Image Credit: nytimes.com

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇවන්ට් ගාඩ් නඩු විභාගය සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීම සහ ඔහු විසින් ආතක්-පාතක් නොමැතිව සිදු කළ ළතෝනිය රටේ බහුතරකගේ දැඩි විවේචනයට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අමන්දානන්දයට හේතු වී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරදා සිදුකළ කථාව සම්බන්ධයෙන් ඔහු පෞද්ගලිකව ඉතා කනස්සල්ලට පත් වී ඇති බව පැහැදිලි කාරණයකි. එමඟින් ඔහු ඔහුගේ දේශපාලන චරිතයට සිදුකරගත් හානිය ඉතා බරපතළ එකක් වන නමුත්, මැතිවරණයක් ආසන්නයේ නොමැති හෙයින්, සැකයට භාජනය වූ තම ප්‍රතිරූපය යළි සකස් කර ගැනීම සඳහා ගතවෙමින් පවතින කාලය තුළදී ඔහුට කටයුතු කළ හැකිය. ඒ සඳහා ඔහු අනුගමනය කරන උපායන් සහ අනෙකුත් ක්‍රමවේද ගැන ඉදිරි කාලය තුළදී නිරීක්ෂණය කළ හැකි වනු ඇත.

මෛත්‍රීගේ මූලික වගකීම ඔහු රට පාලනය කළ අනෙකුත් දූෂිත සහ අධිපතිවාදී නායකයින්ගේ ගොන්නට එකතු නොවීම සඳහා කටයුතු කිරීමය. ස්ටාලින් තමන්ගේ පුත්‍රයා නාසීන් විසින් අල්ලාගත් පසු හැසිරිණු ආකාරය බොහෝ දෙනෙකු දන්නේය. ඒ සටාලින් පෙනී සිටි දේශපාලන දර්ශණය කිසිම හේතුවක් නිසා පවා නොදීමට ඔහු කටයුතු නොකළ බැවිනි. එසේනම්, රාත්‍රී සමාජ ශාලා ගැටලුවක් හේතුවෙන් තම දේශපාලන සහවාසියා සමග ගනුදෙනු කිරීම හත්පොලේ ගෑ ගැනීමක් කරගත යුතු නැත. ඉතිහාසය අපට පාඩම් උගන්වා ඇත.

මෛත්‍රී, තමන් විසින් මූලික වශයෙන් ප්‍රතික්ෂේප කරණු ලැබූ කාරණයක් සහ පුද්ගලයින් වෙනුවෙන් යළි පෙනී සිටීම සඳහා අහේතුක තර්කයක් මතු කළේ මන්ද? මෙය තම පුත්‍රයා සම්බන්ධයෙන් එක්තරා වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වීම මඟින් ඇති වූ කාරණයක අතුරු ප්‍රතිඵලයක් බව ජනාධිපතිවරයාට සම්බන්ධ මූලාශ්‍ර පෙන්වා දෙනු ලබයි. අදාළ කාරණය මීට ඍජු හෝ වක්‍ර සම්බන්ධයක් තිබුණද වැදගත් වන්නේ ඔහු ඇවන්ට් ගාඩ් සමාගමට අදාල නඩු විභාගය මූලික කරගෙන එය අර්ථශූන්‍ය එකක් බව අර්ථගැන්වීමට උත්සහ කිරීමයි. එසේම එය අනෙකුත් කාරණා සමඟ පටළවා ගැනීමයි.

යම් කිසි හූනියමක් හෝ කුමන්ත්‍රණයක් විසින් ඔහුගේ ඥානය සුන්නත් කොට ඇත. එහි සතුට ගෝඨාබය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ විසින් භුක්ති විඳිමින් සිටිති. හබන් කුකුළන්ගේ නාදය යහපාලනයේ කන්බෙරය පළුදු කොට ඇත. මෛත්‍රී ඉන් ඉතා ඉක්මනින් ඉගෙනගෙන ඇතැයි සිතමු. ඒ නිසා ඔහු රාජපක්ෂ සමඟ යළි හවුල් ආණ්ඩු ගසනු ඇතැයි සිතීමට තරම් කලබල විය යුතු නැත්තේ එවැන්නක් සිදු වුවද ඊට ජනපදනමක් නිර්මාණය කරගත නොහැකි බැවිනි.

