2012 වසරේ තිරගත වු The Act of Killing ඉන්දුනිසියානු වාර්තා චිත‍්‍රපටය ජවනිකාවක් මා හට මතක් කර දීමට පසුගිය 20 වැනි දා රාත්‍රියේ වෙඩි තබා මරා දැමූ යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ මරණ සමත් විය. එම චිත‍්‍රපටයේ කතා ප‍්‍රවෘත්තිය 1965- 66 කාල පරාසය තුල සමුළ ඝතනයන් සිදුකළ අපරාධකරුවන්ගේ පාපොච්චාරණ මත කේන්ද්‍ර ගතවේ. එම අපරාධ සිදුකල ආකාරය ප‍්‍රතිරූපණය කරමින් අපරාධකරුවන්ගේ වින්දනයන් සහ චෛතසික ස්භාවයන් එම වාර්තා චිත‍්‍රපටය මගින් ප‍්‍රක්ෂණය කරනු ලැබේ. වාර්තා චිත‍්‍රපටයේ ප‍්‍රධාන අපරාධකරු පවසන ආකාරයට බොහෝ අවිහිංසක මිනිසුන් අණ නොතකා වරද පිළිනොගැනීම හේතුවෙන් මරාදමා ඇත. පසුගිය දා පොලිස් වෙඩි පහරින් මියගිය යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මරාදැමීම ද, ආරක්ෂක ලේකම්වරයා සාධාරණය කරණු ලැබූවේ අණ නොතකා යතුරුපැදිය ධාවනය කිරීම හේතුවෙන් සිදුවු මරණයක් ලෙසය. අණ නොතැකීම හේතුවෙන් මරාදැමීම සාධාරණය කිරීමට ආණ්ඩුව යොදාගන්නා සිතාම්බර සළුව නම් මුදලින් වන්දි ගෙවීමය. මුදලින් වන්දි ගෙවූ පමණින්ම සාධරණය සහ සිදුවු ජිවිත හානි සදහා යුක්තිය ඉටු වේද?

625-0-560-320-160-600-053-800-668-160-90-b

2015 නොවැම්බර් මස මුලතිව් උඩයාර්කට්ටු ගම්මානයේ ඇවිද ගිය මා හට මුණ ගැසුණු ස්ත‍්‍රියක් මෙසේ ප‍්‍රකාශකළාය.

”මම එයාව හමුදා කැම්ප් එකට ගෙන ගියේ පණපිටින්. එයා පණපිටින් හමුදාවට බාරදෙනවිට අපේ පුංචි දුවට මාස 02යි. දැන් ඒ දුවට අවුරුදු 06යි. දරුවාගේ තාත්තා හමුදාවට බාරදුන්නේ හමුදාව ඔහු ආරක්ෂා කරයි යන විශ්වාසයකින්. අද ඔහු අතුරුදහන්වෙලා. මට මොනවත් එපා. මට ඕනේ මගේ දරුවගේ තාත්තා. මමයි ඒ දරුවගේ තාත්තා පණපිටින් හමුදාව වෙත රැගෙන ගියේ. එයා ආපහු එන්න ඕනෙත් පණපිටින්. අතුරුදහන් වෙන්න බෑ.‘‘

