

ඊළඟ පස් වසර හෝ දස වසර අප හැඩ ගස්වන තාක්ෂණයන්ගේ ස්වරූපයෙන් මොනවා රැගෙන එනු ඇත් දැයි කවුරු දනිත් ද?. දාහතර වසරකට වැඩි කාලයක් තිස්සේ මා පෙලඹී ඇත්තේ දේශපාලනය, අභිදේශනය, ක‍්‍රියාවාදය හා විද්වත් ප‍්‍රජාව තුළ සිටින වඩාත් යහපත්, බෙහෙවින් දීප්තිමත් චින්තනයෙන් යුක්ත වූවන්ගේ කටයුතු හා අදහස්,(politics, advocacy, activism and academia take root) බොහෝ විට සාකච්ඡා කෙරෙමින් හෝ යෝජනා කෙරෙමින් පවත්නා දෙයට අතිශයින් ම සතුරු වාතාවරණයන් තුළ මුල් බැස්වීම සඳහා උදව් කිරීම ගැන වූ උනන්දුවකිනි. මෙහි දී සාර්ථකත්වය සඳහා යොදා ගත හැකි වට්ටෝරුවක්, සර්ව රෝග නාශකයක් නැත. එහෙත් අපගේ ස්වභාවය තුළ පවත්නා ඉතා ම නරක දෙය පරිණාමනය කිරීමේ බලය තාක්ෂණය තුළ ඇත.

එය මා උනන්දු කරයි, පොලඹවයි.

sanjanaසංජන හත්තොටුව | Sanjana Hattotuwa (මෙම ලිපිය සංජන හත්තොටුව වෙබ් අඩවියේ පළවූවකි. පරිවර්තනය ‘විකල්ප‘)