යම් පුද්ගලයෙකු කුමන හෝ කාරණයක් හේතුවෙන් කේන්තියෙන් පසුවන විට, තෙවැනි පාර්ශවකයට ඔහු මෙහෙවීම සඳහා ඉතාම පහසු මාර්ගයක් නිර්මාණය කරදෙනු ලබයි. බොහොමයක් වැදගත්, නිහතමානී සහ විනීත පුද්ගලයින් වටා ඒක රාශි වූ සර්පයින් එම මිනිසුන්ගේ ජීව ගුණයන් ක්‍රමයෙන් ඩැහැ ගනු ලැබුයේ එම පුද්ගලයින් යම් කිසි කාරණයක් නිසා විඩාවට හෝ දුකට පත් වී සිටින අවස්ථා නිවැරදිව භාවිතා කිරීමෙනි. වෙනත් ක්ෂේත්‍ර වල සේම දේශපාලනය තුළද මෙවැනි දෑ සෑම විටම සිදු වේ. “තමන් සෑම විටම වර්ණනා කරන්නා, එක්කෝ මෝඩයෙකි නැතහොත් කට්ට කෛරාටකයෙකි,” යන පුරාණ චීන කියමන මෙවැනි කාරණාවල ඇති වෙස්මුහුණ වඩාත් හොඳින් නියෝජනය කරනු ලබයි. ඕනෑම තැනක මුල් පුටුවට පැමිණි පසු තමන්ට ආශ්‍රය කිරීමට සිදුවන පිරිස ඉතාම සීමා සහිතය. විශ්වාසදායක තොරතුරක් ලබා ගැනීම සඳහා සිදුකිරීමට සිදුවන කැපවීම ඉතාම අභියෝගකාරීය.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ සිදුවීමෙන් පසු හුදෙකලා කිරීමෙන් කිසිඳු වාසියක් රටට අත්වන්නේ නැත. ඉන් වාසිය අත්වන්නේ පසුගිය දශකය තුළ රට කාබාසිනියා කළ හොර දේශප්‍රේමීන්ට පමණි. නමුත්, ඔහුගේ අදහස සම්බන්ධයෙන් තුළනාත්මක විවේචන ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යය කාරණයකි. ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම සදාචාර සම්පන්න ලෙස සමාජයක පැළපදියම් වූ විට එවැනි විවේචන වඩාත් වැදගත් මෙන්ම සාධනීය වගකීමක් ඉටු කරනු ලබයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා උසාවියට “දක්කාගෙන” යෑම ගැන වඩාත් කෝපයට පත්වීම සඳහා හේතුව අදාළ රැස්වීම සංවිධානය කළ පිරිස විසින් අටවනු ලැබූ උගුලක පැටළීමක් බව වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. සභාවේ අමුත්තන්ට වාඩිවීම සඳහා පිළියෙළ කර තිබු ආසනවල ස්වභාවය කුමක්ද? එහිදී ජානාධිපතිවරයා සමඟ වාඩි වී සිටි පුද්ගලයින් කවුරුන්ද? ඔවුහු අදාළ කාරණය ගැන ජනාධිපතිවරයා දැනුවත් කරනු ලබන්නේ රටට වාසියක් අත්වන ආකාරයෙන්ද? නැත්නම්, ඔවුන්ගේ පෙර වැරදි වසා ගැනීම සඳහාද? අදාළ උත්සවයේ ජනාධිපතිවරයාගේ එකත් පසෙක සිටින්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකි. ඔහු, ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් දරණ අදහස මෙන්ම ඔහු රාජපක්ෂ පරිපාලනය තුළ සිදු කළ “පරිපාලන” කටයුතු සම්බන්ධයෙන් ආරක්‍ෂක කටයුතු ගැන සැලකිල්ලක් දක්වන සියල්ලෝම දනිති. එසේම, ඔහු වටා සිටින අනෙකුත් පිරිස අතර සිටින ඇතැමුන්ගේ තත්වයද එසේමය.

නයින් රෙද්ද ඇතුළේ දමාගෙන කනවා යැයි කෑ ගැසීමෙන් තේරුමක් නැත. නයින් පලවා හැරීම සඳහා යම් කිසි සාධනීය වැඩපිළිවලක් ක්‍රියාවේ යෙදවිය යුත්තේය. මෙම සිදුවීමේදී සිදුවී ඇත්තේ රෙද්ද ඇතුළේ දමාගෙන ඇති නයින් දෂ්ඨ කිරීමක් පමණක් නොව. නයින්ගේ මනදොළ පිනවීම සඳහා තමන්ට ජනතාව ලබාදුන් බලය අපහරණය කිරීමකි.

යහපාලන ආණ්ඩුව මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය තුළ සිදු කළ යුතුව තිබු වෙනස්කම් රාශියක් සිදු නොකළ අතර, තවමත් අමාත්‍යාංශය පාලනය වන්නේ රාජපක්ෂ පරිපාලනයේ ගැත්තන්ගේ අතිනි. ඔවුහු , තැන දුටු තැන මෛත්‍රී පමණක් නොව වත්මන් ආණ්ඩුව අයාලේ හෙළන ආකාරය වඩාත් හොඳින් දන්නේය.