ඇයගේ එක් ප‍්‍රකාශයක් මට තදින්ම දැනුණි. ‘හමුදාවට බාරදුන්නේ ඔහු ආරක්ෂා කරයි‘ යන විශ්වාසයකින්. එහෙත් සිදුව ඇත්තේ ආරක්ෂකයා විසින් ම ආරක්ෂා කළ යුත්තාව අනාරක්ෂිතව අතුරුදහන් කිරීමය. මෙය හුදු දෙමළාට පමණක් ම බල පෑ තත්වයක් නොවේ. 1980 දශකයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ දී හිස වෙන්ව ගිය බාගෙට පිළිස්සුණු මළකදන් මා දැක තිබේ. මගේ මතකයේ තවමත් සැරිසරණ සිදුවීමක් නම් මහවැලි ගගේ පාවී ගිය සුදු පැහැති කමිසයක් හැදි මුහුණෙහි පිලිසුසුම් තුවාළ මැනවීන් දැකගත හැකි වු තරුණ පුරුෂ ශරීරයයි. මගේ ඥතිවරියක් අදටත් පේරාදෙණිය පාලමෙන් පාගමනින් ගමන් කිරීම ප‍්‍රතික්ෂේප කරන්නේ, පාලමේ එල්ලු බාගේට පිලිස්සු මළ සිරුරු දුටු අතීතය නැවත නැවතත් ඇයට චිත්‍රණය වන හෙයිනි. පහළ කඩුගන්නා වංගුවෙි මිනී කන්දක් ඇතිබව ඇසු මාගේ මිත්තණිය එහි මගේ පියා සිටි දැයි සෙවීමට හැදිවත පිටින්දිම ගිය අයුරු මට මතක තිබේ. මාගේ අනුභුතියන්ගේ සහ උඩයාර්කට්ටුවේ ස්ත‍්‍රියගේ අනුභුතියේ සමාන ප‍්‍රස්තුතය නම් රාජ්‍ය ප‍්‍රජණ්ඩත්වය සහ මර්දනයන් මගින් අණ නොතකන්නන් මරාදැමීම හෝ අතුරුදහන් කිරීමයි.

දකුණ සහ උතුර රාජ්‍යයේ ප‍්‍රජණ්ඩත්වයට ගොදුරුවී හමාරය. එකී ප‍්‍රජණ්ඩත්වයෙන් මිය ගියේ සහ අතුරුදහන්වුයේ ආණ්ඩුවේ අණ නොතකා විකල්ප දේශපාලන ප‍්‍රවාහයක් වෙත ගමන් කිරීමට උත්සහ කල තරුණ ජිවිතය. කිලිනොච්චි, ධර්මපුරම් හීදී මුණ ගැසුණු බහුතරයකගේ හෘද සාක්ෂියේ ලියවී තිබු බලාපොරොත්තුව නම් දිනක ඔවුන් ගේ මියගිය සහ අතුරුදහන් වු සමාජිකයන් ට යුක්තිය ඉටුවීම උදෙසා ‘සත්‍ය‘ සෙවීය යුතු බවය. එක් ආගමික පුජකතුමෙක් මා හට පැවසුවේ ‘‘යුද්දේ වෙලාවේ අපි ලක්ෂ හතරක් විතර අනිත් පැත්තට යන්න ගියා. එ්කෙ දී ලක්ෂක් විතර මිස් වුනා. සමහරු මැරුණා. සමහරු අතුරුදහන් වුනා. ආණ්ඩුව තමා හෙයන්න ඔනේ මොකද වුනේ කියලා.” ඔහුගේ ප‍්‍රකාශය තුළ වු ප‍්‍රමාණාත්මක දත්ත පිලිබඳ අත්‍යවශ්‍යයෙන් ම සෙවිය යුතුය. පුරවැසියන් මිස් විය නොහැක. අතුරුදහන් වුවන් පිළිබඳ සෙවීම හමුදා ශ‍්‍රමිකයන් පවාදීමක් ලෙස වන වැරදී අර්ථකථනය සහමුලින් ම ප‍්‍රතික්ෂේප කළ යුතුය. මන්දයත් හමුදාව යනු මහජන මුදලින් නඩත්තුවන පුරවැසියා ආරක්ෂා කිරීමට වන ආයතනයක් මිස, සේනාධි නායකයා අණකළ පමණින් ම පුරවැසියන් අතුරුදහන්කිරීම ට සහ මරාදැමීම ට පිහිටුවා ඇති ආයතනයක් නොවේ. පසුගිය මහින්ද රාජපක්ෂ රෙජීමය තුළ දී හමුදා ශ‍්‍රමිකයා රණවිරුවකු සහ දේශප්‍රෙමියකු බවටත, මහින්ද රාජපක්ෂ රෙජීම විරෝධිකයා, දේශද්‍රෝහියකු බවටත් පත්කොට විරෝධිකන් මරාදැමිම හෝ අතුරුදහන් කිරීම සධාරණීයකරණය ලදී. මෙම ‘අධම දේශපාලනයට‘ විරුද්ධව දකුණ මෙන්ම උතුර ද පසුගිය ජනවාරි 08 වෙනි දා රෙජීමය පෙරලා දැමීමට උපරිම සහයෝගය දෙන ලදී. සැබවින්ම සිදුවුයේ රෙජීමයේ පුද්ගලයන් ගෙදර ගිය නමුත් රෙජීමයේ ලක්ෂණ රනිල්- සිරිසේන ලිබරල් සාම ආත්මප්‍රෝඩකයින් විසින් පවත්වා ගැනීමයි. එම ලිබරල් සාම උගුලේ ජාත්‍යන්තර ප‍්‍රජාව ද , ලාංකීක සිවිල් සමාජයේ බහුතරය ද පැටලී ඇත.

