Image: Screen Shot/news.lk

ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ කකුල කටේ දමා ගැනීමට හපනෙකි. එමෙන්ම ඔහු අයත් වන්නේ විශේෂ කුලකයකටය. එනම් වැදගත් තනතුරු සදහා ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටින නොගැලපෙන නිලධාරීන්ගේ ගොන්නටය.

කලින් වතාවක් අඥාන පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මේ හාදයා ජනමාධ්‍යට උපදෙස් දෙමින් කියා සිටියේ ‘ඒකාබද්ධ විපක්ෂය’ යන නම රාජපක්ෂවාදී මංත්‍රී කණ්ඩායමට ආදේශකර ලිවීම වරදක් බවය. නමුත් ඔහුගේ එම මාධ්‍ය අවවාදය පිළිගැනීමට සූදානම් කවරකුවත් ජනමාධ්‍යයෙහි සිටියේ නැත. එබැවින් ඒ අනතුරු හැඟවීම තිඹිරිගෙයිදීම මියැදුනි.

එම මුග්ධ පුවත්පත් නිවේදනයෙන් පසු ප්‍රකාශයක් කළ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක කියා සිටියේ ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

මේ නිවේදනයට ඇමැති කරුණාතිලක සම්බන්ධ ද?

දැන් මේ හාදයා ජනපති සිරිසේන විසින් දූෂණ විමර්ශණ ආයතනයන්ට බැණවදිමින් කළ කතාව, වාර්තාව මෙන්ම එවැනි වාර්තා කළ යුත්තේ කෙසේදැයි කාටවත් නොතේරෙන අප්‍රභංශ ලියැවිල්ලක් ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුවත් පත් නිවේදනයක් ලෙස දැන් ප්‍රසිද්ධ කර තිබේ.

පළමුවෙන්ම ඔහු කියන්නේ අමු බොරුවකි. එනම් ජනපතිවරයාගේ එම කතාව අභ්‍යන්තර රැස්වීමකදී කළ එකක් බවයි. ඒ මෙසේය: ‘‘අතිගරු ජනාධිපතිතුමා විසින් සිය ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථයට අයත් අභ්‍යන්තර රැස්වීමකදී කරන ලද ප‍්‍රකාශයක්’’. එය අභ්‍යන්තර රැස්වීමක් නම් මාධ්‍යට විවෘත වූයේ කෙසේද? එම රැස්වීම විඩියෝ කරන්නට අවසර ලැබුණේ කෙසේද?

මේ ලියැවිල්ලේ කියැවෙන එක් අරුම පුදුම අවවාදයක් නම් ජනපතිගේ හෝ අගමැතිගේ හෝ ප්‍රතිරූපයට හානිදායක ලෙස එම කතාව ඇසුරෙන් වාර්තා නොකළ යුතු බවයි. ඔහු මෙසේ කියයි: ‘‘එබැවින් එකී සියලු තොරතුරු මහජනයා වෙත වාර්තා කිරීමේ දී ඔබට ලැබෙන පූර්ණ නිදහස තුළ අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රතිරූපවලට කිසිදු හානියක් නොවන පරිදී එය සිදු කිරීමේ වැදගත්කම කෙරෙහි ප‍්‍රථමයෙන් මා ඔබගේ අවධානය යොමු කරවමි’’. කාගේවත් ප්‍රතිරූප ආරක්ෂා කිරීම ජනමාධ්‍ය කාර්‍යභාරය නොවන බව මෙ ලේකම්වරයා නොදන්නේද? ඇත්ත වහයෙන්ම නම් මෙම වැකියෙන් කියැවෙන්නේ දේශපාලනයකි. රාජ්‍ය නිලධාරියකුට එවැනි දේශපාලන අවවාද මාධ්‍යට දීමට අයිතියක් නැත.

තවද නිමල් බෝපගේ, ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයට දොස් කියන්නේ එම වාර්තා අනෙක් පාර්ශවයේ වැරදි වාර්තා නොකළ බව කියමිනි.

ඒ මෙසේය:

‘‘කිසියම් දෙපාර්ශවයක් අතර පවත්නා ඕනෑම ගිවිසුමක් හෝ එකඟතාවයක් ක‍්‍රියාවකින් මෙන්ම නොකර හැරීමකින්ද උල්ලංඝනය විය හැකිය. නොකළ යුතු යමක් කිරීම ද කළයුතු යමක් නොකර හැරීම ද එක සමාන බර තැබීමකින් සැළකිය යුතුය. එක් පාර්ශවයක හුදු ප‍්‍රකාශයකින් කිසියම් ගිවිසුමක් උල්ලංඝනය වන බවට බරපතල ප‍්‍රහාරයක් එල්ල කරන බොහෝ දෙනා ඊට පෙර සිටම අනෙක් පාර්ශවය විසින් නොකර හැරීම් මත නිහඬව සිදු කරන ප‍්‍රබල උල්ලංඝනය කිරීම් පිළිබඳව මුනිවත රකින්නේ නම් එවැනි සංවාදයක් විදග්ධ සංවාදයක් වන්නේ නැත’’.