එසේම, වත්මන් ආරක්‍ෂක ලේකම් හෙට්ටිආරච්චි මහතා තම තනතුර ව්‍යාකූල සහ දුර්වලතාවයේ සංඛේතයක් බවට පත් කොට ඇත. දශකයකට ආසන්න කාලයක් තිස්සේ මුලු රටම මර්ධනය කරනු ලැබූ ආරක්‍ෂක අමාත්‍යාංශය තුළ ඇති දේශපාලන නිවැරදිව කියවීම ඉතා වැදගත් වේ. මෙහිදී සේනාධිනායකයා ලෙස ජනාධිපති සිරිසේන මහතා අසමත් වී සිටියි. එය නිවැරදිව මෙහෙවීමේ සාමන්‍යය දැනුමක් තිබේ නම්, වෙනකකුගේ ලණු අනුභව කරන්නේ නැත.

ජනාධිපති සිරිසේන මහතාට තම පරිපාලනය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අවශ්‍යතාවයක් තිබේනම්, ඇවන්ට් ගාඩ් සමබන්ධයෙන් සිදුවන නඩු විභාගය සඳහා වැරදි අර්ථ නිරූපණයක් ලබා දී, එය “රණවිරු දඩයමක්” ලෙස හුවා දැක්වීම නොකළ යුතුය. එය රට හමුවේ යළි නිවැරදි කළ යුතුය. මන්ද, අදාළ නඩුව තවත් මාස දෙකකින් කැඳවීමට නියමිත බැවිනි.

රණවිරු දඩයම ගැන කතා කරමින් රණවිරුවන්ට සැලකීමට කිසිම මොහතක අමතක නොකරන බව සඳහන් කරන හෙතම, හිටපු ගුවන් හමුදාපති ගගන බුලත්සිංහල එලවා දමනු ලැබූ ආකාරය කුමක්ද? ආරක්‍ෂක හමුදාවක ප්‍රධානියෙකු කිසිඳු පෙර දැනුම් දීමක් නොමැතිව සහ චාරිත්‍රානුකූලව සේවයෙන් විශ්‍රාම ගැන්වීම රණවිරුවන්ට සලකන පරිපාලනයක් තුළ සිදුවේ. නමුත් ජනාධිපතිවරයාට එම මූලික සම්ප්‍රදායෙන් බැහැරවීමට සිදු වූ හේතුව කුමක්ද? වංචාවකට සැකකරුවන් වී සිටින හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකු ගැන කුඹුල් කඳුළු හෙළන හෙතමට සේවයේ සිටි නිලධාරියෙකුට සැලකිය යුතු මූලික මූලධර්මය අමතක වීම හාස්‍යයට කාරණයකි.

ජාතික ආරක්ෂාව යනු හැඟීමක් නොව, සිහි බුද්ධියෙන් කළයුතු ඉතාමත් තීරණාත්මක වැඩපිළිවෙලකි. මෙරට බොහෝ නායකයින් අඝාදයට ඇද වැටුණේ එම මූලික කියවීම තුළ අතරමං වූ හෙයිණි. ජනාධිපති මෛත්‍රිපාල මෙන්ම යහපාලන ආණ්ඩුව මෙහිදී අමතක නොකළ යුතු වැදගත් කාරණය වන්නේ, රාජපක්ෂ පරිපාලනය පරාජය කිරීම සඳහා රටේ ආරක්‍ෂක අංශවලින් සීයට අසුදෙකකට වැඩි ප්‍රමාණයක් තම ඡන්දය භාවිතා කළ බවයි. එය සිදු කරනු ලැබුවේ ඔවුහු සියලුදෙනාටම බරපතළ බලපෑමක් එල්ල වී තිබූ අවස්ථාවකය. එම සීයට අසූදෙක, ජනාධිපති මෛත්‍රී සඳහන් කරන හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ගැන ඉතාම හොඳින් දන්නා අයවලුන් වෙති.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa

සබැදි සටහන්

පුරවැසියන්ට වග නොකියන යහපාලනයක්?

ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන්ගේ පේලි ගැසීමේ නව අවධියක්?

ජනාධිපතිටත්, මහින්දගේ රෝගයම වැළදෙමින් පවතීද?

අහෝ… එට්ටු මෛත්‍රී — ස්වාධීන කොමිෂන් සභාවලට පෙණේ පුම්බයි!

ජනපති කතාව කණකොකා හැඬීමක්!