රනිල් වික‍්‍රමසිංහයන් ඉතිහාසයේ දී හදුනාගන්නේ තරුණයන් ට ශාරිරික පීඩාකිරීම දැකබලා තෘප්තියක් ලැබුවෙකු ලෙසණි. අද ඔහු ජනතාවගේ ඉච්ජාබංගත්වය සහ සමාජ, දේශපාලනික සහ ආර්ථික බිදවැටීමේ වේදනාවන් බලා සතුටු වේද? සිරිසේන ජනාධිපතිවරයා ට බොහෝ දේ අමතක වී ඇත. ඔහු හමුදා ශ‍්‍රමිකයින් මාස 18ක් සිරගත කිරීම අවධානයට ලක්කල ද වසර 06ක් ගතවන තුරුත් අතුරුදහන් වු වන් සදහා යුක්තිය ඉටුනොවීම ඇස නොගැටීම ප‍්‍රබලව ප‍්‍රශ්න කළ යුත්තකි. සංධ්‍යා එක්නැලිගොඩ සමවන බොහෝ වන්නි කාන්තාවන් මංගල මාලය ගලවන්නේ ද, -නොගලවන්නේ ද යන උබතෝකොටියෙන් පීඩා වීදින්නේ තම අතුරුදහන් වු සැමියන් ගෙදර එන දිනය නොදැනය. අනුන්ගේ යුද්ධයකට තමන් පව් ගෙවු වන්නියේ ජනාතාව පෙළන මානසික අවිනිශ්චීත බව, අහිමි කිරීමේ වේදනාව ඉවත දමමින් තමාගේ පක්ෂය ගොඩගැනීම ට අවධානය යොමුකිරීම සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන පරිහානිය විදහාපායි.