මෙම වැකියෙන් ඔහු අගමැති පාර්ශවයෙන් කරන ලද උල්ලංගනයන් වාර්තා නොකරන ලදැයි මාධ්‍යට දොස් නඟයි. කෙටියෙන් ඔහු කියන්නේ ‘‘ජනපතිට විතරක් ගහන්න එපා, ප්‍රබල උල්ලංගනය කිරීම් කල අගමැතිටත් ගහන්න’’ කියා ය. මෙයද රාජ්‍ය නිලධාරියකුට නෙහොඹිනා සහමුලින්ම දේශපාලන ප්‍රකාශයකි. එනමුත් ජනාධිපතිවරයාගේ රැකවරණයෙන් වැජඹෙන බව පෙනෙන නිමල් බෝපගේට ඉන් ඇතිවන පාඩුවක් නැත.

ජනමාධ්‍ය ‘තනි තටුවෙන් පියැඹීමට උත්සාහ කිරීම බෙහෙවින් අනතුරු දායකය’ යැයි නොතේරෙන අවවාදයක් දෙන නිමල් බොපගේ සිය ප්‍රකාශයෙන් මෙසේ ද කියයි:

‘‘පරිදී අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයෙහි සඳහන් හුදු වචන කිහිපයක් පමණක් උපුටාගෙන ජනාධිපතිවරයාගේ දැක්ම ඒ තුළින් සොයා යෑමට උත්සාහ කිරීම සැබවින්ම සාහසිකය. දැනට වසර එකහමාරකට අධික කාලයක් පුරා එතුමාගේ දැක්ම කුමක් ද යන්න දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද තහවුරු වී පිළිගැනීමට ලක්ව තිබියදී මෙවැනි පටු අර්ථ නිරූපණ ඔස්සේ අනවශ්‍ය මාධ්‍ය කලම්ඹනයන් සිදු කිරීම මේ රටේ ඉදිරි අනාගතයටද අතිශයින් හානිකරය.’’

මෙමගින් ඔහු පැහැදිළිව දේශපාලන සිදුවීම් වාර්තා කිරීම ගැන අවවාදයක් නිකුත් කර තිබේ. ඉන් කියැවෙන්නේ තනි තටුවෙන් පියාඹන මාධ්‍ය සාහාසික බවය.

එකක් පැහැදිළිය. ජනපති- අගමැති විරසකයේදී නිමල් බෝපගේ ඉන්නේ කුමන පාර්ශවයේදැයි කීමට ඔහුට අවශ්‍ය වී ඇති බවය. මහා පරිමාණ වංචා දූෂණ පරීක්ෂණ සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහගේ වාර්තාව හොඳ එකක් නොවේ. බැදුම්කර වංචාවේ සිට තවත් බොහෝ රාජ්‍ය ආයතනයනිහි සිදුවන දූෂිත කටයුතු අගමැතිවරයා විසින් වසාගෙන සිටින බව අද ප්‍රසිද්ධ රහසකි.

අපි නිමල් බොපගේ මහතාට පොඩි අවවාදයක් දීමට කැමැත්තෙමු. එනම් අනුන්ගේ ඇහේ ඇති පොල් කෙන්ද සොයන්නට කලින් තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය දැක ගන්නා ලෙසයි. අද මෙරට අන්ත ජාතිවාදී මාධ්‍ය ආයතන දෙකතුනක් හැරුණ විට දේශපාලන වශයෙන් ඉතාම අගතිගාමී මාධ්‍ය අයත්වන්නේ නිමල් බෝපගේ ලේකම්කම දරන ජනමාධ්‍ය අමාත්‍යාංශයටය‍.

අනුන්ට උපදෙස් දීමට කලින් එකි ආයතනයන්හි සංස්කාරක මණ්ඩළ ස්වාධීනත්වය තහවුරු කළොත් නරකද? එම ආයතනයන්ට කැරෙන දේශපාලන පත්වීම් නතර කළොත් නරකද?

මේ ආණ්ඩුව පත්වූ දවසේ සිටම ජනපති- අගමැති දෙපාර්ශවයම තරඟයට මාධ්‍ය සදාචාරය ගැන උපදෙස්, අවවාද දෙමින් අනතුරු හැඟවීම් ද කරයි. නිමල් බෝපගේ ද ජාඩියට මූඩිය කීවා සේ දැන් මාධ්‍යට උපදෙස් දෙන්නට ම ඉපදුනාක් වැනිය.

මහත්වරුනි, කරුණාකර තමන් යටතේ ඇති දැවැන්ත රාජ්‍ය මාධ්‍ය ආයතන, ‘මහජන සේවා ජනමාධ්‍ය‘ බවට පරිවර්ථනය කර මාධ්‍ය නිදහසට සහ ආචාර ධර්මයන්ට ඇති කැපවීම මුලින් පෙන්වන්න.

ඊට පස්සේ උපදෙස් දෙන්න.

sd-120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya