image by: ABC News

අහේතුක සහ සංවේදී කාරණා ඉලක්ක කරගත් සෘණාත්මක විවේචන හැරෙන්නේට ට්‍රම්ප්ගේ ජයග්‍රණය ගැන සහ ඊට පසුබිම් වූ හේතු කාරණා ගැන විමසා බැලීම ඉතාම විරලය. එනයින් බලන කළ එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල වෙසෙන තුලනාත්මක විවේචකයින් අභිබවා සුපුරුදු පරිදි වියෝව සහ කුපිත වීම මූලික කරගත් විවේචන රාශියක් ට්‍රම්ප්ට එරෙහිව ක්‍රියාත්මක වේ. සැබවින්ම මෙය අතිශය කනගාටුදායක කාරණයකි. එසේම ට්‍රම්ප් විවේචනය කිරීමට නොසුදුසුම කණ්ඩායම මොවුන් වේ. නව ලිබරල්වාදී විවේචකයින් සෑම විටම ප්‍රතික්ෂේප කරන කාරණය වන්නේ භූමියේ සත්‍යය තත්වයයි.

මෙම මැතිවරණයම අද සිරියාවේ පැවැත් වූයේ නම්, එනම් අල්-අසාද් යළිත් බහුතර ජනතාවගේ කැමැත්තෙන් තේරී පත් වූයේනම්, මතුවන තත්වය කුමක් විය හැකිද? එසේනම් , එක්සත් ජනපදය එම මැතිවරණය හොර මැතිවරණයක් ලෙස අරුත් ගන්වනු ඇත. එසේම හෙළන බෝම්බ ප්‍රමාණය තවත් වැඩි කරනු ඇත. මෙම තත්වය හමුවේ හඳුනා ගත යුතු මූලික කාරණය චිත්‍රණය වන්නේ මෙම මූලික රටාව තුළය. මන්ද තවදුරත් එම මූලික විදික්‍රමය තුළ විකුණනු ලැබූ සම්ප්‍රදාය වලංගු වන්නේ නැත.

මෙහිදී බහුතර ජනතාව ප්‍රතික්ෂේප කොට ඇත්තේ සම්ප්‍රදායික දේශපාලනයේ සහ ඒ වටා ගෙතුණු මූලික ව්‍යුහයේ ඇති කුහකකමය. ට්‍රම්ප් කාලාන්තරයක් තිස්සේ එම කුලකයේ කැපී පෙනෙන නියෝජිතයෙකු වුවද, ඔහු තම ව්‍යාපාරය තුළ හඳුනාගත් මූලික සමාජ ප්‍රවණතාවය හමුවේ එම ක්‍රමයෙන් වියුක්ත වී මැතිවරණය තුළ වෙනස් අකාරයෙන් හැසිරුණේය. එය නිවැරදි හෝ හරි යැයි කිරීමට කලබල විය යුතු නැත. මන්ද, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තුළ වලංගු ඡන්ද දායකයින් බහුතරයකගේ කැමැත්ත මත තීරණය වන ප්‍රතිඵලය ගැන ඊට එරෙහි පාර්ශවය වඩාත් විනයානුකූලව ජයග්‍රාහකයා දෙස බැලිය යුතු වේ. එසේම මෙම කාරණයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉගෙන ගැනීමට ඇති පාඩම් බොහෝය.

පළමුව, එක්සත් ජනපදයේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් එරට 45 වන ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් මහතාට සුභපැතීමට කැමැත්තෙමු. ඔහුට ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ අමෙරිකාවක් කිරීමට හැකි වේවා යැයි පතමු. එසේම ලෝකය හමුවේ, පතුරුවා හැර ඇති අසාදාරණ අධිපත්‍යය වෙනුවට මිත්‍රසීලි නැඹුරුවකට ලෝක ප්‍රජාව තල්ලු කිරීමේ හැකියාව ඔහුට ලැබේවා යැයි පතමු. මේවා හුදු සිහින පමණි. ඇමෙරිකානු ක්‍රමය වෙනස් වීම එක පුද්ගලයෙකු මූලික කරගෙන සිදුවන්නේ නැත. එය එසේ සිදුවන්නේ නම් රටේ ජනතාව මුහුණ දුන් බොහෝමයක් කාරණා ජනාධිපති ඔබාමා යටතේ විසඳීමට ඉඩ තිබුණි. නමුත් එය එසේ සිදු වූයේ නැත.

කෙසේ වෙතත්, මාගේ පෞද්ගලික විශ්වාසයට අනුව ට්‍රම්ප් පත්වීමෙන් සැබවින්ම යම් ආකාරයක යහපත් කාරණයක් සිදු වී ඇත. එය හුදු අනතුරක් ලෙස දැකීමට කලබල විය යුත්තේ නැත. විශේෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂය පසුගිය වසර අටක කාලය තුළ කළ පාලනය තුළ මඟ හැරුණු බොහෝ දෑ තිබුණි. එම තත්වය තුළ වර්ධනය වූ මූලික සමාජ අවශ්‍යතාවය ට්‍රම්ප් මනාව හඳුනා ගත්තේය. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය සර්ව සම්පූරණයෙන්ම යහන්ගත වූයේ එම හඳුනාගැනීමේ කෞශල්‍යය මතය.

හිලරි මෙහිදී වඩාත් අදක්ෂ අපේක්ෂිකාවක ලෙස මුල සිටම පෙන්වීමට හේතුව වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ වැඩපිළිවෙල තුළද හිලරි තෝරා ගැනීම මිස දක්ෂකයෙකු තෝරා ගැනීම හෙවත් ඡන්ද දායකයින් හමුවේ විකිණීමට හැකි චරිතයක් තෝරා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය අසමත් වීමය. එසේම, මැතිවරණයට ඉල්ලීම මූලික කරගෙන හිලරි රාජ්‍යය ලේකම් ධූර කෙරීට පවරනු ලැබුවාය. ඒ අනුව වසර දෙකක කාලයක් තිස්සේ මැතිවරණය සඳහා සූදානම් වූවාය. ඇය මුහුණ දුන් එකම ප්‍රතිවාදියා වූයේ බර්නි සැන්ඩර්ස් ය. එසේම බර්නි මැතිවරණ භූමියෙන් ඉවත් කිරීම සඳහා ඔබාමා ඍජුව මැදිහත් වූ අතර ඔබාමා බර්නිට ලබා දුන් දුරකථන ඇමතුමකින් පසු බර්නිගේ විපල්වය සහමුලින්ම අප්‍රාන විය.

නමුත් ට්‍රම්ප්ගේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. ඔහුට රිපබ්ලිකන් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා විශාල සටනකට මුහුණ දීමට සිදුවිය. බුෂ්ගේ සිට ටෙඩ් කෘස් සහ බෙන් කාසන් ඇතුළු අපේක්ෂක අපේක්ෂිකාවන් විශාල ප්‍රමාණයක් ඉදිරියේ සටන් කිරීමට සිදු වූ අතර ඔහු එය ජයගැනීමම ප්‍රධාන මැතිවරණයක් ජයගැනීම හා සමාන විය. විශේෂයෙන් ජෙබ් බුෂ් සහ ටෙඩ් කෘස් ඔහුට විශාල අභියෝගයක් වූ නමුත් ඉතාම කෙටි කාලයක් තුළ ඔවුන්ගේ බලය නෂ්ඨ කිරීමට හෙතම සමත් විය.

මැතිවරණයේ එක් අවස්ථාවක රිපබ්ලිකන් පක්ෂයේ මූලික අභියෝගය වූයේ ට්‍රම්ප් ඉන් ඉවත් කිරීමය. ඉන් පසු ට්‍රම්ප් ඊට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ඉවත් කළහොත් තමන් ස්වාධීනව ඉදිරිපත් වී මැතිවරණය ජයග්‍රහණය කරන බවය. කෙසේ වෙතත් ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් මැතිවරණයට මුහුණ දීම සඳහා අවස්ථාව ලැබුණු අතර ඉතිහාසයේ ප්‍රථම වරට තම පක්ෂයේ ඉහළ පෙළේ සිටි කිසිවෙකු පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයාට සහයෝගය නොදුන්නේය. එනයින්, බලන කළ මෙම මැතිවරණ ප්‍රතිඵලය ඔස්සේ එරට ඡන්ද දායකයින් පිළිතුරු ලබා දී ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයට පමණක් නොව, ඇමෙරිකානු සම්ප්‍රදායික පාලන රටාවටය.

මෙහිදී දැක ගත හැකි තවත් කාරණයක් වන්නේ ට්‍රම්ප්ට එරෙහිව කඳවුරු බැඳගත් අයවලුන් අතර රටේ ප්‍රධාන මාධ්‍යය සිටීමය. ඔවුහු ඔහුට එරෙහිව ඉතාමත් අවලසන්න ලෙස පෙනී සිටිහය. නිව් යෝර්ක් ටයිම්ස් ඇතුළු ප්‍රධාන පෙළේ කුහක මාධ්‍යය ජාලයන් සියල්ලම අනෙක් රටවලට මාධ්‍යය් නිදහස සහ සාදාරණය මෙන්ම ස්වාධීනත්වය ගැන වැදි බණ දොඩවමින් මෙවර මැතිවරණය තුළ ප්‍රභල දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටියේය. එය ජනතාව විසින්ම පරාජය කොට ඇත. සැබවින්ම, ට්‍රම්ප් හට සහය දැක් වූ ප්‍රධාන මාධ්‍යය වූයේ ෆොක්ස් මාධ්‍යය ජාලය පමණි. මෙය ශ්‍රී ලංකාවටද අදාළ කාරණයකි.

රාජපක්ෂ මහතාට එරෙහිව රට තුළ ඇති වූ සමාජ ප්‍රවණතාවය වසා දැමීම සඳහා ඔහුද රටේ මාධ්‍යය ඉතාම අප්‍රසන්න ලෙස මර්ධනය කරණු ලැබුවේය. එසේම ඒවා තමන්ට අවශ්‍යය ආකාරයෙන් මෙහෙයවනු ලැබුවේය. එහි ප්‍රතිඵලය ලෙස රටට බිහි වූයේ මාධ්‍යයවේදීන් නොව විවිඩ ආඩපාලි කතා ගෙතිය හැකි හිස් ඔළුගෙඩි ටිකකි. එසේම අදාළ ආයතන ණයකාර ආයතන බවට පත්විය. නමුත්, රටේ ජනතාවගේ බහුතර කැමැත්ත එම මාධ්‍යයට වෙනස් කිරීමට නොහැකි විය. මෙම කාරණා නිවැරදිව කියවීමට වත්මන් ආණ්ඩුව අසමත් වුවහොත් එම තත්වයේම අනෙක් පැත්ත මීළඟ 2020 මැතිවරණයේදී සිදු විය හැකිය.

ගෙවෙමින් පවතින දින කිහිපය තුළ ජනාධිපති ට්‍රම්ප් දැනුවත් කිරීම එරට රහස් ඔත්තු සේවා වසින් සිදු කිරීමට නියමිතය. එසේම මීට සුළු වෙලාවකට පෙර ට්‍රම්ප් සහ ඔබාමා අතර පළමු හමුව ධවළ මන්දීරයේදී පැවැත්විය. එය එර පවතින මූලික සම්ප්‍රදාය වේ. එහිදී රටේ ප්‍රධාන රහස් වල යතුරු මෙන්ම අනෙකුත් ඉතාම සංවේදී කාරණා ගැන ඔහු දැනුවත් කරනු ඇත. ඇමෙරිකානු ක්‍රමය එයයි. ධවළ මන්දීරයට යන ට්‍රම්ප් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ එම මූලික පැහැදිලි කිරීම් වලට අනුකූලව මිස ඔහු මැතිවරණයේදී විකුණනු ලැබූ මූලික කාරණා වලට අනුකූලව නොවේ.