බහුතරයක් දෙමළ සහෘදයන් ට අනුව මේ ආණ්ඩුවත් ඔවුන් ව රවටමින් ඇත. උදාහරණ නම් ආණ්ඩුව පත්වී වසර දෙකකට පසුව යෝජිත නව ව්‍යවස්ථාව සහ අතුරුදහන්වු පුද්ගලයන් පිළිබඳ වන කාර්යාලයේ මන්දගාමී ක‍්‍රියාවලියයි. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ වාර්තාවන් ට අනුව නව ව්‍යවස්ථාව සම්පාදනය පිළිබඳ මහජන සාක්ෂරතාව 34%කි. එනයින් පෙනියන්නේ ව්‍යවස්ථාවේ අවශ්‍යතාව පිළිබඳ මහජනතාව එතරම් තැකීමක් නොකරණ බවය. ව්‍යවස්ථා සම්පාදනය හුදෙක්ම නීතිවේදීන්ගේ කරුණක් නොවන නමුත් නීතිවේදීන් සමාන්‍ය සමාජය පිළිබඳ සංවේදීතාවයකින් ව්‍යවස්ථා නිර්මාණය කලයුතු අතර මහජනතාවගේ දුක්ගැනවිලිවලට ආමන්ත‍්‍රණය කළහැකි ආයතන පිහිටු විය යුතුය. වන්නියේ බොහෝ ස්ත‍්‍රීන් සාක්ෂරතාවයේ අවම මට්ටමක සිටින අතර බහුතරයක් විවාපත්ව ඇත්තේ නිදහස් කොටින්ගේ නීතිය යටතේය. මෙම ස්ත‍්‍රීන්ගේ දුක්ගැනවිලි අතර මුඛ්‍ය කරුණ වූයේ පවුලේ මියගිය හෝ අතුරුදහන්වුවන් පිලිබඳ යුක්තිය ඉටුකරගැනීම සහ වර්ථමාන පවතින නිතිය තුල ඔවුන් වෛවාහක කාන්තාවන් ලෙස පිළිගෙන යුද්ධයෙන් වු විනාශය ට වන්දි ගෙවීමක් කරණ ලෙසය. ඔවුන් බලාපොරොත්තුවන ව්‍යවස්ථා වෙනසද එය වේ. අතුරුදහන්වු පුද්ගලයන් පිළිබඳ වන කාර්යාලයේ යෝජිත වු අපරාධ පරික්ෂණ සෙවීමේ ඒකකය පිහිටුවීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැපයීම රනිල්- සිරිසේන ලිබරල් සාමපේ‍්‍රමින් අමතකකර ඇත. එනම් හමුදා ශ‍්‍රමිකයින් සහ සිංහල බහුතරය අමනාප කර ගනිමින් සැබැ තිරසාර සාමය ගොඩ නැගීම රනිල්- සිරිසේන ලිබරල් සාම පේ‍්‍රමින් පසුබට වන බවය.

ඉතිහාසය චක‍්‍රයකි. 1972, 1983, 1988, සහ 2009 යනු අතුරුදන්කිරිම් ,මහමග පුලුස්සා දැමීම් සහ වධකාගාරයන් තුළ කෲරලෙස මරා දැමීම් සිදු වූ වර්ෂයන්ය. මෙය නැවත සිදුවීම වැලැක්විය යුතුය. බිහිසුණු ප‍්‍රජණ්ඩත්ව වැපිරූ එක්සත් ජාතික පක්ෂයත්, ‘මව්බිම නැතිනම් මරණය‘ කියා අණ නොතැකුවන් මරා දැමු ජනතා විමුක්ති පෙරමුණත් දකුණ විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහය තුළ දී අදවනවිට පිළිගන්නා ලදී. මෙම පක්ෂ හා සමවන නිදහස් කොටින් ද ප‍්‍රජණ්ඩත්වයෙන් ආණ්ඩුකරණයක් උතුර තුළ පවත්වා ගන්නා ලදි. ඒසේම මානුෂික මෙහෙයුම නම් ඊිනියා ක්‍රියාවලියක් ඔස්සේ වන්නිය ‘ඝාතක බිමක්‘ බවට පත්කර මරාදැමීම ‘විජයග්‍රහණයක්‘ බවට රෑපාන්තරණය කරමින් කිරිබත් කෑවේ ද පරාජය කරන ලද රාජපක්ෂ රෙජීමය යි. එකී උතුරට නිදහස ද ලබා දී ‘දේශපාලනිකව පිළිගැනීම‘ සිදුවිය යුතුම කරුණකි.

නොඑසේ නම්, අණ නොපිලිගන්නන් මරාදැමීම, අප විසින් තව දුරටත් ඉවසා සිටීම දෙදහස් පන්සිය ඉතිහාසයක්(!) ඇතිවුන්ගේ බයාදුකමක් වනු සහතිකය!!

අරුණි සමරකෝන් | Aruni Samarakoon

සබැදි සටහන්

පොලීසිය විසින් ඝාතනය කල සරසවි සිසුන් දෙදෙනා වෙනුවෙන් ශෝක දිනයක්!

ජනාධිපතිතුමණි, ‘මාස 18ක් නෙමෙයි, මම මාස 81ක් යුක්තිය හොයනවා’ – සන්ධ්‍යා එක්නැළිගොඩ

*[The Act of Killing නම් වාක්‍යට ගැලපෙන සිංහල අදහසක් දුන් සේපාල් අමරසිංහ සහෝදරයාට තුති-සංස්කාරක]