කෙසේ වෙතත්, සමාජීය වශයෙන් අනෙක් රටවලට ඉගෙන ගැනීමට හැකි කාරණය වන්නේ මෙම තේරීම ඔස්සේ ඇමෙරිකානු අධිපත්‍යය දුර්වල වීමට හැකියාවක් පවතින්නේද යන්නය. එවැන්නක් ගැන සිහින දැකීම අර්ථ ශූන්‍ය කාරණයකි. නමුත් මෙම සිදුවීම ඔස්සේ තම තමන්ගේ දේශපාලන දැක්ම පුළුල් කර ගැනීම සඳහා ඉතාම වටිනා අවකාශයක් පුළුල් වී තිබේ.ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රකාශකයා වශයෙන් කටයුතු කරන අමාත්‍යය සේනාරත්න කියන ආකාරයේ ඔලමොට්ටල සිහින දැකීම කිසිඳු වගතුවක් ගෙනදෙන කාරණයක් නොවේ. මෙම අමත්‍යවරයා සැබවින්ම රටට සිදුකරන්නේ මූලික විනාශයකි.

ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම යනු ජාතිකවාදයේ නැගීමක් හෝ එම නැගී එන ජාතිකවාදය නමැති ගෝලීය රැල්ලේ ප්‍රකාශනයක් නොවේ. මගේ විශ්වාසයට අනුව එවැනි රැල්ලක් නැත. ඇත්තේ කෛරාටක වෙළඳපොල නියාමනයන් ඔස්සේ නිර්මාණය කර ඇති බෙදීම හමුවේ සාමන්‍යය ජනතාවට මුහුණ දීමට ඇති වේදනාවේ රැල්ලයි. එය රටේ දේශපාලන තීන්දු ගැනීම සඳහා මූලික වශයෙන් ශක්තිමත් වී ඇත.

එනම්, ට්‍රම්ප් දිනීම ඔස්සේ ප්‍රකාශනය වන්නේ, සම්ප්‍රදායික දේශපාලන හොරුන්ගේ සහ මංකොල්ලකරුවන් නිසා ජනතාවට මුහුණ දීමට ඇති ප්‍රභල වේදනාවට එරෙහි අරුත් ගැන්වීමකි. ට්‍රම්ප් එම මූලික වේදනාව සමනය කිරීම සඳහා වූ එකම විසඳුම නොවේ. නමුත් තම මූලික වේදනාව සමනය කරගත හැකි ප්‍රධාන මෙවලමකි. ප්‍රථමාධාරයකි. ව්‍යාපාරිකයෙකු ලෙස ට්‍රම්ප් එම මූලික රටාව මනා ලෙස කියවා ඇත. මාස 18 ක වැනි ඉතාම කෙටි කාලයක් තුළ රටේ ජනතාව තමන්ගේ පැත්තට හරවා ගැනීමට සිදු වූයේ මේ නිසාය. එය අර්ථවත් කිරීම තම ප්‍රතිපත්ති ඔස්සේ සහ කටයුතු ඔස්සේ කළ හැකි නමුත් හුදු සුන්දර වාග් මාලාවන්ට කළ නොහැකිය. මන්ද, සම්ප්‍රදායික රටාව තුෂ්නීම්භූත වී බලා සිටින්නේ ට්‍රම්ප් අසාර්ථක පාලකයෙකු වන තෙක්ය. මෙරට දේශපාලන තත්වයද මීට සමානය.

ට්‍රම්ප් ජයගත්තේ ජාතිකවාදයෙන් යැයි කෑ ගහන අයවලුන්, තම රටේ අසරණ ජනතාවගේ ලෙඩටට ලබා දෙන ඖෂධ වලිනුත් ගසා කන්නේ නම් උන්ගේ අලුගුත්තේරු දේශපාලනය සාර්ථක වන්නේ අනෙකා තලාපෙලා දැමීමෙන් පමණි. මන්ද ඔවුන්ගේ විධික්‍රමය මේ වන විටත් මෙරට ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බැවිනි. එම ක්‍රමය ජාතිකවාදයෙන් වසා දැමිය නොහැකිය. අවාසනාවට එම ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් හොඳ යැයි කියා රටේ ජනතාව තෝරාගත් අයවලුන්ද අමුතුම ආකාරයේ හොරුන්ය. මෙම පසුබිම තුළ 2020 වසර ඉතාම තීරණාත්මක මැතිවරණ වසරක් වී මෙරට ජනතාව තමන්ගේ ට්‍රම්ප් සොයා ගැනීමට සමත් වුවහොත් ඒගැන පුදුම විය යුතු නැත.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa